🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

විවාහය ප්‍රමාදද?

විවාහය ප්‍රමාදද?

නව යොවුන් වියට පත්වන විට තරුණ ඔබට විවාහය ගැන උනන්දුවක්‌ ඇතිවීම ස්‌වාභාවිකය. කායිකව පමණක්‌ නොව මානසිකවද පරිවර්තනයකට ලක්‌වන මෙම වයසේදී විවාහයට පෙලඹීම ඒ අනුවම සිදුවේ. තරුණ වයස ඉක්‌මවීමට පෙර ආදර සබඳතාවක්‌ මත හෝ යෝජනාවක්‌ අනුව විවාහ වී මවුපියන් වන අය බොහෝ වුවද විවාහය අහිමිව, ජීවිතය ගැන කලකිරීමට පත්ව සිටින තරුණ තරුණියන්ගේ සංඛ්‍යාවද සුළුපටු නොවේ. සති අන්තයේ නිකුත් කෙරෙන පුවත්පත්වල මංගල දැන්වීම් තීරය බලන විට වයස්‌ සීමාව ඉක්‌මවා යමින් සිටින විවාහ අපේක්‍ෂකයන් සංඛ්‍යාව කොතරම්දැයි පෙනේ. බොහෝ අයට රූපයෙන්ද ධනයෙන්ද උගත් කමින්ද අඩුවක්‌ නැතත් කුමක්‌ දෝ අහේතුවකින් විවාහය සිදුවීම පමාවෙයි. අනෙක්‌ අතට නිසි වයස සම්පූර්ණ වූ දරුවන්ට සුදුසු පරිදි ආවාහ විවාහ සිදුකරදීම මවුපියන්ගේ එක්‌ යුතුකමක්‌ බව බුදුදහමින් ද අවධාරණය කෙරේ. විවාහය පමා වන විට තමන් මිය පරලොව ගිය කලෙක දුවට හෝ පුතාට ඉන්නේ කවුරුන්දැයි මවුපියෝ ශෝක වෙති. විවාහය පමා වූ තරුණියක්‌ සිටින නිවෙසක නම් අන් සියලු ප්‍රශ්න අභිභවා එම ප්‍රශ්නයම මතුවී කරදරයක්‌ බවට පත්වෙයි. සියලු සුදුසුකම් සපුරා ඇතත් විවාහය ප්‍රමාද වන්නේ ඇයි? එම ප්‍රමාදයට හේතු කවරේද? විසඳුම් තිබේ නම් ඒ මොනවාද? යන ප්‍රශ්න පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු. මෙය කියවන ඔබේ හෝ දරුවකුගේ විවාහය ප්‍රමාද වී ඇත්නම් මෙයින් ඊට ප්‍රමාණවත් විසඳුමක්‌ ලැබේ යෑයි විශ්වාස කරමු.

