This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
කපුටන්ගෙන් වැඩ ගැනීමෙන් විශාල හානියක්

ජ්‍යොතිෂ්‍ය හා බුද්ධාගම යනු එකක් නොවේ දෙකකි. ‍ජ්‍යොතිෂයෙන් කියැවෙන්නේ දෛනිකව මිනිස් ජීවිතය සාර්ථක කර ගැනීමේ ක්‍රමවේදය ගැනයි. ඒ සඳහා යහපත්ව අවබෝධ කරගෙන ජීවත්විය යුතුය යන්න දැක්වේ. පැරණි සෘෂීවරුන් ප්‍රකාශ කළ කරුණු හා සිද්ධාන්ත මත ‍ජ්‍යෙතිෂ්‍ය පදනම්වී ඇත.
බුදු දහම එයට වඩා පුළුල් විෂයකි. එය පුද්ගලයා හා පුද්ගල ජීවිතය පිළිබඳ මෙන්ම සතු සියලු ශක්ති ගැන අවබෝධ කරගෙන ඒවා අනුගමනය කිරීමෙන් පුද්ගල නිෂ්ටාව ඇතිකර ගැනීමේ ක්‍රමවේදයකි. ‍ජ්‍යොතිෂ්‍යයෙන් කියන්නේ සියල්ල කරන්නේ ග්‍රහයන් මිස මිනිසා නොවේය යන්නය.ග්‍රහයන්ගේ ක්‍රියාකාරකම් අනුව මිනිසාගේ ක්‍රියාකාරකම්, දෛවය සතු ඉරණම තීරණය වෙන්නේය යන්න එයින් අදහස් කෙරේ.

එහෙත් බුද්ධාගම අනුව ග්‍රහයන් අභිබවා යාමට මිනිසාට පුළුවන්. ග්‍රහයන් පුද්ගල විමුක්තිය සාධනය නොකරන්නේය යන්න එහි ඉගැන්වේ. එසේම ‍ජ්‍යොතිෂ්‍ය හා බුද්ධාගමේ දැක්වෙන ඉගැන්වීම් අතරද අන්තර් සම්බන්ධයක් නොමැත. ‍ජ්‍යොතිෂ්‍ය හා බුද්ධාගමේ ‍ජ්‍යොතිෂ්‍ය යනු න්‍යායකි. එය සෘෂිවරුන් පැවසූ වාක්‍යවේ. ඒවා පසුව කරුණු එකතු වි ගමන් කරන ක්‍රමයකි. එසේ වුවද බුදුන් වහන්සේගේ බුද්ධ භාෂිතය යම් යම් අය නොයෙක් ලෙස විග්‍රහ කළද එයට අලුතෙන් එකතු වන්නේ නැත. එය සදාකාලික ධර්මතාවකි. පාරලෞකික සුබ සිද්ධිය මෙන්ම ලෝකෝත්තර සැපයද අඩංගුය.

