🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දේහ ලක්‍ෂණ කියයි ඔබේ ගති ගුණ

දේහ ලක්‍ෂණ කියයි ඔබේ ගති ගුණ

ඉතා පුළුල් වූද ගැඹුරු වූද ශාස්‌ත්‍රයක්‌ වූ දේහ ලක්‍ෂණ විද්‍යාව අංශ කිහිපයකට ඛෙදී ඇත. හස්‌ත රේඛා ශාස්‌ත්‍රය, ධව්නි මුඛ ශාස්‌ත්‍රය, මේ අතර හස්‌ත රේඛා ශාස්‌ත්‍රය කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටී. ගුත්තිල කාව්‍යයේ ගුත්තිල ඇදුරු දේහ ලක්‍ෂණ විද්‍යාවේ ප්‍රවීණයකු බැව් පෙනේ. වීනා වාදනය ඉගෙනීමට එන මූසිලගේ දේහ ලක්‍ෂණ දුටු ගුත්තිල ඇදුරු ඔහු ගුණමකුවකු බව ඉඳුරා දැන ශිල්ප දීමට අකැමැති වූ බව මෙසේ දැක්‌වේ. බලමින් ලකුණු ගත දුදන ගුණ දැන ඔහු සිත නොවසව තෙපි මවෙත ශිල්ප නොදෙමැයි කිවෙත් මහසත දිනක්‌ බුදුන් වහන්සේ උක්‌කට්‌ඨා හා සේතව්‍යා යන නගර දෙක අතර පා ගමනින් වැඩම කරද්දී ඒ ගමන් මගෙහි ගමන් කළ දේ‍රාණ නමැති බමුණා වැල්ලේ තිබූ බුදුන් වහන්සේගේ පා සටහන් විමසා බලා එය සුවිශේෂි පුද්ගලයකුගේ බව දැන බුදුන් වහන්සේ සොයා පැමිණ ඔබ දෙවියෙක්‌ද යනුවෙන් ප්‍රකාශ කර සිටියේ ඒ පා සටහන්වල තිබූ සුවිශේෂී ලක්‍ෂණ නිසාය. සිදුහත් කුමරුගේ නළලේ තිබූ ඌර්ණ රෝම ධාතුව දැක ඒකාන්තයෙන්ම බුදුවන බව කොණ්‌ඩඤ්ඤ බමුණා පැවසුවේ දේශ ලක්‍ෂණ විද්‍යාව උපයෝගි කරගනිමිනි. මේ අනුව බුද්ධ කාලීන සමයේද දේහ ලක්‍ෂණ විද්‍යාව ප්‍රබල ලෙස තිබූ බව පෙනේ. කෙනකුගේ ශරීරයේ ස්‌වරූපය බලා ඔහුගේ ගති ගුණ කිව හැකි ඉපැරණි විද්‍යාවක්‌ සේ දේහ ලක්‍ෂණ විද්‍යාව හැඳින්විය හැකිය. කෙනකුගේ සිරුරේ ඒ ඒ අංග ලක්‍ෂණ පිහිටන්නේ කරන ලද පව් පින්වලට අනුකූලවය.

දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව සුවිශේෂී පුරුෂ ලක්‍ෂණ හඳුනා ගනිමු.

