This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
ඔබත් මානසික සිරකරුවෙක් ද?

අද සමාජයේ බොහෝ දෙනා විවිධ වූ මානසික ව්‍යාකූලතාවලින් පීඩිතව මානසික නිදහසක් නොමැතිව දිවි ගෙවන බව පෙනෙන්නට තිබෙනවා. හෙට ජාතික නිදහස් දිනයද යෙදී තිබෙන බැවින් ජාතික නිදහස පිළිබඳව සැවොම කතිකා කරන මොහොතක ඒ හා සමානවම වැදගත් මානසික නිදහස යන්න කෙටියෙන් අර්ථ දක්වමින්ම අද දම් සංවාදයට ප්‍රවේශ වෙමු නායක හාමුදුරුවනේ. මිනිසා යනු මනසින් උසස් යන අර්ථය ගෙන දෙනවා. මනසෙන් උසස් නිසයි මිනිසා කියන්නේ. උසස් වූ මනසක් හිමි අයට උසස් වූ මානසික නිදහසක් තිබුණොත් තමයි එය අර්ථාන්විත වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තුළ මේ පිළිබඳව වඩාත්ම අවධාරණයට ලක්වෙලා තියෙනවා. මනස ගැන ධම්ම පදයේ පළමු ගාථාවෙන්ම දැක්වෙනවා. මනස මුල් වෙලා කරන කියන දේවල් අනුව මිනිසාගේ හොඳ නරක තීරණය වෙනවා කියල තමයි මුලින්ම තියෙන්නේ. කාලාම සූත්‍රය වගේ සූත්‍රවල වඩාත්ම අවධාරණය කෙරෙනවා මානසික නිදහස ගැන. මානසික නිදහස කියන කාරණාව වසර දෙදහස් පන්සියයකට පෙර මුල් වුණේ එකල තිබුණු ආර්ථික, සමාජයීය, දේශපාලනික වාතාවරණය. ඒ පසුබිමෙන් තමයි බලන්න වෙන්නේ.

ඔබ වහන්සේ වසර දෙදහස් පන්සියයක තරම් දුරාතීතය ගැන සිහිපත් කළා. අද දියුණු සංකීර්ණ සමාජයක් තුළ මෙම තත්ත්වය කෙබඳුද?
දියුණු වන සමාජයකට ගියාට තවමත් මිනිසා තුළ මිනිසාට ආවේනික වූ සංස්කෘතික, සමාජයීය සබඳකම් තියෙනවා. එතකොට මිනිසා හිතන්න පුරුදු වෙලා තියෙන්නේ හැම විටම තමා ජීවත් වන පරිසරය තුළින් සහ කුඩා කල සිට හැදුණු වැඩුණු සමාජය තුළින් හොඳය නරකය කියල ඇති කරගත් සමාජ සම්මුතීන් තුළයි මිනිසා මේ සමාජය තුළ ජීවත් වන්නේ. පවුල කියන සමාජ ඒකකය තුළින් දරුවා මේ සමාජයේ සමාජීය සත්වයෙක් බවට පත් වෙනවා. දරුවාගේ මනස හැඩ ගස්වන්නේ මුලින්ම ඔවුන්ගේ දෙමවුපියන්, සහෝදරයින්, අසල්වාසීන් විසින්. ඒ කියපු මතය ලෝකයේ එක එක පළාත්වලට වෙනස් වන්න පුළුවන්. ලංකාවේම උඩරට හැදී වැඩෙන කුඩා දරුවකු උඩරටට ආවේනික වූ සමාජ, සංස්කෘතික ක්‍රියාකාරීත්වන් තුළ වීමත් උදාහරණයක් ලෙස දැක්විය හැකියි. ලංකාව තුළ වුණත් බටහිර රටවල වුණත් ඒ ඒ රටවල ස්වරූපය සම්ප්‍රදායන්ට අනුව හැදෙනවා.

