🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

අතීත සිහලුන් විශ්වය ජයගත් ශක්ති විද්‍යාව

අතීත සිහලුන් විශ්වය ජයගත් ශක්ති විද්‍යාව

අතීත හෙළයා විශ්වයෙන් එන මහා ශක්තිය ජේ‍යාතිර් විද්‍යාව හරහා මිනිසාගේ ජීවිතය හා පරිසරය පිළිබඳ තේරුම් ගැනීම සඳහා හා ඒ අනුව කටයුතු කිරීම උදෙසා භාවිත කර තිබේ. ජන්මියකු උපත ලබන අවස්ථාවේදී අහසේ පවතින තරු රටා, ග්‍රහ රටා පදනම් කරගෙන විශ්වයේ අංශක 360ක ප්‍රදේශය දොලොස් රාශියක්, නව ග්‍රහ සංයෝගයක් හා සත්විසි නැකැත් තරු පන්තියක් වශයෙන් සඳහන් කර ජන්මියා කේන්ද්‍ර ගතකරගත් කේන්දරය හෙවත් ජන්ම පත්‍රය මෙම මහා ශක්ති ගලනය සිදුවන ආකාරය දක්වන ශක්ති සටහනක් යැයි කීම නිවැරැදිය. යම්කිසි තැනක මුලින්ම හටගන්නා දිය උල්පතක මුල්ම දියපාර ගලා යන්නේ යම් ආකාරයකටද ඒ ආකාරයටම උල්පත සිඳෙන තාක්කල් ජලය ගලා යන්නා සේ උප්පත්තියේදී ජන්මියාට ලැබෙන ශක්ති රටාව මුල්කරගෙන ජන්මියාගේ ජීවය නමැති ගංගාව අවසානය දක්වා ගලා යන බව එදා අප මුතුන් මිත්තන් දැන සිටි බැවින් ඔවුහු උපතේදී ඇති ශක්ති ප්‍රමාණය මෙන්ම ශක්ති රටාවද ජීවිත ගමන සාර්ථක කරගැනීමට යොදා ගත්හ. ජේ‍යාතිර් විද්‍යාවේ මූලික පදනම වන්නේ බුදුන්වහන්සේ දේශනා කළ කර්මය හා මෙම විශ්ව ශක්තියයි. මේ ආකාරයට අතීතයේ සමාජ ගත වූ මෙම ශක්ති විද්‍යාව කේන්දරයට පමණක් සීමා වූ දෙයක් නොවේ. අතීතයේ පටන් අද දක්වා මිනිසා විසින් දැන හෝ නොදැන මෙම ශක්ති විද්‍යාව භාවිත කරන අතර සමාජයේ වැඩි දෙනෙක් මෙය නොදැන සිටීම නිසා හෝ මේ පිළිබඳ අවධානය යෙදීමක් නැති නිසා මෙය විනාශ වෙමින් පවතියි.

මිසරයට ගුවනින් ගිය පුලස්ති රාවණා බලි පරපුරවල් පිරමීඩ තැනීමේ පුරෝගාමීන් බව පිරමීඩවල ඇති චිත්‍ර සහ පුරා විද්‍යා සාක්ෂිවලින් පැහැදිලි වන අතර මෙම පිරමීඩය ශක්ති විද්‍යාවේ විශාලතම හා ප්‍රබලතම ශක්තීන් ඒකරාශී කරන නිර්මාණය ලෙස දැක්වීමට පිළිවන. මෙම නිර්මාණය අදටත් විදුලිය, ඉන්ධන වැනි කිසිදු බාහිර ශක්තියක් උපයෝගි කර නොගෙන තම ක්‍රියාකාරීත්වය දිගින් දිගටම පවත්වාගෙන යෑම මෙම ශක්ති විද්‍යාවේ සත්‍යතාව පෙන්වීමට හොඳම උදාහරණයක් වනු ඇත. ඉන්දියානු ජාතික ආචාර්ය පීටර්න් බට් මහතා විසින් මෙම ශක්ති විද්‍යාව යම්තාක් දුරට අධ්‍යයනය කර ඇති අතර ඒ හරහා මෑතක සිට යළිත් පිරමීඩවල ශක්තිය, වාස්තු හෙවත් පිරා වාස්තු විද්‍යාව ලෙස යම් ප්‍රමාණයකට මිනිසාට සමීප කර ඇත. එය මිනිසාට මෙන්ම මිනිස් සංහතියටම කරනු ලැබූ විශාල සේවාවක් ලෙස දැක්විය හැකිය.

