🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සුබ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග‍්‍රහලොව සුර ගුරු

සුරගුරු යන ගෞරව නාමයෙන් පිදුම්ලබන ගුරු ග‍්‍රහයා ග‍්‍රහ වළල්ලේ විශාලතම ග‍්‍රහයාය. පෘථිවිය මෙන් 318 ගුණයක්‌ විශාල මෙම ග‍්‍රහයාගේ බලය පෘථිවියට ලබාදෙන්නේ ඉතා යහපත් කිරණ ලෙසිනි. ග‍්‍රහ දේව රාජ්‍යයේ ගුරුවරයා ලෙසද හැඳින්වෙන ගුරු ග‍්‍රහයා සිය බලය අනුව මිනිසාගේ ගුණයහපත්කම සදාචාරය දියුණු කරන මොළය හා ඥනය වඩවයි.

ජ්‍යොතිෂ්‍යයේදී උත්තරීතර නෛසර්ගික ග‍්‍රහයෙක්‌ වන හෙතෙම සිල්වතෙකු වශයෙන්ද මහණ උන්නාන්සේ කෙනෙකු ලෙසද හැඳින්වේ. ඉතාමත් ධාර්මික ඇවතුමෙන් පැවතුමෙන් යුතු තැන්පත් ඥනවන්ත පණ්‌ඩිත ස්‌වභාවයෙන් යුතු ගුරු හෙවත් බ‍්‍රහස්‌පති ග‍්‍රහලොව පුරෝහිතයාය.

අංගීරස, ආර්ය, සුරගුරු, වාගීෂ, ජීව යන නම් වලින්ද හැඳින්වෙන ගුරු හෙවත් බ‍්‍රහස්‌පති පුළුල් නළල් තලයකින්ද මිටි ස්‌ථුල ශරීරයකින්ද හෙබි බව කියෑවේ. නැණවත් බව, නිරහංකාර බව, පරිත්‍යාගශීලී බව ධර්මිෂ්ඨ බව, විනීත බව යන ගුණධර්මයන්ගෙන් පිරිපුන් බව මොහුට ආවේණික ගති ලක්‍ෂණ වේ.

සියලූ ශුභ ඵල දෙමින් කේන්ද‍්‍රයක අශුභඵල වේනම් ඒවා නැසීමේ අපූරු හැකියාවක්‌ ඇති සියලූ ශුභ කටයුතු සඳහා පෙරමුණ ගන්නා ග‍්‍රහයාද වන ගුරු කලබල නොවන නීතිගරුක තම ආත්ම ගෞරවය රැුක ගන්නා මිනිසුන් බිහිකිරීමේ ශක්‌තියද ඇතිකරයි.

මීට අමතරව ධර්මිෂ්ඨත්වය, පරෝපකාරයට ඇති කැමැත්ත, ලෝකෝත්තරයට ඇති දැඩි නැඹුරුව, මිල මුදල්, වස්‌තුව, පිරිසිදුබව, වාසනාව, දියුණුව, ප‍්‍රඥව, කුමන ස්‌ථානයකට ගියත් කාටත් ගැලපෙන පරිදි කටයුතු කිරීම සෞම්‍ය බව, සාමාන්‍ය දැනුම, යුක්‌තිසහගත වීම, ප‍්‍රියගතිය, ගෞරවය රැුකීම, සෘජු බව, සමාජයේ පිළිගැනීමට ලක්‌වීම, උසස්‌ ගුණධර්මයන් ආදී සෑම යහපත් දෙයක්‌ම ගුරුට අයත් වේ. යම් රාශියක්‌ හෝ ග‍්‍රහයකු ගුරුගේ දෘෂ්ටියෙන් පමණක්‌ බලවත් වන අතර සමාජයේ සියලූ තැන්හි හොඳහිත පතුරවනු ලැබේ.

බ‍්‍රහස්‌පති යන නාමයෙන්ද හඳුන්වනු ලබන මෙකී ග‍්‍රහයා කටකයේදී උච්ච බවටද මීන ධනු සහ සිය වාසභවනයන්හිදී ස්‌ව ක්‌ෂේත‍්‍ර බවටද ශනිගේ් නිවහන වූ මකරයේදී නීචත්වයට ද පත් වුවත් ගුරු ලග්නගතව සිටින කල්හි ගුණ නැණෙන් යුතු උත්තරීතර මිනිසකු ජනිත කෙරේ.

සිරිත් විරිත්, දරුවන්, බුද්ධිය, ඉගෙන ගැනීමට ඇති කැමැත්ත, ගුරුවරු, විදේශගත වීම්, නීතිගරුක බව, විනීත බව, ගෞරවය, කීර්තිය, සාමය, උරුම හිමිකම්, ධනය, වන්දනා කටයුතු, මුදල්මය කටයුතු, බැංකු කටයුතු, වාසනාව, දේශපාලන බලය, ග‍්‍රන්ථ ප‍්‍රකාශන, පරිපාලනය, සාධාරණත්වය, සෞඛ්‍යය, අධ්‍යාපනය, ක‍්‍රීඩාවට ඇති ඇල්ම, සදාචාරය, රාජ ගෞරවය, සිංහාසනය යනාදී සංකල්ප නිවේදනය කරන්නා වූ ගුරු ග‍්‍රහයාට පුනාවස, විසා, පුවපුටුප නැකත් හිමිය.

කේන්ද‍්‍ර ස්‌ථානයන්හිද ත‍්‍රිකෝණ ස්‌ථානයන්හිද බලවත් වන ගුරු පංච මහා යෝග අතුරෙන් බලවත් වූ හංස යෝගයද චන්ද‍්‍රයාට එක්‌වූ කල්හි රණ හංස යෝගයද නිර්මාණය කරයි. මෙම ප‍්‍රබල යෝගයන් යෙදුන කල ජන්මීන් මිනිසත්කමින් පරිපූර්ණ වූ සාධාරණ අයකු වේ. පිනට දහමට ලැදිව ලෝකෝත්තර සුවයට මුල්තැන දෙමින් ඒ පිළිබඳව කටයුතු කිරීමට නොපැකිලේ. මහජන කටයතුවලට ලැදිවූ අසණයන්ට පිහිට වන ආගිය තැන වාසනාවන්ත පෙනීමකින් හෙබි සියල්ලන් අතර පිළිගැනීමට ලක්‌වන ගෞරවනීය ජීවිතයක්‌ ගතකරන අයකු වේ.

ගුරු ග‍්‍රහයා ධනුවේ කර්මස්‌ථාන ගතවූ කල්හිද අති ප‍්‍රබල හංස යෝගයකින් පිදුම් ලබන අතර එතුළින් උත්තරීතර රැුකියාවකටද සමාජයේ ගරුනම්බු ලබන්නෙක්‌ද පිරිසකට නායකයෙක්‌ද ආගමික කටයුතු ආදියේ ප‍්‍රධානියෙක්‌ද කරනු ලැබේ.

ගුරු අධිපති රෝග ලෙස ගැනෙන පෙනහැල්ල ආශ‍්‍රිත ආබාධ, ලේ විෂ වීම්, අධික තරබාරුව, නිදිබර ගතිය, ආහාර දිරවීමේ අඩුකම නිසා ඇතිවන රෝග, සිහි විකල් වීම් හා ස්‌ත‍්‍රීන්ගේ ඇග උණුකරවා යැමේ රෝගය වැනිදැ ගුරු නීච වූ විට ඇතිවන ආබාධයන්ය.

ගුරු බලවත් වූ විට ඒකාග‍්‍රතාවය සහ පවිත‍්‍රතාවය ඇති වීම, අවංක පරිත්‍යාගශීලී ගතිගුණ වර්ධනය වීම, නිරෝගී බව, ධනවත් බව, සමෘද්ධිමත් බව සහ ක‍්‍රීඩා ලෝලීත්වය, නර්තන හැකියාව ඇතිවන අතර නිදහස තරයේ අපේක්‍ෂා කරන්නෙක්‌ද අනුනට හිස නොනමන කාර්යශූර බවෙන් පරිපූර්ණ පිළිවෙළකට වැඩකටයුතු කරන අයකු වේ. හෘද සාක්‍ෂියට එකගව කටයුතු කරන බොහෝ අය ගුරුගේ බලවත්භාවය මත උපත ලැබූවන් වන අතර සංසාර ගමනේ කුසල් රැුස්‌ කරමින් පිනට නැඹුරු වූවන් මෙලෙස ගුරු ග‍්‍රහයා බලවත් වීමෙන් උපත ලබන බව ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තයක්‌ ලෙස දැක්‌විය හැකි අතර ගුරු නීච වීම තුළින් ඉහත ගුණ දහම් වළලා කටයුතු කොට ඉක්‌මන් දියුණුවීමක්‌ ලැබීමට උත්සාහ දරන ගති ලක්‍ෂණ මතුවේ. එහෙත් මුදල් නාස්‌තිය නොසැලකිලිමත් බව, ණය වීම, වැරැදි විනිශ්චය මානසික අයුල් වියවුල් සමග අධර්මයෙන් මිල මුදල් උපයන්නන් මෙකී නීචත්වයට පත්වූවෝය.

ගුරු අපලය සඳහා ශාන්ති කර්ම

  • ගුරු ග‍්‍රහයා දහවල් කාලයේ බලවත් බැවින් ගුරු අපලය දුරුකර ගැනීම සඳහා සිදුකරන සියලූ පූජාවන් දහවල් කාලයේ සිදුකිරීමෙන් වඩාත් හොඳ ප‍්‍රතිඵල ලබාගත හැකි අතර ගුරු දිනයේ ගුරු හෝරාවෙන් එනම් පෙ. ව. 6.00 සිට 7.00 දක්‌වාත් ප. ව. 8.00 සිට 9.00 දක්‌වාත් කාලයේදී සිදුකිරීමද යහපත්ය. නොකඩවා ගුරු දින 7 ක්‌ ඊසාන දිසාව බලා පුද පූජා පවත්වන්න.
  • පුෂ්පරාග ගලක්‌ ඇල්ලූ රන් මුදුවක්‌ දකුණු අතේ වෙඳගිල්ලේ පළඳින්න. නැතහොත් රනින් කළ බෝ කොළයක ආකෘතියකට පුෂ්පරාග ගලක්‌ අල්ලා ගෙල පළඳින්න.
  • අභිසම්බිධාන යන්ත‍්‍රය හෝ නාරසිංහ යන්ත‍්‍රය නිසිලෙස සාදා ජීවම්කර පැළඳීමෙන් ගුරු අපලය දුරුවේ.
  • බෙලිමල්, සපුමල් හා කහ පැහැති මල් පූජා කරන්න. සඳුන් කුඩු ඉඹුල් ලාටු යොදා දුම් අල්ලන්න ලගුරුගේ අපල දුරුවේවාල යනුවෙන් ලියන ලද කහ පැහැති තිරයක්‌ සහ ආතුරයාගේ උසට කහ පැහැති මල් මාලයක්‌ බෝධියේ ඊසාන දිසාවේ එල්ලන්න. ගුරු පීඩාහර ස්‌තෝත‍්‍රය කියමින් බෝධියවටා තුන් වරක්‌ ගමන් කරන්න. පිහිට පැතිය යුත්තේ ශිව, කතරගම දෙවියන්ගෙන් හා භෛරව දේවතාවන්ගෙන් බැවින් කරන සියලූ පූජාවන්ගෙන් අනතුරුව එකී දෙවියන්ට පිංදී අපල දුරුකර දෙන මෙන් ඉල්ලා සිටින්න.
  • එළ අබ, වැල්මී, කළාඳුරු අල, ඉරිවේරිය, දැසමන්, බෙරලියද්ද යන ඖෂධ වර්ග නැවුම් කළයකට දමා එයට ජලය පුරවා පැය 12 ක්‌ පමණ වසා තබා නෑමෙන් පසු කළයේ වතුර පෙරා ස්‌නානය කරන්න.
  • ගෙවත්තේ ඊසාන දිසාවේ උණ, බෙලි, සපු, අඹ, කුඹුක්‌ ආදී ගස්‌ වර්ග සිටුවා සාත්තු කරන්න. බෝ ගසට සාත්තු කිරීම ස්‌පර්ශ කිරීම තුළින් ද අපල දුරුකර ගත හැකිය. සියලූ පූජාවන් අවසානයේ මෙසේ ප‍්‍රාර්ථනා කරන්න.  "කසා වර්ණයෙන් විරාජමානව බබළන්නා වූ ග‍්‍රහ තාරකාවකටද ගුවන් ගැබෙහි ධනු මීන රාශි දෙකකටද, පුනාවස, විසා, පුවපුටුප ආදී නැකැත්වලටද අති ග‍්‍රහස්‌ථ වූ පූජනීය ස්‌ථානවලට ද පූජ්‍ය පක්‍ෂයටද ධන සම්භාරවලට හා අධිකරණයට, නීතිය හදාරන්නාවුන්ට සේවයේ යෙදෙන්නන්ට, ගෘහ නිර්මාණ ශිල්පීන්ටද දඹරන්, පුෂ්පරාග, මුදල්, වස්‌ත‍්‍ර ආදී ජීව අජීව වස්‌තූන් රැසකට බලය ලබාදෙන්නා වූද කසුන්වන් භෝජන වළඳමින් හින්දු දේශයේ ගං තලාවක පිහිටි බෝධි මූලයක වැඩවාසය කළා වූද සුරගුරු ග‍්‍රහ උත්තමයාණන් වහන්සේ වෙනුවෙන් මේ බෝරුකෙහි ඊසාන දෙසින් පුද කළා වූ පූජාවන් පිළිගෙන මාහට බලපවත්නා වූ ගුරු අපලය දුරුකර සෙත සලසා දෙන සේක්‌වා."
  • දිනපතා රාත‍්‍රි නින්දට පෙර ආගමික වතාවක්‌ වලින් පසු ගුරු ග‍්‍රහයා වෙනුවෙන් පහත දැක්‌වෙන ස්‌තෝත‍්‍රය හා සෙත් කවිය නව වරක්‌ ගායනා කරන්න.

ගුරු ස්‌තෝත‍්‍රය

දේව මන්ත‍්‍රී විශා ලක්‍ෂං
සදා ලෝක හිතේ රතඃ
අනේක ශිෂ්‍ය සම්පුරණ
පීඩා හරතු මේ ගුරුං

සෙත් කවිය

ඇස්‌ හිස්‌ මස්‌ ලේ දන්දී පෙරදා
පෙරුමන් බලයෙන් මරුවන් පරදා
ලෝක විදූ ගුණ තිලොවට විහිදා
ගුරු ග‍්‍රහ අපලය දුරලන් සැමදා

උපුටා ගැනීම දිවයින පුවත් පත