This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
යහපත සදන මංගල කරුණු
null

නමොතස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
බහු දෙවා මනුස්සාච
මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්ථානං
බ්‍රෑහි මංගල මුත්තමං

කාරුණික පින්වතුනි, ‘මංගල’ යනු ඉෂ්ඨාර්ථ සිද්ධීය අත්කර දෙන යන අදහස ඇති වචනයකි. ශබ්දකෝෂය අනුව මංගල්‍යය, උත්සවය, සුබ කටයුත්ත, විවාහය, වාසනාව, අඟහරු ,බුදුවරයෙක්, රාජකීය ඇත් කුලයක්, උමාව, කුසලඵල සිහි කිරීමෙන් ඇතිවන සිතේ සතුට, යහපත,හොඳ ,ලස්සන, ලෝකයා විසින් මගුල් යයි සම්මත දේ ‘මංගල’ යන වචනයෙන් හඳුන්වයි. මේ හැර ශ්‍රේෂ්ඨාර්ථය, ග්‍රහ භේදය, දුර්ගාව , පතිව්‍රතාව, පව් නැසීම ආදි විවිධ අර්ථයන් ප්‍රකට කිරීම උදෙසාද අටුවා ඇදුරන් මංගල යන වචනය යොදා ගෙන ඇත. බුදුන්වහන්සේ ‘මංගල’ යන්නට අර්ථ දක්වා ඇත්තේ ‘අභිවෘද්ධිය’ ලෙසයි. එම අදහස තහවුරු වන පරිදි අටුවා ඇදුරන් ‘ මං වුච්චති පාපං, තං ගලතීති මංගලං’ යයි නිරුක්ති දක්වමින් ‘මංගල’ යනු පාප සමනයෙන් අභිවෘද්ධියට හේතුවන කරුණු රාශියක් යන අර්ථය ප්‍රකට කිරීමට උත්සාහ දරා ඇත. තවත් අදහසක් දක්වා ඇති පුරාණ අචාර්යවරු ‘මං’ යනු අපායගාමී, ‘ග‘ යනු ගමන, ‘ල’ යනු සිඳින හෙවත් වළකන අර්ථයෙන් ‘මංගල’ වී යයිද කියති. පුරා දොළොස් වසක් මුළුල්ලේ ‘මංගල’ යනු කුමක්දැයි සොයා වෙහෙසුණු දඹදිව් වැසියන්ට බුදුන් වහන්සේ දෙසූ මංගල කරුණුවලින් පසුව ඒ දක්වා ඔවුන් දරාගෙන සිටි දිට්ඨ, සුත, මුත යන මංගල කාරණා ප්‍රභේද අත්හැර දමන්නට හේතු සකස් විය. මුලින්ම ඇසින් දුටු දේ, කනෙන් ඇසූ දේ සහ ලැබූ ස්පර්ශය , ගඳ සුවඳ,රස ආදිය දිට්ඨ, සුත, මුත මංගල ලෙස සිතූ මිනිසුන්ගේ අදහස දෙවියන් අතරට පවා ගොස් විසැඳුමකින් තොරව නැවත බුදුන් වහන්සේ වෙත රැගෙන එනු ලැබුවේද දෙවියකු විසිනි. ඊට පිළිතුරු ලෙස දැක්වූ තොරතුරු ගොනු කොට කරුණු 38 ක් වශයෙන් මංගල සූත්‍රයෙන් එළිදක්වා ඇත. අදටත් ඉන්දියාවේ ජෛන සාධුවරුන් තම ශාන්ති ගීතය ලෙස භාවිත කරන්නේ ‘මංගලම්’ යන වචනයයි. 