විවාහය යනුවෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ද? පළමුවෙන් හඳුනාගත යුතුයි. ස්‌ත්‍රියක හා පුරුෂයකු අතර ඇතිවන සරණ බන්ධනය ලෙසද නීත්‍යනුකූල එක්‌වීම ලෙසද සිංහල ශබ්ද කෝෂයේ විවාහය හඳුන්වා දී තිබේ. එහෙත් අපේ මුතුන් මිත්තන් විවාහය නීති ප්‍රකාරව ලියාපදිංචි කර නැත. එසේ නමුත් වසර ගණනක්‌ සුහදව දිවිගෙවා ඇති බව පෙනේ. මංගල උත්සවයක්‌ ඇතිව හෝ නැතිව සූර්ය වර්ෂයකට වැඩි කාලයක්‌ එක්‌ව ජීවත් වීම විවාහය ලෙස ජ්‍යොතිෂයේ සඳහන් වේ. එය හුදු ලිංගික බැඳීමක්‌ම නොවේ. එහි උත්තරීතර පරමාර්ථය අනාගත පරපුරක්‌ බිහි කිරීමයි. විවාහය පමාවීම ගැන ඔබ ශෝක වන්නේද? එසේ නම් පළමුව කිව යුත්තේ විවාහය යනු රෝසමල් යහනාවක්‌ නොවන බවය. විවාහයකින් සැප විඳින්නේද යන්න ඔබ අවට නිවෙස්‌වල ජීවත්වන අඹු සැමියන් දෙස බලා තේරුම් ගන්න. බොහෝ වගකීම්, බැඳීම්, කැපකිරීම්, බහුල විවාහ ජිවිතය පමාවීම ගැන දුක්‌විය යුතු නොවන බව පළමුව වටහා ගත යුතුය. එහෙත් ජීවිතයේ යථා ස්‌වභාවය හඳුනාගෙන බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කරමින් ආධ්‍යාත්මික වශයෙන් උසස්‌ තත්ත්වයකට පත්වීම සෑම කෙනකුටම පහසු කටයුත්තක්‌ නොවේ. කම් සැප විඳීම උදෙසා එක්‌තරා සීමාවක්‌ ඇතිකර ගැනීමටත්, ජීවිතයට සහකරුවකු ලබාගැනීම පිණිසත් යහපත් දරු පරපුරක්‌ ඇතිකර ගැනීමටත් විවාහය වඩාත් සුදුසුය. ඉන්දියාවේ සෘෂිවරුන් විසින් ලියා ඇතැයි පිළිගන්නා නාඩි වාක්‍ය කියවීමට මෙම ලියුම්කරුටත් හිතවතුන් කිහිප දෙනකුටත් අවස්‌ථාව ලැබිණ. තම බිරිඳගේ හෝ සැමියාගේ නම් එහි ලියෑවී තිබේ. තම බිරිඳ හෝ සැමියා කවරකුදැයි ඉපදෙන විටම තීරණය වී ඇති බව මෙයින් පෙනෙයි. එනම් විවාහය තීරණය වන්නේ කර්ම විපාක අනුව බවයි. විවාහය ගැන කියෑවෙන කර්ම පිළිබඳව කේන්ද්‍රයේ හත්වැනි භාවයෙන් විස්‌තර කෙරේ. බෞද්ධ කර්මවාදය අනුව එයින් ලඋපස්‌ථම්භක කර්මල ගැන කියෑවේ. ස්‌ථම්භ යනු කණුවට කියන නමකි. උදව්වට තබන ලීය නැතහොත් කණුව යන අර්ථය ඇතිව උපස්‌ථම්භක යන නම ලැබී තිබේ. ජීවිතයට උදව් දෙන කණුවක්‌ වැනි උදව් උපකාර කරන්නා වූ සහකරුවන් හෝ සහකාරියන් ගැන එයින් කියෑවේ. තවද කාමයට අධිපති සිකුරුද, විවාහයට අධිපති ගුරුද, හිතට අධිපති සඳු යන ග්‍රහයන් හා හත්වැන්නට අධිපති ග්‍රහයාද ආදී කරුණු මත විවාහයේ තත්ත්වය විනිශ්චය කළ හැකි වන්නේය. මේ අනුව පහත සඳහන් ග්‍රහ යෝග යෙදී ඇත්නම් විවාහය ප්‍රමාද විය හැකිය. කාමයට අධිපති සිකුරු හා දුකට අධිපති ශනි සංයෝග වීම එක්‌ යෝගයකි. එමෙන්ම සිකුරු හා හානියට අධිපති හෙවත් අට අධිපති සංයෝග වීම තවත් යෝගයකි. හත අධිපති නීචවී 6,8,12 ස්‌ථානයට යැම තවත් විවාහ බාධක ගෙන දෙන යෝගයකි. මේවා කලත්‍ර දෝෂ නමින්ද හැඳින්වේ. මෙයට අමතරව කේන්ද්‍රයේ කොටු 7 කට පමණක්‌ හෙවත් රාහු හා කේතු අතරට පමණක්‌ සියලුම ග්‍රහයන් ඇතුළත්වන කාල සර්පයෝගයද විවාහ බාධා ඇති කරවයි. පරලොව පිළිබඳව හිත යොමු කරවන දුකට අධිපති ශනි තුලා රාශිගතව උච්ච වීමද කම් සැප කෙරෙහි හිත ඉවත් කරවන බැවින් විවාහ පමාවීමට ඉඩ තිබේ. සිකුරු හා සඳු නීච වීමද මෙයට හේතුවක්‌ වශයෙන් සඳහන් වන්නේය. විවාහ ප්‍රමාදයක්‌ දක්‌වන ග්‍රහ යෝග තම කේන්ද්‍රයේ තිබේදැයි පළමුව පරීක්‍ෂා කර ගත යුතුය. එවැනි යෝග තිබේනම් ඊට අදාළ ග්‍රහ ශාන්ති කර්ම කරගත යුතුවේ.

මෙවැනි යෝග නැති වුවද විවාහ ප්‍රමාද වීමට ඉඩ ඇත්තේය. විශේෂයෙන්ම විවාහ වන වයස උදාවීමට සෙනසුරු ඒරාෂ්ඨක අපලයක්‌ ද උදා වුවහොත් විවාහයට පමණක්‌ නොව සියලු අංශවලට බාධා ඇති වන්නේය. ජන්ම පත්‍රයේ සඳු සිටින රාශිය මතින් ශනි ගමන් කරන අවුරුදු දෙකහමාරකට ආසන්න කාලය තුළ ශනි කේතු ආදී පාප ග්‍රහයන්ගේ දශාවන් ද යෙදී ඇත්නම් එය ජීවිතය කණපිට පෙරළෙන කාලයක්‌ වන නිසා විවාහයද ප්‍රමාදවීමට බොහෝ ඉඩ තිබේ. මෙවැනි කාලයන්හිදී නුසුදුසු, නොගැළපෙන යෝජ නා ඉදිරිපත් වේ. නැතහොත් දීර්ඝ කාලයක්‌ තිබූ ප්‍රේම සබඳතා බිඳ වැටේ. විවාහය ප්‍රමාදවීමට හේතුව ග්‍රහයන් නොවන බව වටහා ගත යුතුය. එහෙත් එම ග්‍රහයෝගවලින් පෙන්වන්නේ විවාහයට බාධක වන ආකාරයක අකුසල කර්ම විපාකයක්‌ ක්‍රියාත්මක වන බවයි. පෙර ආත්මයක අන්‍යයන්ගේ විවාහ ජීවිතවලට බාධා කිරීම, භේද කිරීම, වැරැදි කාමයේ යෙදීම, ඊර්ෂ්‍යා කිරීම වැනි අකුසල කර්ම ඊට හේතු වනවා ඇත. සමහරවිට ශුභ ග්‍රහයන් බලවත්ව යෙදීමෙන්ද විවාහ බාධා ඇති කරවයි. ප්‍රඥවට අධිපති ගුරු ග්‍රහයා බලවත්ව හත්වැන්නේ සිටීම උදාහරණයකි. එවැනි අය වුවමනාවට වඩා තම සහකරුවා පිළිබඳ සුදුසුකම් අපේක්‍ෂා කරයි. උගත්කම, බුද්ධිය, ශීලය, තැන්පත් බව ආදී චරිත ලක්‍ෂණ බොහෝ අපේක්‍ෂා කරන නිසා එවැනි අය දුර්ලභ බැවින් විවාහය පමාවේ. එය වටහා ගත යුතුය. ඉක්‌මනින් විවාහ වීමට අපේක්‍ෂා කරන්නේ නම් ඊට අනුගමනය කළ යුතු ශාන්ති කර්ම කිහිපයක්‌ පහත පළ කරමු. පළමුව විවාහක අයට මෙන්ම විවාහපේක්‌ෂක පෙම්වතුන්ට සුබ පතන්න. එවැනි අය ගැන සතුටු වන්න. අනුන්ගේ විවාහ මංගල උත්සවලට උදව් දෙන්න. ආශිර්වාද කරන්න. කළු, නිල්, දම්, දුඹුරු වැනි තද පාට වල ඇඳුම්, පැලඳුම්, කාකනිල්, මැණික්‌ අත්හරින්න. ළා පාට අඳින්න. ඔබ නිදා ගන්නා කාමරයේ දොර දෙසට පාද දමා නිදා ගැනීම සහ ඔබේ සිරුර කණ්‌ණාඩිවලින් පෙනීම අසුභය. නිදන කාමරයේ පිිරිමින්ට අයත් භාණ්‌ඩ කිහිපයක්‌ද පිිරිමි රූප හෝ යුවළකගේ රූප සවිකරන්න. ශනි ඒරාෂ්ටක අපලයක්‌ හෝ වෙනත් ග්‍රහ අපලයක්‌ මේ දිනවල පවතී නම් විවාහයට පෙර එයට අදාළ ග්‍රහ ශාන්තිකර්ම කරගන්න. බුද්ධ පූජා බෝධි පූජා තබා පත්තිනි දේවියට භාරහාර වීම ඉතා සුබය. මේ සඳහා සිකුරාදා දිනය සුදුසුය. සිද්ධ මංගල දැහැනල මගින් ජීවම් කරන ලද රන් තැඹිලි තෙල් හෝ හඳුන් තෙල් රත්‍රං සුරයක පලඳින්න. එහෙත් තමා බලාපොරොත්තු වන අය වශීකර ගැනීම සඳහා කරන වශී ගුරුකම් අපි අනුමත නොකරමු. ඉහත සඳහන් ප්‍රතිකර්ම මගින් ඔබේ විවාහයට ඇති බාධා ඉවත්වනු ඇත.

උපුටා ගැනීම දිවයින පුවත් පත