🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ඔබගේ වටිනා කාලයත් රාහුට පුද දෙනවාද?

ඔබගේ වටිනා කාලයත් රාහුට පුද දෙනවාද?රාහුට ඇත්තේ හිසක් පමණි. ඔහුගේ අසුබ බලපෑම සෑම දිනකම දිවා රාත්‍රී පැය එකහමාරේ කාල පරිච්ජේදය බැගින් පැතිර පවතී. එම කාලය සෑම බලවතකුම පාහේ බියපත්වන චකිතයට පත්වන කාලයකි. මන්ත්‍රීවරුන්, ඇමැතිවරුන් පමණක් නොව රාජ්‍ය නායකයන් පවා දිවුරුම් දෙන්නේද මේ රාහු කාලය මගහරමිනි. කෙසේ වෙතත් රජය ප්‍රධාන රාජකාරි හා ව්‍යාපෘති ආරම්භ කරන්නේ රාහු කාලය තුළදීවත් දැයි කෙනෙකුට නොදන්නාකමට සිතෙන්නට ඉඩ තිබේ. එහෙත් එය එසේ නොවේ. මේ දිනවල සිය පුත්‍රයා වෙනුවෙන් අභීතව වයඹ ඡන්ද සටනේ නිරතවන ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමාටද රාහු ඉදිරියේ යටතේ වන්නට සිදු වු අනුවේදනීය අවස්ථාවක් පසුගියදා කුරුණෑගලින් වාර්තා විය. පසුගිය අගෝස්තු 30 වනදා ස.තො.ස. ශාඛාවක් විවෘත කිරීමට යොදා ගෙන තිබුණේ පෙරවරු 11.00ටය. මහා සංඝරත්නයත්. මුස්ලිම් පූජකවරුත්, නගරාධිපති ප්‍රමුඛ ආරාධිතයනුත් වේලාසනින් පැමිණ ඇමැතිතුමා එනතුරු පාර බලා සිටියහ. එහෙත් විවෘතය සඳහා ඇමැතිතුමා පැමිණියේ හරියටම දහවල් 12.10ටය. පසුව එතුමා කළ කතාවේදී ප්‍රමාදයට හේතුව සුපුරුදු විවෘත භාවයෙන්ම පැහැදිලි කළේය. "මම රාහු කාලය තුළ එළියට බහින්න කැමැති නෑ. එය මග හැර එන්නටයි අද මට සිද්ධ වුණේ." 12.06 ට රාහු කාලය නිම වී විනාඩි 4ක් තුළ උත්සව භූමියට පැමිණීම තුළ එතුමාට රැස්වීමට පැමිණෙන්ට තිබූ බලවත් උවමනාව පැහැදිලි විය. ඇමැතිතුමා වැනි කතෝලික බැතිමතෙකු පවා රාහු කාලයට යටත් වීම එක් අතකින් අරුමයකි. තවත් අතකින් එය බලවතකුගේ බලවත් උවමනාවක් රාහු විසින් මඩිනු ලැබිමක් නිසා ‍පොදු ජනතාව තුළ රාහු කාලය කෙරෙහි ඇති බිය දෙගුණ, තෙගුණ කරන්නකි. එහෙයින් මෙය රාහු ගැන සියලු සැක සාංකා දුරුකර ලිපියක් ලිවීමට ඛෙහෙවින්ම උචිත අවස්ථාවක් සේ සලකමි. රාහු සහ කේතු යන ග්‍රහයන් කරළියට පැමිණියේ නිකම්ම නොවේ. අහසේ සිදුවන සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණත් ඒවා පැහැදිලි කිරීමට යොදාගත් හින්දු දේව කතාවකුත් මේ ග්‍රහ යුග්මය සම්ප්‍රාප්තියට හේතු පාදක විය. හින්දු දේව කතාව කෙටියෙන් මෙසේ දැක්වේ.

