This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
රවි වෘෂභයට යයි ලග්න 06 කට සුබදායකයි
සූර්යා හෙවත් රවි ග්‍රහයා මැයි 15 වන දින ස්‌වකීය උච්ච රාශියෙන් බැස වෘෂභ රාශිගත වෙයි. එදින සවස 04 යි. විනාඩි 24 ට ස්‌වකීය කැති නැකතේ 2 වන පාදයෙන් වෘෂභ රාශි ගතවන ඔහු ලග්න 12 ට ගෙනෙන සුබාසුබ කෙසේ වේදැයි කෙටියෙන් විමසා බලමු. මේෂ ඔබේ කේන්ද්‍රයේ දෙවැන්නට ඔහු පැමිණෙයි. දෙවැනි ස්‌ථාන වශයෙන් රවිට අශුභ වුවද මැයි 22 වන දින දක්‌වා ඔබට යහපත් තත්ත්වයක්‌ ඇති කරයි. විශේෂයෙන් සිකුරු සුබව පිහිටි අයට සුබඵල වශයෙන් අධ්‍යාපන කටයුතු සපල වීම ඇති කරයි. ලෝබ ගති තරමක්‌ ඉස්‌මතු කරයි. සිකුරු අශුභ නම් ඔබගේ දියුණු පිණිස ගන්නා ක්‍රියා මාර්ගවලට විවිධ බාධක ඇති විය හැක. වෘෂභ ඔබේ ලග්නාධිපති 06- 08 -12 යන ස්‌ථානයක උප්පත්ති කේන්ද්‍රයේ සිටියේ නම් තරමක්‌ අගුණය. එසේ නොමැතිව නම් ඔබේ දියුණුවට යම් ආකාර සුබතාවයක්‌ ලැබෙනු ඇත. ගෙදර දොර සම්බන්ධ කටයුතුවල ප්‍රගතියක්‌ අත්වෙයි. ඔබ කරන කටයුතු වෙනදාට වඩා වැඩි සපල බවක්‌ ලබනු ඇත. මිථුන ඔබගේ සිතුම් පැතුම් තවදුරටත් ඉටුවීම ප්‍රමාදයට ලක්‌විය හැකිය. නෙඑසේ නම් ඔබ බලාපොරොත්තු වන තරමට ප්‍රතිඵල හීන විය හැකිය. නීතිමය ප්‍රශ්න පැන නැගුණ හොත් ඔබට අවාසි දායක තත්ත්වය පවතී. විදේශ ගමන් බලාපොරොත්තු අයට වාසි සහගතය. ඒ රවි මහ දශා - අතුරු දශා ගෙවන අයටය. මකර - කුම්භ මීන යන රාශියකින් එක නවාංශකය වූ අයටද එතරම් සුබදායක නැත. එවැනි අයට රෝහල් ගතවීමට වුවද සිදුවිය හැක. කටක කටක ලග්න හිමි ඔබට රවි 11 වන භාව ගතවීම නිසා යහපත් බව ලබාදෙයි. ඔහු දිග්බලවීම මෙන්ම ධනස්‌ථාන අධිපති අයස්‌ථාන ගතවීමත් සිකුරු භාග්‍ය ස්‌ථානය තුල උච්ච වීමත් නිසා මැයි 24 දක්‌වා ධනය ලැබීම සමාජයෙන් ප්‍රසංශා ලැබීම මෙන්ම නව මිතුරන් හඳුනා ගැනීම වැනි ප්‍රතිඵල ලබාදේ. ඉඩකඩම් වැනි දේවලින් වාසි අත්වෙයි. සිංහ රැකියා සම්බන්ධ බලාපොරොත්තු සපල කරගත හැකි සුබ කාලයකි. ප්‍රධානීන්ගේ පිළිගැනීමට ලක්‌වෙයි. එසේම කාර්යශීලී ගති වැඩිකරයි. ඉඩකඩම් සම්බන්ධ ගැටලු ඇත්නම් ඒවා නිරාකරණය කරගැනීමට නීතිමය කටයුතු ඇරඹීමට ඉතා සුදුසු කාලයකි. කන්‍යා මේ කාලය තුළ දුරබැහැර ගමන් බිමන් යෙදීමට ඉඩකඩ පවතී. එසේම තරමක ලෝභ ගති ඉස්‌මතු වුවත් ඉඩකඩම් වැනි දේපල මිල දී