🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සෝවාන් ඵලයට පත් සිතක ස්‌වභාවය

සෝවාන් ඵලයට පත් සිතක ස්‌වභාවය

සසර දුකින් මිදීම සඳහා යන ගමනේ පළමු කඩඉම සෝවාන් ඵලයට පත්වීමය. සෝවාන් ඵලයට පත් වූ සිතක උත්තරීතරභාවය කෙතරම්ද කියනවා නම් සර්වලෝකාධිපති රජකමටත් වඩා උතුම් තත්ත්වයකි. පවත්‍යා ඒක රප්ඡේනන - සග්ගස්‌ස ගමනේක වා සබ්බලෝකාධි පථව්‍යා - සෝතාපත්ති ඵලං වහං ප්‍රදේශාධිපති රජෙකුටත් වඩා, සර්වලෝකාධිපති රජෙකුටත් වඩා සැපවත් සෝවාන් ඵලයට පත් වූ වෙකුට ඇති වන බැව් දේශනා කොට ඇත. ඉහත ගථාවත් එහි අදහසත් විමසා බැලූවිට එහි ඇති සත්‍ය වැටහෙනු ඇත. ලෝකයේ වැඩි දෙනෙකුගේ පිළිගැනීම වී ඇත්තේ යමෙකුගේ සැප දුක රදා පවතින්නේ ඔහුට හිමි ධනය, නිලය, බලය, යන ප්‍රධාන සාධක තුන මත කියාය. මේ හේතුවෙන් බොහෝ දෙනෙකු සාධාරණව හෝ අසාධාරණව ධනය රැස්‌කර ගන්නට නා නා විධ රැකීරක්‍ෂා වෙළෙඳාම ගොවිතැන වැනි ව්‍යාපාරවල නිරතවෙනු ලබයි. ඒ මාර්ගවලින් සෑහෙන ධනස්‌කන්ධයක්‌ රැස්‌ කර ගත් පසු එම ධනයෙන් පමණක්‌ සෑහීමට පත්විය නොහැකි අතෘප්තිමත් භාවයක්‌ අඩුවක්‌ ඔවුන්ගේ සිත්වලට දැනෙන්නට වෙයි. එසේ වීමට හේතුව ලෙස හැගෙන්නේ ධනය තිබුණාට මදි ඒ සඳහා පිළිගැනීමක්‌ ගරුත්වයක්‌ පැවතිය යුතුය යනුවෙනි. එම තත්ත්වය ලබා ගන්නට නම් යම්කිසි ප්‍රභූ නිලයක්‌ අවශ්‍යයයි සිතයි. ගරු නම්බු නාම වශයෙන් සෑම රටකම ( සංස්‌කෘතියකම) නයිට්‌ පදවි ලෙස හඳුන්වන සාමවිනිසුරු පදවි, නානා විධ මන්ත්‍රී පදවි (සෙනෙට්‌ පදවි) නොයෙක්‌ සංවිධානවල සභාපති පදවි ආදී ඨානාන්තර ලබා ගැනීමට සිය ධනය නොමසුරුව පරිත්‍යාග කරයි. එසේ ලබාගන්නා ලද නිලයත් ධනයත් නිසා ඇතිවන මානසික තෘප්තිමත්භාවයද ටික කලක්‌ යනවිට අතෘප්ති කර තත්ත්වයට පත් වී අඩුවක්‌ පවතින බවට හැඟêමක්‌ දැනෙයි. එයට හේතුව බලයක්‌ නැතිබව යෑයි සිතා යම් කිසි පාලන බලයක්‌ ලබාගන්නට ඕනෑ කමක්‌ ඇති වෙයි. ඒ අනුව මැති ඇමැති "මහ ඇමැති" අගමැති රටේ රජකම අවසාන වශයෙන් සක්‌විති රජ කම දක්‌වාම ගියත් සැබෑ මානසික සුවයක්‌ ලබා ගැනීමට නොහැකිව අතෘප්තිමත්භාවයක්‌ දැනෙන්නට වන අතර එහි අවසානයක්‌ නිමාවක්‌ නොදැනෙයි. මෙවැනි අතෘප්තිකර අසහනකාරී ආශාවන්ගෙන් පිරී පවතින සිත් තුලට සැබෑ තෘප්තියක්‌ ප්‍රබෝධයක්‌, සුවයක්‌ පිළිබඳ සත්‍ය වැටහෙන්නේ සෝවාන් ඵල සිතක්‌ පහල වු විටය. සෝවාන් එළ සිතක්‌ ඉබේ පහල වන්නේද නැත. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මයට අනුවම වත් පිළිවෙත් පුරමින් ධර්මය තේරුම් ගනිමින් මනස සකස්‌ කර ගත යුතුය. ලෝකය තුළ දැනට පහළ වූ නා නා විධ ආගමික හා දර්ශන රාශියක්‌ ඇතත් ඒ කිසිම දර්ශනයක සතර මග සතර ඵල උගන්වා නැත. එසේ නම් සම්බුද්ධ සාසනය තුළ පමණක්‌ පවතින සෝවාන් ඵලය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගැනීමට සෑම දෙනෙකුම මනා කොට ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ වන්ත විය යුතුය. සෝවාන් සිතකට දැනෙන සුවය කෙබඳු ආකාරද කියා මෙනෙහි කර බැලිය යුතුය. සෝවාන් ඵලයට පත්වන්නන්ගේ සිත් තුළින් සක්‌කාය දීෂ්ඨිය, විචිකිච්චා, ශීලබ්භත පරාමාශ යන සංජෝජන තුන බැහැරවන බව ධර්මයේ සඳහන්ව ඇත. සක්‌කායදෘෂ්ඨිය සකල ලෝකවාසී සෑම සත්වයෙකුටම වැසී තිබෙන භයානකම දිෂ්ඨිය සක්‌කාය දිෂ්ඨිය වෙයි. සක්‌කාය දෘෂ්ඨිය ඉවත්කර ගැනීමේ කාර්ය සෑම සත්වයෙක්‌ම තම තමන් විසින්ම කර ගත යුතුය. ඒ වෙනුවෙන් වෙනත් කෙනෙකුට පෙනී සිටිය නොහැකිය. බුදුපියාණන් වහන්සේ ඒ සඳහා සිතිය යුතු ක්‍රමය දේශනාකොට ඇති අතර උන්වහන්සේටවත් තවත් අයෙකුට සිතන්නට නොහැකි විය. එබැවින් සෝවාන් මාර්ගයට පත්වීමට නම් පළමු කොටම සිදුවිය යුත්තේ ධර්මයට හොඳින් සවන් දෙමින් ඒ අනුවම සිත පවත්වාගෙන යාමයි. බණ අසන්නට පහසු කම් නැතිනම් ග්‍රන්ථාරූඩ වී ඇති ධර්මග්‍රන්ථ යෝනිසෝමනසිකාරයෙන් යුතුව කියවා සිතට ගත යුතුය. දෙවනුව ඒ අනුව සිතිය යුතුය. එසේ සිතන්නට සිතන්නට බුදු දහමේ ඇති සත්‍ය ක්‍රම ක්‍රමයෙන් අවබෝධයට පත්වී සක්‌කායදෘෂ්ඨිය හෙවත් මම යෑයි තමා විසින්ම තමා ගැන සිතාගෙන සිටින වැරදි අවබෝධයෙන් මිදෙයි. එයට සක්‌කායදෘෂ්ඨියෙන් මිදීම යෑයි කියනු ලැබේ. එම අවබෝධය ලබා ගැනීමට නම් බුදු දහමට අනුවම තම තමන්ගේ ශරීර ගැන විමසමින්ම මෙනෙහි කර බැලිය යුතුය. එම විමසා බැලීමේ ක්‍රම සමග විදර්ශනා භාවනා ක්‍රම තුළින්ම ප්‍රගුණ කර ගත යුතුය. භාවනාවෙන් තොරව කිසිවකුටත් කිසිම දිනක මගඵල ලබා ගත නොහැකිය. නිවන් මග සඳහා යා යුතු මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගයම වන අතර සම්මා දිෂ්ඨිසම්මා සමාධි, සම්මා සංකප්ප යන මාර්ග අංග තුලින් සමථ විපස්‌සනා කමටහන් ඇතුලත් ප්‍රතිපදාවන්ය. භවනාව යනු බොහෝ වෙලා යම්කිසි ඉරියව්වකින් එකම තැන වාඩි වි සිටීමට නොව සතර ඉරියව් මෙන්ම වෙනත් ඉරියව්වකින් සිටිමින් ධර්මය මෙනෙහි කරමින් සිටින විටකදී ඇති වන සත්‍යාවබෝධයයි. මෙයට හොඳම නිදසුන නම් ධර්ම භාණ්‌ඩාගාරික ආනන්ද හිමියන් නිදාගැනීම සිතා යහනාවේ ඇලවෙන්නට යන අවස්‌ථාවේ හිස යහන මත තබන්නට පහත් කරන වේලාවේ ඒ අතරතූර කාලයේ රහත් ඵලයට පත්වීමය. භාවනාව යනු කුමක්‌ද, හරියාකාරව තේරුම් නොගත් උදවිය සිතන්නේ එකම තැනකට වී නිසොල්මන්ව සිටීමම භාවනාව කියාය. බුදුන් දවස මෙන්ම ඉන්පසුව බුදුන් වහන්සේගේ මෙන්ම රහතන් වහන්සේලාගේ ධර්මයට සවන් දී සිටින ගමන්ම ධර්මය අවබෝධ කරගත් සියලුම දෙනාට එසේ මගඵල ලබාගන්නට හැකි වූයේ ධර්මයට සවන්දෙන ගමන්ම ඒ අනුව තම සිත පවත් වා ගනිමින් ධර්මය මෙනෙහි කරමින්ම සිටීමේ හේතුවෙනි. එවන් අවස්‌ථාවල සිදුවන්නේද යම්කිසි භාවනාවකි. එය කායානුථස්‌ෂනාව, වේදනානුඵස්‌සනාව, චිත්තානුඵස්‌සනාව හෝ ධම්මානුඵස්‌සනාවන්ට ගැනෙන අරමුණ විය හැකිය. විශ්වය තුළ හටගෙන පවතින හා හට ගන්නා සෑම දෙයක්‌ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, යන හතර මහා භූත ප්‍රධාන කොට ඇති අටවිසි රූපයන්ගෙන් සෑදී ඇති හා සෑදෙන දේවල් බව නුවණින් විමසා බලන විට මමයයි සිතාගෙන රැවටී සිටින සෑම සත්වයෙක්‌ම එසේම ශරීර අවයක්‌ම තමන්ට අයත් දේවල් නොවන බව ප්‍රත්‍යක්‍ෂ වීමෙන් තේරුම් ගැනීම තුළින්ම සක්‌කායදෘෂ්ඨිය නැමති මුලාවෙන් සිත ගැලවී යයි. එම සත්‍ය අවබෝධ වූ අවස්‌ථාවේ සිට යටි සිත තුළින් මම කියා කෙනෙකු නැති බව නිරතුරුවම සිහියට ගන්වයි. මෙසේ මමත්වයෙන් තොරව කටයුතු කරන නිසා එතෙක්‌ මමත්ව රැක ගන්නට මමත්වය සතුටු කරවන්නට මමත්වය අගය කරවන්නට මමත්වය ගැන තිබූ සාඩම්බරත්වය ආදී සියලුම ක්‍රියාකාරකම් නිශ්ඵල වෑයම්, කල්පනාවන්, ආශාවන් ඉවත් වී සිතට විශාල සහනයක්‌ සුවයක්‌ සුඛයක්‌ නිරතුරුවම දැනෙයි. එකී සහනය සුවය, ධනය, නිලය, බලය ඇති සක්‌විති රජෙකුටවත් නොලැබෙන නිරාමිස ධර්මතාවයකි. විචිකිච්චාව (සැකය) බුද්ධාදී අටතැනක්‌ උදෙසා පහළ වන සැකය විචිකිච්චාවයි. බුදුන් පිළිබඳව, ධර්මය පිළිබඳව සංඝයා පිළිබඳව පවතින සියලුම සැකසංඛා පහව යාම නිසා ධර්මය පිළිබඳව ඇති වන ස්‌ථිර සාර ප්‍රත්‍යක්‍ෂභාවය හේතුවෙන් සකෘදාගාමී, අනාගාමී රහත් ආදී ඵලයක්‌ කරා යැමට අවශ්‍ය ශක්‌තිය සැකයන් පහව යැමෙන් ඇතිවේ. බුදුන්වහන්සේගේ බුද්ධත්වය පිළිබඳ අල්පමාත්‍රවු සැකයක්‌ ඇතිනොවීම ශ්‍රී සද්ධර්මය පිළිබඳව සැක සංකා පහළ නොවීම, ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව සැක පහල නොවීම ආදී තුණුරුවන් පිළිබඳ තිරසාර අවබෝධයක්‌ හට ගන්නේ සෝවාන් මාර්ගයට පිලිපන් ඇත්තත් තුළමය. එම නිසා මෙවැනි පුද්ගලයන් අතින් කිසිම විටකත් බලගතු අකුසල කර්ම සිදු නොවීමට සිහිබුද්ධිය ඇති වන්නේය. විචිකිච්චාව හෙවත් සැකය බාහිර චිකිස්‌සක ක්‍රමවලින් සුව කළ නොහැකි මානසික ස්‌වභාවයක්‌ වන අතර එම සැක සංකා දුරුවන්නේ ප්‍රායෝගික බුදු දහමට අනුව චාරිත්‍ර වාරිත්‍රවල නියෑලීමෙන් ඇතිවන අත්දැකීම් මතමය. මාර්ගඵල හා නිවන ගැන පොතපත කියවා මොනතරම් දැනුමක්‌ ලැබූවත් ධර්මයට අනුව පැවත්මක්‌ නැතිනම් ධර්මයේ රසය විදගැනීමට නොහැකිය. "සබ්බේ රසං ධම්ම රසං ජිනාථි" යනුවෙන් සියලුම රසයන් අතර ධර්ම රසයම අග්‍රවන බව බුදුපියාණන් වහන්සේ දේශනා කළේ එහි ඇති ප්‍රණීත බව නිසාමය. එය පසිදුරන්ට ගෝචර වන රසයක්‌ නොව ධාර්මික දිවිපැවැත්ම තුලින්ම සිතට දැනෙන දෙයකි. සැකය දුරුවන්නට දුරුවන්නට ධර්මය පිළිබඳ විස්‌වාසය ගොඩනැඟේ. සෝවාන් මගට පිළිපන් අයෙකු තුළ ඇතිවන තෙවන පාරිශුද්ධභාවය නම් වැරැදි සීල වෘත පිළිවෙත් අනුගමනය නොකිරීමට ඇති වන දැනීමයි. බුදු දහමින් බැහැර බොහෝ ආගම්වල ඉගැන්වෙන සීලයන් තුළින් පුද්ගලයාගේ සංසාර ගමනේ කෙලවරක්‌ දක්‌වා නැත. බ්‍රහ්මත්වය හෝ දේවත්වය තුළින් අවසන් වන නිෂ්ඨාවක්‌ උගන්වා නැත. බුදුහිමියන්ට සිද්ධාර්ථ තාපස අවදියේ නොයෙකුත් මුණිවරයන්ගේ සීල වෘතයන් හැදෑරීමෙන් ඒවා තුළින් සදාකාලික දුකින් මිදීමේ පිළිවෙතක්‌ නැති බැව් වටහා ගෙන සිටියේය. බුදුන්වහන්සේගේ සීල ප්‍රථිපදාවන් තුලින් පුද්ගලයා ටිකෙන් ටික සියලු ඇලීම් බැඳීම් ගැටීම්වලින් නිදහස්‌ කර ගැනීමේ පිළිවෙතකට යොමු කර ඇත. බුද්ධ කාලයේ මෙන්ම අද බොහෝ දෙනෙකු නොයෙක්‌ සීල වෘතයන් අනුගමනය කරන්නේ දැනට තම තමන් සිටින තත්ත්වයට වඩා වැඩියමක්‌ ලබා ගැනීමේ අරමුණ ඇතිවය. බුදුහිමියන් ඉගැන්නුවේ සියල්ල අත්හරින්නටය. රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස්‌වලින් දවටාගෙන මිනිසුන් සැප යෑයි සිතා වින්දනය කරන්නේ දුක්‌මය. ඒවා තේරුම්ගෙන අත්හැර දැමීම සීලබ්භත පරාමාසයෙන් බැහැර වීමය. බුදුහිමියන් පෙන්වා දුන් පරිදි ඡාග සිතින් (අනතුරු දායක දේවල් අත්හරින සිතිනි) යුක්‌ත තැනැත්තා ක්‌ලේශයන්ට මුලානොවී දිව්‍යලෝක, බ්‍රහ්මලෝක සම්පත් හෝ මනුෂ්‍ය ලෝකයේ ඉදුරන් පිණැවන තාවකාලික සැප ලබාගන්නට සීල වෘතයන් රකින්නේ නැත. යාග හෝම යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් නක්‌ෂත්‍ර නිමිති ශාස්‌ත්‍ර පසුපස යන්නේ නැත. ඒවා පසුපස ගියහොත් සංසාර ගමන කෙලවර කර ගන්නට නොව දීර්ඝකර ගන්නට හේතුවන බැව් නුවණින් දැකගනී. යමෙක්‌ දාන, සීල, භාවනා ආදී ක්‍රියාවන්වල නිරත වන්නේ දිව්‍යලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක ඉපදී සුර සැප විඳින්නට සිතා ගෙන නම් ඔහුට ඉම තලයක ඉපදීමෙන් සංසාර ගමන තවත් අතීදීර්ඝ බවට පත්වනු ඇත. සෝවාන් ඵලයට පත් වීමෙන් ඒසා අති දීර්ඝ සංසාර ගමන උපරිම ආත්ම භාව හතකින් කෙලවර වේ. තම තමන්ගේ නුවණින් මෙකී කාරනා ගැන විමසා බලා සෑම බෞද්ධයෙක්‌ම අවම වශයෙන් සෝවාන් ඵලයටවත් පත්වීමට වෙර වීරිය කරනවා.

උපුටා ගැනීම දිවයින