This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
කාමයට අධිපති සිකුරුත්, ඥානයට අධිපති බුධත් පරදී සෙනසුරා රජ ගමනක
2013 සැප්තැම්බර් මස 19 බ්‍රහස්‌පතින්දා දින රාත්‍රි ඔරලෝසු වේලාවෙන් පෙරවරු 02.25 ට කාමයට අධිපති සිකුරු සහ දුකට අධිපති සෙනසුරු යුද වදී. මේ වන විට සිකුරු ගෝචර ගමනින් තම ස්‌වක්‌ක්‍ෂේත්‍ර රාශියක්‌ වන තුලා රාශියේ සෙනසුරුට හිමි කුම්භ නවාංශකයේ තම බලය තහවුරු කර ගැනීම සඳහා සෙනසුරු සමග සටන් වදී. එහිදී දුකට අධිපති මෙන්ම සංසාර ගමන්මග සුවපත් කිරීමට මග පාදන සෙනසුරුට ජය ලැබේ. මෙම අවස්‌ථාවේ උදාව පවතින්නේ රාහුට හිමි සා නැකතයි. මෙම ග්‍රහ යුද්ධයේ ප්‍රතිඵල මත නොසිතූ ලෙස සැගවී තිබූ ස්‌ත්‍රී දූෂණ හෙළිවේ. සල්ලාලයන්ට කාම දේනුවන්ට නින්දා අපහාස විඳීමට සිදුවේ. ගණිකා මධ්‍යස්‌ථාන, නීති විරෝධි ලිංගික ශ්‍රමය සපයන ස්‌ථාන, සංවිධානාත්මකව සමාජ විරෝධීව ක්‍රියාත්මක වන ලිංගික සේවා ස්‌ථාන නීතියේ රැහැනට අසුවේ. එමෙන්ම නීතියෙන් සහ සමාජයෙන් දඬුවම් ලැබේ. කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්‍ෂාව උදෙසා නව සමාජ අවධානයක්‌ යොමුවේ. සියලු කටයුතු සමාජ යහපතට සිදුවේ. 2013 ඔක්‌තෝම්බර් මස 09 වැනි බදාදා දින ඔරලෝසු වේලාවෙන් පෙරවරු 1.10 ට ඥනයට අධිපති බුධ සහ දුකට අධිපති සෙනසුරු යුද වදී. මෙම අවස්‌ථාවේ දී බුධ සහ සෙනසුරු යුද වදින්නේ තුලා රාශියේ ගුරු හිමි මීන නවාංශකයේදීය. රාහු හිමි සා නැකතේ 04 වැනි පාදයෙයි. මෙහිදීද ජය හිමි වන්නේ සෙනසුරුටය. අධ්‍යාපන අංශයේ නොසිතූ පෙරළි සිදුවේ. සිසු උද්ඝෝෂණ, මහජන කැළඹීම්, ඇතිවේ. නොසිතූ ලෙස ජනතා බලය නැගිටී. අල්ලස්‌, දූෂණ, වංචා හෙළි වීමද හේතුවේ. බුද්ධිමය දේපළ වංචාකරුවන් නීතියේ රැහැනට අසුවේ. බුද්ධිමතුන් නායකයන් අභිබවා මහජන බලය මතුවේ. 2013 ඔක්‌තෝම්බර් 30 සඳුදා දින ඔරලෝසු වේලාවෙන් පෙරවරු 02.19 ට නැවත බුධ තම බලය තහවුරු කර ගැනීම සඳහා සෙනසුරු සමග යුද වදින්නේ මීන නවාංශකයේ සා නැකතේ 04 වැනි පාදයේදීමය. මෙහිදීද තම උච්ච බලය තහවුරු කර ගැනීමට සෙනසුරු සමත්වේ. මිත්‍ර බලයෙන් සිටින බුධ එහිදීද පරාජයට පත්වේ. මේ මගින්ද සිදු වනුයේ තවදුරටත් අධ්‍යාපන අංශයේ ගැටලු ඇතිවීමයි. විශේෂයෙන් මෙම අංශයේ ඇතිවන ව්‍යාකූලතා මර්දනය කිරීමට යැම තුළ සමාජයීය අවධානය මෙම අංශයට යොමුවේ. එමෙන්ම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් වැඩි පිරිසක්‌ එකතු වන තත්ත්වයක්‌ ද පෙන්නුම් කරයි. සග, වෙද, ගුරු, ගොවි, කම්කරු, සිසු