🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දෛවයේ අසිරිමත් බලය


ලොව තුළ උපත ලබන හැම සත්වයකුම කිසියම් අදෘශ්‍යමාන ශක්‌තියකින් ක්‍රියාත්මක වන බව පෙනේ. මිනිසා මෙහිදී ප්‍රධානවෙයි. අනෙකුත් සතුන්ටද මෙය ඉතා සියුම් ලෙස බලපාන බව පැහැදිලිය. එපමණක්‌ නොව ස්‌වභාව ධර්මය තුළ සිදුවන ඇතැම් ප්‍රබල සිදුවීම් හා රට රටවල ඉතිහාසය නිර්මාණය වීමේදී මෙම අදෘශ්‍යමාන බලපෑම ක්‍රියාත්මක වී ඇත.

සමස්‌ත ලෝකයට හා ලෝක සත්වයාට ඉහළින් ක්‍රියාත්මක වන මේ විශ්ව ධර්මතාවය හැඳින්වීමට දෛවය යන පදය යෙදිය හැක. ඉරණම, භාග්‍යය, පූර්වකර්මය යනුවෙන්ද මෙය හැඳින්විය හැකි අතර ඉංගී්‍රසි බසින් Destiny යනු මෙයට සමාන යෙදුමකි. සරල වශයෙනි. “සිදුවිය යුක්‌ත” යයි කිව හැක. මිනිස්‌ ජීවිතයේ සියලු ප්‍රධාන සිදුවීම් මෙන්ම ලෝකය තුළ සිදුවන එවැනි සිදුවීම්ද පූර්ව සැලැස්‌මකට අනුව සිදුවන නිශ්චිත ක්‍රියා මාලාවක්‌ය. යන්න මේ සංකල්පයේ අර්ථයයි. ලොව ඇති සියලු ප්‍රධාන ආගම් විසින්ද මේ කෙරෙහි අවධානය යොමුකර තිබේ.

බුදුදහමේ කර්ම ශක්‌තිය ලෙසද ඉස්‌ලාම් කිතුනු ආගම්වල දෙවියන්ගේ සර්ව ව්‍යාජි බලය ලෙසද මෙය දක්‌වා ඇත. හින්දු දහම මෙය පිළිගන්නා අතර ජ්‍යෙතිෂයේ පදනමද දෛවයයි. නූතන යුගයේ විවිධ විද්වතුන්ගේ අවධානය ද මේ කෙරේ යොමුව ඇත. ෂේක්‌ස්‌පියර් වැනි ලෝක පූජිත කලාකරුවන් දෛවය ගැන කතාකර තිබේ. ජර්මානු දාර්ශනික ගොඩ්ෆි්‍රඩ් විල්හෙල්ම් ලෙයිබිනිස්‌ දෛවය හඳුන්වන්නේ පෙර සැලසුම් කළ ස්‌වභාවය හෙවත් ධර්මය ලෙසයි. දෛවය පිළිබඳ නව අර්ථකථනයක්‌ ඒ එම්. ආර්. බෝපෙ ගෙදර මහතාගේ “විද්‍යාවෙන් ඔපවන අපගේ විශ්වාස හා අදහිලි” නම් ග්‍රන්ථයේ 41 වන පිටුවේ මෙසේ දක්‌වා ඇත.

“විද්‍යාඥයින්ට අනුව අප ඇතුළු මුලු පොළෝ තලයම ශක්‌ති කිරණ තරංග සාගරයක ගිලී සිටී. එහෙයින් අප කුමක්‌ කළත් සිතුවත් විශ්මය තුළ ඒ නිසා අති සියුම් තත්ත්වයෙන් නිමක්‌ නැති ප්‍රතික්‍රියා සිදුවිය හැකිවේ. අපගේ සෑම ක්‍රියාවක්‌ම පරිසරයේ යම්කිසි ශක්‌ති සටහන් ඇති කරන බව චෙක්‌ විද්‍යාඥයන්ගේ නිගමනයයි.”

මේ අනුව කිවයුත්තේ මෙම දෛව බලපෑම පිළිබඳව පෙරදිග රටවල පමණක්‌ නොව සමස්‌ත ලෝකයේම අවධානය යොමුව තිබෙන බවයි. දෛවය පිළිබඳ ඇති විශ්වාසයට දීර්ඝ ඉතිහාසයක්‌ තිබේ. සෑම පැරණි ශිෂ්ඨාචාරයකම මෙම විශ්වාසය පැවතී ඇති අතර වර්තමානයේද විවිධ තර්ක විතර්ක මතු වුවද මේ විශ්වාසය බිඳ හෙලීමට සමත් කිසිවකු පහළ වී නැත.

බුදුදහමට හා හින්දු දහමට අනුව යම් පුද්ගලයකු විසින් කරන පින් පව් අනුව ඔහු වටා ගොඩනැගෙන අදදෘශ්‍යමාන බලවේගය දෛවයයි. කිතුනු හා ඉස්‌ලාම් දහමට අනුව දෙවියන් වහන්සේගේ මහිමයයි. එහෙත් මිනිසා කෙරෙහිද විශේෂිත වූ බලයක්‌ පවතින බව පිළිගන්නා භාරතීය මුනිවරු මිනිසාට දෛවය කෙරෙහි පවා සෑහෙන තරමේ බලපෑමක්‌ ඇතිකර යම් යම් වෙනස්‌කම් සිදුකළ හැකි බව මෙසේ ප්‍රකාශ කරති.

උද්‍යාගිනං පුරුෂසිංහ මුපෛති ලක්‌ෂ්මී
දෛවේන දේයම්තිකා පුරුෂා වදන්ති
දෛවං නිහත්‍යතුරු පෞරුෂමාත්ම ශක්‌ත්‍යා
යත්නේ කෘතේ යදින සිඛ්‍යති කෝත්‍ර දෝෂඃ

මේ කුමන මතවාද පැවතියද ලොවට ඉහළින් ක්‍රියාත්මක වන අදෘෂ්‍යමාන ශක්‌තියක්‌ විසින් මිනිසා හා ලෝකය මෙහෙයවන බව ක්‍රියාත්මක ලෝකයේ සිදුවන බොහෝ සිදුවීම්වලින් ප්‍රත්‍යක්‌ෂ කරගත හැකිවේ.

ඉහත ශලෝකයේ දැක්‌වෙන ආකාරයට උත්සාහයෙන් ලක්‌ෂ්මිය හෙවත් වාසනාව කරා ළඟා විය හැකි නම් දුප්පත් පොහොසත් බේදයෙන් තොරව හැම කෙනෙකුටම උත්සාහ කළහැකි බැවින් හැමදෙනාම වාසනාව උදාකරගෙන මුලු ලොවම දුකෙන් තොර දිව්‍ය භූමියක්‌ බවට පත්වනවා ඇත. නමුත් එය එසේ සිදුවන බවක්‌ අපට නොපෙනේ. උත්සාහයේ ප්‍රතිඵලයක්‌ ලෙසට දහස්‌ ගණනින් එක්‌ අයෙකු සමාජයේ ඉහළ තලයට ළඟා වුවද බහුතරයක්‌ දෙනා දුක්‌ පීඩාවේ පතුලට වැටෙති. මේ නිසා ලොව වැඩියෙන්ම පැතිර පවතින්නේ දුප්පත්කම හා පීඩනයයි. ඉහළට යන්නේ දෛවය තෝරාගනු ලබන අයකු පමණි. ඒ සඳහා ඔහු යම් උත්සායයක්‌ දරා ඇති බවද සත්‍යයකි.

උපුටා ගැනීම දිවයින