🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සුබ නැකතක ස්වභාවය

සුබ නැකතක ස්වභාවය

නූතන ලෝකයට විද්‍යාව බිහි කළ පුරෝගාමී විද්‍යාඥයින් අතරින් ප්‍රබලයෙක් වන "ඇල්බර්ට් අයින්ස්ටයින්" මෙසේ කීවේය. මේ විශ්වය තුළ අපගේ ඇසට නොපෙනෙන අනන්තා පරිමාණ ගුණාංග පවතී. මේ ගුණාංගයක් දැකීමට ස්පර්ශ කිරීමට නොහැක. මේ ගුණාංග එකිනෙක මිශ්‍රණය වීමේදී අන්‍යොන්‍ය සම්බන්ධතාව ලොවට යහපත් හෝ අයහපත් ප්‍රතිඵලයක් නිකුත් කරමින් සිටී. මේ කියමන ඔහු ප්‍රකාශ කරන්නේ පරමාණුව සොයා ගැනීම සහ පරමාණුවේ සංයුතිය අත්හදා බලන කාලයේය. අවාසනාවකට මෙන් ඔහුද ලෝකය විනාශ කර දමන ගුප්තමය බලයක් ඒකරාශි කර ජපානයේ හිරෝෂිමා නාගසාකී යන නගර පරමාණුවෙන් ගිනිබත් කළ බෝම්බ වල මහා මොළකාරයාද විය. නමුත් ප්‍රබල විද්‍යාඥයෙක් ලෙස ලෝක ඉතිහාසයට එක්විය. එතැන් සිට අද දක්වා ලෝකය ඩිජිටල් සැටලයිට් ලෝකයක් බවට පත්වන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් ලාට පිං සිදුවෙන්නටය. සමස්ථ විශ්වයම නිර්මාණය කරන සූර්යා තුළ පවතින අනන්තා පරිමාණ විවිධ ගුණාංග පෙරාගෙන න්‍යෂ්ටික බලාගාර තුළ තැන්පත් කරගෙන නූතන මිනිසාට අදවන විට විශ්මිත නිර්මාණ කිරීමට හැකියාව ලැබී තිබේ. පරිගණකය එයින් ප්‍රධාන තැනක් ගනී.විශේෂයෙන් සූර්යා සතු යුරේනියම් බලය (ගුණාංග) මෙන්ම පරමාණුවක සංයුතිය වූ ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන වැනි විශ්ව ගුණාංග විවිධ වෙනත් විශ්ව ගුණාංග සමග මිශ්‍ර කර ඒ හරහා විදුලි දහරා යවමින් විවිධ ක්‍රියාවන් අද වන විට ලොව තුළ ක්‍රියාත්මක වෙයි. මිනිසා වැඩිපුරම පරිභෝජනය කරන ජංගම දුරකථනයද මේ විශ්ව ගුණාංග යොදා කෘත්‍රිම ලෙස සකස් කරගත් විශ්ව බලයකි. විශ්වයේ ඇසට නොපෙනෙන ගුණාංග විද්‍යාඥයින් විසින් තෝරා බේරාගෙන කෘත්‍රිම වශයෙන් විවිධ වස්තූන් නිර්මාණය කිරීම විශ්ව බලයේ එක් පැත්තකි. අපේ මාතෘකාව ජ්‍යොතිෂ ශාස්ත්‍රයෙන් මිනිසා වැඩගත් නැකැත් ශාස්ත්‍රීය සම්බන්ධයෙනි. "නැකැත්" යනු ඇල්බර්ට් අයින්ස්ටයින්ලා සොයාගත් විශ්ව බලයේම තවත් සූක්ෂම පැත්තකි. එය ස්වභාව ධර්මයට අනුකූල වන පරිද්දෙන් අන්‍යොන්‍ය සම්බන්ධතාව යහපත් ලෙස යොදා ගත් ශාස්ත්‍රයකි.

මිනිස් වාසයෙන් ඉවත්වී වනාන්තර ගතව ගහ කොළ ඇල දොළ සතා සිව්පාවා සමග ජීවත් වෙමින් ධ්‍යාන වඩා මනස ඉතා බලවත් කර ඥනය ප්‍රඥව දියුණු කළ පැරණි සෘෂි වරුන් මෙම නැකැත් ශාස්ත්‍රය ලොවට දායාද කළහ. මිනිසාගේ ප්‍රධානතම කටයුතු නිවාස, රැකී රක්ෂා විවිධාකාර කාර්යයන් මෙන්ම මූලික අරමුණ වූ ගොවිතැනට පවා නැකත මූලික කරගත් බව පහළ ඌවේ නැකැත් පොත වැනි ග්‍රන්ථ පරිහරණය කිරීමේදී පෙනේ. පෙර මිනිසාගේ ගුණධර්ම සහ සෞභාග්‍ය නැකත අනුව බැඳී පැවතුනි. අද ඩිජිටල් සැටලයිට් ලෝකය බිහිවූයේද මේ නොපෙනෙන නොදැනෙන විශ්ව ගුණාංග එක්වීමෙන් වුවත් ඇතැම් අය මේ ඇසට නොපෙනෙන දේවල් විශ්වාස නොකර නූතන විද්‍යාව නිපද වූ වස්තූන් පරිභෝජනය කරති. එසේම නැකත පිළිබඳ උනන්දුව අඩුවීමක් හෝ එක්කෝ එය චාරිත්‍රයක් ලෙස දැකීමටත් වර්තමානය තුළ වැඩි පිරිසක් උත්සාහ දරන බව පෙනේ. ඇතැම් විට නැකැත් ශාස්ත්‍රය පිළිබඳව පවතින සංකීර්ණතාව ගැනද විශ්වාසය ගිලිහී ගොස් තිබේ. සුබ නැකත යනු අපට අවශ්‍ය වෙලාවට විශ්වයේ පවතින දෙයක්ද නොවේ. එය සූර්යයාද චන්ද්‍රයාද මූල්කොට විශ්වය තුළ කඩින් කඩ බිහිවන ගුණාංග රාශියක එකතුවකි. ඒවායේ අන්‍යොන්‍ය සම්බන්ධතාව විවිධ කාර්යයන් උදෙසා ප්‍රයෝජනයට ගත හැකි ආකාරයත් ඒවා බිහිවන මූලාශ්‍රයනුත් සෘෂිවරුන් පෙන්වා දී තිබේ. ගුණාංගයක් තවත් ගුණාංගයක් අතර පවත්නා අන්‍යොන්‍ය සම්බන්ධතාවය විශ්වයට යහපත් හෝ අයහපත් ප්‍රතිඵලයක් ලබාදෙයි යන ඇල්බර්ට් අයින්ස්ටයින් ලාගේ කියමන අනුව විමසන කල සුබ නැකැතක් තුළද ප්‍ර්‍රධාන වශයෙන් ගුණාංග රාශියක් පවතින බව පෙනේ. එයින් පංචාංගය ලෙස හඳුන්වන සුබ දවස සුබ නැකත සුබ යෝගය සුබතිථිය සුබකරණය යන කරුණු 05 ප්‍රධාන වේ. එසේම සුබ හෝරාව සුබ ලග්නය සුබ දශාව සුබ ග්‍රහ පිහිටීම වශයෙන් තවත් ගුණාංග රැසක් එයට සුබවාදී අන්දමින් එක්වෙයි. ඒ අනුව කෙනෙකුට සුබ නැකතක් හෙවත් සුබ මුහුර්ථයක් ශුද්ධ කරගත හැකිය. දිනහතට සුබදින වීමට චන්ද්‍රයා පුර පක්ෂයේ සිටිය යුතුය. ඒ අනුව සඳුදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා යන දිනයන් සුබ දිනයන් වේ. එසේම ඒ ඒ දිනවල පවතින නැකත සහ තිථිය ඒ ඒ දිනවලට අවයෝග හෙවත් අශුභ නොවී පැවතිය යුතුය.