ඈතම ඈත අතීතයේ මිනිස් ඉතිහාසය තුළ කිසිම විටක සමතල වහලවල් සහිත නිවාසවත් මිනිසුන්වත් දක්නට නැති අතර දක්නට ඇත්තේ පිරමීඩ ආකාර නිවාස වහලවල් සහිතව ජීවත් වූ මිනිසුන් හා ශිෂ්ටාචාර පමණකි. එනම් පිරමීඩ ආකාරයේ නිවාසවල සිටින මිනිසා කයින් හා මනසින් දියුණු වීම හා බුද්ධිමත් වීම මෙම විශ්ව ශක්තිය හරහා නිරායාසයෙන් සිදුවන පැවැත්මට උපකාරී වී ඇත. ගල්ගුහාවල සිට මිනිසා එයින් පිටතට පැමිණ පිරමීඩ ආකාරයේ නිවාසවලට පැමිණි දා සිට මිනිස් ශිෂ්ටාචාරය මහත් වේගයෙන් දියුණු වූ අයුරු දක්නට හැකිය. එනම් මේ මහා ශක්තිය උකහා ගන්නා පිරමීඩ තාක්ෂණය නිවාස වහලවල්වලද යම් පමණකට දක්නට ලැබීම එයට හේතුවයි. එසේම බෞද්ධ ස්තූප හරහාද සිදු කරනුයේ මෙම විශ්ව ශක්තිය උකහා ගැනීමයි. එම ස්තූපවල ඇත්තේද විශ්ව ශක්ති පිරමීඩයක් තුළ ඇති ශක්ති අනුපාතයයි. එහි සත්‍යතාව ඕනෑම මනසකට දැනෙන ශක්තියක් වන අතර පන්සලක් තුළට ඇතුළු වන පුද්ගලයාට ශාන්තභාවයක් හිතට දැනෙනුයේද බණ භාවනා තුළින් විශාල මානසික ශක්තියක් ලබාගත හැක්කේද මෙම ශක්ති කලාපයේ බලපෑම මතයි.

හින්දු ආගමික පූජා ස්ථානයක ඇති ගෝපුර මෙම විශ්ව ශක්ති පිරමීඩයයි. එතුළින් දේව භක්තිකයන් තුළ දේව භක්තියක් ඇති වන ආකාරය සහ හින්දු ජනයා තම දෙවියන් කෙරෙහි ඇති දැඩි භක්ත්‍යාදරයද හොඳින් පැහැදිලි වේ. ඉස්ලාම් ආගමිකයන් තුළ ඇති දැඩි ආගමික භක්තිය ඇති කිරීමට හේතු වන්නේද, ඔවුන්ගේ ආගමික ස්ථානවල ඇති පිරමීඩ ශක්ති කලාපයයි. මෙම පිරමීඩ ශක්තිය තුළින් මිනිසාගේ සිතිවිලි වෙනස් කිරීමේ ප්‍රබල හැකියාවක් ඇත. හෙළ දෙරණ තුළ ඇති වූ මේ මහා භක්ති විද්‍යාව වසර දහස් ගණනක් විකාශය වෙමින් ගොස් දේව ආගම ඇති වීමටද මුල් වූයේ මෙම ශක්ති විද්‍යා දැනුමයි. සියලුම දේ සඳහා මුල්වන විශ්ව ශක්ති විද්‍යාව පසුකාලීනව දෙවියන් ලෙස දැකීමට පුරුදු වූ මිනිසා විසින් මෙම ශක්තිය දෙවියන්ට ආරූඪ කරගත් අතර මෙය දෙවියන් ඇදහීමේ ඇරැඹුම විය. එයට හේතු වූයේ මෙම නොපෙනෙන ශක්තිය මිනිසාට තේරුම් ගැනීමට අපහසු වීමයි.

හෙළයාගේ විශ්ව ශක්ති නිමවුම් අතර පිරමීඩ තරම්ම ප්‍රබල අනෙක් උපකරණය වනුයේ වජ්‍රයයි. වජ්‍රය තුළද පිහිටුවා ඇත්තේ මෙම විශ්ව ශක්ති පිරමීඩ අනුපාතයයි. ඊට අමතරව අට දිශා චක්‍රය, ස්වස්තිකය හා යන්ත්‍ර මන්ත්‍ර ආදී නොයකුත් ශක්ති උපකරණ හා රුද්‍රාක්ෂ, වාලම්පුර, මැණික්, මුතු වැනි ස්වාභාවික ද්‍රව්‍ය හරහාද මෙම ශක්තිය මිනිසාට ලබාගැනීමට හැකි ක්‍රමවේදයන් අතීත හෙළයා නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ මධ්‍ය ලක්ෂ්‍යයේ ඉදිකර තිබූ "නාලන්දා ගෙඩිගේ" මෙම දිවයිනේ ශක්තිය පෝෂණය කිරීමට තිබූ ඉතා සුවිශේෂී නිමවුමකි. එය හෙළදිවේ ජීවයයි. එහෙත් එය විනාශ වී ගොස් ඇති අතර එය විනාශ වූ පසු ලංකාව විනාශ මුඛයට යන ආකාරය අද වනවිට අපට දක්නට හැකිවේ. මිනිසා ඇතුළු සියලු සත්ත්වයන් හා ජීවී අජීවී සියලු දේ පාලනය කරනුයේ අතීත හෙළයා දැන සිටි මෙම විශ්ව ශක්තියේ බලයෙනි.

ජේ‍යාතිර්වේදී එම්. එම්. සී. ප්‍රදීප් මහලක්ෂ ( 0716 147531 )
මව්බිම