මානසික නිදහස යන්න කාටත් ‍පොදුයි නේද නායක හාමුදුරුවනේ?
මෙසේ ලොව විවිධ පළාත් වල සංස්කෘතීන්ට අනුගත වන පුද්ගලයන් වුණත් ‍පොදුවේ ඒ හැම කෙනෙකු තුළම බලපාන මානසික ස්වභාවයන් තියෙනවා. මෙම මානසික ස්වභාවයන් ජාති, ආගම් බේදයෙන් තොරව කාටත් ‍පොදුයි. කුසගින්න කාටත් දැනෙනවනේ. ඇඟට උණුසුම, සීතල ලොව කොහේ හිටියත් ශරීරයට දැනෙනවනෙ. එසේම මනස තුළ පහළ වන සිතුවිලි ආශාවන්ගෙන්, හැඟීම්වලින්, ද්වේශයෙන්, තරහින් යුක්තයි. මෙසේ සංකීර්ණ වූ මානසික ස්වභාවයක ජීවත් වන මිනිසා තුළ මානසික නිදහසක්ගැන කතා කරන්නේ ඔහු හෝ ඇය ජීවත් වන සමාජ පරිසරය දෙස බැලීමෙනි. බුදුරජාණන් වහන්සේ කාලාම සූත්‍රයේදී උගන්වනවා ඉතා වැදගත් ඉගැන්වීමක්. පුද්ගලයා තීරණ ගැනීමේදී සුදුසු දේ කුමක්දැයි තීරණය කිරීමට තම බුද්ධිය ප්‍රයෝජනයට ගත යුතු බවයි උන්වහන්සේ දේශනා කරන්නේ. එහිදී බුදුන් වහන්සේ උන්වහන්සේගේම දේශනය වුවද විමසා නොබලා අන්ධානුකරණයෙන් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරනවා. තම පරම්පරාවෙන් දෙමව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් පැමිණි අදහස් වුවද මෙය තම බුද්ධියට ගැළපේ නම් පමණක් එය ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ දේශනා කළා.

බුදුදහමේ දැක්වෙන චින්තන නිදහස බුද්ධ කාලීන භාරතයේ තිබූ සමාජයීය තත්ත්වය පදනම් කරගෙන ගොඩනැගුනක් ද නායක හාමුදුරුවනේ?
අද වඩාත් උගතුන්ගේ සාකච්ඡාවට බඳුන්ව ඇත්තේ එකල හින්දු බ්‍රාහ්මණ සම්ප්‍රදායන්ගෙන් දැඩි ලෙස පීඩනයට පත් කොට තිබූ චින්තන ක්‍රමයයි. ආගමික නිදහසක් හෝ අධ්‍යාපන නිදහසක් එකල තිබුණේ අතළොස්සකට පමණයි. ඒවාද වෛදික බ්‍රාහ්මණ මත වලට අනුගතව තැනුන න්‍යාය ධර්මයන් ඒ අනුව ක්‍රියාත්මක වූ ඒවා කඩ කරන්නට දැඩි දඬුවම් පමුනනු ලැබූ සමාජ ක්‍රමයක්. මේ නිසා බුදුන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිවු වනක් පිරිස එම චින්තන නිදහසට අවැසි ධර්මය ප්‍රකාශ කරන්නට යෙදුණා. එය නම් මනස මුල් කොට ගත් ස්වයං අවබෝධය පෙරටු කොට ගත් අත්ථූපනායික ධර්ම පර්යායකි. ඉන් අදහස් කරන්නේ තමා උපමා කොට අන් අය කෙරෙහි පිළිබඳව සිතා ක්‍රියා ක්‍රියාත්මක කළ යුතු බවයි. සරල උදාහරණයක් ගතහොත් තව කෙනෙක් තමන්ව විවේචනය කරන කොට, තමන්ගේ අගුණ කතා කරන කොට, තමන්ට අභූත චෝදනා නගන කොට, අන් අය සමග කේලම් දොඩන කොට තමන්ට වේදනාවක් හිතට දුකක් දැනෙනවනේ. අත්ථූපනායික ධර්ම පර්යාය කියන්නේ එසේ අනුන් තමන්ව විවේචනය කරන කොට ඇති වන තත්ත්වය තේරුම් අරන් අනිත් අයව තමන් විවේචනය නොකර සිටීමයි.