බුද්ධාගමේ සිටිනුයේ එකම නායකයකු වන අතර ‍ජ්‍යෙතිෂ්‍යයේ ශාස්තෘවරුන් රැසකි. බුදුන් වහන්සේ කෙළෙස් ප්‍රහීන කළ උතුමකු වන අතර ‍ජ්‍යොතිෂ්‍ය නායකයන් එවැනි තැනැත්තෙක් නොවේ බුදුන් වහන්සේ පහළවීමට පෙර සිටම ‍ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය තිබුණු අතර එය ලෞකික පැත්තට බරවූ දහමකි. එයින් යම් යම් තාවකාලික සහන ලැබිය හැකි නමුත් සදාකාලික පුද්ගල විමුක්තිය ලැබිය නොහැක. ග්‍රහයන් 9 දෙනකු අතර පුද්ගලයා සිරකර තබන ‍ජ්‍යොතිෂ්‍යයේ සිදුවන වෙනස්කම් දැක්වේ. ඔහුගේ දෛවය තීරණය කරන්නේ පිට සිටින මෙම බලවේගයයි. ඒ නිසා මේ දෙක අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව සැලකිය යුතුය. ශ්‍රී ලංකාවට බුද්ධාගම පැමිණියාට පසු ‍ජ්‍යොතිෂ්‍ය ප්‍රතිකාර ක්‍රමයන් ලෙස බෝධි පූජාව සලකන්නට යෙදුණි. එහෙත් බෝධි පූජාවට එයට වඩා ඈත අතීතයක් තිබේ. මුල්ම බෝධිපූජාව කළේ බුදුරජාණන් වහන්සේය. ඒ අනිමිසලෝචන පූජාවයි. එය කළේ අපල දුරුවීමට නොව කෘතගුණ සැලකීමේ අභිලාෂයෙනි. කතෝලික ලබ්ධිකයන් අපල දුරුවීමට යාච්ඥා කරන අතර බෞද්ධයෝ බෝධි පූජා තබති. එහෙත් එය බුද්ධාගමේ උගන්වන ක්‍රමයක් නොවේ. සෙත්කවි, යන්ත්‍රමන්ත්‍ර ගුරුකම්, පංචායුධ දැමීම, නැකැතට වැඩ කිරීම ආදිය බෞද්ධයන් ළග තිබේ. එහෙත් එය පිරිසිදු බුද්ධධර්මයට අනුකූල නොවේ. එසේ වුවද මේ සෑම ආකාරයකින්ම මිනිසාගේ උත්සාහය, උනන්දුව වර්ධනය කරනවා ඇත.

අපේ සමාජයේ බහුල වශයෙන් දක්නට ලැඛෙන ‍ජ්‍යෙතීර්වේදීන් සෑමදාම, සැම දෙයම කළ හැකි අය ලෙස පෙනී සිටිනු දැක ගත හැක, යමෙකුට යම් දෙයක් කළ හැකි නමුත් සෑම දෙයක්ම කළ නොහැකිය. එහෙත් ‍ජ්‍යොතීර්වේදීන් අන්තවාදී ලෙස සීමාව ඉක්මවා යමින් තමන් පිළිබඳ අතිශයෝක්තියෙන් මතයක් ඇති කිරීම සාධාරණ නොවේ. එය නෙපෙනෙන දෙවියන් බලවතුන් ලෙස උගන්වන ඇතැම් නිර්මාණවාදී ආගම්වලට සමානවේ. අද ‍ජ්‍යොතිෂ්‍ය සේවයකට වඩා ව්‍යාපාරයක් බවට පත්ව ඇති සැටියකි. සමහරුන්ට නැති අපල ගැන පියා බියකර මුදල් ඉපැයීමේ මාර්ගයක් කරගෙන ඇත. නැති රෝග ඇති කර ඒවා සුව කරන ක්‍රමවේද කියන තත්ත්වයට පත්වී තිබේ. බුදුදහම අනුව පන්සල් පවා නොරකින ඇතැමුන් තම අකුසල් නිසා ඇතිවන පීඩනය අවම කර ගැනීමට ‍ජ්‍යොතිෂ්‍යයෙන් කියන උපක්‍රම අනුගමනය කරන්නට ගොස් අමාරුවේ වැටෙනු ඇත. ඇතැම් හාමුදුරුවරු ‍ජ්‍යොතිෂ්‍ය කටයුතුවල නිරතවන අතර ‍ජ්‍යොතිෂ්‍ය පිළිබඳ ‍පොත්පත්ද ලියති. එලෙස කරන පමණින් එය නිර්මල බුද්ධාගම යැයි පැවසීමට අපහසුය. සෑම ශාස්ත්‍රයක්ම පාවිච්චි කරන අප අනුව භාවිතය වෙනස් වන බව කිවයුතුවේ. හාමුදුරුවන් ‍ජ්‍යොතිෂ්‍ය කටයුතු වල නිරතවීම නුසුදුසුයැයි පැවසීම සාධාරණ නැත.

