This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
නිවන් දැකීමට කළ යුත්තේ පින්ද? කුසල්ද?
'ඒතං සන්තං ඒතං පණීතං යදිදං සරීබ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්‌සග්ගෝ තණ්‌හක්‌ඛයෝ නිරෝධෝ නිරීබානං'
යම් මේ සියලු සංස්‌කාර සමථයට පත්වුනාවූ සියලු උපධීන් බැහැර වුනාවූ තණ්‌හාව ක්‌ෂ්ය වුනා වූ නිරෝධය වූ නිවනක්‌ වෙයිද එය ශාන්තය එය ප්‍රනීතය.' නිවන් දැකීම පිණිස පින් කළ යුතුද? කුසල් කළ යුතුද? යන මේ ගැටලුව නිවැරදි විසඳුමක්‌ ලැබීමකින් තොරව සමාජ කතාබහට ලක්‌වන්නකි. කෙනෙකු පින් කළහොත් සසරෙහි ඇවිදින්නට වන්නේය එබැවින් පින් නොකර කුසල් කල යුතුය යෑයි පවසයි. එසේ පවසන්නේ කවර පදනමක සිටදැයි ඔවුන්ගේ ස්‌ථාවරක්‌ නොපෙනේ. එබැවින් පින කුමක්‌ද? කුසලය කුමක්‌ද? ඒවා නිවනට කෙසේ බලපාන්නේ යෑයිද විමසා බලා තීරණයකට පැමිණිය යුතුය. එබැවින් ඒ සඳහා මෙසේ උත්සාහ දරමු. අපද නිවනට පත්නොවී ඇති බැවින් නුවණින් විමසා බලා පිළිගන්න.

පින නම් කවරේද? 'හදයං පුනාතීති පුඤ්ඤං ' - 'හදවත පවිත්‍ර කෙරෙයි යනුයෙන් පින නම් වේ.' යනු සන්නයයි. (පුන + ණා + ති ) බොහෝ විට දේශකයන් මෙන්ම අවිධිමත් පොත් ලියන්නන්ද 'හදයං පුනාතීති පුඤ්ඤං' යන්න 'හදවත පිනවයි' යන අර්ථයෙන් 'පින නම් වේ' යනුවෙන් වරදවා දක්‌වයි. ඉහත යෙදෙන 'පුන' ධාතුව පවිත්‍ර අර්ථයෙහි යෙදෙයි. පිනවීම අර්ථයෙහි යෙදෙන්නේ 'පීණ' ධාතුවයි. එය ව්‍යාකරණයේදී (පීණ + ණෙ + ති) යනුවෙන් සන්ධි වේ. එසේ අර්ථ දැක්‌වීම වරදවා ගැනීම නිසා සෙසු සියල්ල වරදවාගෙන ඇත. එබැවින්ම බුදු දහම දැනගැනීමට පාලි භාෂාව උගත යුතු බව ද පවසන්නෙමු. එසේ පිනෙන් හදවත පිරිසිදු කරන්නේ කෙසේද? මෙසේ ගනිමු. පුණ්‍ය ක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යයක්‌ දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුළ හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කළ යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍රභාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්‌වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක්‌ දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ. නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදු වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක්‌ ගත්කල එහි සොමනස්‌සය යෙදෙන අවස්‌ථා ඇත. එසේ සොමනස්‌සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක්‌ නොව පවිත්‍ර කරන්නකි.

දැන් කුසලය යනු කුමක්‌දැයි විමසමු. 'කුච්äතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විධංසෙන්තීති කුසලා' ළාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ. ඒ කුසලයෝ දසයකි. ප්‍රණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්රර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්‌නට ඇත. එසේම මේ කුසලයන් තුළ හැසිරිය යුත්තේද ඉහත දක්‌වන ලද කුසල සිත්වලින්ම වේ. එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කළ යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කළ නොහැක. එබැවින් යමෙකු පින් කමක්‌ කළේද කුසල ක්‍රියාවක්‌ කළේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.

තවද කුසල කර්මයක්‌ ගත්කල ඒ හරහා පිංකමක්‌ සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි. ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුළ හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ. ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යාදෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකළා වේ. ඒ අනුව කුසල කර්මයක්‌ සිදුකිරීම යනු එකාන්තවම පින්කමක්‌ සිදුකළා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුළ අඩංගු වුවකි. නමුදු පින් කමක්‌ ගත්කල එය කුසලයක්‌ වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය ලෝභය දුරුකිරීමක්‌ නොවන බැවින් කුසලයක්‌ නොවේ. සීලය රකියි නම් එය පින්කමක්‌ සේම කුසලයක්‌ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම.... යනාදි වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක්‌ දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක්‌ වේ. නමුදු දුර්වලව හෝ කුසලයක්‌ ඇත. එබැවින් පින්කමක්‌ සිදුකිරීම යනු පිරිසිදු කුසලයක්‌ වීමට හා නොවීමටද පුළුවන. එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.

දැන් නිවන් පිණිස කළ යුත්තේ කුමක්‌දැයි සොයා බලමු. 

'එකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දෝමනස්‌සානං අත්ථංගමාය ඤායස්‌ස අධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්‌ඨානා' මහණෙනි යම් මේ සතර සතිපට්‌ඨානයක්‌ වෙයිද එය සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්‌මවීම පිණිස දුක්‌ඛ දෝමනස්‌සයන්ගේ අවසානය පිණිස ඤායයාගේ අධිගමය පිණිස නිවන සාක්‌ෂාත් කිරීම පිණිස එකම එක මාර්ගය වන්නේය.' ඒ අනුව නිවන් සාක්‌ෂාත් කිරීම පිණිස කළ යුත්තේ සතිපට්‌ඨානය වැඩීමයි. සතිපට්‌ඨානය වැඩිම යනු කයෙහි කය අනුව බැලීමත්, වේදනාවෙහි වේදනාව අනුව බැලීමත්, සිතෙහි සිත අනුව බැලීමත්, චෛතසික ධර්මයන්හි චෛතසික ධර්ම අනුව බැලීමත් යන සතරයි. එසේ ඒ සතරක්‌ වූ සතිපට්‌ඨාන වැඩීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සෙසු අංග වඩා සිටිය යුතුය. එනම් සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම යන සෙසු අංග හය එකාන්තව වඩා සිටීම අනිවාර්ය වේ. නොමැතිව එකහෙලාම සතිපට්‌ඨානය වැඩිය නොහැකිය. සෙසු අංග තිබුනේද සතිපට්‌ඨානය අත්‍යවශ්‍ය අංගය වන බැවින්ම එයම ඒකායන මාර්ගය කොට දක්‌වයි.

මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ගත්කල ඒ තුල කුසල කර්මයෝ මෙන්ම පුණ්‍ය ක්‍රියාවෝද අඩංගු වන්නේමය. ඒ මෙසේයි. 

  • සම්මා දිට්‌ඨිය ගත්කල ඒ තුල මිත්‍ය දෘෂ්ටියෙන් මිදිම නම් වූ කුසලයද, සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම යන පුණ්‍ය ක්‍රියාවද අඩංගු වන්නේමය. එනම් මෙහි සම්මා දිට්‌ඨිය යනු චතු සච්ච සම්මා දිට්‌ඨියයි. ඒ තුළ කුසල නම් වුද පින් නම් වුද දසවස්‌තුක සම්මා දිට්‌ඨිය අඩංගු වන්නේමය. එබැවින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි වූ සම්මා දිට්‌ඨිය වඩන්නේ නම් ඒ හරහා කුසලයද පිනද සිදුවී හමාරය.
  • සම්මා සංකප්ප වැඩීමේදී නෙක්‌ඛම්ම සංකප්පය තුලින් ලෝභය දුරුකිරීමේ කුසලයද දානමය පිනද සිදුවේ. එසේම අව්‍යාපාද සංකප්පය තුලින් ව්‍යාපාදය දුරුකිරීමේ කුසලයද භාවනා පිනද සිදුවේ. අවිහිංසා සංකප්පය එයටම සහයෝග වේ.
  • සම්මා වාචා තුලින් බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන කුසලයෝ ද සීලමය පිනද සිදුවේ.
  • සම්මා කම්මන්ත තුලින් ප්‍රාණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යන කුසලයෝද සීලමය පිනද සිදුවේ.
  • සම්මා ආජීව නම් වූ දැහැමි දිවි පැවැත්ම ඒ කුසලයන්ටද පින්වලටද සහයෝගය දක්‌වයි. එසේම කුසලක්‍රියා හා පුණ්‍ය කර්මයෝ නිසාද දිවිය ධර්මානුකූල වේ. සම්මා වායාම හරහා අකුසල් දුරුකිරීම හා නූපදවීම තුලින් කුසල කර්ම මෙන්ම පුණ්‍ය ක්‍රියා ද සිදුවේ. කුසල් ඉපිදවීම හා දියුණු කිරීම හරහාද එසේමය.
මේ අනුව ගත්කල පෙනෙන්නේ, පින යනු කුසලය තුළ අඩංගු වූවකි. කුසලය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ අඩංගු වුවකි. එබැවින් නිවන් පසක්‌ කරනු කැමති තැනැත්තා කළ යුත්තේ පින්කම් කිරීමවත් කුසල් රැස්‌ කිරීමවත් නොව ඒ උතුම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමය යන්නයි. එබැවින් ඔබ දුක්‌ විඳින්නෙක්‌ නම් ඔබට දුකින් මිදීමට අවැසි නම් අන් කිසිවක්‌ නොකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න. තෙරුවන් සරණයි...!

වැල්ලවායේ සුමනබොධි හිමි
උපුටා ගැනීම දිවයින