බුදුදහමේ චින්තන නිදහස මනෝ විද්‍යාත්මක පර්යේෂණ වලට ද ලක්වනවා නායක හාමුදුරුවනේ?
ඔව්. අද බොහෝ විට බුදුදහමේ දැක්වෙන චින්තන නිදහස නූතන මනෝ විද්‍යාත්මක පර්යේෂණවලට ලක් වන කරුණක්. බටහිර මනෝවිද්‍යාවන්ට අනුව බොහෝ මානසික ව්‍යාධීන්වලට හේතුවක් වී ඇත්තේ පුද්ගලයා තුළ මෙම මානසික නිදහස නොතිබිමයි. එතනදී මානසික නිදහස හා චින්තන නිදහස යනු දෙකක් යැයි ඇතැම් අයෙකුට සිතෙන්නට පුළුවන්. අපි මෙතැනදී මානසික නිදහස යනුවෙන් වඩාත් විමසිල්ලට ලක් කරනු ලබන්නේ පුද්ගලයා විසින් තමන්ගේ මනසට සහ සිතුවිලිවලට එරෙහිව සටන් කිරීම සහ එතුළින් මානසික පීඩනයකට ලක් වීමයි. මානසික නිදහස අහිමි වීමට ප්‍රධාන කරුණු දෙකක් බුදුදහමට සහ නූතන මනෝවිද්‍යාවට අනුව අර්ථ දක්වන්නට පුළුවන්. එනම් තමා විසින්ම ඇති කරගත් චින්තන සංකල්පයන් තුළින් තමාගේ මනස තුළම සිරකාරයකු බවට පත් වීම සහ තමා අවට පරිසරයේ සිටින අය නිසා ඔවුන්ගේ බලපෑම් මත තමා තුළ ඇති මානසික නිදහස අහිමි කරගෙන ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට යටහත්ව තමාගේ මානසික නිදහස තුළ සිරකාරයකු බවට පත් වීමයි. මෙහිදී බොහෝ මනෝ ව්‍යාධීන්ගෙන් පෙළෙන පුද්ගලයන් මෙන්ම මෙම තත්ත්වයන්ට පත්ව ඇත්තේ තමා විසින් ඇති කරගත් සංකල්පයන් තුළ සිරවී නිරන්තරයෙන් එම සිතුවිලි සමග සටන් කරමින් ‍පොර බදිමින් තම මනස තුළම සිරකාරයින් වී සිටින අයයි. එම කාරණාව නිදසුනකින් පැහැදිලි කළොත්. බලන්න බොහෝ උදවිය මා මේ දේ කළොත් කුමක් සිදුවේද, මට මෙය කළ හැකිද, මා මෙය කිරීමට සුදුස්සෙක් නොවේය, මට ඒ සඳහා පුහුණුවක් සුදුසුකමක් නැත. මා කිසිසේත් මේ කාරණය සඳහා සුදුස්සෙක් නොවේ. මෙය සිදු කළහොත් ඒකාන්තයෙන්ම අසාර්ථක වේය යනුවෙන් සිතා තමන් පිළිබඳ අවතක්සේරු කර ගනිමින්, තමන් ගැන නිශේදාත්මකව සිතමින් තම මනස තුළ සටන් කිරීම නිසා මානසික බෙලහීනතාවයට බොහෝ අය පසුකාලීනව පත් වීම දැක්විය හැකියි.

