This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
අල්ලාගන්න එපා අත හරින්න - මඛාදේව ජාතකය
null

ජීවිතයේ කළ හැකි දේ මෙන් ම නොහැකි දේ ද වේ. අප ‍ගේ කාර්යයන් හි සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වන්නේ එය වටහා නොගෙන, නොකළ හැකි දේ කරන්නට යාමෙන් හා කළහැකි හොඳම දේ නොකොට අත හැරීම නිසාය. පෞද්ගලිකව තමාට පමණක් නොව තමන් සමඟ ජීවත්වන අයට, පිටස්තර සමාජයට එයින් බලපෑමක් වන්නේ නම් එය වඩාත් බරපතළය. යම් කාර්යයක නියැළීමට පළමුව ඒ සඳහා තමන් ගේ කායික හා මානසික යෝග්‍යතාව, දැනුම් මට්ටම හා ප්‍රායෝගික බව, කැපකිරීම්වල ස්වභාවය ඈ ආදී සියලු දේ විමසා බැලීම වැදගත්ය. අදාළ සුදුසුකම් සපුරා නොවේ නම් එය අතහැර වඩාත් ගැළපෙන කාර්යයක නිරතවීම, කළ හැකි වැඩක නියැළීම තමන්ට සේ ම අනුන්ටද වැඩ සහිතය. එවිට සමාජයීය ලෙස ගැටලු අවමය. මඛාදේව ජාතිකයෙන් ගෙන හැර දක්වන්නේ ද ඒ අපූර්ව පණිවුඩය ප්‍රමුඛ ජීවිතය පිළිබඳ වූ මා හැඟි සදූපදේශයන් ය.

අතීතයේ වේදේහ නම් රාජ්‍යයෙහි මියුලු නුවර මඛාදේව නම් රජෙක් විය. හේ බොහෝ ධාර්මිකය. දස රාජ ධර්මයෙන් ම රාජ්‍ය පාලනය කරන්නේ ය. රටවැසි සියල්ලන් සිය දරුවන් සේ සලකමින් සියල්ලන්ගේ ම සුබසෙත පිණිස කටයුතු කරන්නේ ය. කලක් රාජ්‍ය කළ රජු දිනක් සිය කරණවෑමියා කැඳවා, ‘මිත්‍රය, යම් දිනෙක මා හිස නර කෙසක් දුටුවේ නම්, වහාම ඒ බව මට කියන්න’ යි කී ය. හිස රැවුලු බාන්නා ද සෑම දිනයකම සිය රාජකාරියේ දී රජු හිස පැසුණු කෙස්ගසක් වේ දැයි පිරික්සන්නේ ය. කාලයක් ගෙවුණි. රජුගේ කෙස් අතරේ තිබු සුදු පැහැ එකම නර කෙසක් දැක, “රජ්ජුරුවන් වහන්ස, කෙස් අතරේ නර කෙන්දක් පෙනෙන්නේ ය” යි කී ය. එවිට, ‘එසේ වී නම් සබඳ, එය උදුරා මා අත්ලේ තබව’ යි රජු කීවේ ය. කරණවෑමි තෙමේ රන් අඬුවෙන් නරකෙස උදුරා රජුගේ අත්ලෙහි තැබීය. ඒ දුටු රජු ‘මම බොහෝ කලක් රාජ්‍ය පාලනය කළෙමි. ධන ධාන්‍යයෙන් මගේ රට සමෘද්ධිමත් ය. සියලු රට වැසියෝ සතුටින් ජීවත් වෙති. දැන් මා රාජ්‍ය තනතුරෙහි හුන් කාලය හොඳටම ප්‍රමාණවත් ය. මේ නරකෙස මට සිහි කරන්නේ මරණය ළංව ඇති බවය. ඉදින් මා මේ සියලු සැප හැර තපසට යා යුතු ය’ යි සිතා අත්හළ යුතු බවට කාලය එළඹ ඇති බවට පණිවුඩය දුන් කරණවෑමියාට තෑගි බෝග හා ගම්වරක් ප්‍රදානය කළේය. සිය පුතු කැඳවා, ‘පුතුනි, මා හිස නර කෙසක් පහළ වූයේය. ඒ මා මහල්ලෙකු බවට දනවන ඉඟියකි. බොහෝ කලක් මා මේ රාජ්‍යයේ දැහැමෙන් සෙමෙන් රට පාලනය කළෙමි. මගේ වැසියන්ට, මගේ රටට ආදරයෙන් රැක බලා ගත්තෙමි. මහණදම් පුරන්නට දැන් සුදුසු කල් එළඹ ඇති බව පෙනේ. ඔබ මේ රාජ්‍යය බාරගෙන මා මෙන් ම ධාර්මිකව රට පාලනය කරන්න’ යි කී ය. පිය රජු ගිය මඟ යමින්, රාජ්‍ය ආරක්ෂා කරන බවට කුමරු ද සපථ විය.

