This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
කුසල් වැඩිය යුත්තේ තමා විසින්මය
null

නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අත්තාහි අත්තනෝ නාථෝ
කෝහිනාථෝ පරෝසියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං

සැදැහැවත් පින්වතුනි, අද ධර්ම දේශනාව සඳහා මා විසින් මාතෘකා කළ ගාථාව ධම්ම පදයේ අත්ත වර්ගයට අයත් ගාථාවකි. මෙම ගාථාවේ තේරුම “තමාට තමාම පිහිටය. අන් කවරෙක් නම් පිහිට වන්නේද ? මනාකොට දැමුනා වූ තමා විසින්ම ඉතා දුකසේ ලැබිය හැකි පිහිට ලබන්නේය” මේ අනුව පැහැදිලි වන්නේ කිසිම පුද්ගලයෙකුට පිහිට වීමට වෙනත් කිසිවෙකුටත් බැරි බවත්, තමාගේ පිහිට තමා විසින්ම ළඟා කරගත යුතු බවත්ය. මෙහි 'පිහිට 'යනුවෙන් අදහස් කළේ තමා විසින්ම කුසල් කිරීමෙන් නිවන් මග අවබෝධයට සුදුස්සෙකු වීමයි. එය කළ හැක්කේ තමාටමයි. වෙනත් අයෙකුට එය කළ නොහැකිය.

තමන් හිසට තම අතමය සෙවණැල් ල
අනුනු බලා සිටියොත් නම් වැනසිල් ල
කළහොත් මනාකොට සය ඉඳුරන් මෙල් ල
ලැබගත හැකිය ලොව්තුරු අම සැනසිල් ල

මෙම කවියෙන්ද හෙළි වන්නේ තමාගේ කටයුතු තමාම කරගත යුතුය. වෙනත් කෙනෙකු කර දෙන තුර බලා සිටීම දුකට හේතුවක් බවයි. මාතෘකා ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ සැවැත්නුවර ජේතවනාරාමයේදි කුමාර කාශ්‍යප තෙරුන්ගේ මෑණියන් අරභයායි. එම කතා පුවත සැකෙවින් මෙසේය.