  • යම් පුද්ගලයකුගේ නළල් තලයෙහි රේඛා තුනක්‌ සටහන්ව තිබේ නම් හෙතෙම සෞඛ්‍ය සම්පන්න ලෙස දිගු කලක්‌ ජීවත් වේ. සැප සම්පත්වලට උරුමකම් කියයි.
  • දිගටි ඇස්‌ පිහිටියේ නම් සියුම් හැඟීම් ඇත්තාවූද කලාවට ලැදි, ස්‌ත්‍රීන් ප්‍රියකරන්නා වූ ධනය හිමි තැනැත්තෙකු වනු ඇත.
  • මහත්වූ විශාල ඇස්‌ පිහිටියේ නම් අන්‍යයන් බොරුවෙන් චාටුවෙන් මුළාකරන, නුසුදුසු සම්බන්ධතා පවත්වන අයකු වේ.
  • නිතර චලනය වන්නා වූ ඇස්‌ පිහිටියේ නම් ඔහු තීක්‍ෂණ උපක්‍රම සහිත වූ ආත්මාර්ථකාමී, අන්‍යයන් උපායෙන් රවටන්නා වූ සමාජයේ කැපී පෙනෙන පුද්ගලයෙකි.
  • නිතර ඇසිපිල්ලන් ගසන තැනැත්තා වංචාකාරී කපටි අදහස්‌ ඇති පුද්ගලයකු වෙයි.
  • දිගු නාසයක්‌ ඇති තැනැත්තා කලාවට ලැදි නැටුම් ගැයුම්වලින් ප්‍රවීණ මහත් ජනාදරයට පත් චරිතයක්‌ වේ.
  • කෙටි, පැතලි වූ නාසයක්‌ ඇති තැනැත්තා කුරිරු ගති ඇති පාපී ක්‍රියාවලට සම්බන්ධ වූවකු වේ.
  • සිහින් නාස්‌ පුඩු පිහිටීම යහපත් ලක්‍ෂණයක්‌ වන අතර ප්‍රමාණයට වඩා විශාල නාස්‌පුඩු පිහිටීම අනුන්ගේ අඩුපාඩු සොයන විවේචනයට ලක්‌කරන අයකු සේ සැලකේ.
  • සිරුරේ සිනිදු රෝම පිහිටා තිබීම විශේෂයෙන් පසු පෙදෙසේ රෝම පිහිටා ඇති පුද්ගලයා අනුන්ගේ දුකේදී පිහිටවන, අනුකම්පා සහගත, සංවේදී පුද්ගලයකු වේ.
  • එල්ලා වැටෙන ස්‌වභාවයේ තොල් පිහිටීම බොරු කියන අයකුගේ දේහ ලක්‍ෂණයකි.
  • හිස කසමින් කෙනකු කථාකරන්නේද වංචාකාරී පුද්ගලයකු වනු ඇත.
  • පිරිමි මුහුණට ආභරණයක්‌ වන රැවුල විශේෂයෙන්ම උඩු රැවුල ඇති පුද්ගලයා කා සමගත් සුහදව කටයුතු කරයි.
  • කෙනකුගේ උදරය මනාව වටකුරුව පිහිටා තිබීම, රැලි ලක්‍ෂණ තුනකින් යුක්‌ත වීම, ධනවත් භාවය ලැබීමට, යසස වර්ධනයට ඉවහල්වන, ප්‍රසිද්ධ කෙනකු වනු ඇත.
  • උදරය ඉදිරියට නැඹුරු වූ තැනැත්තා තම අභිමතාර්ථ කෙසේ හෝ ඉටුකර ගැනීමට ක්‍රියාකරන අයකු වේ.
  • කවාකාර විශාල කන්පෙති උගත් බුද්ධිමත්, විවිධ ශිල්ප ශාස්‌ත්‍ර ප්‍රගුණ කළා වූ සෘජු ගති ඇති අයෙකි.
  • රත් පැහැයට හුරු ඇස්‌ ඇත්තා ඉක්‌මනින්ම කෝපයට පත්වන තම මතයම ගරු කරන කෙනකුවේ.

දේහ ලක්‍ෂණ විද්‍යාව අනුව ස්‌ත්‍රී ගති ලක්‍ෂණ මෙසේය.

