🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

හෙට සිදුවන දේ දැක ගත හැකි චින්තාරම්මන නිමිත්ත


අනාගතයේ සිදු විය හැකි දේ දැන ගැනීම සඳහා මිනිසුන් තුළ පවත්නා මහත් අභිලාෂය අද ඊයේ ඇති වූවක්‌ නොවේ. තමන් තුළ පවත්නා යම් අපේක්‍ෂාවන් සාර්ථක වේද? නොවේද යන්න පිළිබඳව ඇති වන මානසික කැළඹීම දුරු කර ගැනීම කළ හැකි වන්නේ අනාගතය ගැන කිව හැකි නම් පමණි. සිත උසස්‌ තත්ත්වයකට දියුණු කළ බුද්ධාදී උතුමන්ට අනාගතය දැකිය හැකි විශේෂ ඥනයක්‌ (PRECOGNITION) පමණක්‌ නොව අන් අයගේ සිත් වල ඇති දේ දැනගැනීම (TELEPATHY) හා දුර ඇති දේ දැක්‌මේ හැකියාව හෙවත් දිව්‍ය ඥානයක්‌ද (CLAIRVOYANCE) තිබූ බව පෙනේ. තමන් යන ගමන සාර්ථක වේද? අපේක්‍ෂිත කාන්තාව විවාහයට සුදුසුද? බලාපොරොත්තුවන ඉඩමේ නිවසක්‌ සෑදීමට සුදුසු ද? නැති වූ භාණ්‌ඩය සොරකම් කළාද? ආගිය අතක්‌ නැති ඥාතිවරයා නැවත පැමිණේද? මට දරු සම්පතක්‌ අහිමි ද? රැකියාවේ උසස්‌ වීම ලැබේද? විභාගය සමත් වේද? ආදී අනේකවිධ ගැටලු සඳහා පිළිතුරු සෙවූ පැරණි මුතුන් මිත්තන් ඒ සඳහා භාවිතා කර ඇත්තේ නිමිති ක්‍රමය. මේ ප්‍රශ්න බොහෝමයකට කේන්ද්‍ර පරීක්‍ෂාවකින් නොව නිමිත්තෙන් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත නැති බැවිනි. පැරැණ්‌නන් භාවිතා කළ මෙම නිමිති ක්‍රම වල විද්‍යානුකූල පදනමක්‌ තිබේද? ඒවා හුදු මිථ්‍යාවක්‌ නොවේදැයි සිතන අය ද අප අතර බොහෝ සිටිති. එහෙත් ඒවායේ සැබෑ මනෝ විද්‍යාත්මක සත්‍යතාවක්‌ ඇති බව නූතන අධිමානසික විද්‍යා (PARAPSYCHOLOGY) පර්යේෂණ වලින් තහවුරු වී තිබේ.

පැරැණ්‌නන් භාවිතා කළ නිමිති ක්‍රම දහයක්‌ පහත සඳහන් පරිදි සැකෙවින් දැක්‌විය හැකිය.

  1. ආගත නිමිත්ත
  2. ගන නිමිත්ත
  3. දර්ශන නිමිත්ත
  4. භාෂණ නිමිත්ත
  5. ශ්‍රවණ නිමිත්ත
  6. ඨිත නිමිත්ත
  7. සුපින නිමිත්ත
  8. චිත්තාරම්මන නිමිත්ත
  9. තත්කාලීන සිද්ධ නිමිත්ත
  10. අක්‍ෂර නිමිත්ත

මෙම නිමිති ක්‍රම පදනම් වී ඇත්තේ තමන්ම යම් ක්‍රියාවක්‌ ආරම්භ කරන අවස්‌ථාවේ අසන්නට, දකින්නට ලැබෙන පුද්ගලයන් හා ශබ්ද ආදිය අනුව එම කිරීමට බලාපොරොත්තු වන කාර්යයේ සාර්ථක. අසාර්ථක බව, තීරණය කිරීම මතයි. තත්කාල නිමිත්ත නමින් යම් සේවාදායකයකු තම ප්‍රශ්නය ජ්‍යෙdතිෂ්‍යවේදියා හමුවේ තබන වේලාව පදනම් කරගෙන සාදන කේන්ද්‍රයන් බලා අනාවැකි කියන ක්‍රමයක්‌ ද ඇත්තේය. මේ සියලු නිමිති ක්‍රම ගැන විස්‌තර කිරීමට මෙවැනි ලිපියක්‌ ප්‍රමාණවත් නොවේ. මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ තමන්ටම බලාගත හැකි ඉතා නිවැරදි වූද පහසු වූද නිමිති ක්‍රමයක්‌ පිළිබඳවයි. මෙම ලිපිය කියවන පාඨක ඔබටද මේ බව අත්හදා බලා ප්‍රත්‍යක්‍ෂ කර ගත හැකිය. මෙම නිමිති ක්‍රමයට “චිත්තාරම්මන නිමිත්ත” යෑයි කියනු ලැබේ.

ඔබ ආරම්භ කරන ඕනෑම ශුභ කටයුත්තකදී මෙම චින්තාරම්මන නිමිත්ත අනුව ප්‍රතිඵල දැන ගත හැකිය. ඒ සඳහා ග්‍රහ චාරය, රාහු කාලය හෝ කාලහෝරාව ගැන දැනුමක්‌ ද අවශ්‍ය නැත. එහෙත් ඒ සඳහා ඔබේම සිත පිළිබඳව විශේෂ අවධානයක්‌ තිබීම අවශ්‍යය. චින්තාරම්මන යන වචනයේ තේරුම හිතට එන අරමුණ යන්නයි. යම් කටයුත්තක්‌ ආරම්භ කිරීමට හෝ යම් ගමනක්‌ යැමට හෝ අපේක්‍ෂාවෙන් සිටින ඔබට දැන් මේ වැඩේ කළොත් හොඳයි නැතහොත් දැන් මේ ගමන ගියොත් හොඳයි ආදී වශයෙන් හිතට අරමුණු වනු ඇත. හිතට එන මේ වේලාවම ශුභ නැකතකි. හිතට එන වේලාවේම අදාල කටයුත්ත අරඹන්න. නැතිනම් අදාල ගමන පිටත් වෙන්න. එයින් සාර්ථක ප්‍රතිඵල ලැබීම නියතය.

මම ඔය නැකත් බල බලා ඉන්නෙ නෑ. හිතට ආගමන් කරනවා වැනි කියමන් ඔබට ද අසන්නට ලැබී ඇති බවට සැක නැත. එහෙත් එවැනි අය අනුගමනය කර ඇත්තේ මෙම චින්තාරම්මන නිමිති ක්‍රමයයි. එමෙන්ම ගමනක්‌ යැමට සිතා සිටින ඔබට මේ ගමන ගිහිං වැඩක්‌ වෙන එකක්‌ නෑ වැනි සංඥවක්‌ ඔබේ සිතින්ම ලැබෙන්නට ද පුළුවන. මේ වූ කලී කර්මානුරූපව එය ඔබට අශුභ වේලාවක්‌ බවට දෙන සංඥවකි. එවැනි විටෙක අදාළ කාර්යය කල් දැමීම වඩාත් යහපත් ය. එහෙත් මේ සංඥාව ලැබිය යුත්තේ යටි සිතෙනි. උදාසීන හෙවත් කම්මැලිකම නිසා උඩු සිතෙන් ඇති කරන අලස ගතිය මෙයින් අදහස්‌ නොකරන බව තරයේ මතක තබා ගත යුතුය. අත්හදා බලන විට මෙම නිවැරදි සංඥාව වටහා ගැනීම ඉතා පහසු කටයුත්තකි. චින්තාරම්මන නිමිත්ත අන්‍යයන්ගේ උපකාරයෙන් ද දැනගත හැකියි. ගමනක්‌ යැමට සිතා සිටින විට ඒ බව ඔබේ බිරිඳට හෝ වෙනත් හිතවත් කෙනෙකුට කියන්න. ඔහු හෝ ඇය එක්‌ වරම දෙන පිළිතුර අනුව ලැබෙන ප්‍රතිඵලය බොහෝ දුරට නිවැරදි වනු ඇත. පිළිතුර ලැබිය යුත්තේ එය ප්‍රකාශ කරන්නා විසින් සිතා මතා නොවේ. එක වරටම හිතට එන සංඥාව අනුවය. එක වරම ප්‍රකාශ කෙරෙන ශුභ හෝ අශුභ වදන් තුල ඔබේ ගමනේ ප්‍රතිඵල පෙන්වනු ඇත.

මෙහිදී ද ඔබේ බලාපොරොත්තු වන කාරණයට අසන්නා තුල ඇතිවන පෞද්ගලික හැඟම බලපෑමට ඉඩ තිබේ. උදාහරණයක්‌ වශයෙන් ඔබ ගමනක්‌ යැමට බලාපොරොත්තු වුවද ඔබේ බිරිඳගේ කැමැත්ත ඔබ නිවසේම රඳවා ගැනීම විය හැකිය. එවිට ඇයගේ පිළිතුර එන්නේ යටි සිතෙන් නොව හැඟêම් බර උඩු සිතෙනි. එය අනිවාර්යයෙන්ම ඔබේ අපේක්‍ෂාවට බාධා කරන ප්‍රකාශයන් වනු ඇත. චින්තාරම්මනය නිමිත්ත අනුන් ලවා පරීක්‍ෂා කරන විට මේ කරුණ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය වන්නේය. නිවැරදිව භාවිතා කළ හැකි නම් මෙම නිමිති ක්‍රමය ඔබේ ජීවිතයට මහත් ප්‍රයෝජන ලැබිය හැකි ක්‍රම වේදයක්‌ බවට පත්වනු ඇත. චිත්තාරම්මන නිමිත්ත ගමන් යැමට පෙර භාවිතා කිරීම සඳහා වඩාත් සුදුසු බව පෙනේ. ගමන් යන විට අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක්‌ ජ්‍යෙතිෂ්‍යයේ සඳහන් වේ. ශුභ ගමනක්‌ සඳහා යොදා ගත යුතු දිනය, අශුභ දින මෙන්ම ගමනට පෙර වැළඳිය යුතු ආහාර ගැන ද “පලදාවලිය” නම් පැරණි ජ්‍යෙතිෂ ග්‍රන්ථයේ එන කවි දෙකක්‌ පහත පළ වේ.

ගුරු දින ගමන් යැමට උතුමැයි නියත
බුධ කිවි දෙදා මැදුමය ඉතිරි නොගනිත
සඳු දින යහපතැයි අන් කිසිවෙක්‌ ගණිත
මෙම නියමින් දනුව ගමනට දින පුවත

මෙයින් කියෑවෙන්නේ බ්‍රහස්‌පතින්දා ගමන් යැමට උතුම් බව හා බදාදා සිකුරාදා මධ්‍යම බවත් ය. සමහරු සඳුදා ද යොදා ගනී. එහෙත් සඳුදා පාන්දර එළිවීමට පැය එකහමාරක්‌ තිබියදී ද උදේ 7.30 -9.00 අතර ද රාහු කාලය යෙදේ. ඒ ඒ දින වල ගමන් යැමට පෙර අනුභව කළ යුතු ආහාර පහත කවියෙන් කියෑවේ.

නැගෙනහිරට ගිතෙල් මුසුව අහරය තල බත් දකුණට
අවරදිගට දියමස්‌ වෙයි කිරි වළඳන් උතුරු දෙසට
මෙලෙස දිගට හිමි අහරත් දැන පෙරුදුරු කී විලසට
සතොස ලෙසට වළඳා යනු යුතු මේ ජය ලබන ලෙසට

නිර්මාංශ අනුභව කරන අයට මෙහිදී ගැටලුවක්‌ ඇති විය හැක්‌කේ බටහිරටය. එහෙත් නිර්මාංශ අනුභව කරන්නාට ඒ වෙනුවට කිරි පානය කළ හැකිය. කවරෙක්‌ නමුත් බුදුරජාණන් වහන්සේට පහනක්‌ දල්වා බුදු ගුණ සිහිකර පිටත් වීමෙන් බොහෝ බාධා දුරුවී ගමන සාර්ථක වන බව අපගේ අත්දැකීමයි.

උපුටා ගැනීම දිවයින