🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

එදා පලදුන් විස්‌මිත නැකැත් අද නැතිද?

එදා පලදුන් විස්‌මිත නැකැත් අද නැතිද?

නැකැත් ඉතිහාසය වසර දහස්‌ ගණනක්‌ වෙයි. එදා නැකැත් තනාගෙන මිනිසා විශ්මිත පල නෙළාගත්හ. නැකැත යනු විශ්වයේ සාධනීය හේතු සමූහයක්‌. තමතමන්ගේ දෛවයට සමගාමීව පවතින අවස්‌ථාවය. අඩු වයසින් අස්‌වාභාවිකව උපදින දරුවෙකුගේ ජීවිතය පවත්වා ගැනීම අවිශ්්වාසය. එනිසා ජීවිතය පවත්වා ගැනීමට දැඩි සත්කාරක වෙහෙසක්‌ දැරිය යුතුය. එසේ දැරුවත් ජීවිතය ඔහුට අහිමි වීමේ තත්ත්වය සියයට අනූවක්‌ පමණ පවතී. නිසි පරිද්දෙන් ගොඩ නොනැගුන නැකතත් එම දරුවාගේ තත්ත්වය හා සමානය. අද වර්තමාන සමාජය තුළ නැකැත් කටයුතු බොහෝමයක්‌ සිදුවන්නේ එකී අන්දමට බව පෙනේ. එනිසා තනාගන්නා නැකැත් එතරම්ම පලදායි තත්ත්වයෙන් තොරවී යයි. විශේෂයෙන් එදා ජන සමාජය තුළ නැකැත ප්‍රධාන තැනක්‌ ගෙන තිබුණේ එයින් ලබාගත් ප්‍රතිඵලය අති විශිෂ්ට තත්ත්වයක්‌ ලබාදුන් බැවිනි.

විද්‍යාඥයා ඒ ඒ අංශවලට දස්‌කම් පාමින් විස්‌මිත දේවල් නිර්මාණය කරන්නා සේම නැකැත් සෑදීමට ප්‍රවීණත්වය ලත් තැනැත්තාට පුදුම සහගත ප්‍රතිඵල දෙන නැකැත් සාදා දිය හැකිය. වසර තුනකින් පීදී සරුවට ගෙඩි හටගත් පොල් සිටවූ නැකැත් සේම ඇවරිදහ හත ඇතිව සරුවට කැන් සෑදෙන කෙසෙල් සිටවන නැකැත් පිළිබඳවද අතීතයේ නැකැත් ප්‍රබල විය. පටන් ගන්නා නිවසක මුල්ගල තැබීමට යොදන නැකැත නිවැරදිව තෝරා බේරා ගතහොත් තමන් අත මුදල් නැතත් ඉක්‌මනින්ම නිවස තැනීමට හැකි පරිදි කටයුතු සැලසුන නැකැත්ද අතීතයේ තිබුණි. එපමණක්‌ නොව අරඹන සෑම කාර්යයයක්‌ම අකුරටම සාර්ථක භාවයට පත්කරන නැකැත් එදා තිබුණි. අද සිදුවී ඇත්තේ කුමක්‌ද? අදත් ඒ නැකැත් නිරුපද්‍රිතවම පවතී. ඒවා තෝරා බේරාගෙන දෝස 37 කින් මුදා ශුද්ධ කරවා ගැනීමට සේවාදායකයින් උනන්දු නොවීම හේතුව වෙයි. අද සේවාදායකයෝ වැඩිවශයෙන් පැමිණෙන්නේ ලබන සතියට එසේ නැතිනම් ලබන මාසයට නැකැතක්‌ සාදා දෙන ලෙස ඉල්ලමිනි. ඇත්ත වශයෙන්ම එවැනි නැකැතකින් සිදුවන්නේ මා මෙම ලිපියේ මුලින් සඳහන් කළ අඩු වයසින් නොමේරූ දරුවකුගේ උපතට සමාන ප්‍රතිඵලයි. විශේෂයෙන් සේවා දායකයාගේ ග්‍රහ බලය පලමුකොට පිරික්‌සා බැලිය යුතුය. ඔහුට එම අවස්‌ථාව තුළ පෙර පාප විපාක බහුලව ලැඛෙන කාලයක්‌ නම් ඒ බල බිඳගෙන අදහස ඉටුකර ගත හැකි බලවත් නැකත් ශුද්ධ කළ යුතුය. නිවසක්‌ තැනීමට නැකැතක්‌ නම් එම නිවසේ ජීවත් වීමට සිටින සියලු දෙනාගේම ජන්ම පත්‍ර පරීක්‌ෂා කළ යුතුය. මේ අනුව ජන්මියා ගතකරන මහ දශා, අන්තර්දශා, විදසා, පිළිබඳ සැලකිලිමත් වී අවශ්‍ය කරුණට අදාල සූර්ය ගමන, වර්ෂය, මාසය, දිනය තිථිය, තත්කාල ලග්නය, තත්කාල නවාංශය, තත්කාලයෙන් පෙන්වන දශාව, හෝරාව, පංචම කාලහෝරාව, සූක්‌ෂම කාලහෝරාව ආදී සියල්ල පිළිබඳව විමසිලිමත් විය යුතුය. එසේම වර්ෂ දෝෂ ශුද්ධියේ පටන් අකාල ගර්ජන වර්ෂා දෝෂ ශුද්ධිය දක්‌වා කාරණා තිස්‌ හතෙන් වැඩිම කොටසක්‌ සුබවිය යුතුය. ඒ අනුව තනාගන්නා නැකතෙන් සුබ දිනයෙන් තමන්ගේත්, කරන ක්‍රියාවේත් ආයුෂ වර්ධනය කරයි. එදින චන්ද්‍රයා ගමන් කරන නැකැත අනුව තමන්ගේ වැඩ කටයුතුවලට බාධක ඇතිකරන අකුසල උපපීඩක නම් කර්ම ශක්‌තිය දුරුකර දෙයි. එදින චන්ද්‍ර සූර්ය ගමන අනුව යෙදෙන යෝගයෙන් තමන්ගේ නිරෝගි බවත් කරන කාර්යයේ බාධක අවහිරත් දුරුකරයි. එසේම චන්ද්‍ර සූර්ය දෙදෙනාගේ ගමනට අනුව යෙදෙන කරණයෙන් අදාළ කාර්යය තමන්ට ඇවැසි පරිද්දෙන් සාර්ථක කරයි. එදින පවතින තිථියේ ස්‌වභාවය අනුව කරන කාර්යයේ පරිපූර්ණත්වය නිමාව මනා ලෙස වර්ධනය කරයි. මේ අනුව පැරණි කාලවල විශ්මිත පලදෙන නැකැත්වලින් මිනිසා වැඩගත්තේය. එනිසා පංචාංග ශුද්ධිය පරිබාහිර කරුණුවලින් බලවත් කරගැනීම නිසා ඥන, ධර්ම, අර්ථ, කාම, මෝක්‌ෂ යන ලෞකික පංච සමාපත්තිය ලබාගැනීමට මිනිසා සමත් විය.

අදත් එම නැකැත් ජ්‍යොතිෂය තුළ පවතී. නමුත් ජ්‍යොතිෂවේදියාට ඒවා තෝරාගැනීමට කාලයක්‌ නැත. හේතුව ලබන සතියේ, ලබන මාසයේ ගේ වැඩ අරඹන්න, ව්‍යාපාරය වෙළෙම අරඹන්නට සේවා දායකයා තීන්දු කර ඇති නිසාය. එබැවින් ජ්‍යොතිෂ වේදියාට සිදුවන්නේ ඉහත උදාහරණ කරන ලද අඩු වයස්‌ නොමේරූ දරුවාගේ උපත වැනි තත්ත්වයේ නැකැත් ලබා දීමය. එයින් වැඩ අරඹන සේවා දායකයා ගැටලු ප්‍රශ්නවලට මුහුණු දෙනවිට දොස්‌ නගන්නේ නැකැත තනාදුන් ජ්‍යොතිෂ වේදියාටය. එනිසා තමන්ට නැකැත් තමන්ට අවශ්‍ය වෙලාවට නොපැවතිය හැක. එනිසා විශ්වය තුළ නැකැත් උදාව පවතින අවස්‌ථාව තුළ තමන් ක්‍රියාත්මක විය යුතුය. ඒ අනුව අතීත කාලවල මෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාදෙන නැකැත් අද ද උදාකර ගත හැකිය. ඇතැම් අය දුරකථන විමසුමකින් ලහෙට කඩය විවෘත කරන්න හොඳ වෙලාවක්‌, නැකතක්‌ තනාදෙන්නල කියා මගෙන් ඉල්ලා සිටි වාර කීපයක්‌ තිබේ. අතට මුදල් ටිකක්‌ ලැබුණු ගමන් සිතට එන අදහස ක්‍රියාත්මක කර එසේ ඉල්ලා සිටි විට ඇත්තටම නැකතක්‌ ශුද්ධ කළ නොහැක. දිනය, නැකත, තිථිය, යෝගය, කරණය යන පංචාංග ශුද්ධිය පිළිබඳවවත් නොතකා සුබග්‍රහයෙකුගේ කාලහෝරාවව හෝ අශුබ ග්‍රහයෙකුගේ සුබ ග්‍රහ පංචම හෝරාවක්‌ හෝ ලබාදීම විනා වෙන දෙයක්‌ කළ නොහැක. එසේම ගොඩනැගිලි ඉදිකිරීමේදී අවශ්‍ය නැකැත් කොපමණ බලවත් වුවත් සැලසුමේ (ප්ලෑන) දෝෂ, භූමි දෝෂ ආදිය පවතීනම් එයද අශුභදායකය. එනිසා චාරිත්‍රයක්‌ ලෙස සිතා නැකැත් සෑදීම හෝ මෙම ලිපිය පෙන්වූ වැරදි කරුණු අනුව හෝ නැකැත් පිළිබඳව නොසිතා බුද්ධිමත්ව නැකතින් නිසි ප්‍රයෝජන ලබාගන සාර්ථක බව උදාකරගන්න.

අගලවත්තේ බී. හේරත්
උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි