🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කේතුගේ අපලයට රතන සූත්‍රය



"ඔළුව ලොකුයි බඩ මහතයි කෙහෙතගෙ අපලේ" යැයි කුඩා වියේදී ඇසූ බව මතකය. වර්තමානයේ වුවත් කේතුගේ අපලයට බිය නැති අය අඩුය. එසේ මිනිසාට අපල කරන කේතු ජේ‍යාතිෂයේදී සංකේතවත් කර ඇත්තේ රන් ඔටුන්නක් පැලැඳ පොතක් අතින් ගත්, සිරුරේ යට කොටස සර්ප සිරුරක් සහිතව නෙලුම් මලක් මත වාඩිගත් කෘශ පෙනුමක් ඇති රුවකිනි. එය පිරිමියකුද හෝ කාන්තාවක දැයි හරිහැටි හැඳිනිය නොහැකියි. හින්දු ජේ‍යාතිෂයේදී මකරාගේ වලිගය කොටස ලෙස කේතු හැඳින්වෙයි. එයින් හැඟී යන්නේ පසුපස බලන හෙයින් පූර්ව භවයේ ගතිගුණ, ආකල්ප හා පින් පව් මෙලොවට ගෙනෙන ආකාරය කේතුගෙන් කියැවෙන බවය.

සාමාන්‍යයෙන් හඳහනක පසු කොටසෙහි එනම් 7 වැනි භාවයේ සිට 12 වැනි භාවය අතර කොටුවක කේතු පිහිටා ඇත්නම් එය ජන්මියාගේ තත්ත්වය පසු වයසේදී පිරිහෙන බව පෙන්වන ලකුණකි. 1 සිට 6 අතර පිහිටියේ නම් පසු වයස සාර්ථකය. රාහු හා කේතු නිතරම පිහිටන්නේ එකිනෙකාට අංශක 180ක දුරකිනි. එය පැහැදිලි කරන්නේ නම් රාහුගෙන් 7 වැනි කොටුවේ කේතුය. කේතුගෙන් 7 වැනි කොටුවේ රාහුය. ලග්නයෙන් අංශක දෙකක් තුළ රාහු හෝ කේතු පිහිටියහොත් කැපීපෙනෙන බුද්ධියක් හා රුවක් හිමිවන බවද සඳහන්ය. වෘශ්චික රාශියේදී උච්ච වන කේතු මීන රාශියේදී ස්වක්‍ෂේත්‍ර ගතවන බව සැලකේ. බොහෝවිට කේතු හා ශනි සංයෝග වීම විනිශ්චයට අපහසු රෝග ඇතිකරන්නකි. දුෂ්ට ස්ථානගතව විශේෂයෙන් 8 වැන්නේ හෝ 12 වන්නේ මෙම සංයෝගය පිහිටියහොත් මතක ශක්තියේ දුර්වලතා, ඇසීමේ හෝ පෙනීමේ දුර්වලතා ඇති කරයි. විශේෂයෙන්ම එම ස්ථානය මීන රාශිය වුවහොත් එසේම වන බවද පෙනී ගොස් තිබේ. ඔවුන්ගේ දශාවන්හිදී ඇතිවන රෝග නිවැරැදිව සොයන්න නූතන වෛද්‍ය පරීක්‍ෂණ අසමත්ය. කිසිම ඖෂධයකින් සුව වන්නේත් නැත. දශාව අවසන් වූ පසුව කිසිම ඖෂධයක් නොමැති රෝගයෙන් මිදේ. ශනි හා කේතු සංයෝගය අසුබ දෘෂ්ටි සහිතව පිහිටියහොත් ස්නායු දුර්වලතා සහිත පුද්ගලයන් බිහිකරන බවද අත්දැක ඇත. මීමැස්මොරය වැනි සිහිමුර්ඡා වන රෝගීන්ගේද දෙපා, දෙඅත් හා ක්‍රියා කළ හැකි වුවත් හිස එසවිය නොහැකි රෝගීන්ගේද හඳහන් පරීක්‍ෂා කිරීමෙන් මේ පාප ග්‍රහයන් දෙදෙනා අශුභ ආකාරයෙන් එක් වූ විට මිනිසාට කෙතරම් දුකක් දෙන්නේ දැයි පෙනී යයි.

