This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
දුගතියට යාමෙන් වළකිමු
null

සුන්දරී පරිබ්‍රාජිකාව බුද්ධ කාලයේ විසූ රූමත් තරුණියකි. ලාභ සත්කාරවලින් පිරිහුණු නිගණ්ඨයෝ බුදුරදුන් හා වෛර බැඳ බුදුරදුන්ට අභූත චෝදනාවක් කිරීමට ඇය උපයෝගී කර ගත්හ. ජේතවනාරාමයේ සිට හවස බණ අසා එන පිරිසට පෙනෙන සේ ආරාමය දෙසට යන ලෙසත් උදෑසන පිරිස ආරාමයට යන විට ඇය ජේතවනාරාමය දෙස සිට ආපසු එන ලෙසටත් නියම කළහ. 

නමෝතස්ස භගවතෝ අරහතෝ 
සම්මා සම්බුද්ධස්ස
අභූතවාදී නිරයං උපෙති 
යොචාපි කත්වා නකරොමි චාහ
උභොපි තෙ පෙච්ච සමා භවන්ති 
නිහීන කම්මා මනුජා පරත්‍ථ

ධම්මපදයේ නිරය වග්ගයේ පළමුවන ගාථාව වන මෙම ගාථාවෙන් පැහැදිළි කරන්නේ අන් හට බොරු දොස් නගන්නා නිරයට යන බවත්, යමක් කර තමා නොකෙළෙමියි කියන්නාද නිරයට යන බවත්, එබඳු ක්‍රියා ඇති ඒදෙදෙනාම පරලොව ගොස් එහිදී ගති වශයෙන් සමානවන බවත්ය. මෙම ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ සුන්දරී පරිබ්‍රාජිකාව පිළිබඳ කථා පුවත මුල් කරගෙනයි.

සුන්දරී පරිබ්‍රාජිකාව බුද්ධ කාලයේ විසූ රූමත් තරුණියකි. ලාභ සත්කාරවලින් පිරිහුණු නිගණ්ඨයෝ බුදුරදුන් හා වෛර බැඳ බුදුරදුන්ට අභූත චෝදනාවක් කිරීමට ඇය උපයෝගී කර ගත්හ. ජේතවනාරාමයේ සිට හවස බණ අසා එන පිරිසට පෙනෙන සේ ආරාමය දෙසට යන ලෙසත් උදෑසන පිරිස ආරාමයට යන විට ඇය ජේතවනාරාමය දෙස සිට ආපසු එන ලෙසටත් නියම කළහ. යමෙක් ඇය කොහේ සිට එන්නේ දැයි ප්‍රශ්න කළොත් ජේතවනාරාමයේ රාත්‍රි ගතකර එන බවත් කීමටද ඇය පෙළඹවීය. ඒ අනුව ක්‍රියාකළ සුන්දරී පරිබ්‍රාජිකාව ටික දිනකින් මරා ජේතවනාරාමය අසල මල් කසල ගොඩේ සඟවා තැබුවා. මෙම ක්‍රියාව බුදුරදුන් හා ශ්‍රාවකයන්ගේ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට නිගණ්ඨයන් උත්සාහ කළා. නමුත් රාජ රාජ මහාමාත්‍යවරු මේ ක්‍රියාව පිළිබඳ සොයා බලා වරදකරුවන් අල්වා දඬුවම් කළහ. බුදුරදුන් මේ බව දැනගෙන එම වැරැදිකරුවන් මිය ගොස් නරකයෙහි උපදින බව මේ ගාථාවෙන් වදාළා. මෙම ගාථාවේ මුල් පාදයේ එන අභූතවාදී යන්නෙන් අදහස් කරන්නේ බොරුකියන තැනැත්තාය. බොරුකීම වචනයෙන් සිදුවන අකුශලයකි. ප්‍රතිපත්තියක් වශයෙන් බොරු නොකියන්නට මිනිසුන් වශයෙන් අප බැදී සිටිමු. බෞද්ධයා රකින නිත්‍ය සීලයට බොරුකීමෙන් වැළකීම ඇතුළත්ව ඇත. “ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනුවෙන් පංච සීල ප්‍රතිපත්තියේ එය සඳහන්ව ඇත. ප්‍රතිපත්තියක් වශයෙන් රැකිය යුතු එම ශික්ෂා පදය කඩකරන්නා බොරුකාරයෙකි. ඔහුට කළ නොහැකි වෙනත් පාප කර්මයක් නැත.

මුසාවාසාදිස්ස ජන්තුනො
විතින්න පරලොකස්ස
නත්ථි පාපං අකාරියං
යන ගාථාවෙන් ඒ බව පැහැදිළි වෙයි. දස අකුශල් වලද සඳහන්වන බොරුකීම වචනයෙන් සිදුවන අනෙක් අකුසල කර්මයන් වන කේලාම් කීම ඵරුස වචන කීම. හිස්වචන කීම යන වැරැදි වචන සමඟ බැදී පවතී. "මුසා පෙසුඤ්ඤ ඵරුසා සම්පප්පලාපා වාචතො" යනුවෙන් එය වඩාත් තහවුරු කර ඇත. මුසාවාදයේ හෙවත් බොරුකීමේ ආදීනව දැක්වෙන බෞද්ධ සූත්‍රයක් නම් ධම්මික සූත්‍රයයි.අගාරික ප්‍රතිපදාව විස්තර කරන එම සූත්‍රයේ ගිහිවත වශයෙන් පෙන්වා දෙන පංච සීල ප්‍රතිපත්තියේ මුසාවාදය හඳුන්වා ඇත්තේ මෙසේය.

සභග්ග තොවා පරිසග්ග තොවා
එකස්ස චෙ තො න මුසා භණෙය්‍ය
න භාණයෙ භණතං නානුජඤ්ඤා
සබ්බං අභූතං පරිවජ්ජයෙය්‍ය

එහි අදහස, සභාවකට හෝ පිරිසක් මැදට හෝ, හුදකලා වූ අයෙකුට හෝ බොරු නොකිය යුතුය. අනුන් ලවා හෝ නොකිය විය යුතුය. කියන අයට හෝ අනුබල නොදිය යුතුය. සෑම බොරුවක්ම දුරලිය යුතුය යන්නයි. බොරුකීම සතර කර්ම ක්ලේශයන් ගෙන් එකක් වන බව සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇති අතර වසල, පරාභව සූත්‍රවලදි බොරුකියවන්නා වසලයෙකු, පිරිහීමට පත්වන්නෙකු ලෙසින්ද දක්වා ඇත. බොරුකීමේ විපාක දක්වන ලෝවැඩ සඟරාවේ මෙසේ දැක්වෙයි.

අසවා ම කියන බස් අර තරයේ
මුසවා බස් කීවා එක මුරයේ
වසවා දෙව්ලොව යන මං තරයේ
පැසවා මිස නාරි ගොස් නිරයේ
(82 කවය)

බොරුකීමේ තවත් ආදීනවයක් එහිම මෙම කවියෙන්ද දක්වා තිබේ.

ලැදිව රජෙක් බොරු බස් කී විගසක යා
නැතිව රිද්දි බලයත් ඒ මිනිස් ක යා
පොළොව පලා ගෙන ගොස් වැටුණි නරක යා
මෙලොව සතුනි ඉන් බොරු කීම නරක යා
(98 කවිය)

මේ අනුව බොරුකීමේ ප්‍රතිවිපාක මොනවාදැයි තේරුම්ගත හැකිය. මා මාතෘකාකර ගත් ගාථාවේ දෙවන පදයේ සඳහන් වන “යො චාපි කත්වානකරොමි චාහ “ යන්නෙන් යම් පාප කර්මයක් කර ඒ දේ තමන් නොකළේයයි කියන තැනැත්තා ද නිරයට යන බව කියවෙයි. යමෙක් යම් වරදක් කර එය තමා නොකළායයි කීමද බොරුවකි. තමන්ට හෝ අනුන්ට හෝ සමාජයට හෝ අවැඩක් අයහපතක් ,අවාසියක් සිදුකර එය තමන් නොකළා යයි අන්‍යයන්ට ඒත්තු ගැන්වීමට පෙළඹේ නම් එබඳු අයද මරණින් පසු නිරයේ උපදීමට ඉඩ ඇති බව දැන ගත යුතුය. එක බොරුවක් වැසීමට යාමෙන් තව තවත් බොරු කියන්නට සිදුවේ. එක බොරුවක් වසා ගන්නට තව බොරු දහයක් කියන්නට සිදුවේ යයි “ සමාජයේ ප්‍රචලිත කතාවක් ඇත්තේද ඒ නිසයි. බොරුකාරයන්, සොරුන්, මිනීමරුවන් කොතැනක සැඟවී සිටියත්, ඔවුන් නීතියේ රැහැනට කවදා හෝ අසුවීම වැළැක්විය නොහැක. කළ වරද අලුයට ඇති ගිනි පුපුරක් මෙන් අනුවණයා පෙලා දමන බව ධම්මපදයේ මෙසේ දක්වා තිබේ.

නහි පාපං කතං කම්මං
සජ්ජු ඛීරංව මුච්චති
ඩහන්තං බාල මෙන්‍වති
භසමච්ඡනෙනාව පාවකො
(ධම්මපද –බලවර්ගය 12 ගාථාව)

එහි අදහස දෙවු ගමන්ම කිරි නොමිදෙන්නාක් මෙන් පව්කළ කෙණෙහිම විපාක නොලැබීමට පුළුවන. නමුත් එය අළුයට සිටි ගිනි පුපුරු මෙන් පසුව දවාලන්නට හේතුවේ. මේ අතර ඇතැමෙක් පව් කරන විට මී පැණි මෙන් රසවත් යයි සිතමින් කරයි. එහෙත් එයට කවදා හෝ විපාක ලැබෙන විට බාලයා දුකට පත්වෙති.

මධුවා මඤ්ඤති බාලො
යාච පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ බාලො දුක්ඛං නිගච්ඡති
(ධම්පද බාලවර්ගය 10 ගාථාව)

කළ පව විපාක දෙන තෙක් අනුවණයා එය මී පැණි මෙන් සලකයි. එහෙත් පව විපාක දෙන විට හෝ දුකට පත්වේ. යනු එම ගාථාවේ අදහසයි. මෙම දේශනාවන්ට අනුව වඩාත් පැහැදිළි වන්නේ බොරු කීමේ විපාකය මෙන්ම වැරැදි ක්‍රියා කර ඒවා වසා දැමීමට ගන්නා උත්සාහයද අපායගාමී හෙවත් නිරයට යාමයට හේතුවන ක්‍රියාවන් බවය. පරලොවදී බොරු කියන්නාට සහ වැරැදි වසන්නට උත්සාහ දරන්නාට ද එකම විපාක විදින්නට සිදුවන බව තේරුම් ගෙන ක්‍රියා කරන්නට සියල්ලෝම සිතට ගත යුතුවේ. 

පේරාදෙණිය ඊරියගම දොවොල්කොන පුරාණ විහාරාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දුම්බර සෝරත හිමි
උපුටා ගැනීම බුදුසරණ