🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

දකින සිහින සැබෑ වෙනවාද?

දකින සිහින සැබෑ වෙනවාද?
අප වැඩි දෙනකු හොඳින් දන්නා සැබෑ වූ සිහින දෙකක් තිබේ. ඉන් පළමු වැන්න මහ බෝසතාණෝ පිළිසිඳ ගැනීමට පෙර මහාමායා දේවිය දුටු සුදු ඇත් පැටවාගේ සිහිනයයි. දෙවැන්න වන්නේ වර්තමානයේ සැබෑ වෙමින් පවතිනවා යැයි කියන කොසොල් රජු දුටු සිහින හතයි. අපේ සමහරු 'දවල් සිහින' දකිති. ඒවා යථාර්ථයක් වන්නේ කලාතුරකින් කෙනකුටය. වැඩි වශයෙන් සිහින පෙනෙන්නේ රාත්‍රි නින්දේ සිටින වෙලාවේදීය. ඒවාත් ඇත්ත වන්නේ කලාතුරකින් බව බොහෝ දෙනා දනිති. සිහින පිළිබඳ මා දකින එකම ඇත්තක් වන්නේ චක්ඛු විඥානය ඇති අයට පමණක් සිහින පෙනෙන බවයි. ඇස්වලින් ලෝකය දැකිය නොහැකි කෙනකුට කිසි දිනෙක සිහින නොපෙනේ. යක්ෂයන් හා අමනුෂ්‍යයන් සිහිනෙන් පෙනෙන්නේ අප පන්සලේදී, කෝවිලේදී හෝ මූර්තියක් නැත්නම් චිත්‍රයක් ලෙස ඔවුන් දැක ඇති නිසාය. මාස කිහිපයකට පෙර මට දුරකතන ඇමැතුමක් දුන් මිත්‍රයකු ඔහුගේ විවාහක පුතා සිහිනයෙන් සුදු නයෙක් දකුණු අතට දෂ්ට කළ බව දුටු හෙයින් එහි අර්ථය කුමක්දැයි විමසීය. මා සතුව ඇති සිහින පලාපල පොතක සඳහන් ආකාරයට එවැනි සිහිනයක් දකින අයකුට දස දිනක් ගතවීමට පෙර වාසනාව උදාවන බව සඳහන්ය. දැනට මාස කිහිපයක් ගත වී ඇතත් එවැනි ආරංචියක් නොලැබිණි. මට නොකියා සිටියා දැයි දන්නේත් නැත. මෙවැනි සිදුවීම් දහස් ගණනක් අසා ඇති මා විශ්වාස කරන්නේ දකින සිහින සත්‍ය බවට පත්වන අවස්ථා සියයට පනහක් පමණ වන බවයි. දෑස් පෙනෙන හැමෝටම සිහින නොපෙනෙනවාත් මෙන්ම නින්දේ සෑම අවස්ථාවකදීම සිහින පෙනෙන්නේත් නැත. විද්‍යාත්මක පසුබිම විස්තර කරන්න ගියොත් ලිපිය දිගු වන හෙයින් කෙටියෙන් පවසන්නේ නම් සිහින දකින්නේ අඩ නින්දේදීය. සමහරුන්ට දකින සිහින අමතක වන තත්ත්වයක්ද පවතියි. එසේ නැතහොත් කඩින් කඩ මතකයට නඟා ගත හැකියි. 'දුරුතු මහේ පැල් කණුවලටත් හීන පේනවා' යැයි අපේ පැරැන්නන් කියා ඇත්තේ සිහිනවල පවතින නියම යථාර්ථය පැහැදිලි කරමිනි. හෙත් අතීතයේ සිටම සිහින ශාස්ත්‍රය නමින් ශාස්ත්‍රයක්ද බිහි වී තිබිණි. ඒ පිළිබඳ පොත්පත්ද ලියැවී ඇත. එයින් පැහැදිලි වන්නේ අද මෙන්ම එදාද මිනිසුන් තුළ සිහින පිළිබඳ විශ්වාසයක් තිබූ බවය.
සිහින සියයක පලාපල සහිත පොතක් රුපියල් විස්සක පමණ මිලකට පදික වේදිකාවෙන් හෝ දුම්රියේ යන එන ජංගම වෙළෙඳුන්ගෙන් ලබා ගත හැකියි. එක් සිහිනයක පලාපල දැනගන්න අවශ්‍ය වන්නේ සත විස්සක සොච්චම් මුදලකි. ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ සහතිකයක් දෙන්න කෙනකු නැත. ගන්නා අයට එවැනි දෙයක් දැනගන්න අවශ්‍යකමකුත් නැත. මොනවා හෝ මුද්‍රණය කොට මඩිය තර කර ගන්නා වෙළෙඳුන්ට අවශ්‍ය 'බල්ලෝ මරා' හරි සල්ලි හොයන්නය. අපට තදියම රාත්‍රියේ දැක්ක හීනයේ විස්තර දැනගන්නය. පරම්පරාවෙන් පරම්පරාවට මුල්බැසගෙන ඇති මේ විශ්වාසය නිසා වර්තමානයේද සෑහෙන පිරිසක් සිහින පලාපල කෙරෙහි දැඩිව බැඳී සිටිති. සැබෑ වන සිහින තිබේය යන මතය අපට සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. සියයට සියයක් නිවැරැදි යැයි පිළිගැනීමටද හැකියාවක් නැත. දකින සෑම සිහිනයක්ම සැබෑ නොවූ බව ඔබත් දන්නවා විය යුතුය. මනෝ විද්‍යාවේ පියා වශයෙන් සැලකෙන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහස වූයේ පුද්ගලයකුගේ නොසන්සිඳුණු ආශාවන් හෝ වෙනත් වැදගත් සිදුවීම් යටි සිතෙහි තැන්පත්ව නින්දේදී සංකේත වශයෙන් සිහිනෙන් පෙනෙන බවයි. මේ සඳහා උදාහරණයක් වශයෙන් බිම් ගෙයක් තුළින් දුම්රියක් ගමන් කරනු හෝ යම් ඇඳුමක් මසන අවස්ථාවක් හෝ සිහිනයෙන් දකිනු ලැබුවහොත් මනස තුළ නොසන්සිඳුණු සරාගික හැඟීමක් පවතින බව හෙළි වෙයි.
පසුගිය දිනක එක්තරා ජනප්‍රිය නිළියක් දුරකතනයෙන් කතා කොට පෙර දින රාත්‍රියේ ගල්, වැලි ආදී ද්‍රව්‍ය පටවාගත් ලොරි කිහිපයක් නිවෙසට පැමිණෙන ආකාරය සිහිනෙන් දුටු බව පවසා එහි අර්ථය කුමක් දැයි විමසුවාය. සිහින පිළිබඳ මගේ මතය බොහෝ දෙනකුට වඩා වෙනස් බවත් සිහින සම්බන්ධ විශේෂ දැනුමක් නැති බවත් පැවැසීමි. කෙසේ වෙතත් ඇය නිවෙසක් සෑදීමට අදහස් කොට ඇති දැයි මම විමසුවේ අර්ථය ඇයටම වටහා ගැනීමට ඉඩ දීම සඳහාය. ඇත්ත වශයෙන්ම එය සත්‍යයකි. මාස කිහිපයකින් නිවෙසක් සෑදීම සඳහා සැලැසුම් කොට ඇති බවත් නැකැත් සාදවා ගැනීම සඳහා නුදුරු දිනයක පැමිණෙන බවත් ඇගේ පිළිතුරු විය. එසේ නම් ඒ සිහිනයෙන් දැක ඇත්තේ සිතේ පැවැති නොසන්සිඳුණු බලාපොරොත්තුවකි. එය සත්‍ය වනු ඇත. තවත් දිනෙක මා වෙත පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඇයට නිතරම සිහිනෙන් සර්පයන් දර්ශනය වන බවත්. එයින් බියවී අවදි වන බවත් පැවැසුවාය. ඇය විශේෂයෙන්ම සත්‍ය