මේ දෙන්නා 7 වැන්නේදී එකතු වුවහොත් විවාහ ජීවිතයට බාධා පමුණුවයි. විවාහය කල් දමයි. රවි සමඟ සංයෝග වූ විට නම් මඳක් මෙල්ල වන බවක් පෙනී යයි. එහෙත් කේතුගේ බලපෑමෙන් මිදෙන්න ග්‍රහ ලෝකයේ රජ්ජුරුවන්ටද නොහැකිය. කරන තරමට ප්‍රසිද්ධියට පත් නොවේ. දරු ඵල අඩු කිරීමට ඉඩ තිබේ. චන්ද්‍රයා සමඟ සංයෝග වීම කෙළින්ම බලපාන්නේ සිතටය. 'කන්ද කෙන්දක්' මෙන් දකින්නේ මොවුහුය. සුළු දෙයටත් සිත රිදවා ගන්නා කෙනකු වෙයි. සංවේදී බවක්ද පිහිටයි. අනෙක් අය සුළුවට ගණන් ගන්නා දෙයක් පවා මහා ලොකුවට සිතයි. සිතිවිලි සියුම් හා වේගවත් හෙයින් අධ්‍යාපනයට නම් මෙය හොඳ සංයෝගයකි. එහෙත් දශා අන්තර් දශාවලදී සෙම් රෝග සාදන බව පෙනී ගොස් ඇත. සිකුරු හා කේතුගේ සංයෝගය විවාහය ප්‍රමාදයට හේතුවකි. නොගැළපෙන සබඳතා ඇති කරගැනීමට පෙලඹීමට ඉඩ තිබේ. එහෙත් අනවශ්‍ය වියදම අඩු කරයි.

ගුරු මෙන්ම බුධද ඉගෙනීමට හා බුද්ධියට යහපත්ය. පොතක් අතේ ඇති කේතුත් ඒ වාගේය. මේ ග්‍රහයන්ගේ සංයෝගය බුද්ධිය මෙන්ම ස්ථානෝචිත ප්‍රඥාවද ලබා දෙන්නකි. යහපත් ස්ථානයක බලවත්ව මෙම ග්‍රහයන් පිහිටීම අධ්‍යාපනයට ඉතා සුදුසුය. ගුරු, බුධ හෝ සඳු සමඟ කේතු සංයෝගව යහපත් දාෂ්ටි ලැබෙන්නේ නම් ඥාන යෝගයකි. කුජ සමඟ සංයෝග වී අශුභ තත්ත්වයෙන් සිටියහොත් අධික රුධිර පීඩනය සාදයි. ඊට හේතුවන්නේ කුජ උෂ්ණ ග්‍රහයකු වන අතර කේතු හකුළුවන ග්‍රහයකු නිසාය. මේ දෙදෙනාගෙන් කුජ නීච තත්ත්වයෙන් 7 වැන්නේ සංයෝග වූ විට අසම්මත, ලේ ඥාති සබඳතා ඇති අය සමඟ විවාහ වන බවද කියැවෙයි. ග්‍රහ ලෝකයක් නොවන අතර පෘථිවිය සූර්යයා වටාත්, චන්ද්‍රයා පෘථිවිය වටාත් භ්‍රමණය වන කක්ෂ එකිනෙක කැපෙන ස්ථාන රාහු හා කේතු වශයෙන් හඳුන්වන නමුත් ඔවුන් සමහර අවස්ථාවන්හිදී ග්‍රහ ලෝකවලට වඩා මිනිසාට බලපායි. රාහු ධනය ලබාදෙන නමුත් කේතු එයට විරුද්ධව ක්‍රියා කරයි. ලෞකික සම්පත් නොව ආධ්‍යාත්මික අංශයට මිනිසා යොමු කිරීම ඔහුගේ කටයුත්තයි. 9 වැන්නේ රාහු පිහිටි විට ආගමට ලැදි නැතත් කේතු පිහිටියහොත් අධික ආගම් භක්තියක් ඇති කරයි. ලග්නය පහ හෝ නවය හෝ එකොළහ වැනි ස්ථානයක බලවත්ව යෙදීමෙන් අධ්‍යාපනයට උපකාරී වෙයි. ලග්නයේ පිහිටි කේතු බුද්ධිය ලබාදී ඉගෙනීමට උපකාර කරන නමුත් රැකියාවට බාධා කරයි. එහි අවුල් වියවුල් සාදයි. නිරපරාදේ විවිධ ආකාරයේ නින්දා අපහාස විඳින්නට සිදුවෙයි. දෙවැන්නේ ඇත්නම් වස්තුව විනාශ කරන්න උත්සාහ දරන්නේ ලෞකික වශයෙන් සැප විඳින්න දීම ඔහුගේ බලපෑම නොවන නිසාය. තුන්වැන්නේ පිහිටීම කීර්තියට යහපත් අතර ජන්මියාට බාල සහෝදරියක ලබාදෙයි. ගෘහස්ථානය වන සිව්වැන්නේ යහපත්ව, ශුභ දෘෂ්ටි සහිතව පිහිටියහොත් නිවෙසක් ලබාදීම ඔහුගෙන් කෙරේ. එහෙත් නෑයන් විරුද්ධ කරනු ඇත. පපුවේ රෝග තත්ත්ව සාදයි. ඉගෙනීමට කැමැති හෙයින් බුද්ධිස්ථානය නමින් හැඳින්වෙන පස්වැන්නේදී ඉගෙනීමට යහපත් වුවත් දරුවන්ට හොඳ නැත. වැඩි වශයෙන් ගැහැනු දරුවන් ලැබේ. රෝගස්ථානය වන හයවැන්නේදී නම් හොඳක් කරන්නේම නැත. පහසුවෙන් ඇස්වහ කටවහ වැලඳීම, අමනුෂ්‍ය උපද්‍රව සෑදීම, මහා දශා අන්තර් දශාවන්හිදී අසනීප තත්ත්වයන්ට ගොදුරු වීම කේතුගේ හපන්කම්ය.