දිට්ඨ මංගලික - මෙම අදහස දැරූ අය උදෑසන නිදා පිබිදී කල හෝ යම් ගමනක් යන්නට සූදානම්ව හෝ යම්කිසි කටයුත්තක් ආරම්භ කරන විට හෝ යහපත යයි සම්මත ඇතැම් වස්තු දැකීමද, ඇතැම් සංකේත දැකීමද, සමහර ස්ත්‍රි පුරුෂයන් දැකීමද, කන්‍යා ස්ත්‍රීන් දැකීමද, ගර්භනී ස්ත්‍රීන් දැකීමද, බාල වයස් ළදරුවන් දැකීමද,ඇතුන්, අසුන්, කිරිඑළදෙනුන්, කිරි කළ ,වතුර පිරුණු කළ ආදි වූ දැකීමද සුදුසු යයි සම්මත දේ දැකීම ද මංගල යයි මුළුමනින්ම පිළිගත්හ. මේ සමාජගත මුල් බැසීම කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් හෝ අදත් සමාජයේ පවත්නා අයුරු රහසක් නොවේ. එයින් ලැබෙන හෝ ලැබූ ප්‍රතිඵලය සතුටුදායක හෝ අසතුටුදායක වුවත් එය අනුගමනය කිරීම ඇතැම් පිරිසකගේ පුරුද්දක් වී ඇත. දැකීමට අයහපත් යයි සම්මත මිනිසුන්, අවි ආයුධ ගත්තවුන්, අංගවිකල වූවන්, හිස් භාජන ගත්තවුන්, දර කෝටු ආදිය ගත්තවුන්, මසුන් මරණ දැල්ආම්පන්න ගත්තවුන්, සර්ප ආදි ඇතැම් සතුන්, කබරගොයින් ආදින් දැකීමද ශ්‍රමණයන් දැකීමද අසුබ ලෙස දිට්ඨමංගලිකයෝ විශ්වාස කරති. ඔවුහු තමාට ලාභයක් අත් වූ කල උදෑසන දුටු තැනැත්තාට පසසති. අලාභ හෝ යම් දුක් කරදර පැමිණ කල උදෑසන දුටු තැනැත්තාට නිකරුණේ ගර්හා කරති. උදෑසනින් පිටත්ව තමා කරන්නට යන කටයුත්ත සාර්ථක වීම හෝ අසාර්ථක වීම රඳා පවතින්නේ උදේ දුටු දේ නිසා ය යන මනඞකල්පිතය අන් සියල්ලට වඩා මනැස තුළ රජ කරයි. මෙය අතීතයේ සිටම පුද්ගලයාගෙන් පුද්ගලයාට අඛණ්ඩව ගලාගෙන එන විශ්වාසයකි. එහි සත්‍යතාව කුමක් වුවත් යම් අද්භූතයකින් මෙන් මේ විශ්වාසය මිනිස් සිත වෙළාගෙන ඇත. 

සුත මංගලික - ඉතා උදෑසන අලුයම් කාලයේ හෝ තම කාර්යය පටන් ගැනීමට ආසන්න මොහොතේ හෝ සෙත්වේවා, යහපතක් වේවා, සතුට ඉතිරේවා, කිරි ඉතිරේවා, සියල්ල සාර්ථක වේවා, ජයෙන් ජයම වේවා, ආයුබෝ වේවා, සියලු අදහස් ඉටුවේවා, ජය මඟුල් ම වේවා, පැතුම් ඉටුවේවා ආදි වශයෙන් ඇසීමත් ,මංගල සම්මත නම් ඇසීමත් ඇත්,අස්, මොනර, කුකුළු වැනි සතුන්ගේ ශබ්ද ඇසීමත්, තමා අරමුණූ කළ කාර්යයෙහි සාර්ථකත්වයට හේතුවන බව බොහෝ දෙනා සලකති. එපමණක් නොව එබඳු අවස්ථාවක් එළැඹෙන තුරු පොරොත්තුව සිටීමද ඇතැමුන්ගේ පුරුද්දකි. එසේම හැඬීම් ,විලාපකීම්, වගපල කීම්, දෙස් දෙවොල් තැබීම් මෙන්ම ගසින් වැටේවා, දියේ ගිලේවා,වාහන අනතුරක් වේවා, දරුණු සතකුට ගොදුරු වේවා , සර්ප දෂ්ටනයක් වේවා යන කීම් ඇසීමද ඉතාම නරක නපුරු භයානක සිදුවීම් ලෙස සුතමංගලිකයෝ සිතති. සූනන් හැඬීම සහ බස්සන්, බකමුහුණන්, පිළිහුඩුවන් , නරින්, බල්ලන්, බළලුන් වැනි සතුන් හැඬීමද ඇතැම් විට කපුටන්ගේ නාදයද, බල්ලන් කන්තල ගැසීමේ හඬද ඉතා අසුබදායක ශ්‍රවණයන් ලෙස සැලකීම පුරුද්දක් බවට පත්කොට ගෙන ඇත. සත්‍ය කෙතරම් ප්‍රකටව පැවැතුණත් අද්භූතය උසස් කොට සැලකීම මඟින් පෙන්නුම් කරන්නේ අදෘශ්‍යමාන බලවේගවලට මිනිසුන්ගේ සිත් සතන් තුළ පවත්නා බිය කෙතරම් විශාලද යන්නයි. මේ තත්ත්වය එක් ආගමකට හෝ ජාතියකට, කුලයකට, ගෝත්‍රයකට පමණක් සීමා නොවේ. පොදුවේ සලකන විට සමස්ත මනුෂ්‍ය සමාජයම යථාර්ථවාදීව පසුවන්නේ කොතැනකද යන්න මැන ගැනීමට මෙය ඉතා හොඳ සාධකයකි. 

මුත මංගලික - උදෑසන පරිසරයෙන් ලැබෙන සුවඳ මල් ආදියේ ආඝ්‍රාණය,රසවත් පි‍්‍රය කරන කෑම ජාතිවල රස බැලීම, කිරිබත් ගිතෙල්, උක් සකුරු, වෙඬරු ,මී ආදි මිහිරි කෑම බිම අනුභවය,පලතුරු කැවුම් ආදි දේ අනුභව කිරීම මෙන්ම අලුත් සහල්, ගොම මැටි ගෑ පොළොව, මිහිරි පලතුරු, කිරි දෙනුන් ස්පර්ශ කිරීම් ආදියත් අලුත් ඇඳුම් පැළැඳුම් දැරීමත් ආදි ලෙසින් බොහොමයක් හොඳයි, සුවඳයි , යහපත් යැයි ලෙසින් සලකන දේ ආඝ්‍රාණය කිරීම, ස්පර්ශ කිරීම හා රසය විඳ ගැනීම මුත මංගලිකයන්ගේ සිරිතයි. එතුළින් යහපත සැලසේය යනු ඔවුන්ගේ පිළිගැනීමයි. දිට්ඨ, සුත මංගලිකයෝද මේ පිළිගැනීම්වලින් තොර වූවෝ නොවෙති. අපවිත්‍ර ගන්ධයත්, ඉඳුල් බත් අනුභවය ආදි දේත් තමාගේ දෛනික පැවැත්මට නපුරක් ගෙන දේය යන අදහස බොහෝ දෙනාගේ සිත් තුළ මුල් බැසගෙන ඇත. එසේ වුවත් දිට්ඨ මංගල, සුත මංගල, මුත මංගල යන තුන් කොටසට අයත් සියලු දෙනාම මේ මතවලට එකඟ නොවූ අතර, දුටු දේ පමණක්, ඇසූදේ පමණක් හෝ රස විඳි, ස්පර්ශ කළදේ පමණක් මංගල යයි පිළිගැනීමට අකැමැති වූ පිරිස්ද මේ අතර වූහ. එබැවින් ‘මංගල’ යන්නෙහි අර්ථය පැහැදිලි කර ගැනීම කෝලාහලයක් බවට පත් වූ බව පෙනේ. අදටත් ඇතැම් අය උදෑසන හෝ යම් ගමනක් පිටත් වන විට හෝ හිස මුඩු කළ ශ්‍රමණයන් වහන්සේ නමක මුණගැසීම මහා ව්‍යසනයක් ලෙස සලකති. සිදුහත් කුමරු අභිනිෂ්ක්‍රමණයට යොමු වූයේ එබඳු රුවක් දැකීමෙනි.අභිනිෂ්ක්‍රමණය මහා ව්‍යසනයක් ලෙස කාමභෝගීන් සලකන බැවින් පැවිදි රුවක් දැකීම අයහපත ගෙන දෙන්නකැයි සිතන බව පෙනේ. මෙහි ඇත්තේ මිථ්‍යාවකි. මෙම මිථ්‍යාවෙන් වැසී යෑමම මිනිසුන් තුළ පවත්නා අනවබෝධය ඉස්මතු කරවයි. 

බුදුන් වහන්සේගේ විවරණය - සත්වයන්ට සැප, දුක ලැබෙන්නේ තම තමන් විසින් කරනු ලැබූ පින් පව් හේතු කොට ගෙනයි.

නිරයං පාපකම්මනතා – පුඤ්ඤ කම්මා ච සුග්ගතිං
පුඤ්ඤානි පරලොකස්මිං - පතිට්ඨා හොංති පාණීනං 
ආදි වශයෙන් පින්, පව් හැරුණු කොට වෙනත් අප්‍රධාන හේතුද ඇති බවත් දේශනා කළ සේක. ඇසින් දුටු යම් දෙයක්, කනෙන් ඇසූ යම් ශබ්දයක් හෝ අනුභව කළ, ස්පර්ශ කළ දෙයක ආනුභාවයෙන් මොනම සත්වයකුට හො සැපතක්, විපතක් සිදුවිය නොහැක. එසේ සිදුවන්නේ යැයි යමෙක් සලකන්නේ නම් එය මිථ්‍යාවකි. එපමණක් නොව කර්ම ඵල ප්‍රතික්‍ෂේප කිරීමකි. දිට්ඨ මංගලාදී දේ හර වශයෙන් යමෙකු සලකන්නේ නම් ඔහුගේ ශීලයෙහි පිරිසුදු භාවයක් නැත. තම තමන්ගේ උපාසක භාවය කිලිටි කර ගැනීම මෙයින් සිදුවේ. එබඳු පුද්ගලයන්ට ලෝකෝත්තර සැපත කෙසේ වෙතත් අවම වශයෙන් මෙලොවදි ලැබූූ ජීවිතය හෝ සාර්ථක කර ගැනීම සිහිනයක් විය හැකිය. නිමිති ශාස්ත්‍ර ඡ්‍යොතිෂ්‍යය ආදි ශාස්ත්‍ර සමාජගතව පවතී. අවස්ථානුකූලව ඇතැම් ඒවා පරිහරණයට ගැනීම මහා වරදක් විය නොහැක. එහෙත් අතිධාවනකාරි ලෙස සියලු ධර්මතාවයන් අභිබවා මිථ්‍යාව කරපින්නා ගැනීම නොකළ යුතු බවත් යථාර්ථවාදීව කටයුතු කිරීමේ වැදගත්කමත් අවධාරණය කළ යුතුය. තමා කරන කියන දේ අවබෝධයෙන් යුක්තවම කිරීම අවශ්‍ය බවත් වැඩිදුරටත් පෙන්වා දී ඇත. 

ඔබ සැමට තෙරුවන් සරණයි!

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාමාධිපති යක්කලමුල්ල ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පරිවේණාධිපති කීර්ති ශ්‍රී, ශාස්ත්‍රපති පලල්ලේ සරණජෝති හිමි
උපුටා ගැනීම බුදු සරණ