වන සිහින දකිනවා පමණක් නොව යම් යම් සිදුවීම් පිළිබඳ පූර්ව හැඟීම් ඇතිවන තරුණියක බව මම දැන සිටියෙමි. එහෙයින්ම සවිස්තරාත්මකව කරුණු සොයන විට ඇයට එවැනි බියකරු සිහින පෙනෙන්නේ තමන්ගේ නිවෙසේ සිටින විට පමණක් බව දැනගත හැකි විය. විශ්වවිද්‍යාලයේ හෝ පිටස්තර නිවෙසක සිටින විට එවැනි බියකරු සිහින නොපෙනෙන බවත් දැනගැනීමට ලැබිණි. විස්තර තොරතුරු කතා කිරීමේදී හෙළි වූයේ ඇය කුඩා වියේදී පාරේ මැරී සිටි කුඩා සර්පයකු, කෘත්‍රිමව සාදන ලද සර්පයකු යැයි සිතා අතට ගෙන ඇති බවය. බිය වී කම්පනයට පත් ඈ එය ඉවතට දමා මව බදාගෙන හඬන්න වූවාය. සර්පයන් සිහිනයෙන් පෙනෙන්න පටන්ගෙන ඇත්තේ එතැන් සිටය. යටි සිතේ තැන්පත්ව තිබූ බිය වරින් වර සිහිනයෙන් ඉස්මතුව මේ තත්ත්වය හටගනියි.
දෙවැනි ලෝක මහා සංග්‍රාමය නැතහොත් ලෝක මහා යුද්ධය ඇරැඹෙන්න මාස කිහිපයකට පෙර ස්විට්සර්ලන්තයේ ප්‍රමුඛ පුද්ගලයකු සිහිනයක් දැක තිබේ. මහා සමුදුර ගොඩට ගලා ස්විට්සර්ලන්තය හැර මුළු යුරෝපයම යට කළේය. ඉන්පසුව ඒ ජලය රතු පැහැති රුධිරය බවට පත්විය. ඒ පුද්ගලයා එය ගණනකට ගත්තේ නැත. එම සිහිනයෙහි යථාර්ථය ඔහුට වැටහුණේ ඉන් මාස කිහිපයකට පසුවය. ස්විට්සර්ලන්තය හැර අනෙක් සෑම යුරෝපීය රටක්ම දෙවැනි ලෝක මහා සංග්‍රාමයට දායක වූ අතර දහස් ගණනක් මිනිස්සු ඉන් මිය ගියහ. එය සත්‍ය වූ සුප්‍රසිද්ධ සිහිනයක් හෙයින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතයද සියයට සියයක් නිවැරැදි නැත. එහෙත් අප සෑම දෙනකුටම එවන් සත්‍ය වන සිහින නොපෙනේ. සුනාමිය සිහිනෙන් දුටු අය මට මුණගැසී තිබේ. එවැනි සිහිනයක් දුටුවකු මුහුද ගොඩ ගලා ජීවිත දහස් ගණනක් බිලි ගනීවි යැයි සිතන්නේ කෙසේද? තමන්ගේ මිත්‍රයකුට පැවැසුවත් විශ්වාස කරයිද? ඉන් පෙර ලෝකයේම අත්දැකීමක් නැති හෝ අසා නොමැති සිදුවීමකි. සුනාමි යන වචනය සිංහලයට එකතු වූයේද එදින සිටය. සමහරවිට තමන් දුටු සිහිනය ඇත්තක් බව වැටහෙන්නේ යම් සිදුවීමකට පසුව විය හැකියි. එවැන්නක් බිය සැක නැතිව හෙළි කිරීමද පහසු වැඩක් නොවේ. හරිගියොත් ගොඩය. වැරැදුණොත් මඩය. බොහෝ දෙනකු එවැනි සිහින පැවැසීමට මැළි වන්නේ ඒ නිසාම වන්නට පුළුවන. සමහරු තුළ පවතින සංවේදී බව නිසාද දකින සිහින නොපවසති. අන් අය තමා පිළිබඳ කුමක් සිතාවි දැයි කුකුසක් සිත තුළ ඉපදීම එයට හේතුවයි. සත්‍ය වන සිහින ඔබටත් පෙනේ දැයි අද සිට විමසිලිමත් වන්න. එහෙත් එය හැමෝටම කළ හැක්කේ නොවේ.