ජ්‍යොතිෂ්‍ය සත් කාර්යයක් නමුත් එය අද එලෙස කෙරෙන්නේ නැත. එහි උදාර අර්ථයට පටහැනිව කටයුතු සිදුවේ. ගිහියන් කළා හෝ භික්ෂුන් කළා හෝ ආචාර ධර්ම නොරැක්කේනම් සිදුවන යහපතක් නැත. අද බොහෝ අය ‍ජ්‍යොතිෂය පාවිච්චි කරන්නේ උදාර අර්ථයට නොව උදර අර්ථයටයි හෙවත් බඩ වියත රැක ගැනීමේ අභිලාෂයෙනි. එසේ වුවද භික්ෂුවක වුවද, ගිහියකු වුවද, නිසි පරිසි එය ඉටු කර මුදල් ඉපැයීම වරදක් නොවේ. එය ව්‍යාජත්වයෙන් තොරව ජනතාවට යහපතක් සිදුකිරීමේ උදාර පරමාර්ථයෙන් ඉටු කළ යුතුය. බුද්ධාගම හා ‍ජ්‍යොතිෂ්‍ය එකට නොගියත් හොඳ පැත්තට එය යොමු කිරීම වරදක් නොදකී. අගතිගාමී ලෙස ක්‍රියා නොකිරීමට පරෙස්සම් විය යුතුය. හරියට ප්‍රගුණ නොකර තමා දන්නා ලෙස කටයුතු කිරීම අයෝග්‍ය වෙයි. නොදන්නා අය නිසා සමාජයට වෙන හානිය අති විශාලය. හඳහන් බැලීම. අනාවැකි කීම ආදි විවිධ ක්‍රම වලින් ‍ජ්‍යොතිෂ්‍ය කටයුතුවල යෙදෙන අය හරි හැටි එම ශාස්ත්‍රය ප්‍රගුණ කර ඇති යැයි පැවසීම උගහටය. මෙහිදි සිදුවන්නේ ටිකක් දැනගෙන ලොකු වැඩ පෙන්වීමට යාමය.

අද බොහෝ අය කියන්නේ "කපුටු අනාවැකි"ය. කපුටා අනාවැකි කියන්නේ ශාස්ත්‍රය ප්‍රගුණ කර නොවේ. අනාවැකි සංකල්පය යහපත් නිසා එම කපුටන්ටද යහපත් ලෙස ජීවත්වීමට අවස්ථාව ලැබි තිබේ. ඔවුහු දැනුමක් නොමැතිව කියති. තමා දන්නා ලෙස මුසා දොඩවන බව දක්නට ඇත. ඇතැම් මාධ්‍ය ආයතනද මෙම කපුටන් වැඩට යොදවා ගෙන ඇති බව පෙනේ. එයින් ජනතාවට සිදුවන හානිය බලවත්ය. සදාචාර බුද්ධිමත් සමාජයක් බිහිවීමට මෙම අනාවැකි යොදාගැනීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇත. මේ අය ඒ සඳහා යොදවා ගැනීමෙන් ඇතැම් මාධ්‍ය ආයතනවල කපුටුකම ප්‍රදර්ශනය වෙයි. බුදුන් කල අසිත තාපසයන්ද අනාවැකි පැවසූ බව අපි දනිමු. එම අනාවැකි හා අද පවසන ඊනියා අනාවැකි අතර විශාල පරස්පරයක් ඇත. අසිත තාපසයා අනාවැකි පැවසුවේ පුබ්බේ නිවාසානුස්මෘති ගුණය තිබූ බැවිනි. කපුටාට එවැනි ඥාණයක් නොතිබුණද නෑදෑයන් පැමිණෙන බවට නිවැරදිව අනාවැකි පැවසිය හැකිය. ඇතැම් රූපවාහිනියද ඒ කපුටු අනාවැකි පාවිච්චි කිරීම කනගාටුදායකය. සියල්ල සිදුවන්නේ ‍ජ්‍යොතිෂ්‍යයේ ඇති වරද නිසා නොව එය පාවිච්චි කරන්නන්ගේ භාවිත කරන්නන්ගේ වැරදි ක්‍රියා පිළිවෙත නිසා බව පැවසිය යුතුය.

උපුටා ගැනීම ලක්බිම පුවත් පත