🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මිනිසාට ග්‍රහයෝ බලපාන්නේ කොහොමද?


හොඳ මිනිහා තුළ නරකත් නරක මිනිහා තුළ හොඳත් අල්පව පවතී. ඒවා අල්ප වූ බැවින් හොඳ නරක යන නාමයන් ලැබේ. නවග්‍රහයන්ද එසේමය. ඔවුන් තුළද මේ දෙක මිශ්‍රව පවතී. ජන්ම පත්‍රය යනු ඔවුන් මිනිසා තුළ ඉදිකළ සර්කිට්‌ එකය. ඒ අනුව ඔවුන් මිනිසාට දෙන හොඳ නරක දෙක මිනිසාට පාලනය කරගත නොහැක. හේතුව අල්ප නියුරෝන ශක්‌තියක්‌ මිනිසාට ඇති බැවිනි. මෙතැන් සිට ඒ ඒ ග්‍රහයන් මිනිස්‌ සිත තුළට ඇතුල් කරන ඔවුන්ගේ හොඳ නරක දෙක විස්‌තර කරමි. ඒවා පාලනය කරගැනීම, හොඳ දේ වර්ධනය කර ගැනීම, නරක දේ නිෂ්ක්‍රීය කරගැනීම ඒ ඒ පුද්ගලයාගේ මානසික ශක්‌තිය මත රඳා පවතී. (නියුරෝන ශක්‌තිය) ප්‍රථමයෙන් රවි ග්‍රහයා මිනිස්‌ සිතට, පරිසරයට මෙසේ බලපායි. පියා පිළිබඳව, ගින්දර, ශරීර උෂ්ණය, වාතය හා පිත, තරබාරු ලෙස ශරීර වර්ධනයට, උසස්‌ පෞරුෂයට, හීන පෞරුෂයට, එඩිතරකමට මාන්නයට රාජ්‍යයට, රාජ සේවයට, නායකත්වයට, ආත්මයට, මුදල් පොලී කිරීමට, තේජසට, යුද්ධයට, රජ මැති තනතුරුවලට, විධානය කිරීමට, උඩගුකමට, තඹවලට, කැලෑවට, වෛද්‍ය දැනුමට, ඔසුවලට හා ඖෂධ ගුණයට රවි කාරකයා ලෙස මිනිස්‌ සිතට බලපෑම් කරයි.

සඳු ග්‍රහයා : මව පිළිබඳව, මනසට, ජලයට, ශරීරයේ සෙම් ආශ්‍රිත ඕජාවට සිරිත් විරිත්වලට, මිහිරි ආහාර පානවලට, ප්‍රසිද්ධියට, කිරිවලට, ලුණුවලට, නෑමට, සීතලට, දෙවියන්ට, මැණික්‌වලට, රිදීවලට, ස්‌ත්‍රීන්ගේ රැකියාවලට, ඔසප් වීමට, මීපැණිවලට, සුවඳ විලවුන්, පලතුරු මුදවන ලද කිරි ගංගා, ඇළ දොළ වැව්, පොකුණුවලට, සඳු කාරක වේ. මේ සියල්ල කෙරෙහි මිනිස්‌ සිතක සම්බන්ධය පවතී.

කුජ ග්‍රහයා : සාහසික බව, මිනීමැරීම, නිර්භීත එඩිතර බව, පළිගැනීම, වෛර බැඳීම, දුර්ජන ගතිය, පරුෂ වචන, වහසිබස්‌, රලු වචන, කෘර ගතිය යුද්ධයට කැමැත්ත, බලහත්කාරකම්, අයුක්‌තිය, සොහොයුරන්ට යම් ක්‍රියාවකට ධෛර්ය, උනන්දුව, උත්සාහය, කෝලාහල කිරීම, අඬ දබර, ලේ සෙලවීම, තුවාල සිදුකිරීම, අනතුරු, ගිනි ගැනීම්, කැපුම් කෙටුම්, වෙඩි තැබීම්, බෝම්බ ගැසීම්, මනස වර්ධනයට, වික්‍රමාන්විත බවට, සතුරන් නැසීමට පරාජය කිරීමට, තඹ, රත්‍රං, යකඩවලට කාරකයා වෙයි. එනිසා කුජ මිනිස්‌ සිතට අවශ්‍යමය නමුත් භයානක කමද පවතී. එසේම සෑම මිනිස්‌ සිතකම කුජ තැම්පත්ව සිටී.