හත්වැන්න පිහිටි කේතු ස්ථාන මාරු ඇති කරයි. සැමියා සහ බිරිය අතර නොමනාපකම් සාදයි. සමහර අවස්ථාවන්හිදී ද කුෂ්ට රෝග හා සන්ධි රෝග වැලඳෙන බවද පෙනී ගොස් තිබේ. නවවැන්න ආගමික භක්තිය ඇතිකරන ඉගෙනීමට යහපත් ස්ථානයකි. රැකියාවන් අවුල් කිරීම වෙනස් කිරීම හා සන්ධි රෝග ඇති කිරීම දසවැන්නේ සිටින කේතුගේ බලපෑමෙන් ඇතිවන ඒවාය. එකොළොස්වැන්නේදී නම් ඉඩකඩම් හා ධනය ලබාදෙන්නට ඉඩ තිබේ. ‍එතරම් නරක නැත. බුධ මහ දශාවෙන් පසුව ලබන කේතුගේ මහ දශාවේදීද වැඩි වශයෙන් අයහපත් ඵල ලැබේ. ජේ‍යාතිෂයෙන් ග්‍රහයන්ට ලබාදී ඇති ස්වරූපය අනුවම ඵල විපාක දෙන හෙයින් ඇවිදගන්න බැරි කේතු තමන්ගේ බලයට නතු වන අයටද ඇවිදින්න ඉඩ නොදී එක් තැනක රඳවන්න කැමැතිය. එහෙයින් මහ දශා අතුරු දශාවන්හිදී නොයෙක් ආකාර රෝග සාදයි. උපතේදී 8 වැන්නේ කේතු පිහිටි අයට එම දශාවේදී දින කිහිපයක් හෝ එක්තැන් කරන්නට මැළි වන්නේ නැත. අසනීපයකින් බැරි වුවහොත් වරදක් නැතිව හෝ වරදකට පටලවා හිරේ විලංගුවේ ලන බව ඔප්පු වූ සත්‍යයකි. කේතුට කුජගේ දෘෂ්ටිය ලැබෙන්නේ නම් එසේම වෙයි. ආරම්භයේදීම පැවැසූ ආකාරයට පැරැණි සාමාන්‍ය ගැමියා පවා කේතුගේ දුෂ්ටකම් දන්න නිසා ඉහත සඳහන් කවිය පබඳන්න ඇත. අප අපල වශයෙන් ගතකරන්නේ පූර්ව ආත්ම භවයේ කරන ලද අකුසල කර්ම නිසා ඒවා යටපත් කරන්න පින් කළ යුතුමය.

විශේෂයෙන්ම කේතු පූර්ව ආත්මයේ කරන ලද කර්මයන් මෙලොවට ගෙන එන හෙයින් කේතු මහ දශාවේදීද මිනිසා පිනට නැඹුරු කරයි. ඔහු ආධ්‍යාත්මික වශයෙන් ජන්මියා දියුණු කරන්නට කැමැතිය. එහෙයින් කේතු මහ දශාවකදී අපල පවතින විට කළ යුතු පින්කම් රාශියකි. මෙම අපලය දුරු කිරීම සඳහා එක් එක් ආචාර්යවරුන් පිළිගත් මත වෙනස් මුහුණුවරක් ගන්නා නමුත් ආගමික කටයුතුවල නිරතවීම සුදුසු යැයි පොදුවේ පිළිගෙන ඇත. කේතුගේ අපල පවතින්නේ නම් උදේ සවස සවස බුදුන් පුදා දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව රතන සූත්‍රය සජ්ජායනා කිරීම ඉතා බලසම්පන්න පිළිවෙතකි.

මව්බිම