🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අධික දුක්‌ අනුභව කරන පාතාල බහිරවයා

අධික දුක්‌ අනුභව කරන පාතාල බහිරවයා

බහිවර දෝෂ ගැන අපි කොතෙකුත් අසා තිබේ. මෙසේ දෝෂ ඇතිකරන බහිරවයන් කොට්‌ඨාස ගණනාවක්‌ සිටී. මෙයින් ඉඩකඩම් භූමිවලට අරක්‌ගත් බහිරවයන් වැඩි පිරිසක්‌ සිටිති. එසේවූ බහිරවයන් කවරහුද යන්න හඳුනා ගැනීමද වැදගත් වෙයි. බහිරවයන් යනු අධික තෘෂ්ණාවෙන් සිටි අය මියගොස්‌ උපදින එක්‌තරා ප්‍රේතාත්ම භවයකි. තෘෂ්ණාව යනු යම්කිසි දෙයකට ඇබ්බැහි වීමය. එය අත්හැර දැමීම අමාරුම දෙයකි. මත්පැන් මත්කුඩු ආදියට ඇබ්බැහි වූවන් එයින් මුදවාලීම මහත් අපහසු කාර්යයකි. එසේම දුම්වැටිය, බුලත්විට ආදියද ඇබ්බැහි වීම්ය. ඒවා මුළුමණින්ම මනසට ඇලුනු බැවින් තෘෂ්ණාවන් වෙයි. එසේම සතුන් මරා මස්‌ අනුභව කිරීම, විකිණීම ආදියෙන් යම් ලාභයක්‌ අත්වේනම් එයටද සිත ඇලේ. එවිට එයද ඇලුන තෘෂ්ණාවක්‌ වෙයි. සොරකම් කිරීමෙන් ලාබ ලැබුවේ නම් එයද තෘෂ්ණාවක්‌ වෙයි. මෙසේ මිනිස්‌ දිවියේ බොහෝ දේවල් ඇලුනු තෘෂ්ණාවන් බවට පත්වෙයි. මෙසේ පාතාල බහිරවයන්, භූමි බහිරවයන් බවට පත්වන්නේ ඉඩකඩම් ආදියට දැඩිසේ ඇලුම් කළ අයයි. නව නිවසක්‌ තැනීමට පෙර බහිරව පූජාව තබන්නේ ඉඩකඩම් වලට අරක්‌ගත් බහිරවයන් උදෙසාය. ඒ පෙර කාලවල එම ඉඩම්වලට යම් අයිතියක්‌ තිබී ඒවාට ආශාවෙන් තෘෂ්ණාවෙන් පෙළුන අයයි. විශේෂයෙන් අප කතා කරන්නේ පාතාල බහිරවයන් ගැනය. මේ කාලයේ නම් පාතාල බහිරවයන් බිහිවීම අඩුය. එයට හේතුව වන්නේ යම් ආකාර වූ වස්‌තු නිදන් කොට හෝ පොළොව යට හෝ දමා තැන්පත් කිරීමක්‌ නොමැති බැවිනි. මීට පෙර අප රටට ඉංග්‍රීසීන් පැමිණි කාලයේ දීත් මිනිසා වඩාත් ඇලුම් කරන ලද විවිධ රන් රිදී මුතු මැණික්‌ වැනි වස්‌තුව පොළව යට වළලා තැන්පත් කර ආරක්‍ෂා කළ බව විවිධ සාක්‍ෂි අනුව පෙනෙන්නට තිබේ. එසේ තැන්පත් කළ වස්‌තු කෙරෙහි මිනිසා ආශාවෙන් සිටි අතර ඒ අතරතුර ඔවුන් මියගොස්‌ ඔවුන්ගේ ආත්මය ඒ ස්‌ථානවල රැඳෙමින් බහිරවයන් බවට පත්ව සිටී. ආශාව ජීවිතයේම කොටසකි.