ඔබ උපත ලබා ඇත්තේ ඕනෑම වර්ෂයක පහත සඳහන් දිනයන්හිදී දැයි බලන්න. මාර්තු මස 4, 13, 22 හෝ 31, මැයි 2, 7, 11, 16, 20, 25 හෝ 29, ජුනි මස 7, 16 හෝ 25, ජූලි මස 4, 13, 22 හෝ 31 දෙසැම්බර් 2, 4, 7, 11, 13, 16, 20, 22, 25, 29 හෝ 31 යන දිනයකදී ඔබ උපත ලබා ඇත්නම් මේ අත්දැකීම විඳගත හැකියි. ඉහත සඳහන් දිනයක ඔබ උපත ලබා තිබේ නම් මින් ඉදිරියට රාත්‍රියේ දකින සිහින පොතක සටහන් කර ගන්න. දින කිහිපයකින් හෝ මාස කිහිපයකින් හෝ එය සත්‍ය වුවහොත් ඔබ නිවැරැදි සිහින දකින්නකු බව දැනෙන තත්ත්වයක්ද පවතියි. එයින් අදහස් කෙරෙන්නේ මනසට නැඟෙන සිතිවිල්ලක් ආශ්‍රයෙන් සුළු අදහසක් සිතට ඇතුළු වෙයිද? උදාහරණයක් වශයෙන් තමන්ගේ දියණියකගේ විවාහ මංගල්‍යය ඉතා ඉක්මනින් සිදුවන බවට සිතුණොත් එය ඒ ආකාරයෙන්ම ඉටු වනු ඇත. වේගයෙන් යතුරුපැදියක් ධාවනය කරන මදාවියකු දැක 'වැඩි දුර යෑමට පෙර අනතුරකට ලක් වේ' යැයි සිතෙන්න පුළුවන. එය එසේම සිදුවුවහොත් ඔබේ ඇස්වහ හෝ කටවහ නිසා නොවේ. සිදුවිය හැක්ක ඔබට දැනීමය. ඉහත දිනයක උපත ලද ඔබත් අතීතය මෙනෙහි කළහොත් සත්‍යතාව වටහා ගත හැකියි. ඊට අමතරව පුද්ගලයන් පිළිබඳත්, භාණ්ඩ පිළිබඳත් නිවැරැදි තත්ත්වය මනසට නැඟෙන කොටසක්ද සිටිති.
පෙර කිසිදා දැක නැති කෙනකු මුණගැසුණු විට ඔහුගේ චරිතය සම්බන්ධ සිතට යම් අදහසක් නැඟේ. වඩාත් තේරෙන භාෂාවෙන් කියන්නේ නම් "ගොනා එන්නේ තණකොළ කන්නද? නැත්නම් පොල් පැළය කන්න දැයි" වැටහේ. භාණ්ඩයක් දෙස බැලූ විට එය "පිට කොහේවත් නැති කමිසයක්ද? පිට ඇති කමිසයක්ද?" යි දැනේ. නිවැරැදි සිහින දකින අයටද මෙම තත්ත්වය තිබේ. එක්තරා පිරිසකට පමණක් මෙම තත්ත්වය බලපාන්නේ කෙසේ දැයි යන්න පැහැදිලිව විස්තර කිරීම අපහසුය. එහෙත් මූලික වශයෙන් පෙර ආත්මයේ කරන ලද කුසල අකුසලකර්මයන් අප මෙලොවට ගෙන එන අතර එය හඳහනේ ඉතා පැහැදිලිව පිහිටයි. අප විසින් කරන ලද එම කර්මයන්ට මෙහිදී වන්දි ගෙවීමට සිදු වෙයි. එය කිසිවකුටත් බැහැර කළ නොහැකි සත්‍යයකි. සමහර අයගේ බුද්ධිය ඉතා ඉහළ මට්ටමක පවතින අතර තවත් අයගේ ඉතා පහළ මට්ටමක පවතියි. අංක විද්‍යානුකූලව ඉහත සඳහන් කළ පිරිස් අයත් වන්නේ මිථුන, කටක, ධනු හෝ මීන යන රාශීන්ගෙන් එකකටය. මෙය ජේ‍යාතිෂය සමඟ පටලවා ගත යුතු නැත.