විශේෂයෙන් නැකත අදාළ ජන්මියාට විපත් ප්‍රත්‍යාරි, වධ යන ගණයට නොවැටී සම්පත්, ක්ෂේම සාධක මෛත්‍රී පරම මෛත්‍රී යන ගණයට අයත් විය යුතුය. නැකැත් 27 න් "කැති" වැනි නැකතක් කොපමණ සුබ ගණයකට වැටුණත් එය විපත්තිදායක බැවින් යොදා නොගත යුතුය. එසේම ජන්මීන්ගේ ඒ ඒ ලග්න අනුව සඳු බුද ගුරු සිකුරු වැනි ග්‍රහයින් 22 වන දෙර්කාණාධිපති වේ නම් එම ග්‍රහයින්ට අයිති දිනයන් මෙන්ම තත්කාල හෝරා ලග්න තෝරා නොගත යුතුය. ලග්න කීවේ නැකැත් වේලාවට උදාවන තත්කාල ලග්නයටය. එසේම හැම ලග්නයකටම සිටින බාධක ග්‍රහයාද තෝරා නොගත යුතුය. මේ ග්‍රහයින් සම්බන්ධවීමෙන් නැකත ඵල රහිතවීම මෙන්ම ප්‍රශ්න කරදර බාධක ලෙඩදුක් ඇතැම් විට මරණය පවා හිමිවිය හැකිය. සියලු ගුණාංග මනා ලෙස ගැලපුන සුබ දිනයෙන් තමන්ගේත් කරන කාර්යයේත් ආයුෂය පැවැත්ම වර්ධනය වේ. අවහිර බාධක කරදර දුරුවේ. උදාවී ඇති සියලු ගුණාංගවලට සමගාමී සුබ නැකතක් නම් තමන් අදහස් කරන කාර්යයට අකුසල උපපීඩක කර්මය නම් තමන්ගේම පෙර පව් පැමිණ හරස්වී සුබඵල ලබාදීමට ඉඩනොදී පිං බලය ඉස්මතු කොට එම කාර්යයට ශක්තිය ලබාදෙයි. අන්‍යොන්‍ය සම්බන්ධතාව යහපත් ලෙස ලබාදෙන සුබ යෝගයකින් තමන්ගේ නිරෝගී බව වර්ධනය කරන අතර කරන කාර්යයට ඇති අවුල් වියවුල් බාධක විපත් මගහරවා දෙයි. සියලු පැති ගැලපෙන සුබ තිථියක් උපයෝගී කර ගැනීමෙන් ආර්ථික මෙන්ම ආකර්ෂණය පිළිගැනීම වැනි ගුණාංග ලබාදෙයි. ඉතා සුබ කරණයකින් නැකැත පරිපූර්ණ වේ නම් තමාගේ අදහස් හා බලාපොරොත්තු එම කාර්යයෙන් මනාව ඉෂ්ඨ සිද්ධ වීමට සලසයි. මේ කරුණු පහට අමතරව හෝරාව තත්කාල ලග්න ග්‍රහ බලය ජන්මියාගේ දශා අන්තර් දශා විද්‍යා මෙන්ම කේන්ද්‍රයේ ග්‍රහචාරය ගැනද සැලකිලිමත් විය යුතුය. මෙලෙසින් සකස් කර ගන්නා සුබ නැකතක් අරඹන ක්‍රියාව මෙලොව ලෞකික මිනිස් ජීවිතයට ඥන ධර්ම අර්ථ කාම මෝක්ෂ යන ලෞකික පංච සමාපත්තිය ඇතිකරන බව ශාස්ත්‍ර නියමය වේ. එසේම ජන්මියා ගත කරන මහ දශාව අතුරු දශාව විදසාව සහ ග්‍රහ චාරය අනිවාර්යයෙන් යහපත් වියයුතුය. නොඑසේ නම් කොපමණ සුබ නැකතක් වුවද සුබ ප්‍රතිඵල උඩුයටිකුරු වේ. නිවසක් තැනීමට නම් නිවැරැදි සැළැස්මක් විය යුතුය. භූමි දෝෂ සහිත නම් එයද ප්‍රතිඵල ශුන්‍ය වන හේතූන්වේ. සියලු දෝෂවලින් මිදුන නිවැරැදි නැකත ජීවිත කාලයටම සෞභාග්‍ය නිරෝගී බව ලබාදෙයි.

අගලවත්තේ බී. හේරත්

උපුටා ගැනීම දිවයින පුවත් පත