පෙර කලෙක සුර අසුර යුද්ධයක් ඇති විය. සුරයන්ට හෙවත් දෙවියන්ට යුද්ධය දිනා ගැනීමට විෂ්ණු උපායක් යෙදුවේය. ඒ අනුව වාසුකී නම් නාග රාජයා මහමෙර පව්ව වටා ඔතා සුරයන් නාගයාගේ වල්ගය පැත්තෙන්ද අසුරයන් හිස පැත්තෙන්ද අල්වා ගෙන මහමෙර පව්වෙන් කිරි මුහුද කැලතිණි. එසේ කිරි සයුර කැලතෙද්දී පහළ වූ වස්තූන් අතර අමරණීයත්වය ලබාදෙන අමෘතයද විය. විෂ්ණුගේ ගැහැනු අවතාරය වන මෝහිනී, දෙවියන්ට හෙවත් සුරයන්ට අමරණීය වනු පිණිස අමෘතය ඛෙදා දුන්නාය. ඒ අතර රාහු නම් අසුරයාද දෙවියෙකු සේ වෙස් වලාගෙන දෙවියන් අතර සිටිමින් අමෘතය පානය කළේය. එහෙත්, එය හිරු සහ සඳු විසින් දකින ලදුව වහාම රාහු ගැන මෝහිනීට දැනුම් දුන්නා. එසැණින් ක්‍රියාත්මක වූ මෝහිනී රාහු පානය කළ අමෘතය ඔහුගේ උගුරෙන් පහළට යන්නට පෙරම ගෙල කපා දැම්මාය. එතැන් පටන් අසුරයාගේ හිස කොටස වන රාහුත් කඳ කොටස වන කේතූත් කේලම් බස් කියූ ඉර හඳ කෙරෙහි වෛරයෙන් පසු වූහ. ඔවුහු අහසේ හිරුගේත් සඳුගේත් ගමන් මාර්ගවල රැක සිට වරින් වර හිරුත්, සඳුත් ගිල දමමින් ග්‍රහණ ඇති කරති. රාහු විසින් හිරු ගිලගත් විට රාහුගේ කැපුණු ඛෙල්‍ලේ විවරයෙන් හිරු පිටව යන්නේ පූර්ණ ග්‍රහණ අවසන් කරමිනි. ගිලෙන්නට පෙර හිරු රාහු මුඛයෙන් පැන ගත් විට සිදුවන්නේ හිරුගේ අර්ධ ග්‍රහණයකි. අද අප සතු දැනුම අනුව බලන විට ඉහත පැහැදිලි කිරීම් හාස්‍යජනකය. ‍පොළොව ඇතුළු ග්‍රහයන්ගේත් හිරුගේත් චලන පිළිබඳව කිසිදු දැනුමක් එදා මිනිසා සතු නොවීය. අහසේ සිදුවන ග්‍රහණ සහ ඒවායේ කාල රටාවන් එදා මිනිසාට නිරීක්ෂණය කළ හැකිවිය. ඔහුට එදා වැටහී ගියේ යම්කිසි අඳුරු ග්‍රහයෙකු විසින් හිරු, සඳු ගිල ගන්නා බවකි. එම නපුරු ග්‍රහයා පෙනෙන්නට නොසිටින හෙයින් ඔහු අඳුරු හෝ සෙවණැලි හෝ ස්කන්ධයක් නැති ග්‍රහයෙකු ලෙස හැඳින්විණි. නපුරු ග්‍රහයා වන රාහුත් ඔහුගේ විරුද්ධාන්ත ගමන් සගයා වන කේතුත් සිටිය යුතු ස්ථානද තීරණය කෙරිණි. රූපසටහනේ පරිදි හිරුගේ දෘෂ්‍ය ගමන් මාර්ගයට යම් ඇලයක් ඇතිව සඳුගේ ගමන් මාර්ගය පිහිටයි. මෙම ඇලය අංශක පහක් පමණ වේ. මේ නිසා මෙම ගමන් මාර්ග දෙක ස්ථාන දෙකකදී එකිනෙක කැපී යයි. ( මෙම ගමන් මාර්ග එකිනෙක කැපීයාම ද්වීමාන ලෙස අපට පෙනෙන දෙයක් පමණි. සැබැවින්ම හිරුගේ දෘෂ්‍ය ගමන් මාර්ගය ඇත්තේ සඳුගේ ගමන් මාර්ගයට කිලෝ මීටර් කෝටි 14ක් පමණ පිටුපසිනි.) ග්‍රහණ සිදුවන්නේ එම ගමන් මාර්ග කැපෙන ස්ථානවලය. එසේනම් හිරු සඳු ගිල ගැනීමට රාහු, කේතු සිටිය යුත්තේත් එම ගමන් මාර්ග කැපෙන තැන්වලය. ඒ අනුව රාහුට අංශක 180ක් ඈතින් ඊළග දෙන ලක්ෂ්‍යය මත කේතු පිහිටුවා ඇත. ඒ නිසා කේන්ද්‍ර සටහනක් බැලීමේදී නිතරම රාහු සිටින තැනට ප්‍රතිවිරුද්ධ ස්ථානයේ කේතු පිහිටයි. උදාහරණයක් දෙන්නේ නම රාහු පළමුවැන්නේ සිටියොත් කේතු හත් වැන්නේද , රාහු දෙවැන්නේ සිටියොත් කේතු අටවැන්නේද ආදී වශයෙනි. 21 වැනි සියවසේදී කේන්ද්‍ර සටහනක් බැලීම සුදුසු වන්නේ හුදු විනෝදාස්වාදය සඳහා පමණි. හිරුගේ දෘෂ්‍ය ගමන් මාර්ගය සම්පූර්ණ කිරීමට හිරුට වසරක් ගතවේ. සඳු ‍පොළොව වටා යන ගමන් මාර්ගය ගෙවා දැමීමට සඳුට දින විසි හත හමාරක් පමණ ගතවේ. ග්‍රහණ ඇති වන්නේ ‍පොළොව, හිරු හා සඳු එක කෙළින් පිහිටි විටය. එසේ පිහිටන්නේ හිරුගේත් සඳුගේත් ගමන් මාර්ග එකිනෙක කැපී යන ස්ථානවල බව රූප සටහනෙන් පැහැදිලි විය යුතුය. එවැනි අවස්ථාවල හිරුත්, සඳුත් මැද ‍පොළොව පිහිටියහොත් හිරු නිසා ඇති වන ‍පොළොවේ යෝධ සෙවණැල්ලෙන් සඳ වැසී නොපෙනී යයි. ඒ චන්ද්‍රග්‍රහණයකි. සඳ මැදිවන සේ දෙපස හිරු සහ ‍පොළොව පිහිටියහොත් සඳුගෙන් හිරු මුවා වීම නිසා සූර්ය ග්‍රහණය සිදුවේ.එදා ග්‍රහණවලට හේතු පැහැදිලි කළ ආකාරය අද වනවිට බැහැර වෙමින් පවතී. සූර්ය ග්‍රහණයක් සිදු වන්නේ හිරු රාහු විසින් ගිල දැමීම නිසා බව අද පිළිගන්නේ අතළොස්සකි. එහෙත් ග්‍රහණවලට හේතු පැහැදිලි කිරීමට එදා මිනිසා විසින් නිර්මාණය වුණු රාහු නම් අසුබ ග්‍රහය, සිතින් ඉවත් කර ගැනීමට සමාජය තවමත් සූදානම් නැති බවක් පෙනේ. රාහුගේ අසුබ බලපෑම පවතින්නේ යැයි කියන කාලය ‘රාහු කාලය’ නමින් වෙන් කර ගෙන එම කාලය මග හැරීමට අපමණ වෙහෙසක් ගන්නා සමාජයක් තවමත් අප හමුවේ ඇත. ඔවුන් අතර උගතුන් හා බලවතුන් සිටීම හාස්‍යයට කරුණක් නොව කනගාටුවට කරුණකි. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. සිතින් හදාගත් බිල්ලෙකුට බිය වීම මිනිස් බුද්ධියට නිගාවකි. ඔබේ රන් හා සමාන කාලය රාහු වෙනුවෙන් කැප කරනවාද එසේ නැත්නම් තමන්ගේ ප්‍රයෝජනවත් වැඩකට යොදා ගන්නවාද කියා තීරණයක් ගැනීමට මෙය සුදුසුම අවස්ථාවයි.

සැම්සන් ගුණතිලක