This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
අපල කාලයට ඇගිල්ලේ රඳවන පුංචි ග්‍රහලෝකය


මිනිසා ශිෂ්ටාචාරවීමටත් පෙර සිටම මැණික්‌ පිළිබඳව හොඳින් දැන සිටි බවට ඉතිහාසයේ සාක්‍ෂි ඇත. මනුෂ්‍යයා හා මැණික්‌ අතර සම්බන්ධය අදින් වසර පන්දහසකට වඩා ඈතට දිවයන්නක්‌ බව ඉතිහාසඥයන් සොයාගෙන තිබේ. විශාල තෙත් බිම් පුරා පැතිර ගිය මැණික්‌ නිධිවල "මිණිකැට" හෙවත් "මැණික්‌" අහසේ තරු කැට මෙන් දිළෙන්නට වූයෙන් මිනිසා ඒ පිළිබඳව වඩ වඩාත් උනන්දුවක්‌ දක්‌වන්නට විය.

වසර දස දහස්‌ ගණනක්‌ පෘථිවි පෘෂ්ඨයට මුවාවී සැගව සිටි විවිධ වර්ගයේ මිණිකැට, මහා වරුෂාවන්ට පසු පොළොව මතුපිටට පැමිණ දිදුලන්නට විය. එම නෙක වර්ණයෙන් දිදුලන මැණික්‌ කැටයේ දර්ශනීයත්වයට වශී වූ මිනිසා ඒවා එකතු කරන්නට පටන් ගත් අතර කාලයාගේ ඇවෑමෙන් "මැණික්‌" යනු පාෂාණයන් අතර අසමසම පාෂාණයක්‌ බව මනුෂ්‍යයාට වැටහිණි.

පූර්ව ආත්මයන් හී කුසල් රැස්‌කරගත් මනුෂ්‍යයන් හට ආයාසයකින් තොරව මැණික්‌ ලැඛෙන බවට ජනතාව අතර විශ්වාසයක්‌ පවතී. මැණික්‌ කර්මාන්තයේ නියුතු දක්‍ෂ පුද්ගලයන් හට මැණික්‌ වර්ග හඳුනා ගැනීම අපහසු කටයුත්තක්‌ නොවන අතර මැණික්‌ නිධි තිඛෙන භූමියක්‌ වුවද ඔවුන්ට පහසුවෙන් තීරණය කිරීමට හැකියාවක්‌ ඇත. පසෙහි තත්ත්වය, වර්ණය, අනුව මැණික්‌ තිඛෙන භූමි භාගයන් පවා හඳුනා ගැනීම ඔවුනට සුළු දෙයකි.

දීප්තිමත් බව, වර්ණය හා ශෝභාව යන කරුණු තුන මැණික්‌ හඳුනා ගැනීමටත් එහි වටිනාකම තක්‌සේරු කිරීමටත් ප්‍රධාන වශයෙන් හේතු වන බව මැණික්‌ විශේෂඥයන් ප්‍රකාශ කර ඇත. පුරාණයෙහි "මැණික" යන වචනය භාවිත කෙරුණේ නිල් මැණික (SAPPHIRE) ට පමණක්‌ වූ අතර "නිල් මැණික" පුරාතනයන් දියමන්තියටත් වඩා අගය කළ බවට සාක්‍ෂි ඇත.

"නිල් මැණික්‌" යනු අපගේ පොළෝ ගැඛෙන් මතුවන වැඩිම වටිනාකමක්‌ ඇති මැණික්‌ වර්ගයයි. (SAPPHIRE) නැතහොත් "ජාතිගල්" යන නමින් පමණක්‌ හඳුන්වනු ලබන මෙම නිල් මැණික්‌ අයත් වන්නේ රතුකැට අයත් වන කුරුවින්ද ( CORUNDUM) පවුලටය.