බුද ග්‍රහයා : හැගීම්වලට, කටඩ ස්‌වභාවයට, කතා ශෛලියට, ස්‌නායු පද්ධතියට, ලිවීමේ හැකියාවට, විහිළු තහලුවලට, පොත්පත්වලට, බුද්ධියට, සංනිවේදන අංශවලට, තර්කයට, ගණිතමය හැකියාවට, බොරු චාටු බස්‌වලට, බොරු වර්ණාවට, කපටිකමට, වැරදි මං මුළාවීම්වලට, සාමාන්‍ය ගතිවලට වඩා වෙනස්‌ ගති ඇතිවීමට, ඉමිටේෂන්වලට, ප්‍රතිභා ශක්‌තියට, විෂ්ණු දෙවියන්ට, වෙළෙඳාමට, කජ ජලයට, දොඩංවලට නිල්පාටට, ගුවන් යානාවලට බුද කාරක වශයෙන් මිනිස්‌ සිතට සම්බන්ධවී සිටී.

ගුරු ග්‍රහයා : ආගම දහමට, භක්‌තියට, කරුණා ගුණයට, සමෘද්ධියට, පුත්‍රයන්ට, අධ්‍යාපනයට, ශ්‍රමණයන්ට, තාපසයන්ට, මිනිස්‌ ගුණධර්ම වර්ධනයට ප්‍රඥාවට, විනිශ්චයකරුවන්ට, ගරු නම්බුනාමවලට, පුද පඬුරුවලට, වෙළෙඳාමට, මැණික්‌ වෙළෙඳාමට, මිය යනතුරු ගරු කටයුතු කීර්ති නාමයට නිතර දුක්‌ ඇතිවන අවගුණවලට, සාපවලට, දේව, යක්‍ෂ, භූතයන්ට හා පිසාචයන්ට, නඩු හබවලට, ජාතිකාභිමානයට, අණදීමට, ගරු නොකිරීමට, ගුරුවරුන්ට, නීතිරීතිවලට, බැංකු කටයුතුවලට, තැම්පතුවලට, ජ්‍යෙතිෂ දැනුමට, අන් අයගේ යහපතට කැපවීමට වැනි තත්ත්වයන් ගුරු ග්‍රහයා මිනිස්‌ මනසට ඇතුල් කර තිබේ.

සිකුරු ග්‍රහයා : කාමාශාව, ශුක්‍ර ධාතුව, ප්‍රේමය, ආනන්ද ජනක බව, ස්‌ත්‍රි පුරුෂ පරදාර සේවනයට, රාග සිතට, නිරුවතට, අසැබි ඇඳුම් පැළඳුම්වලට, රූපලාවන්‍යයට, විසිතුරු දේවලට, ඇඳුම් පැළඳුම්වලට, තරුණ කාලයේ ඇතිවන විවිධ විකෘති ආශාවන්ට, නාට්‍ය, චිත්‍රපටවලට , ප්‍රේමය නිසා පැන යන, වස බොන, මැරෙන සිදුවීම්වලට, ගණිකා වෘත්තියට හා සේවනයට, ලක්‍ෂ්මි දේවියට, ස්‌වර්ණාභරණවලට, ගීත නිබන්ධනයට, නැටුමට, අධික කාමාශක්‌ත බවට, ආදරයේ සුමුදු වදන්වලට, විවාහයට, මුදල් වලට සෞභාග්‍යයට, ඒ සෑම අතකින්ම දුක්‌ ඇති කිරීමටද සිකුරු කාරකයා වශයෙන් මිනිස්‌ සිතට සම්බන්ධව සිටී.

ශනි ග්‍රහයා : කල්පනා ශක්‌තියට, මෙහෙකාර කමට, මෝඩ, නිවට, කැතවැඩට, නපුරු කමට, දිළිඳු බවට, අගහිඟයට, වැයවීම්වලට, දුක දරාගැනීමට, සිරගතවීමට, කම්මැලි, අලස ගතියට, මානසික වධ බන්ධනවලට, දුර්ජන ස්‌වභාවයට, සොර දෙටුකමට, අනුන්ගෙන් නින්දා ලැබීමට, මිණිරන්, මැණික්‌ පතල්වලට, අපිරිසිදුකමට, කලුපාටට, පරමාණුවට, මාරකවලට පාද හා බාහු බිඳීම්වලට, අඩු ආයුෂයට, වැඩි ආයුෂයට, වෛද්‍ය ශාස්‌ත්‍රයට, කුඩු කේඩුකමට, දුරදක්‌නා ස්‌වභාවයට, අධෛර්ය නොවීමට සෙනසුරු කාරකයා ලෙස මිනිස්‌ සිතතුළ ජීවත් වේ. අවස්‌ථානුකූලව සෙනසුරු මිනිසාට විපත් කරදර මෙන්ම යහපතද දෙයි.