සිංහාසනය හැර, රජු තවුස්දම් රකින්නට වනගත වන පුවත ඇසු අමාත්‍යවරු රජු වෙත එළඹ, ‘රජතුමනි, නුඹ වහන්සේ කවර කරුණක් නිසා මහණ වන්නේ දැ'යි ශෝකීව ඇසූහ. රජු ද සිය හිසෙන් ගලවා දුන් නර කෙස දක්වා, ‘මේ නරකෙස මා හිසෙන් ගැලවූවකි. එය මට සිහිපත් කරන්නේ මා ගේ මරණය ළං වී ඇති බවය. හිස නරකෙස් හටගත් විට මරණය පැමිණ නළල් තලයේ සිටියා වැනිය. ඒ නරකෙස් නම් යම රජු විසින් එවන ලද දේව දූතයන් වැනිය. එසේ හෙයින් අද ම මම තපසට යන්නෙමි.’ යැයි ඇමැතිවරුන්ට දැන්වීය. එසේ පවසා, සියලු රාජ සම්පත්, රාජ්‍ය බාර දී රජු මහණව, මඛාදේව නම් අඹ උයනෙහි වසමින් මහණදම් රක්නට විය. භාවනා වඩා නොපිරිහුනා වූ ධ්‍යානයෙන් මිය ගොස් බ්‍රහ්ම ලොව උපත ලැබුවේ ය. සැබෑ නායකත්වයක අන්තර්ගත විය යුතු ගුණාංගයන් මොනවා ද යන්න අපූර්ව ලෙස විස්තර කැරෙන මඛාදේව ජාතකය ඇසුරින් පැහැදිලි කෙරෙන්නේ සමස්ත මානව වර්ගයාගේ ම ජීවිතය කළමනාකරණය කරගත යුතු සැටි පිළිබඳවය. ළදරු විය, යොවුන් විය, තරුණ විය, මැදිවිය, මහලුවිය ආදි ලෙස පියවරෙන් පියවර ආයු ගෙවී යද්දී අපගේ සිරුරෙහි වෙනස්කම් සිදුවේ. කායිකව මෙන්ම මානසික ශක්තීන් ද අඩු වැඩි වේ. සම රැළි වැටේ. පැසුණු හිසකෙස් ඇති වේ. අතපය වාරු නොවේ. ඥාන ශක්තිය පිරිහේ. ජීවිතයේ ඉදිරිය තීරණයට මේ වෙනස්කම් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් බව මඛාදේව ජාතකය අපට කියා දේ.

මෙහි රජු දැහැමෙන් රට පාලනය කළ නායකයෙකි. දස රාජ ධර්මයෙන් ජනතාව සන්තෘෂ්ඨියට පත් කළ රජෙකි. අනවශ්‍ය බදු බරින් ජනතාව නොපෙළු රජු සමානාත්මතාවෙන් සියලු රට වැසියන්ට සැලකීය. එම නිසා ජනතාවගේ පාලකයෙක් ලෙස නොව ජනතා සේවකයෙක් ලෙස හේ තෘප්තිමත් ය. මිය යන මොහොත දක්වා සිංහාසනාරූඪ වුවද ජනතාව තමන් ඉක්මවා නොයන බව ද රජුට සහතිකය. ජනතාව මෙන්ම රාජ්‍ය පාලනයේ දී රජුට උදවු කළ අමාත්‍ය මණ්ඩලය ද එලෙසය. රජු, රාජ්‍ය හැර යන්නට සැරසෙන බව අසා ඔවුන් විමතියටත්, කනගාටුවටත් පත්ව ඒ ගැන විමසන්නේ එහෙයිනි. එහෙත් රජු මූලිකත්වය දෙන්නේ ඒ ගෞරවාදරයන්ට නොවේ. රාජ්‍ය බලය තමන් සන්තකයේ තබා ගනිමින් වැජඹෙන්නට ද නොවේ. ඒ සියලු දේ සඳහා තමන් සතු ශක්‍යතාව පිළිබඳවය. නුවණින් විමසා බලා කටයුතු කිරීමේ හැකියාව පිළිබඳවය. ඔහු නිසි කල එළඹි වහා සුදුසුකම් සපිරු අයට බලතල බෙදා දේ. මඛාදේව රාජ චරිතය මේ ආමන්ත්‍රණය කරන්නේ රාජ්‍ය නායකත්වයට පමණක් නොවේ. සමස්ත ජන සමාජයටමය. ඔබ සේවය කරන ආයතනයක් පිළිබඳ මොහොතකට සිතන්න. ඇතැම් ආයතන ප්‍රධානීන් නුවණ මදකම නිසා සිය නොහැකියාවන් වසා ගන්නට දරන උත්සාහය, අලුත් අදහස් ඇති දක්ෂයින්ගේ මත ඉදිරිපත් කරන්නට ඉඩ නොදී තනතුරෙහිම ආරක්ෂා වන්නට දරන උත්සාහය බොහෝ දෙනෙකුට දුලබ අත්දැකීමක් නොවේ. එහෙත් මෙවැනි තැනක පරිහානිය මිස දියුණුවක් අපේක්ෂා කළ නොහැකිය. අත් හැරීම පිළිබඳ අපූර්ව පණිවුඩයක් ද මේ කතා පුවතින් විස්තර කෙරේ. විශේෂයෙන් බෞද්ධයින්ගේ ප්‍රධාන අරමුණ විය යුතු වන්නේ මේ සංසාර ගමනකෙටි කර ගැනීමය. ඉපදෙමින් මැරෙමින් බවයෙන් බවයට අප්‍රමාණ දුක් වේදනා ගැහැට විඳිමින් යන මේ සංසාර ගමනේ කෙළවර වන නිර්වාණ සුවය අත්පත් කර ගැනීමය. එහෙත් එය ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඒ සඳහා අත් හැරීම ප්‍රගුණ කළ යුතුමය. ධනයෙන් බලයෙන් ආඪ්‍ය වූ අයගේ මෙන් ම යාන්තමින් ජීවිතය ගැට ගසා ගන්නා අය ද තමන් සතු දේ අත්හරින්නේ නම් ඒ ඉතා සුළු පිරිසක් පමණි. බොහෝ දෙනාගේ පුරුද්ද රැස් කිරීමය. රජෙක් යනු පිරිස් බලයෙන් සේ ම සැප සම්පතින් ද, අන් සියල්ලන්ට වඩා ඉදිරියෙන් සිටින්නෙකි. එහෙත් මඛාදේව රජු ඒ සියල්ල අත හරිමින් අපට කියා දෙන්නේ අත් හැරීමේ වැදගත්කමයි. වනයේ දී විඳින්නට විය හැකි කටුක අත්දැකීම් දකිමින් ම වන ගත වන්නේ ඒ නිසා ය. සියලු සම්පත්වලට වඩා ලෝබ, ද්වේෂ, මෝහ ඈ ආදී සිතිවිලිවලින් අපිරිසුදු වන සිත පාලනය කරගත යුතු බව රජු සිතයි. සිත දමනය කර ගනු පිණිස වනගතව බවුන් වඩන්නට තීරණය කරන්නේ එහෙයිනි.

ගෘහයක ප්‍රධානියා පියා ය. පියා නොවේ නම් මව ය. පියාගේ ප්‍රතිපත්ති ගරුක බව දරුවන්ගේ ගේ හෙට තීරණය කරන ප්‍රබල සාධකයකි. පියෙකු ලෙස සිය වගකීම් ඉටු කරන්නට ඔහු බැඳී සිටිය යුතුය. ජීවිතයේ මුහුණ දෙන්නට සිදුවන්නා වූ අප්‍රමාණ ගැටුම් හා ප්‍රශ්නකාරී අවස්ථා හමුවේ ඔහුට තීරණයක් ගත නොහැකි නම්, මඩේ සිටවූ ඉන්නක් සේ සතර අත වැනෙන්නේ නම් ඔහු අතින් ගිලිහෙන්නේ යම් ආකාරයකින් දරුවන් ගේ හෙට දවසය. වරද, වරද ලෙස හඟින, අවස්ථාවෝචිතව ගත හැකි හොඳම තීරණය ගන්නා, අසාධාරණයට නොනැමෙන ඔහු පවුලේ නායකත්වයට සුදුසු ම තාත්තා විය යුතුය. ‘මඛාදේව’ නම් තාත්තා සුදුසු කල තමන් ගේ දරුවාට දායාදය, තමන් ගේ අභිමානය පවරා දෙන්නේ ඒ ප්‍රතිපත්ති ගරුක බව නිසාය. එය නුදුරු දිනෙක මවුපියන් හා දරුවන් අතර ඇතිවිය හැකි ගැටුම් වළකා ගැනීමේ පිළිතුරකි. ‘අන්ධ භූතො අයං ලොකො තනු කෙත්ත හ විපස්සති’ යැයි එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. මේ ලොව බොහෝ ‍දෙනා අන්ධ ය. මනාව පෙනෙන්නේ ස්වල්ප පිරිසකට ය. යනු එහි අර්ථයයි. එයින් අදහස් කළේ අපගේ ඇස් නොපෙනෙනවා යන්න ‍නොවේ. එහි අරුත ගැඹුරුය. එනම් මෙලොවත්, පරලොවත් ප්‍රඥා නැමැති ඇසින් දකින්නේ ඉතාම සුළු පිරිසක් බවය. මඛාදේව රජු ජනතා නායකයකු ලෙස ජනතා සේවකයෙකු ලෙස සිය රාජ්‍ය දැහැමෙන් සෙමෙන් රක්ෂා කළේය. රට දැය ගැන සිතන අතරම තමන් ගේ පරලොව ජීවිතය පිළිබඳව ද ප්‍රඥා නැමැති ඇසින් දුටුවේය. බවුන් වඩනු පිණිස වනගත වන්නේ කෙලෙස් බරින් පිරුණු සිතිවිලි එකින් එක සිතෙන් ගලවා දමා පරලොව සුවපත් කරගනු පිණිසය. සියලු දේ අත්හරින්නට නොහැකිව වැලඳ ගන්නා සමාජයට ඔහු දෙන පණිවුඩය මිල කළ නොහැකිය.

උපුටා ගැනීම සිළුමිණ