මිනිස්‌ භවයේදී මෙම ආශාවන් සපල කරගැනීමට වෙහෙස වීම ජීවිතය වෙයි. එය අපි සිතුම් පැතුම් ලෙසින් හඳුන් වන්නෙමු. යම් දෙයක්‌ කෙරෙහි දැඩි ආශාවකින් මෙන්ම හැකියාවකින් යුක්‌ත වූ විට එම මානසික තත්ත්වය මරණයෙන් පසු නිරුද්ධ වන සිතතුළ පවතී. එහි පවත්නා වූ ස්‌වභාවය අනුව උත්පත්තිය සකස්‌ වෙයි. ඉඩකඩම්වලට දැඩිසේ ඇලුම් කළ අය මියගොස්‌ ප්‍රේතාත්ම වල ඉපිද එම ඉඩම් තුළම ජීවත් වේ. ඔවුන්ගේ ජීවිතය එම ආශාව පමණි. කෑම බීම ගැන ඔවුන්ට අපට මෙන් තදබල ගැටලුවක්‌ නැත. අපට ආහාර නැතිව ජීවත්විය නොහැක. ඒ මෙම ශරීරයේ පැවැත්ම ආහාරයෙන් සිදුවන බැවිනි. එසේම රසවත් ආහාරයක්‌ දුටුවිට - සුවඳ දැනුණු විට එය කන්නට ආශා උපදී. එය කන්නට පහසු තැනකදී අපි බඩගින්නක්‌ නැතුවම ඒ කෙරේ ආශා නිසා කන්නෙමු. මෙවන් බහිරවයන්ට අපට මෙන් දැනෙන - පෙනෙන, ස්‌පර්ශ වෙන භෞතික ශරීරයක්‌ නැති නිසා ආහාර අවශ්‍ය නොවේ. එසේ නමුත් අපට මෙන් සුවඳින් - දැකීමෙන් හටගන්නා ආශාව නම් මතුවෙයි. බහිරව පූජාවේදී ගන්නා සියලුම ආහාරවලින් හමන සුවඳ මෙන්ම ඔවුන්ට ඒවා පෙනීමෙන් එකම තෘෂ්ණාවක වෙළී ඇති සිත ඒ කෙරේ අවදි වෙයි. එම ආහාර පානවලට මන්ත්‍ර ජප කර අපට නොපෙනෙන බලයක්‌ද මුසුකර තිබේ. අවුරුදු ගණනකට පසු මෙවන් දැකීමක්‌, සුවඳක්‌ ආහාරයකින් ලබන ඔවුන් දැඩි තෘෂ්ණාවකින් ඒවායේ සුවඳ ආඝ්‍රාණය කරගනී. එයින් ඔවුන්ගේ සිත්වල ඇලී තිබූ ඉඩම් පිළිබඳ තෘෂ්ණාව අවුල් වී වෙනස්‌ වීමකට ලක්‌වෙයි. මිනිසා එයින් ප්‍රයෝජන ගනී. නමුත් වසර කීපයකින් යළිත් ඔවුන්ගේ මුල් තෘෂ්ණාව බලවත්ව නැවත පැමිණේ. එසේම පාතාල බහිරවයන් ලෙස හඳුන්වන නිදන් වැනිදේ රකින බහිරවයන් ඒ නිදන් වස්‌තුවට ඇලුනා වූ සිතක හෙවත් ජීවිතයකම සිටී. හරියටම ඉලක්‌කෙටම ඔවුන්ගේ සිත පැහැර ගත හැකි ආහාර මෙන්ම මන්ත්‍ර ජපය සිදුවුවහොත් බහිරවයා මුලාකොට එම වස්‌තුව ලබාගත හැකිය. මේ පහත දක්‌වන කතාව මගේ මිත්‍රයකුගේ පාතාල අඳුන බැලීමට ආ පුද්ගලයකුට ලබාදුන් තොරතුරුය. මමද එය හොඳින් අසා සිටියෙමි. ඔහු බොහෝ දුරක සිට පැමිණ සිටියේ තම ගෙවත්තේ ඇති නිදහනක්‌ ගැන බැලීමටය. අඳුනට අවශ්‍ය කටයුතු කර පහන දල්වා මන්ත්‍ර ජපකොට මගේ මිත්‍රයා අඳුන දෙස මද වේලාවක්‌ බලා සිටියේය. එතැන් සිට සංවාදය ඇරඹුනි.

"භූමියක්‌ ගැන අහනවා?"

ඔව්, මේ භූමියේ තියන වස්‌තුවක්‌ ගැන අහන්නේ... හරියටම එහෙම එකක්‌ තියනවද කියල දැනගන්න?

ඔව්... කොතනද කියලත් දැනගන්න ඕනෑ..." අර ඊසාන පැත්තට වෙන්න ඕගොල්ල හෑරුවා නේද?"

ඔව්.. එතන හරිද?"

"එතන හරි.... නමුත් වම් පැත්තට වෙන්නයි තියෙන්නෙ. එතන හෑරිලා නෑ"

"හ්..ම්... ඒක ගන්න පුළුවන්ද කියලා දැනගන්නයි ඕනෑ..."

"ලේසි නෑ. තමුන්ට හිමිකම තියනවා. තමුන්ගේ පවුලේම කෙනෙක්‌ තියපු මැණික්‌ වගයක්‌ පෙන්නනවා. නමුත් තමුන්ට පිං මදි. ඒ වගේම ඒක රැකගෙන ඉන්න බහිරවයටත් පිං නෑ. දෙන පිං ගන්නත් බෑ"

පවුලේ කිව්වේ...?