ජ්‍යොතිෂයේදී පොළොවෙන් ලැඛෙන වස්‌තූන් පිළිබඳව කියෑවෙන්නේ කේන්දරයේ හතරවැන්නෙනි. සිව්වැන්නට අමතරව ලග්නය, දෙවැන්න හා එකොළොස්‌ වැන්න යන ස්‌ථානයන් ද එහි අධිපතියන්ද, පාපග්‍රහ දෘෂ්ටි හා සංයෝග ආදියෙන්ද තත්කාල කේන්දරය පීඩා නොවී තිබීමෙන් මැණික්‌ වාසනාව උදාකර ගත හැක.

මැණික්‌ ගැරීම සඳහා නැකැත් සකස්‌ කිරීමේදී ලචරල යෝගය යෙදී ඇති දිනයක්‌ තෝරා ගැනීම අතීතයේ සිටම පැවත එන නක්‍ෂත්‍ර චාරිත්‍රයකි. එම යෝගය යෙදෙන දිනයක උසස්‌ ලෙස පංචාංග ශුද්ධිය තිබීම මැණික්‌ ගැරීමේ කර්තව්‍ය සඳහා විශේෂ බව පැරණි ජ්‍යොතිශාස්‌ත්‍රඥයන් පවසා තිබේ. මිණි කැටයේ ඉතිහාසය ද ක්‍රිස්‌තෝත්පත්තියටත්, බුද්ධෝත්පත්තියටත් වඩා බොහෝ ඈතට දිවෙන්නකි. කවදා කොහොම ආරම්භ වූවා දැයි නොදනිතත් මනුෂ්‍යයා එවන් ඈත අතීතයක සිට මැණික්‌ වර්ග පරිහරණයට යොමුවන්නට ඇතැයි අපට උපකල්පනය කළ හැකිය.

මානවයා ශිෂ්ටාචාර වීමේදී තම ධනවත්කමත්, උසස්‌ සමාජ තත්ත්වයත් ප්‍රදර්ශනය කිරීම සඳහා මැණික්‌ පළඳින ලදී. සමහර පාලකයන් තම බලය හා වත් පොහොසත්කම පෙන්වීම සඳහා මැණික්‌ ඔබ්බවන ලද ආභරණ පැළඳි අතර තවත් සමහර ධනවතුන් මැණික්‌ යොදා සකස්‌ කරගත් මුදු, තම මුද්‍රාව ලෙස පාවිච්චි කළ බවට සාක්‍ෂි ඇත.

අප රටේ ද ඉපැරැණි රජදරුවන් මැණික්‌ පරිහරණය කළ බව සනාථ කළ හැකි සිදුවීම් ඉතිහාසයේ එමට ඇත. චූලෝදර, මහෝදර යන නා රජ සොයුරන්ගේ "මැණික්‌ පුටුව" ක්‌ සඳහා වූ සටන පිළිබඳව මහාවංශයේ දැක්‌වෙන සිදුවීම ඉන් එකක්‌ පමණි. මෙමගින් අප රට තුළ ඉතිහාසයේ පටන්ම මැණික්‌ පරිහරණය කළ බව සනාථ වෙයි.

මිසරයේ රූමතිය වූ ක්‌ලියෝපැට්‌රා රැජන සතුව ඉතා දුර්ලභ මැණික්‌ වර්ග රාශියක්‌ තිබූ බව ඉතිහාසඥයන් ප්‍රකාශ කර ඇති අතර ඇයගේ හිස පැළැඳි කිරුළ දුර්ලභ මැණික්‌ වර්ග රාශියකින් අලංකෘතව තිබූ බව වැඩිදුරටත් සටහන්ව ඇත. පෙර අපරදෙදිග රජුන් හා රැජිනන් සෑම කෙනකුම පාහේ තම ඔටුන්න සඳහා මැණික්‌ යොදාගෙන ඇති අතර "මිණි කිරුළ" යන වදන එයින් උපදින්නට ඇතයි සිතීමට පුළුවන.