ඇතැමුන් තමන්ගේ මානසික නිදහස තමන්ම අහිමි කර ගෙන ඇති සෙයක් තමයි ගම්‍ය වන්නේ නායක හාමුදුරුවනේ?
ඔව්. මා කලින් සඳහන් කළාක් සේම ඇතමුන්ම මෙය කළහොත් දෙමව්පියන් දොස් කියයි. ඒ නිසා මා මෙය නොකළ යුතුයි, එසේම අපේ පරම්පරාවේ කිසි කෙනෙක් මෙවැන්නක් කරලා නැහැ මම කළහොත් ඥාතීන් උරණ වෙයි යැයි ඇතැමුන් සිතින් සිතනවා. ඔවුන්ගේම මානසික නිදහස ඔවුන් අහිමි කර ගෙන තිබෙනවා. ඒ තමා අවට සිටින අය ගැන අනවශ්‍ය ලෙස සිතීම තුළිනුයි. මීට තවත් සරල උදාහරණයක් ගෙන හැර දැක්වුවහොත් දැන් බලන්න අභිනවයෙන් නිවසට පිවිසෙන ‍ලේලිය එම නිවසට පැමිණෙන්නේ බොහෝ විට ඉහත කාරණා දෙකම ‍පොදි බැඳ ගෙනයි. මේ නිසාම එම ‍ලේලිය හැම විටම තම නැන්දනිය මාමණ්ඩිය අලුත් ඥාතීන් දෙස බලන්නේ සාම්ප්‍රදායානුකූල භීතිය නිසා ඇති කර ගත් චිත්ත ස්වභාවයෙනුයි. මෙය ඉතාම අහිතකර වූත් අප්‍රයෝජනවත් වූත් මානසික පසුබිමක්. මෙම තත්ත්වය නිසාම ඇය තම නැන්දනිය මාමණ්ඩිය කෙරෙහි සුබවාදීව දකිනවාට වඩා දකින්නේ අසුබවාදීවයි. ඔවුන්ගෙන් සිදුවන කුඩා අතපසුවීමක් වුවද විශාල ලෙස පෙනෙනවා. කරන සෑම දෙයක්ම අනවශ්‍ය භීතියකිනුත් අනවශ්‍ය කැප කිරීමකිනුත් සිදු කිරීමට යාම නිසා බොහෝ ගැටලු ඇති කර ගන්නවා. එසේ වන්නේ ඇය ඇගේම මනස තුළ ඇය විසින්ම සිර කර ගත් සිතුවිලි සමුදායකින් මානසික නිදහස අහුරා ගෙන ඇති නිසයි. අභිනව විවාහක යුවලක් ලෙස ඔවුහු නිදහසේ තම නව ජීවිතයේ සුන්දරත්වය විඳීමට වඩා ඔවුන් විසින් ඇති කරගත් මෙම මානසික සිරගත කිරීම නිසා වසර කිහිපයක් යන්නටත් පෙර විවාහ ජීවිතය අසාර්ථක කර ගන්නවා.