එකතුවක්‌ පෙන්වයි. මෙම ඒක රාශි වීම දැනට පවතින කිසිම දේශපාලන පක්‍ෂයකට වාසි සහගත නොවේ. අනාගත දැක්‌මකට සමාජය පෙළගැස්‌ම පමණක්‌ සිදුවේ. මෙම ග්‍රහ යුද්ධයේ දී සෙනසුරු ජය ගැනීම මේෂ, වෘශ්චික ලග්න හිමියන්ට සුබ තත්ත්වයක්‌ නොවේ. අධ්‍යාපන බිඳවැටීම් බලාපොරොත්තු කඩවීම් ආදියට හේතුවේ. වෘෂභ ලග්නකරුවන්ට ඉතා සුබය. රැකියා ලාභ සහ අමතර ආදායම් මාර්ග පෑදීම සිදුවේ. තමා ඉගෙනගත් දෙයට වටිනාකමක්‌ ලැඛෙන තත්ත්වයක්‌ද පෙන්නුම් කරයි. මිථුන ලග්නයෙන් ජන්මය ලැබූවන්ට තම ස්‌වක්‌ක්‍ෂේත්‍ර සහ සම තත්ත්වයේ සිටින ග්‍රහයන් පරදා මිත්‍ර තත්ත්වයෙන් සිටින සෙනසුරු ජය ගැනීම සමඵල තත්ත්වයක්‌ උදා කරයි. එහෙත් බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට දැඩි උත්සාහයක්‌ ගත යුතුය. කටක ලග්න හිමියන්ටද විශේෂ වාසි සහගත තත්ත්වයක්‌ නොපෙනේ. සිංහ ලග්න හිමියන්ට තම කටයුතු කර ගැනීමට විශේෂ පරිශ්‍රමයක්‌ දැරීමට සිදුවේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබිය නොහැක. කන්‍යා ලග්න හිමියන් බලාපොරොත්තු ඉටුකර ගැනීමට උත්සාහ දැරිය යුතුය. කරන ලද හොඳට වඩා නරක පිළිබඳව සිතන පිරිස වැඩිවේ. ප්‍රවේශම් සහගත වීම අත්‍යවශ්‍යවේ. තුලා ලග්නකරුවන්ට මෙම සෙනසුරුගේ ජයග්‍රහණය ඉතා සුබය. යෝග කාරක ග්‍රහයාගේ ජය සමග මෙම ලග්නකරුවන්ට නොසිතන පිමි පැනීමට ශක්‌තිය ලැබේ. ධනු ලග්න හිමියන්ට මෙම සෙනසුරුගේ ජය ගැනීම සුබ නොවේ. මකර සහ කුම්භ ලග්න හිමියන්ට විශේෂ සමාජ පිළිගැනීමක්‌ මේ මගින් හිමිවේ. තිඛෙන සහ තිබුණ සතුරු කරදර බාදක ඉවත්ව යයි. අතපසුව තිබූ කටයුතු වේගයෙන් කිරීමට තරම් ශක්‌තියක්‌ ලැඛෙන තනතුරු සහ බලයන් ලැබේ. මීන ලග්න කරුවන්ට ඉතාම නරකට බලපාන සෙනසුරු ජයකි. තම කැදැල්ලේ සමීපතමයන් වුවද තම දොස්‌ දකී. හොඳ කිවූ අයද දොස්‌ කියයි. උච්ච තත්ත්වයෙන් සිටින 03 වැනි සහ 10 වැනි භාවයට අධිපති සිකුරු පරාජය වීම තුළ තම වික්‍රමයන් සහ රැකියාව පිළිබඳව ඇති විශ්වාසය නැතිවේ. සමීපතමයන් ඈත්වේ. නීචව සිටින බුධද පරාජයට ලක්‌වීම තුළ තව තවත් පීඩනයට මෙම ලග්න හිමියා ලක්‌වේ. මේ අනුව මෙම ග්‍රහ යුද්ධ 03 හි ප්‍රතිඵල පොදුවේ ගත්විට සාමාන්‍ය ජනතාවට සුබය. සමාජ විරෝධීන්ට මෙන්ම නීතියට ගරු නොකරන්නට අසුබය. එමෙන්ම වෘෂභ, තුලා, මකර, කුම්භ යන ලග්න 04 ට සුබ ඵලදායකය. මිථුන, කන්‍යා, කටක, සිංහ යන ලග්න 04 කට සමඵල ගෙනෙන අතර මේෂ, වෘශ්චික, ධනු, මීන යන ලග්න 04 ට අසුබ පලදායකය. හෝමාගම ජී. සමරප්පුලිගේ උපුටා ගැනීම දිවයින පුවත් පත