  • මුව කුඩා අය ලඡ්ජාශීලීය, ගුප්ත චරිතයකි. විශාල මුව කෑමට ගිජු බව දක්‌වයි. නොසිතා කථා කරයි.
  • දිගු ඇඟිලි ඇති කාන්තාව කලාවට ලැදිය.
  • ගෙල රේඛා තුනක්‌ පිහිටීම නම්බුනාම ලබන වාසනාවන්ත කාන්තාවකගේ ලක්‍ෂණයකි.
  • විශාල උරහිස්‌ කොටට පිහිටි ඇඟිලි කම්සැපට ඇල්ම දක්‌වන්නියකි.
  • වටකුරුව පිහිටි ඇඟිලි ව්‍යාපාරික කටයුතුවලට හපන්කමක්‌ දක්‌වයි.
  • කොට උරහිස සැප සම්පත් අඩු තැනැත්තියක වනු ඇත.
  • පළල් පරතරයකින් පිහිටි පියයුරු ශුභපල හීනය.
  • පැතලි ඛෙල්ල, ඛෙල්ලේ සුලියද අසුබ සේ සැලකේ.
  • අඩවන් වූ දෙනෙත් තම සැමියාට ආදරය ලෙන්ගතු බව දක්‌වන්නියකි.
  • පැහැපත් දෙනෙත් සැමියාට වාසනාව ගෙනදෙයි.
  • සිත්ගන්නා මධ්‍යම ප්‍රමාණයේ මුහුණතේ වළක්‌ පැතලි නිකටත් කුඩා උදරයත් කන කුඩා හා ඇඟිලි සාධාරණත්වය අගයකරන්නියක ගේ දේහ ලක්‍ෂණ වේ.
  • සමව පිහිටි උකුල සැප සම්පත් ලබන්නියකි.
  • රෝස පැහැයෙන් පිහිටි තොල් පෙති භාග්‍යවන්ත පිහිටීමකි.
  • මහත් වූ ඉඟටියක්‌ සහිත කුඩා උකුල් තලයක්‌ පිහිටි කාන්තාව කලහකාරීය, තම මතයටම ක්‍රියාකරයි.
  • උකුල් තලයේ විසිරීගිය උපන් ලප පිහිටි තැනැත්තිය කාමාශාවන් වැඩි තැනැත්තියක්‌ වේ.
  • යම් ස්‌ත්‍රියක ගේ උදරයේ සිට පෙකනිය දක්‌වා වූ රෝම වැලක්‌ නූලක්‌ පරිද්දෙන් පිහිටන්නේද ඕ ඉතා වාසනාවන්ත සැප සම්පත් වලින් අනූන ගෞරවනීය තැනැත්තියකි.
  • උදරයේ රැලි තුනක්‌ පිහිටි කාන්තාව ඉතා වාසනා වන්තය, ජන්මයෙන් උරුම වූ ශිල්පීය දක්‍ෂතා දක්‌වයි.
  • අතේ සුළඟිල්ල ඇදනම් වංකය. හැමවිටම ලාභය බලාපොරොත්තු වේ.
  • පාදයේ සුළඟිල්ල හෝ ඊළඟ ඇඟිල්ල පොළවේ නොවැදේ නම් වරදට පෙළඹේ.
  • පාදයේ මාපට ඇඟිල්ල දිගනම් ස්‌වාමියා නුරුස්‌සන, එඩිතර, හිතුවක්‌කාර ගති ඇති තැනැත්තියකි.
  • ගමනේ දී පාදවල ශබ්දයක්‌ ඇත්නම් සැමියාට අපල ගෙනදේ, ගුප්ත ආශාවන් ඇති කෙනෙකි.
  • සිනාසෙන විට දෙකම්මුල් වළ ගැසේ නම් විනෝද කාමීය, කාමයට ලැදිකමක්‌ දක්‌වයි.
  • උඩු ඇන්දේ ඉදිරි දත් දෙක මැද හිඩැසක්‌ ඇත්නම් පුරුෂ වසඟයට දක්‍ෂය.
  • නිල්වන් ඇසි ඥනාන්විත බවේ ලක්‍ෂණයකි. කුඩා ඇස්‌නම් කාමුකය, තෙත් ගතියෙන් යුත් ඇස්‌ දුර්වල තැනැත්තියකි.
  • දෙතොල සමබරව ඇත්තී ආලයට සුදුස්‌සියකි.
  • මුව නිදහස්‌ව තිඛෙන විට තොල්සඟල පිටතට පෙනෙන ලෙස විහිදී ඇත්නම් ඉඳුරන් පිනවීමේ මහත් රුචියක්‌ ඇත්තියකි.
  • තොල් පෙති සලමින් විවිධ ඉරියව් නගමින් කථාකරන අය විවෘතව සිතැඟි පළකරන විනෝදකාමී අයෙකි.
  • සිනාසීමේදී උඩුතොල එයට සහභාගි කර නොගන්නා ඉරියව්වද ඉතා වැදගත් චරිත ලක්‍ෂණයකි.
  • දිගු ගෙලක්‌ පිහිටියේනම් උපායශීලී තීක්‍ෂණ බුද්ධියක්‌ ඇත්තියකි. පුරුෂ වසඟයට ගෙන තම සිතැඟි පරිදි කටයුතු කරයි.
  • ගෙලෙහි හරහට රේඛාවන් සහිත වූයේ නම් ඒ ස්‌ත්‍රිය බොහෝ වාසනාවන්තය, ධනය බලය, යසඉසුරින් පිරි කාන්තාවකි.
  • රෝම සහිත පපුව පිහිටි කාන්තාව දැඩි මුකරි බවින් යුක්‌ත වේ. මුරණ්‌ඩුය, සැමියා සමඟ කලහ කරයි.
  • පපුවේ දකුණු පස තල ඇට සේ උපන් ලප පිහිටියේ නම් ඕ ප්‍රසිද්ධියටත් පත්වේ.
  • පසුවේ මැද තිලකයක්‌ සේ උපන් ලපයක්‌ පිහිටන්නේ නම් ඕ ඉතා ඉහළ තනතුරකට පත් වේ.
  • හතරැස්‌ තුඩු සහිත මසින් පිරි ඇඟිලි සහ අත්ල ඇත්තා වූ අය ගුප්ත වූ ශක්‌තියක්‌ හසුරුවන්නා වූ අයකු වේ.
  • පයෝදර එකිනෙකට තදවී පිහිටියා වූද තද කළු පැහැති කෙස්‌ කළඹක්‌ ඇති පාදය සම්පූර්ණයෙන්ම බිම ස්‌පර්ශවන ස්‌ත්‍රිය ජනප්‍රිය වෙයි. ධනය, සැප සම්පත් ලබයි.

බබරැන්දේ - සරත් කුමාර යූ. වඩුගේ
උපුටා ගැනීම දිවයින පුවත් පත