අපේ හිත හැමවිටම බොහෝ කලබලකාරියි. මෙවැනි පසුබිමක් තුළ එය නිරවුල්ව තබා ගන්නේ කෙසේද?
බොහොම හොඳ කාරණාවක්. බුදුරජාණන් වහන්සේ ධම්ම පදයෙහි චිත්තවග්ගයෙහි සිත යනු ඉතාම දුර ගමන් කරන දෙයක් බව දේශනා කරනවා. එක තැනක තියා ගන්න බැරි දෙයක්නේ හිත කියන්නේ. බුදුරජාණන් වහන්සේ සිත සමාධි ගත කිරීමේ වැදගත්කම දේශනා කරන්නේ ඒ නිසයි. සිත අතීතය තුළත් අනාගතය තුළත් රැඳෙන්නට නොදී වර්තමානය තුළ ක්‍රියාත්මක කළ යුතුයි. මෙයට කියන්නේ සිහිය පිහිටුවා ගැනීම කියලයි. නැතහොත් එළඹ සිටි සිහියෙන් ජීවත් වීම කියලයි. මෙය පාලියෙන් සතිපට්ඨානය යනුවෙන් හඳුන්වනවා. එක තැනක තියා ගැනීමට අපහසු කැලයෙන් ගෙනා කුළුමීමකු බඳු සිත සංවර කර ගැනීමේ එකම මග නම් භාවනාවයි. මෙහිදී වඩාත් අවධානයෙන් කළ යුතු වන්නේ වඩාත් ගැඹුරු භාවනාවකට යාමට පෙර එදිනෙදා ජීවිතයේදී සිදු කරන ක්‍රියාදාමයන් සිහියෙන් සහ කල්පනාවෙන් යුතුව සිදු කිරීමයි. අද බටහිර ලෝකයේ මානසික ආතතීන් සහ විශාදීන්ගෙන් පෙළෙන උදවියට මනෝ වෛද්‍යවරුන් පළමුව නිර්දේශ කරන්නේ සිත වර්තමානයේ පිහිටුවා ගන්නා ලෙසටයි. එහිදී ඔවුන් නිර්දේශ කරන්නේ තමන් කමිසයේ බොත්තම් ටික දාන කොට සිහියෙන් කල්පනාවෙන් කරන ලෙසයි. කමිසය මදින විට එය සිහියෙන් මදින ලෙසයි. තේ බොන විට කෑම ගන්න විට එය සිහි කල්පනාවෙන් කරන ලෙසයි. භික්ෂුන් වහන්සේලා සිහියෙන් සතියෙන් එම කටයුතු කරනවා. මානසික රෝගීන්ට බෙහෙත් දීමට පෙර සතිපට්ඨාන භාවනාවේ ආනාපානසතිය සහ සක්මන් භාවනාව මෙන්ම අඩුම වශයෙන් කරුණු තුනක්වත් මනස ඒ තුළ යොමු කර ගෙන කරන ලෙස ඔවුන් අවධාරණය කරනවා. මෙම කරුණු කාරණා සම්බන්ධයෙන් ද අද විදේශයන්හි පවා ජනතාව බහුල වශයෙන් බුදු දහමට නැඹුරු වන බව දක්නට ලැබෙනවා.

ස්කොට්ලන්තයේ වෙසෙන හැම දස දෙනෙකුගෙන්ම එක් අයෙක් විශාදය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා. මේ නිසාම ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කිරීම තුළින් ඔවුන් මානසික රෝගීන් බවට පත් වෙලා. එහිදී ඔවුන් පිළිසරණ සොයන්නේ සරල ජීවන රටාවකට හුරු වීම සහ එදිනෙදා ජීවිතයේදී සිදු කරන දේවල් අතීතයටත් අනාගතයටත් නොයවා වර්තමානය තුළ සිදු කිරීම තුළිනුයි. සරලව කිවහොත් හැකි හැම විටම එළඹ සිටි සිහියෙන් ජීවත් වීමයි. ස්කොට්ලන්තයේ ප්‍රධාන විශ්ව විද්‍යාල තුනක සතිපට්ඨානය පිළිබඳ විවිධ පර්යේෂණ පශ්චාත් උපාධි මට්ටමෙන් සිදු කෙරෙනවා. ලෝකයේ ප්‍රධාන විශ්ව විද්‍යාල සියයයෙන් එකක් වන ග්ලාස්ගෝ හි සතිපට්ඨාන භාවනාව පිළිබඳ හදාරන සිසුන් හය දෙනෙක් ඉන්නවා. උතුරු වේල්සයේ ඩනගර් සරසවියේ සෑම වසරකම මනෝ වෛද්‍යවරු සහ මනෝ උපදේශකවරු තිහකට අධික සංඛ්‍යාවක් විද්‍යාපති උපාධිය හදාරනවා. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ සතිපට්ඨාන භාවනාව මානසික විශාදය සඳහා ප්‍රතිකාර වේදයක් ලෙස පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවා තිබෙනවා. මහාචාර්යවරු දෙදෙනෙක් මෙහි සේවය කරනවා. ඇමරිකාවේ රෝහල් දෙසිය හතළිහකට අධික සංඛ්‍යාවක් රෝහල් තුළම මානසික ආතතියෙන් පෙළෙන රෝගීන් සඳහා භාවනාව උගන්වනවා.

එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක. ග්ලාස්ගෝ සරසවියේ කථිකාචාර්ය, කඹුරාවල රේවත නාහිමි
සාකච්ඡා කළේ - ජනක හෙට්ටිආරච්චි
උපුටා ගැනීම ලක්බිම