අතීතයේ සිටම මැණික්‌ හා ආගම් අතර ද ඉතා සමීප සබඳතාවන් පැවැති බවට සාක්‍ෂි හමුවී තිබේ. යුදෙව් ආගමික පූජකවරු නොකැපූ මැණික්‌ ගල් හතරක්‌, තම පවුවේ එල්ලාගෙන සිටි අතර කිතුනුවන්ගේ නායකයා වන පාප්තුමාගේ හා අගරජ ගුරුවරුන්ගේ හිස්‌ පළඳනා ද වටිනා මැණික්‌ ගල් ඔබ්බවා සකසා ඇත. එමෙන්ම පාප්වහන්සේගේ අත රැඳි බස්‌තමේ ද වටිනා මැණික්‌ සවිකර ඇති බව කියෑවේ.

පුරාණයේ සිටම බෞද්ධ වෙහෙර විහාරයන්හි කොත් කැරැල්ලේ තැන්පත් කිරීමට මැණික්‌ යොදාගෙන ඇත. එය හඳුන්වන්නේ "චූඩා මාණික්‍ය" නමිනි. එමෙන්ම බුරුමය, සියම, නේපාලය, තායිලන්තය, ඉන්දියාව හා ශ්‍රී ලංකාව ආදි රටවලද බුදු පිළිම , දාගැබ්, වෙහෙර විහාර වැනි පූජනීය ස්‌ථානයන්හි ගර්භයේ මැණික්‌ වර්ග නිධන් කර ඇතැයි විශ්වාසයක්‌ පවතී.

"මැණික්‌" සතු ආකර්ශනීය බලය කොතෙක්‌ ද යත් අප රට ආක්‍රමණය කළ සියලුම විජාතිකයන්, අප රට තුළ තිබූ අගනා දුර්ලභ මුතු මැණික්‌වලට ලොබ බඳින ලදි. ඉන්පසු අප සතු මහානර්ඝ වස්‌තුව වූ මුතු මැණික්‌ කොල්ලකමින් ඔවුන්ගේ රටවලට ගෙන ගිය බව ඉතිහාසයේ සඳහන්ව ඇත.

අප රටේ භූ ගර්භය මැණික්‌ ගබඩාවක්‌ යෑයි කිවහොත් නිවැරැදිය. ඒ තරමට අපේ පොළො තලය වාසනාවන්තය. මෙම වාසනාවන්ත මැණික්‌ ගබඩාව කරා ළගාවිය හැක්‌කේ පොළොවට අධිගෘහිත "පාතාල භහිරවයා" සතුටු කිරීමෙන් පමණක්‌ බව අපගේ මුතුන් මිත්තන් විශ්වාස කරන ලදී. එම විශ්වාසයට අනුව කටයුතු කළ ඔවුන්, භහිරවයා සතුටුකර තම අරමුණ වූ භූ ගැබ මැණික්‌ ගබඩාව විවෘත කරගත් අතර එතුළ වූ අගනා මිණිකැට තමන් සතු කර ගැන්මට තරම් වාසනාවන්ත වූහ.

මැණික්‌වල වටිනාකම තීරණය වනුයේ එහි ඇති වර්තන ශක්‌තිය හා ආලෝකය විසරණ කිරීමේ හැකියාව මතය. ආලෝක කිරණයක්‌ මැණික තුළින් ගමන් කිරීමේ වේගය අඩු කිරීමේ හැකියාව මත මැණිකෙහි උසස්‌ මට්‌ටම තීරණය කෙරෙන බව මැණික්‌ විශේෂඥයන් පවසති.

