This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
තාවකාලික බව නිසා ඇති වන සෝක වැලපීම් වලින් නිදහස් වීමට නම් ...

null

අපි කවුරුත් මේ ලෝකයේ වාසය කරන්නෙ ටික කාලය යි. ඉතා ම සුළු කලක් තමයි උපන් මනුෂ්‍යයා මේ ලෝකයේ වාසය කරන්නෙ. මේ ලෝකයේ හටගත් දෙයක් තිබෙනවා නම් ඒ සෑම දෙයක් ම තාවකාලිකයි. බුදු රජාණන් වහන්සේගේ ධර්මය තිබෙන්නේ මේ තාවකාලික ලෝකය තුළ තාවකාලික බව නිසා අප තුළ ඇති වන සෝක වැලපීම් වලින් නිදහස් වෙලා සියලු දුකෙන් නිදහස් වීම පිණිසයි. තාවකාලික ලෝකයේ තාවකාලික දේවල් වැනසී යද්දී බුදු රජාණන් වහන්සේ අකම්පිත සිතින් වාසය කළා. අස්ථිර ලෝකයේ අස්ථිර භාවය ප්‍රකට වෙද්දී තථාගතයන් වහන්සේ අකම්පිතව වාසය කළා. උපන් ලෝකය නැසී යද්දී තථාගතයන් වහන්සේ අකම්පිතව වාසය කළා. එබඳූ අකම්පිත සිතක් උපදවා ගත්තෙ ලෝකයේ යථාර්ථය අවබෝධ කරගත්ත නිසයි. ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමෙන්, ලෝකය කෙරේ තිබෙන ඇල්ම දුරු කරගෙන ලෝකයෙන් නිදහස් වූ නිසා තමයි නැසී වැනසී යන ලෝකය නැසී වැනසී යද්දී, භාග්‍යවතුන් වහන්සේට කම්පා නොවී වාසය කරන්ට පුළුවන් වුණේ. ඉතින් එබඳූ ශක්තියක් ගොඩනඟාගත් භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයින්ට කියා දෙන්නේත් එබඳූ ශක්තියක් උපදවාගත හැකි ධර්මයක් ම යි. මේ ලෝකයේ උපන් මිනිසුන් මේ ලෝකය අස්ථිරයි, උපන් දේ, හටගත්ත දේ නැසෙනව කියල දන්නෙ නෑ. එසේ නොදන්නා නිසා උපන් දේ දිගට පවතිනව, නිත්‍යයි කියන අදහසේමයි වාසය කරන්නේ. නමුත් අනිත්‍ය දේ අනිත්‍ය වෙලා යද්දී, ඒ අනිත්‍ය දේ නිත්‍යයි කියන විශ්වාසයෙන් සිටි කෙනාට, දරාගන්ට බැරි තරම් ශෝකයකින් පීඩාවට පත් වෙනව. හඬනව වැලපෙනව ශෝක කරනව.

අපි උපන් දා සිට මිය යන තෙක් ම නැසෙන වැනසෙන ලෝකයේ නැසෙන වැනසෙන දේට මුහුණ දෙන්ට සිද්ධ වෙනව. පුංචි කිරිදරුවාගේ පටන් අන්තිම හුස්ම හෙළන තෙක් ම නැසෙන වැනසෙන ලෝකයේ නැසෙන වැනසෙන දේට අපට මුහුණ දෙන්ට සිද්ධවෙනව. ඉතින් ඒ නැසෙන වැනසෙන දේ නැසෙන වැනසෙන දේ කියල අපි දන්නෙ නැත්තම්, කුඩා කල පටන් මහළු වී වයසට ගිහිල්ල කළුරිය කරන තෙක් ම ජීවිතය ගැන, ලෝකය ගැන අනවබෝධයකින් වාසය කරන්ට සිද්ධ වෙනවා. හැමදාමත් හැම මොහොතක ම නැසෙන වැනසෙන දේ දකිද්දී, හැමදාම හැම මොහොතේ ම අපට සෝක කරන්ට සිද්ධ වෙනවා. වැළපෙන්ට සිද්ධ වෙනවා. අඬන්ට සිද්ධ වෙනවා. හොඳට බලන්න මෙතෙක් මේ ජීවිතය පුරාවට එහෙම සිද්ධ වුණා ද නැද්ද කියල. කුඩාකළ පටන් මේ තාක් ම ඇසින් දැකපු රූප නැසෙද්දී අපි ඇඬුව. කනට ඇහෙන ශබ්ධ නැසිල යද්දී අපි ඇඬුව. අපේ ප්‍රිය මනාප දේවල් නැසී වැනසී යද්දී අපි සෝක කරා, කණගාටු වුණා වැලපුණා. අනාගතයේදීත් අපි මේ ගැන වැටහීමක් උපදවා නොගන්නාතාක් අපට නැසී වැනසී යන දේවල් හමු වෙද්දී අපට හඬන්ට වැළපෙන්ට සිද්ධ වෙනව. යම් කලක අපේ ගේදොර ඉඩකඩම් හිති හිත මිතුරන් අපට අහිමි වෙන කලක් එනව. අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත, මේවා නැසෙමින් වැනසෙමින් යනව. එතකොට ඒ අපට අයිතියි කියල හිතන දේවල් නැසෙමින් වැනසෙමින් යද්දී සිතේ කම්පාව, දුක් පීඩා හටගැනීම සිදු වෙනවා. ඒ ඒවා නැසෙනවා වැනසෙනවා කියල දන්නෙ නැත්තම් තමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ අපට අනුකම්පාවෙන් අවවාද කරන්නේ අප කෙරෙහි මහත් සෙනෙහසින් අවවාද කරන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන වාසය කරන්ට, ඒ සඳහා ධර්මය උපකාර කරගන්ට කියල යි. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.
උපුටා ගැනීම දිනමිණ පුවත්පත