අප ජේ‍යාතිෂයේදී දිනයක් ගණන් ගන්නේ ඉර උදාවේ සිට පසු දින ඉර උදාව දක්වා වුවත් අංක විද්‍යාවේදී එය මධ්‍යම රාත්‍රි 12 සිට පසු දින මධ්‍යම රාත්‍රි 12 දක්වා දවසක් ලෙස සැලැකේ. එසේම රාශි බෙදෙන්නේද උපන් දිනය අනුව මිස නිරයන ග්‍රහ ස්ඵුට සෙවීමක් අනුව නොවේ. ඒ ආකාරයෙන් ඉහත සඳහන් කළ මුල් කාණ්ඩය (මාර්තු මස) හා දෙවැනි කාණ්ඩය අයත් වන්නේ මීන රාශියට වන අතර චන්ද්‍ර, සිකුරු හා නැප්චූන් යන ග්‍රහයන්ගේ කිරණ කම්පනයන්ට යටත් වෙයි. දෙවැනි කාණ්ඩය (මැයි) මිථුන රාශියට අයත් වන අතර චන්ද්‍ර, සිකුරු හා නැප්චූන් යන ග්‍රහයන්ගේ තරංගයන් ඔවුන් කෙරෙහි බලපායි. තුන් වැනි කාණ්ඩය වන ජුනි මස උපන්නෝද මිථුන රාශියට අයත් වුවත් යටත් වන්නේ චන්ද්‍ර, බුධ හා නැප්චූන්ගේ කිරණවලටය. සිවු වැනි කාණ්ඩය හෙවත් ජූලි මස උපන් අය කටක රාශියට අයත් වන අතර රවි, බුධ හා නැප්චූන්ගේ තරංගයන්ගෙන් බලයට යටත් වෙයි. පස් වැනි කාණ්ඩයට අයත් දෙසැම්බර් 2, 11, 20 හා 29 යන දිනවල උපත ලැබුවහොත් ධනු රාශියට අයත් වී චන්ද්‍ර, ගුරු හා නැප්චූන්ගේ කිරණ මඟින් පාලනය වෙයි. හය වැනි කාණ්ඩයට අයත් දෙසැම්බර් 4, 13, 22 හා 31 දිනවල උපත ලබා දෛව අංක 4ට වැටෙන පිරිස අයත් වන්නේද ධනු රාශියටමය. එහෙත් රවි, ගුරු හා නැප්චූන්ගේ කිරණ මනස පාලනය කරනු ලබයි. සත් වැනි කාණ්ඩය වන දෙසැම්බර් මස උපත ලබා එම දිනයෙහි එකතුව 7 නම් ධනු රාශියට අයත් වන නමුත් චන්ද්‍ර ගුරු හා නැප්චූන්ගේ කිරණයන්ගේ කම්පනයන්ගේ බලපෑමට යටත්ය. මේ අනුව නිවැරැදි සිහින දකින්නන් අනිවාර්යයෙන්ම නැප්චූන් සමඟ සංයෝග වූ රවි, චන්ද්‍ර, බුධ, ගුරු හෝ සිකුරු යන ග්‍රහයන්ගෙන් දෙදෙනකු පිහිටි අය වෙති. එමඟින් පෙනී යන වැදගත් කරුණක් වන්නේ මනසෙහි ක්‍රියාකාරිත්වයට බොහෝ ජේ‍යාතිෂවේදීන් නොසලකා හරින නැප්චූන් බලපාන බවයි. රෑ නින්දේදී සිහිනයක් දුටු විට ඒ බව නොසලකා හැරීම මෙන්ම එය සිතට ගෙන නොයෙක් මතිමතාන්තරයන්ට බැසීමද නිවැරැදි නොවේ. ඉහත සඳහන් කර ඇති දිනයන්හි උපත ලැබූවන් තමන් දකින සිහින පොතක සටහන් කර තබන්නේ නම් නිවැරැදි අනාවැකි පැවැසීම අපහසු නැත.
මව්බිම