🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සුබඵල වැඩියෙන් ලබාදෙන ගුරු ඔබේ ජීවිතයට කරන බලපෑම්

සූර්යයාට පමණක්‌ කුඩාවූ තරුව ගුරු තරුවයි. රශ්මිය පැතිරීමද සූර්යයාට පමණක්‌ දෙවැනිවෙයි. එහෙත් සිකුරු තරුව මෙන් දීප්තිමත්ව නොපෙනේ. ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් එක දහස්‌ තුන්සිය වාරයක්‌ වෙයි. ඈත පුරාණයේ සිට ගුරු ග්‍රහයා ගුරු මෙන් සලකනු ලබයි. මනුෂ්‍යයාගේ වැඩිදියුණුවට උසස්‌වීමට වුවමනා කරන සියලු යහපත්දේට ගුරු බලපවත්වයි. කේන්ද්‍රයේ ගුරු සිටින රාශිය අනුව ගුරුගේ බලපෑම් මිනිස්‌ ජීවිතයට විවිධාකාර ලෙස බලපෑම් කරයි.

කේන්ද්‍රයේ පළවැනි රාශිය හෙවත් ලග්නය ගුරුට බලවත් ස්‌ථානය වේ. ලග්නයේ සිටින ගුරු වෙනත් ග්‍රහයන්ගෙන් යෙදෙන සියලු අරිෂ්ට යෝග භංග කරනු ලබයි. එමෙන්ම මෙසේ උපන් අයට නිරෝගීවූ යහපත් මහත්වූ ශරීරයක්‌ හිමිය. සියලුම කාර්යන්හි දියුණුව ගෙන දෙන දීර්ඝායුෂ ලබාදෙන අතර සියලු විපත්වලින් ආරක්‌ෂා කරයි. පුද්ගලික වශයෙන් දියුණුවන අතර සමාජයේ දියුණුව ගැනද උනන්දුවෙයි. උසස්‌ බලවත් අයගෙන් ආධාරද නොඅඩුව ලැඛෙයි. කිසිම අයෙකුට මෙවැන්නෙකුට රැවටීමට හෝ කරදරයකට දැමීමටද නොහැක. මධ්‍යම වයසෙන් පසුව වඩාත් දියුණු වෙයි.

දෙවැන්නටද ගුරු යහපත්ය. දෙවැන්නේ ගුරු සිටියදී උපන් අය කවරදාවත් තත්ත්වයෙන් පහත නොවැටේ. යම් අවස්‌ථාවකදී පසුබෑමක්‌ වුවත් පසුව හිටි තත්ත්වයටත් ඉහළින් දියුණුව ලබයි. දුටුවන් ප්‍රිය උපදවන මහා රූපකායක්‌ මොවුන් සතුවෙයි. සාර්ථක විවාහ ජීවිතයක්‌ ගතකරනු ලබන අතර භාර්යාව හා දරුවන්ට උසස්‌ ලෙස සලකයි. විවාහයෙන් පසු වඩාත් තැන්පත් වේ. ගුරු දෙවැන්නට ධන යෝගයක්‌ද වේ.

කේන්ද්‍රයක ගුරු තුන්වැන්නට එතරම් යහපත් නොවේ. තැනින් තැන යන්නට සිදුවෙයි. අසනීපවලට හේතුය. පසුකාලයේදී අභ්‍යන්තර ශරීර දුර්වලතාද ඇතිවිය හැක. ගුරු තුන්වැන්නේ උපන් අයට බාල කාලයේ ගුරුගේ දශාව ලැබුවොත් ඉගෙනීමට යහපත් වේ. විවාහ ජීවිතය යහපත් වෙන නමුත් ආයුෂ අඩු කෙනෙක්‌ වෙයි. සහෝදර සහෝදරියන්ට වඩාත් හිතවත්වෙයි. තුනේ සිටි ගුරුගෙන් ශුභඵලදීම කෙරෙන්නේ ඉතා බලවත්ව සිටියොත් පමණකි.

ගුරු හතරෙදි සිටියදී උපන් අය ඉතා යහපත් වේ. දෙමාපියන්ගේ දේපළ උරුමයන් ලැඛෙන පිහිටීමකි. ගුණගරුක සාර්ථක ජීවිතයක්‌ ගත කරයි. ඥතීන් අතර ප්‍රධාන තත්ත්වයක්‌ හිමිවෙයි. ගෘහ ජීවිතය ඉතා යහපත් වෙන අතර අන්‍යයන් හා සහයෝගයෙන් කටයුතු කිරීමට වැඩි කැමැත්කත් දක්‌වයි. ජීවිතයේ අග භාගයේදී අන්‍යයන්ට ගුරුහරුකම් කියාදෙන නායකයෙක්‌ විය හැක. දූ දරුවන්ද උසස්‌ තත්ත්වයකට පත්වෙයි.

ගුරු පස්‌ වැන්නේ නම් යහපත් විශ්වාසවන්ත කෙනෙක්‌ වන අතර කා සමගත් හොඳ හිත පෙන්වයි. ශරීරය දුර්වල කෙනෙක්‌ වීමට බොහෝ විට ඉඩ ඇත. පිත් අමාරු, සෙංගමාලය වැනි අසනීප සෑදීමේ ප්‍රවණතාව වැඩිය. තමාගේ ඥතීන් අතර පිළිගැනීමක්‌ ඇති අයෙක්‌ වෙයි. අඹුදරු ආදීන්ට ද ඉතා හිතවත් වේ. පස්‌වැන්නේ ගුරු සිටින අයට පුත්‍ර ලාභ වැඩි වේ.

ගුරු හයේ සිටියදී උපන් අය දුර්වල කෙට්‌ටු ශරීරයක්‌ හිමි අයෙක්‌ වෙයි. සෙම් අධික අසනීප සෑදීමට හේතුවෙයි. පවුලේ වැඩිහිටි ඥතීන්ට පක්‌ෂපාත අයෙකි. දූ දරුවන්ගේ දියුණුවට බාධා පැමිණේ. නැතිනම් ඔවුන් හා සම්බන්ධතා අඩුවෙයි. ආත්මාර්ථකාමීත්වයෙන් යුතු අයෙක්‌ වේ.

ගුරු හතේ සිටියදී උපන්නේනම් යහපත් විවාහයකට හේතුය. රටේ පිළිගත් ප්‍රසිද්ධ අකේ වෙයි. භාර්යාවගෙන් වැඩි දියුණුවක්‌ ඇතිවේ. ව්‍යාපාර කටයුතුවලින්ද දියුණුවක්‌ දැකිය හැකිය. රජයේ උසස්‌ නිලතල දැරීමටද සුදුස්‌සකු වෙයි. විවාහයේදී තමන්ට ලැඛෙන භාර්යාවද තමන්ට ඉතා ලැදි කීකරු, පතිදම් රකින කෙනෙක්‌ වන අතර දරුවන්ද එසේමය. ගුරු හතේ උච්චනම් මෙයට වෙනස්‌ විය හැක. දෙදෙනා අතර අවුල් තිබුණත් එය සමාජයට නොපෙන්වයි.

ගුරු අටටද යහපත් ස්‌ථානයක්‌ නොවේ. එකම යහපතක්‌ වන්නේ ගුරු අටේ සිටියදී උපන් අයගේ මරණය දුක්‌ සහිත මරණයක්‌ නොවීමයි. විවාහයෙන් දේපළ ලැබීමට හිමිකම් ඇත. ලොතරැයි ආදියෙන්ද වාසනාව ගෙනදෙයි. බාහිර වශයෙන් සැප විඳීමට උත්සාහ ගන්නවා මිස මනස උසස්‌ කර ගැනීමට නොසිතයි. ගොවිතැන් කටයුතුවලදී වැඩි ලාභ ලබයි.

ගුරු නවවැන්නේ සිටියදී උපන් අයද වාසනාවන්තයෝ වෙති. සියලු යසඉසුරු ලැබීමටද හේතුවේ. උසස්‌ ඉගෙනීමක්‌ ලබාදෙන අතර රජයේ උසස්‌ තනතුරු ලැබීමටද භාග්‍ය ඇත්තෝ වෙති. ගුරුවර වැඩිහිටි ආදීන්ට ඉතා ගරු සැලකිලි දක්‌වයි. ආත්මගෞරවය ආරක්‌ෂා කරගෙන කටයුතු කරන්නෙක්‌ වෙයි. ශීලවන්තයකු ලෙස අන් අයගෙන් සැලකිලි ලබයි.

ගුරු දහ වැන්නේ නම් ධනය අතින් යහපත් වෙයි. සමාජයට හිතැති ගෞරවය රැකෙන සේ කටයුතු කරයි. පොදු ජනතාවගේ ශුභසිද්ධිය සඳහා කටයුතු කරන අයෙක්‌ විය හැක. ශරීර සෞඛ්‍යය යහපත් වන අතර ආයුෂ වැඩිවීමටද හේතුවෙයි. ක්‍රම ක්‍රමයෙන් රැකියාවෙන් උසස්‌ වී බලවත් තත්ත්වයකට පත්විය හැක. දේපළ ඇති අයෙකු හා විවාහයට හේතුවෙයි.

ගුරු එකොළොස්‌ වැන්නේ සිටියදී උපන් අයටද ගුරුගෙන් යහපත සැලසේ. සත්‍යවාදී යහපත් මිතුරෝ ඇති අතර ඔවුන්ගෙන් තමාට යහපත සඳහාද ආධාර උපකාර ලැඛෙයි. රට වෙනුවෙන් වැඩ කරන්නෙකු විය හැක.

දොළොස්‌ වැන්නට ගුරු ශුභ නොවේ. සිරගතවීම්, අසනීප, හදිසි අනතුරු ආදී අශුභපල දෙයි. ආත්මාර්ථකාමී ගතිය අඩුය. අන්‍යයන්ට උදව් උපකාර කිරීමට නිතර ඉදිරිපත් වෙයි. අනුන්ගේ දුකේදී සැපේදී ළග සිටින තරම් හිතවත්ව කෙනෙකු වේ. දුප්පතුන්ට රෝගීන්ට ඉතාම ලැදි ඇප උපස්‌ථාන කිරීමට මෙන්ම නැති බැරි අයට යම්කිසි පරිත්‍යාග කරන්නටද පෙළඹේ.

ගුරුගේ අපලයට කහපාට රෙදි, රත්තරන් ස්‌වල්පයක්‌, කහපාට මල්, කහපාට බතක්‌, කහකොල 09 ක්‌, මුං ඇට, හඳුන්තෙල් පහනක්‌, බුලත් 09 ක්‌ පඬුරු 09 ක්‌ පොල්තෙල් පහන් 09 ක්‌, බෝකොල 09 ක්‌ උඩ තබා බෝධියට පුජා කර සෙත් පතන්න. බ්‍රහස්‌පතින්දා දිනක උදේ 9 ත් 7 ත් අතර මෙම පූජාව තිබන්න. ගුරුගේ අපල අඩුවේවි.

උපුටා ගැනීම දිවයින පුවත් පත