තමුන්ගේ පියාගේ පියා. එයාගෙ ගෙදර තිබ්බෙ ඔය කියන තැන. එයා මැණික්‌ ගරපු එක කරලා තියෙන්නේ. එතන ගොඩක්‌ මැණික්‌ තියනවා. මැටි සෙම්බුවක දාලා මිරිස්‌ ගල යට පොළොවේ වලලපු තැන තමයි ඒ." "ඊට පස්‌සේ එයා මියගියා. දැන් එතනට වෙලා ඉඳගෙන ඉන්නවා. උස මහත ශරීරයක්‌ තිබුණු කෙනෙක්‌. රැවුල වැවිලා අමුඩයක්‌ තමයි ඇඳුම. පිං කරගෙන තිබිලා නෑ. දැන් අවුරුදු එකසිය තිහක්‌ වෙනවා. එතැන ඒ විදියටම අර මැණික්‌වලට ආසාවෙන් වක ගැහිලා ඉඳගෙන ඉන්නවා."

"කොහොමද ගන්නෙ?"

ගන්ඩ නම් මහ විශාල පිංකම් කරල එයාට පිං දෙන්න වෙනවා..."

එතැනින් එහාට සිදුවන සංවාදය සඳහන් කිරීමෙන් ලිපිය අනවශ්‍ය ලෙස දිගු වන බැවින් මෙසේ කෙටිකර ඔබේ අවධානය එම බහිරවයා වෙත යොමුකරමි. අවුරුදු එකසිය තිහක්‌ එකම තැන තමන්ට කිසිම පලක්‌ ප්‍රයෝජනයක්‌ ගත නොහැකි මැණික්‌ ගල් කීපයකට ආශාවෙන් මුලාවී දුක්‌විඳින අන්දම කෙතරම් විශ්මය ජනකද? ඒ ඔහු ජීවතුන් අතර සිටි කාලයේ මැණික්‌ ගරා තිබේ. ඒවාටම ඇලුන සිතක්‌ දැඩි ලෙස පැවතුනත් පිං දහම් කරගෙන නැත. එසේ අස්‌තිර සිතකින් යුතුව මැණික්‌ වලින් සැනසුන ඔහු මියයන විට රැගෙන ගියේද ඒ තෘෂ්ණාව පමණි. එබැවින් අවු. එකසිය තිහක්‌ තිස්‌සේ කෑමක්‌ බීමක්‌ ඇඳීමක්‌ නැතිව නැවත සුගති ආත්මයකට ඒමටත් වෙනත් අය ලබාදෙන පිනක්‌ අනුමෝදන් කර ගැනීමටත් බැරිව වසර එකසිය තිහක්‌ ගෙවූ ඔහු තව ඉදිරියට අවුරුදු කීසීයක්‌ සිටිනු ඇද්ද? යමෙක්‌ කුමන අන්දමින් හෝ එම මැණික්‌ ගල් එතැනින් ලබාගත්තොත් ඔහු කුමන වූ තත්ත්වයකට පරිවර්තනය වනු ඇද්ද? එවන් අය පාතාල බහිරවයන් ලෙස හඳුන්වයි. ඔවුන් ජීවත් වන්නේ ඒ තෘෂ්ණාව තුළය. ජීවිතාන්තය දක්‌වා සිරගෙට නියම වෙන මිනිසකුට වුවද යම් නිදහසක්‌ තිබේ. ආහාර පාන ලැබේ. ඇතැම් විට විසි වසරකින් හෝ නිදහසක්‌ද ලැබිය හැක. නමුත් මෙසේ පාතාල බහිරවයන් අවුරුදු සියගණන් එක්‌ තෘෂ්ණාවකට යටවී අනන්ත පරිමාණ දුක්‌ අනුභව කරයි. මේ මිනිස්‌ භවය තුළ අධික ලෙස වස්‌තු සම්පත්වලට තදින් ඇලුනු තෘෂ්ණාවල සිටීමේ ආනිශංසය මරණින් මතු නිශ්චිත ලෙසම එලෙස අත්කරන බව සිතන්න. මෙහි මුලින් සඳහන් කළ පාතාල අඳුන බැලූ මගේ මිත්‍රයා මෙවන් දුක්‌ ආත්ම සිය ගණන් දැකීමෙන් ඒවා අවබෝධ කොට ගිහි දිවියෙන් සමුගෙන දැන් ආරණ්‍ය වාසී භික්‍ෂූන් වහන්සේ නමක්‌ ලෙස භාවනාවන්හි යෙදෙමින් කාලය ගෙවමින් සිටී.

ජ්‍යෙතිෂවේදී අගලවත්තේ බී. හේරත්
උපුටා ගැනීම දිවයින