🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිරුරු විසිතුරු කියන තොරතුරු?


සිත තුළ හටගන්නා කල්පනාවට විතර්ක යෑයි කියති. යමෙකුගේ කල්පනාවක්‌ වාග් ශබ්දයෙන් හෝ ශරීරාංග විකාරයෙන් බැහැර වීම රාග කෝප ආදී චරිත සම්මිශ්‍රණයෙන් සිරුරේ ඉඟි බිඟි බවට පත් වී නැණවතුනට එහි අරුත් පහදවයි. සෙම් පිත් ආදී ධාතූන්ගේ විෂම බව නිසාත් විවිධ සිතුවිලි පහළ වෙයි. ධාතු කෝපයෙන් බොහෝ ස්‌වප්න දර්ශනයන් ඡ්වර රෝගාදීන්ගෙන් පෙළුනාවුන්ගේ නන් දෙඩීමත් එයට නිදසුන්ය. කැමරාවට යොමු කරන සියලු සටහන් එහි තළ පිහිටන්නා සේ පසිඳුරන්ට හමුවන නා නා අරමුණු නිසාත් මනසෙහි බොහෝ සිතිවිලි හට ගනියි. පියවි පැවැත්ම ඉක්‌මගිය කල ඇතැමුන් මුසපත් වෙති.

මනසෙහි හටගන්නා කල්පනා සිත තුළම නොමැරී කිසියම් ක්‍රමයකින් බැහැර වී යැම ඉරියව් ලෙසින් හැඳින්වෙයි. සිත් තුළ කල්පනාවන් කතාවන් හෝ අත් පා ශීර්ෂ චලනයන් විශ්මයෙන් කඳුළු හෝ ඩහදියෙන් බැහැර වී යයි. ලැඡ්ජාවක්‌ භීතියක්‌ ප්‍රීතියක්‌ හෝ සෝකයක්‌ යම් සිතක හටගත් විට මුව පහතට හෙළීම රෝම හර්ෂයා කඳුළු දහඩිය නැඟීම සිදුවන බව වැඩි දෙනා දනිති. තම කල්පනා අනුන්ට පැවැසීමෙන්ද සිතේ ඇති බර හැර දමයි.

දේව සමාගමක වූ සාකච්ඡාවක්‌ අසා එක්‌ තවුසෙක්‌ තමාට උපන් බලවත් සිතිවිල්ල ප්‍රකාශ කරන්නට නොලැබ මහත් දුකට පත්ව අසල වූ තුඹසකට ළංව තමා අසන ලද කතා පුවත කියා තවුසා සිත සැහැල්ලු කරගත් බව පැරැණි පොතක සඳහන්ය. සමහරු තනියම දොඩනවා අප දැක ඇත. සිහිනයක්‌ දැක එහි තතු තවෙකකුට නොපවසා සිටීමට අපහසුය. ගැහැනුන් තමා දුටු සිහින යෙහෙළියන්ට පවසති. කේළාම් කීම සහ රහස්‌ හෙළිදරව් කිරීමත් මෙසේ සිතේ බර අඩුකර ගැනීමකි. සමහරු තම සිතිවිලි ලියා තබනවා. එය සැනසීම ලැබීමකි. ගල් යුගයේ මිනිසා තම සිතිවිලි සතුන්ගේ රූප මගින් සිතුවමින් පෙන්වා ඇත. එවැනි ගිරිගුහා ලොව අපමණය. අනුන්ගේ සිතෙහි විවිධ කල්පනා ලක්‌ෂණයන් දැන ගැනීමට පළමුව සිනා හැඬුම් දෙකෙහි තතු විමසිය යුතුය. අධික සොම්නස්‌ දොම්නස්‌ දෙකින් සිනාවක්‌ හැඬුමක්‌ ඇති වෙයි. සිනා සෙන්නෙකුගේ හා හඬන්නෙකුගේ ශබ්දයෙහිද මුව, නෙත් ආදීන්හි ද මහත් වෙනසක්‌ වෙයි.

රෝගියෙකු දෙස බලා සිටින වෛද්‍යවරයාට හෝ හෙදියට ලෙඩාගේ ඉරියව් චලන ඉඟි බිඟි වලින් ලෙඩේ තත්ත්වය වටහා ගත හැකිය. සිතේ සිතිවිලි දෙකක්‌ එකසේ කඳුළු සලමින් සිනා සෙමින් ප්‍රකාශ කරයි. යමෙකුගේ සිනාවේත් හැඬුමේත් ශබ්දය හා විලාසය අනුව ඔහු පසුවන තත්ත්වය සිතා ගත හැකිය. සිනාවට හේතුව ශාස්‌ත්‍රානුකූලව පැවසුවහොත් ඔහුගේ මවිතයට හේතු වෙයි. හිනාව ආශාව සතුට දෙකින් උපදියි. වැඩිදෙනා ලෝභ, රාග, මාන, සිතිවිලි වලින්ම සිනාසෙති. ආලය භීතිය හා කෝපය හැදීමට හේතු වෙයි.

තැති ගැන්ම කම්පාව ඩහනැඟීම පපුවේ ගැස්‌ම, මුහුණ හෝ නෙත් පහතට යොමා වැටීම මුව පහතට හරවා හෝ අතින් වසා බිණිම හිස, බෙල්ල සහ මුව ආදී තැන් පිරිමැදීම යමක්‌ සපමින් හෝ හිඳිමින් සිටීම හෝ බිණීම. කම්මුල් නිකට, උකුල ආදී තන්හි අත් තබා බිණීම හෝ සිටීම මේ ආදී ගති සිත තුළ සියුම් සිතිවිලි බැහැර කරන ලකුණුය.

සත්‍ය හෝ කිව යුත්ත සඟවා අනෙකක්‌ කියන්නට කල්පනා කරන විටද ඉඟි බිඟි අක්‍රමවත් වෙයි. කපටි සිනාවකදී දෙවුර සලන්නා සේය. අවංක අයට එබඳු මායාකාරී ගති නොපිහිටයි. ශරීරය හා මුහුණ සෘජුය. තේජස්‌ සහිත වෙයි. උද්දාම හා අති සෘජු භාවය මායා ලක්‌ෂණයකි. වංකගති මවා පෑමට ව්‍යාජ ඉරියව් මවා පානු ලැබේ. මුහුණ සහ නෙත් බෙහෙවින් විතර්ක විසිතුරු දැක්‌වෙන තැන්ය. මුහුණ පසිඳුරන් පිහිටි ස්‌ථානය බැවින් මනසට බාහිර අරමුණු පිවිසෙන සිතිවිලි බැහැර කරන ධමනි කෙළවරවල් එහි බහුලය.

ඇතුළු හද තතු සතුට හෝ නොසතුට මුහුණින් පෙන්වයි. නෙත් යුවළත් සිත් සතන්හි කල්පනාවන් විචාරණ තැනකි. රාගයෙන් කෝපයෙන් හෝ සතුටින් වැඩණා වූ ගව මහීෂ සුනඛාදී සතුන්ගේද මිනිසුන්ගේද නෙත් වල පැහැයෙන්ද ආධාරයෙන්ද සිතිවිලි වටහා ගත හැකිය. අකුරු ඉරි ආදී නන් වැදැරුම් රේඛා වලින් ද ඈණුම් කෑරුම් සුසුම් ලෑම් ආදියෙන්ද අදහස්‌ පවසති.

උපුටා ගැනීම දිවයින