රජගහනුවර සිටි එක් සිටු දුවක් යමක් තේරුම් ගැනීමට හැකි වයසට පත් වූ පසු පැවිදි වීමට බලවත් ආශාවක් දැක්වූවාය. එහෙත් දෙමාපියන්ගෙන් ඇයට ඒ සඳහා අවසරයක් නොලැබූ වැඩිවියට පත්වූ ඇය පතිකුලයට ගොස් සැමියා ගේ නිවසේ පතිනියක්ව වාසය කළාය. වැඩිකල් නොගොස් ඇයගේ කුස තුළ දරු ගැබක් හට ගති. එහෙත් ඒ බව ඇය නොදත්තාය. සැමියාගෙන් පැවිදිවීමට අවසර ඉල්ලීය. එයට කැමැති වූ සැමියා මහත් සත්කාර කොට ඇය භික්ෂුණි අසපවුකට ගෙන ගොස් පැවිදි කරවීය. නොදැනුවත්ව ඇය පැවිදි වූයේ දේවදත්ත පාර්ශ්වයේ භික්ෂුණි අසපුවකයි.ටික දිනකින් භික්ෂුණීහු ඇගේ ගර්භණීභාවය දැක එසේ වීමට හේතු විමසීය. එහිදී ඇය තමාගේ නිර්දෝෂිභාවය හෙළිකරන ලදී. සීලයට හානියක් නොවූ බව පැවසුවාය. පසුව මේ බව දෙව්දත් තෙරුන්ට සැලකිරීමෙන් ඇය උපැවිදි කරන ලෙස භික්ෂුණීන්ට දන්වන ලදී. එහිදි එම භික්ෂුණිය තමා දෙව්දත් තෙරුන් උදෙසා පැවිදි නොවූ බවත් බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදි වූ බවත් පවසා උන් වහන්සේ වෙත පමුණුවන්නැයි ඉල්ලීය. එම භික්ෂුණීහු ඇය දෙව්රම් වෙහෙරේදී බුදුරජාණන් වහන්සේ හමුවට පත් කරන ලදී. උන්වහන්සේ ඇය ගිහි කාලයේ මෙම ගර්භය පිහිටි බව දැන අන් අයගේ චෝදනාවෙන් ගැලවීම සඳහා මේ ගැන පරීක්ෂණයක් කරවන ලදී. ඒ සඳහා කොසොල් රජතුමා, අනේපිඩු සිටුතුමා, විශාඛා උපාසිකාව ඇතුළු පිරිස ඉදිරියේ උපාලි තෙරුන්ට ප්‍රශ්නය විසඳීමට නියම කරන ලදී. උපාලි තෙරුන් වහන්සේ කොසොල් රජු ඉදිරියේ විශාඛාව කැඳවා ඇය පරීක්ෂා කිරීමට නියම කළහ. විශාඛාව යටතිර ඇද ඇයගේ අත්පා නැබ, උදරය ආදිය පරීක්ෂා කර බලා දින මාස පිළිබඳව තීරණය කර ඇය ගිහිව සිටියදී ගැබ පිහිටා ඇති බව තීරණය කොට තෙරුන්ට ඇගේ නිවැරැදිභාවය ප්‍රකාශ කරන ලදී. උපාලි තෙරුන් ඒ බව පිරිස මැද ප්‍රකාශ කරන ලදී. අනතුරුව ඇයගේ දරුගැබ මුහුකුරා ගිය පසු පදුමුත්තර බුදුරදුන් කල කරන ලද ප්‍රාර්ථනයක් අනුව මහත් ආනුභාව ඇති පුතනු කෙනෙක් බිහි කළාය. දිනක් කොසොල් රජු භික්ෂුණි ආරාමය අසලින් යද්දී දරුවෙකුගේ ශබ්දය අසා ඒගැන විමසා දරුවා මාලිගයට ගෙන ගොස් කිරි මව්වරුන්ට භාර කරන ලදී. නම් තබන දින කස්සප යයි නම් තබා කුමාරයෙක් ලෙසට වැඩුණ බැවින් කුමාර කස්සප නමින් හැඳින්වුනි. ළමා වයසේදී එම සම වයස් දරුවන් සමග සෙල්ලම් කරද්දී අනෙක් දරුවන්ට පහර දුන් විට මව පියා නැති එකා අපට පහර දුන්නේ යයි කී විට, රජුවෙත පැමිණ තම මව් කව්දැයි විමසූවිට කිරි මව්වරු මව් ලෙස පෙන්වුවත් එය භාර නොගත් බැවින් ඇත්ත හෙළි කිරීමට සිදුවිය. දරුවාගේ මව භික්ෂුණියක් බව ප්‍රකාශ කළ විට බලවත් කම්පාව ට පැමිණ පැවිදි වීමට රජුගෙන් අවසර ලබාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වීය. උපසම්පදාව ලබා කුමාර කාශ්‍යප තෙරුන් යයි ප්‍රසිද්ධ වූහ.

කුමාර කාශ්‍යප තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් කමටහන්ගෙන භාවනා කළත් අධිගමයක් ලබා ගැනීමට නොහැකිව නැවත කමටහන් ලබා ගැනීමේ අදහසින් අඹ වනයේ සිටින කල කාශ්‍යප බුදුරදුන් කාලයේ එකට මහණදම් පිරූ අනාගාමි ඵලයට පත්වු බඹලොව උපත ලද භික්ෂුවක් කුමාර කාශ්‍යප තෙරුන්ගෙන් ප්‍රශ්න 15 ක් විමසා මේවා බුදුරදුන් හැර වෙනත් අයෙකුට විසඳීමට නොහැකි බව පැවසූයෙන් කුමාර කාශ්‍යප තෙරුන් බුදුන් වහන්සේ වෙත පැමිණ එම ප්‍රශ්නවලට පිළිතුරු දැන ගැනීමත් සමඟ රහත් බවට පත්විය. කුමාර කාශ්‍යප තෙරුන්ගේ මව් භික්ෂුණිය තම පුතුගෙන් වියෝව දුකෙන් කල් ගත කළාය.දිනක් තම පුතු අතුරු පාරකින් යනු දැක පුතා පුතා යයි අඬගැසුවාය. පය පැකිලී බිම වැටුණාය. ගැලවුන සිවුරද අතින් රැගෙන දුව ගොස් පුතුගේ අතින් ඇල්ලුවාය. කුමාර කාශ්‍යප තෙරුන් ඇයගේ දරු සෙනෙහස නැති කිරීම සඳහා කතා කරමින් “මොකද මේ කරන්නේ තවමත් දරු ස්නේහය නැති කර ගන්න බැරි වුණා දැයි” විමසීය. දෙතුන් විටක්ම දැඩි ලෙස කතා කළෙන් පුත්‍ර ස්නේහය දුරු කොට එදිනම ඇය රහත් වූවාය. පසු කලෙක දම් සභා මණ්ඩපයේදී භික්ෂූන් කුමාර කාශ්‍යප තෙරුන් හා මෑණියන්ට බුදුරජාණන් වහන්සේ පිහිට වූ බව ප්‍රකාශ කලෙන් බුදුන් වහන්සේ වැඩමවා දැන් මතු නොවෙයි පෙරද මොවුන්ට මා පිහිට වූයේයයි පවසා නිග්‍රෝධ ජාතකය දේශනා කළහ. එකල ශාඛ මිග දෙව්දත් වු බවත්, නිග්‍රෝධ මිග බුදුන් වහන්සේ වූ බවත්, මරණයට නියම වූ මුව දෙන කුමාර කාශ්‍යප මාතාව බවත්, දේශනා කළහ. දරු සෙනෙහස දුරු කර තමන්ට පිහිට තමන්ම බව ඔප්පු කරමින් කුමාර කාශ්‍යප මාතාව රහත් වූවාය.

මේ අනුව හැම කෙනෙකුටම තමාගේ පිහිට මිස වෙනත් කිසිවෙකුගේ පිහිටක් නැති බව පැහැදිලි වේ. බොහෝ මිනිස්සු තමාගේ දෑසට නොපෙනෙන අදෘශ්‍යමාන දෙවි කෙනෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ ඇතැයි විශ්වාස කොට ඔවුන්ගේ පිහිට පැතීම දක්නට ලැබේ’. බුදු දහම පුද්ගල නිදහස අගය කරමින් තමාගේ විමුක්තිය තමා විසින්ම සාදාගත යුතු බව උගන්වයි. ඔබ විසින් උත්සාහ කටයුතුයි. කෙලෙස් තැවීම දැවීම සඳහා වීර්ය වැඩිය යුතුයි. බුදුවරු නිවන් මග කියා දෙති. කිසිවෙකු අත අල්ලා නිවනට නොපමුණුවති. තමා විසින්ම උත්සාහයෙන් නිවන් මගට යා යුතු ය. අරි අටඟි මග පිළිපදින්න මා විසින් කෙලෙස් නමැති උල් උදුරන මේ මග දැන කියන ලදී. මෙයින්ද පැහැදිලි වන්නේ බුදුන් වහන්සේ මග කියා දෙන්නෙකු මිස දුකෙන් මුදවන්නෙකු නොවන බවයි. දුකින් මිදීම තමා විසින්ම කළයුතුය. තම තමන්ගේ පිරිසුදු බව හෝ අපිරිසුදු බව තමා විසින්ම කර ගත්තකි. අනෙකෙක් අනෙකෙකු පිරිසුදු නොකෙරේ. මෙයින්ද හෙළිවන්නේ පුද්ගලයාගේ වගකීම ඔහුටම පවරා ඇති බවයි. තමා විසින් කරනු ලබන පින තමාගේ සැපයට හේතුවේ. තමා විසින් කරනු ලබන පව දුකට හේතුවේ. දුක සැප උරුම කරගන්නේ වෙන අයෙකු නොව තමා විසින්මය. බුදු දහමේ පමණක් උගන්වන මෙම ඉගැන්වීම තුළින් තමා ගැන ආත්ම විශ්වාසයක් පුද්ගලයා තුළ ජනිත කරවයි. විමුක්තිය ලබා ගැනීමේදීද, තම තමාගේ උත්සාහය ධෛර්යය අනුව එය සිදු කරගත හැකිවේ. 

ඓතිහාසික සිත්තම්ගල්ලෙන රාජ මහා විහාරාධිපති ශී‍්‍ර රෝහණ පාර්ශ්වයේ අනුනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධර්මරක්ෂිත, අධ්‍යාපනවේදී ශාස්ත්‍රපති අගලබඩ පියසිරි අනු නා හිමි
උපුටා ගැනීම බුදුසරණ