ගැනීම්වලට ඉතා යෝග්‍ය කාලයකි. බාධක මැද්දේ වුවද මේ කාලය තුළ ඔබට පෙරට වඩා යම් දියුණුවක්‌ අත් පත් වනු ඇත. තුලා මේ කාලය තුළ ඔබේ ප්‍රගතිය අරමුණු කොට ගන්නා විවිධ ක්‍රියා මාර්ග තුළට හිතුවක්‌කාර ගති ඉස්‌මතු විය හැක. එනිසා බුද්ධිමත්ව කටයුතු කළ යුතුය. එසේම ඔබේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් බලපෑම් ඇති වන ඉඩකඩද පවතී. වෘශ්චික හවුල් ව්‍යාපාර වැනි දේවල් ආරම්භ කිරීමට හොඳම කාලයකි. එසේම රැකියා ඉල්ලුම් කර තිබේ නම් ඒවා සපල වීමට ඉඩකඩ පවතී. ඉඩකඩම් ආශ්‍රිත ක්‍රියාවලින් වඩාත් ලාබ ප්‍රයෝජන අත්විය හැකිය. මේ කාලය තුළ විවාහ වේ නම් එමගින් ඉඩ කඩම් හිමිවිය හැක. තුලා වෘෂ්චික ධනු යන නවාංශයකින් එකක්‌ වී නම් තරමක්‌ කරදර ඇති වේ. ධනු ඔබ යම් යම් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම අරඹන්නේ නම් මේ කාලය ජුනි 17 දක්‌වා සුබදායකයි. එයිනුත් මැයි 22 දක්‌වා කාලය යහපත් වෙයි. සතුරු කරදර පවතී නම් මේ කාලය තුල බොහෝ දුරට මර්දනය වී යා හැකිය. උපතින් රවි අසුබව සිටියේ නම් ණය තුරුස්‌ ඇතිවීමට ඉඩකඩ පවතී. මකර විනෝදාත්මක දේවලට වඩාත් හිත ඇදී යන නමුදු ඒවාට විය හියදම් ඇති වන නිසා මුදල් හිඟවිය හැකිය. කෙසේ නමුත් මිල මුදල් පිළිබඳව ඇති වන අවශ්‍යතාවන් බලවත් විය හැකිය. දුෂ්කරතා වැඩි වන කාලයකි. කෙසේ නමුදු මැයි 15 සිට ජුනි 16 අතර මාසයක කාලය ඔබට මුදල් පිළිබඳ කිසියම් වෙහෙසීමක්‌ ඇති කරයි. කුම්භ පවතින තත්ත්වයන් අනුව ඔබට හොඳින් හෝ නරකින් හෝ උපායශීලීව හෝ ඔබේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට සිදු වන කාලයකි. මේෂ වෘෂභ මිථුන යන රාශියකින් එකක්‌ ඔබගේ නවාංශකය වූයේ නම් තරමක්‌ අසීරු වෙයි. ඇතැම් විට විවාහක අයට තරම්ක අසුබ විය හැක. එනමුත් කොපමණ බාධක පැමිණියත් සිත එතරම් කම්පා නොවනු ඇත. මීන මීන ලග්නයේ උපන් ඔබට කටක සිංහ කන්‍යා යන රාශිවලින් එකක්‌ නවාංශකය වුව හොත් තරමක අසුභදායක තත්ත්වයක්‌ ඇති කරයි. එනමුත් තම කැමැත්තටම වැඩ කටයුතු සිදු කිරීමටම උත්සාහ ගනී. කෙටි හෝ දුර හෝ ගමන් බිමන් මදක්‌ අධිකවනු ඇත. මානසික කරදර තරමක්‌ ඇති වීමේ ඉඩකඩ පවතින බැවින් ඔබේ දෛනික කටයුතුවලදී අවබෝධයෙන් කටයුතු කරන්න. අවහිර බාධකද වඩාත් වැඩි විය හැකිය. අගලවත්තේ බී. හේරත් උපුටා ගැනීම දිවයින පුවත්පත