රාහු ග්‍රහයා : රාගය නිසා ඇතිවන ආදර සම්බන්ධතාවලට, කාමුක චිත්‍රපට, අසභ්‍ය දර්ශන දකින ආශාව ඇති කිරීමට, රිය අනතුරුවලට, උසක සිට බිමට හෙළීමට, ජලභීතිකා රෝගයට, මානසික රෝග උග්‍රවීමට කෘෂි රසායනික ඇතුළු වසවිෂවලට, නාගයන්ට, දෛවඥයන් වීමට, විද්‍යාධරයන්ට, වෛද්‍ය සේවයට, අධ්‍යාපනය බිඳ දැමීමට, රියෑදුරු පුහුණුව ලැබීමට, රියෑදුරු සේවයට, ඇවිද්දවීම, ගම ගෙදර එපා වීමට හෝ අහිමිකිරීමට, අංශභාගයට, පහත් ජනයාගෙන් අවමන් ඇති කර දීමට, විභාග, රේස්‌, සූදු, දිනවා දීමට, රාජ කෝප ඇති කිරීමට, භූත දෝෂ ලබාදීමට, බොරු කීමට, දරුඵල නැති කිරීමට දරුකමට හදාවඩා ගැනීමට යන කරුණු කාරණා මිනිස්‌ දෛවයට එකතු කරමින් සෑම කෙනෙකු තුළම ජීවත්වේ.

කේතු ග්‍රහයා : යටිකූට්‌ටු රහස්‌ කුමන්ත්‍රණය හා වැඩට, ශරීරය කෙට්‌ටු කිරීමට වෛද්‍යවරුන්ට පවා සොයාගත නොහැකි ශරීර අභ්‍යන්තර ලෙඩදුක්‌ ඇතිකිරීමට, කේලාම් කීමට, චාටු බස්‌වලට, එකට ඉඳ යටින් උගුල් ඇටවීමට, රණ්‌ඩුවලට, දසස්‌ බුද්ධිය ඇතිකිරීමට, අප්‍රකටව තැබීමට රහසිගත කටයුතුවලට, යක්‍ෂ, ප්‍රේත, භූතාදි නිවාස දෝෂවලට, මියගිය ඥාතීන්ගෙන් කරදර ඇතිකිරීමට, අණ වින කොඩිවිනවලට තාපස ජීවිතයට, ආගමික මුල්තැන, පදවි ලැබීමට, පිළිකා රෝගයට සිතෙහි උමතු ගතියට, කට ගඳ ගැසීමට, මදුරුවන්, මකුනන්, කුහුඹින් ගෙවල්වල බෝවීමට අපිිරිසිදු අන්ධකාර ගති ඇති කිරීමට නිවෙස්‌වල සර්ප, බලු බලල් පොර ඇතිවීම හා බස්‌සන් බකමූණන් වැඩි වශයෙන් නිවස අසල හ~ලෑමට, නිවෙස තුළ හා අසල විවිධ දුර්ගන්ධ මතු කිරීම වැනි බොහෝ ගුප්ත දේවල් කේතු ගොඩනගමින් මිනිසා තුළ ජීවත්වේ.

මේ සෑම ග්‍රහයෙක්‌ තුළම පවතින හොඳ හා නරක ස්‌වභාවයන්ය. මේ දේවල් මිශ්‍රව සෑම මිනිස්‌ මනසකම තැම්පත්ව පවතී. ඒවා තැම්පත්ව ඇති අන්දම අනුව ඒවා අඩු වැඩි වශයෙන් පවතී. මේ ග්‍රහයෝ සූර්යාගේ බලය උරාගනිමින් විශ්වයට ඔවුන් ලබා දෙන කිරණ ශක්‌තිවල ස්‌වභාවයන් වෙනස්‌ කරමින් මන්දාකිනි තරු වළල්ල වටේ යන ගමන අනුව මිනිසාට බලපෑම් ඇතිවේ. එම බලපෑම්වල වෙනස්‌වන ස්‌වභාවය අනුව මිනිස්‌ සිත් තුළ තැම්පත් වූ එකී ගුණාංග මිනිසාගේ මනසට ගෝචර වන අන්දමින් සක්‍රීය වේ. එය එම පුද්ගලයාගේ පව පින අනුව යහපත් හෝ අයහපත් තත්ත්වයන්ට අනුකූලව සක්‍රීය වේ.

උපුටා ගැනීම දිවයින