පැරණි සෘෂිවරු ග්‍රහ අපල සඳහා මැණික්‌ වර්ග නිර්දේශ කර ඇත. ඒ අනුව අතීතයේ සිටම තම ජීවිතයට ශාන්තිය උදාකර ගැනීම සඳහා මනුෂ්‍යයා විසින් මැණික්‌වල පිහිට පැතීමට පුරුදුව සිටියහ. එය අද ද නොවෙනස්‌ව පවතී. මැණික්‌ පැළඳීමෙන් ග්‍රහ අපල, ඒරාෂ්ටක අපල දුරුවී, වාසනාව සෞභාග්‍ය හා දීර්ඝායුෂ ලැඛෙන බවට තදබල විශ්වාසයක්‌ මනුෂ්‍යයා තුළ ඇති වුයේ සෘෂීවරුන්ගේ නිර්දේශය මත පමණක්‌ම නොව, තමන් ලද අත්දැකීම් ද ඒ සඳහා ඔවුන්ට උපකාරීවීමෙන් වියහැකි යෑයි සිතීමට පුළුවන.

මැණික්‌ යනු අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලේ පොළෝ ගැබ තුළ විවිධ විපර්යාසයන්ට ලක්‌වෙමින් නිර්මාණය වී ඇති ශක්‌ති ගබඩාවන්ය. මෙම ශක්‌ති ගබඩාවෙන් තෝරාගත් මැණික්‌ වර්ග කිහිපයක්‌ පමණක්‌ ජ්‍යොතිෂ්‍යයේදී අපල උපද්‍රව දුරුකරලීම සඳහා භාවිත කෙරෙයි. මෙම මැණික්‌ වර්ග වෙන් වෙන් වශයෙන් නවග්‍රහ මණ්‌ඩලය නියෝජනය කරන අතර එක්‌ එක්‌ ග්‍රහයා වෙනුවෙන් අදාළ මැණික "පුංචි ග්‍රහලෝකයක්‌" මෙන් ක්‍රියාත්මක වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. එක්‌ එක්‌ මැණික තමා නියෝජනය කරනු ලබන ග්‍රහයාට සමාන කම්පන තරංග හා කිරණ මුදාහරින බැව් පැරැන්නෝ තහවුරු කරගෙන ඇත. මැණික්‌ පැළඳීම ආවාට ගියාට නොකළ යුත්තකි. යම් මැණිකක්‌ පැළදීමට පෙර දක්‍ෂ ජ්‍යොතිෂඥයකුගේ සහය ලබා ගැනීමට අත්‍යවශ්‍ය වේ. තම ජන්ම කේන්දරයට අනුව මැණික්‌ පැළඳීම තුළින් පුරාණයේ සිටම අපල, උවදුරු දුරුකරගත බවට නොයෙකුත් කථාන්තර ඇත. තම කේන්දරයට අනුව මහ දශාවට හා අතුරු දශාවට අයත් ග්‍රහයන්ගේ මැණික්‌ පැළඳ ගැනීමෙන් ශාන්තිය උදාවන බව සෘෂීහු ප්‍රකාශ කර ඇත. ජන්ම කේන්දරය පිරික්‌සීමේදී යම් යම් ලග්නවලට අපල කරන මාරක ග්‍රහයන් පිළිබඳව මනා වැටහීමක්‌ උගත් දෛවඥයා සතුව පවතී. ඒ අනුව ජන්මියාට පැළඳවිය යුතු මැණික කුමක්‌ දැයි ඔහුගේ සිතට දැනෙනු ඇත. දෛවඥයා දක්‍ෂයකු වේ නම් නිවැරැදි එක්‌ මැණිකක්‌ පැළඳවීමෙන් පමණක්‌ම ජන්මියාට යහපත උදාකර දිය හැකිය. ප්‍රතිවිරුද්ධ මැණික්‌ කිහිපයක්‌ පැළඳවීම විද්‍යාත්මක හා ශාස්‌ත්‍රානුකූල නොවන අතර එයින් සිදුවන්නේ යහපතට වඩා අයහපතකි.

කොටදෙනියාවේ ඩී. ඩග්ලස්‌ නිමලවංශ ගුණවර්ධන



උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි