🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

කවුදෝ මගේ පස්සෙන් එනවා නම කියලා කොඳුරනවා

කවුදෝ මගේ පස්සෙන් එනවා නම කියලා කොඳුරනවාකවුදෝ මගේ පස්සෙන් එනවා නම කියලා කොඳුරනවාකවුදෝ මගේ පස්සෙන් එනවා නම කියලා කොඳුරනවා

“දැනට මාස හයක පමණ කාලයක ඉඳලා මගේ පස්සෙන් කවුදෝ එනවා වගේ දැනෙනවා. සමහර වෙලාවට නිමන්තී... නිමන්තී... කියලා කනට කොඳුරනවා වගේ ඇහෙනවා. රෑට නින්දට ගියා ම ලයිට් නිවපු ගමන් ශරීරය ස්පර්ශ කරනවා වගේ දැනෙනවා, ඉතින් නින්ද යන්නේ නෑ” යි නිමන්ති කීවා ය. ඉතින් මෙච්චර කල් ප්‍රතිකාරයක් කළේ නැද්දැ යි ආධ්‍යාත්මීය උපදේශකවරයා ඇසීය. ස්නායු වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත්තා. මාස තුනක් විතර බෙහෙත් බිව්වා. ඒකෙන් සනීප නොවුණු නිසා මනෝ වෛද්‍යවරයකු ළඟට ගියා. ඒ මහත්තයාගෙ බෙහෙත්වලට නින්ද යනවා. ඒ බෙහෙත් නොබිව්වොත් නින්ද යන්නෙ නෑ. තවමත් ඒ බෙහෙත් බොනවා. ඒත් අර කෙනෙක් පස්සෙන් එන ගතිය තවමත් දැනෙනවා. කතා කරන, කොඳුරන සද්දය තවමත් ඇහෙනවා. ඒ බෙහෙත්වලින් නින්ද යෑම විතරයි සිද්ධ වුණේ. මම දැන් ගෙදර අයටත් මානසික ලෙඩෙක් වෙලා. ඉතින් බෙහෙත් බොන ගමන් මෙහෙට ආවෙ මොකද? සිළුමිණ පත්තරේ පියවි ඇසින් ඔබ්බට බලලා ඔබ තුමාගෙන් ප්‍රතිකාර ගන්න හිතුණා. ඒකයි මේ හොයා ගෙන ආවේ. නිමන්ති කළුතර ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූමත් තරුණියකි. ඇය පැහැපත් ය. පිරුණු අඟ පසඟින් යුතු ඇය පවුලේ එකම දියණියයි. තම මෑණියන් සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණ තමා පත්ව සිටින හිරිහැරය කරදරය ආධ්‍යාත්මීය ගවේෂකවරයා සමඟ පැහැදිලි කළාය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඇය පැද්දෙන්නටත්, වෙව්ලන්නටත් වූවාය. ඇය තුළ අමනුෂ්‍ය බල වේගයක් ක්‍රියාත්මක වුවද එය මතු නොවූ බැවින් ගමේ පන්සලේ දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. සති තුනකට පසු ඇය නැවත පැමිණියාය. බෝධි පූජා පැවැත්වූ කාලය තුළ ද ඒ හිරිහැරය පැවති බවත්, පන්සලේ දී බෝ මළුවට ඇතුළු වූ පසු ඒ හිරිහැර ගතිය නොදැනුණු බවත් ඇය කීවාය. එදින ශක්ති කිරණ එල්ල කරන විට ඇය ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට විය. භූතාත්මය අඬන්නට විය. 

“කවුද මේ අඬන්නෙ?”

“.....‍....” භූතාත්මය නිහඬය.

“කරුණාකර නම කියන්න”

“...................” භූතාත්මය සිය නම කියන්නට අකැමැති බව දැනගත් ගවේෂකවරයා එය උපායශීලීව දැන ගන්නට අදහස් කළේය.

“මොකද මේ ළමයාගේ ශරීරයට සම්බන්ධ වෙන්නෙ?”

“මම මේ කෙල්ලට ආසයි”

“මොනවට ද ආසා කරන්නෙ?”

“මේ කෙල්ලගෙ ඇඟට ආසයි. මේ කෙල්ලගෙ ඇඟ ලස්සනයි.”

“මොන කෙල්ල ද ඔය තරම් ලස්සන?”

“මේ අපේ අල්ලපු ගෙදර කෙල්ලනෙ?” ඒ ප්‍රශ්නයට දුන් පිළිතුරෙන් මේ ප්‍රේතයා නිමන්ති පදිංචි නිවසට යාබද නිවසේ ජීවත්වූ අයෙක් බව වටහා ගත හැකි විය.

“ආ... දැන් තමුන් කවුද කියලා අපට හොයා ගන්න පුළුවන්.”

“අනේ මහත්තයා මගේ ගැන කාටවත් ආරංචි කරන්න එපා.”

“එහෙම කියලා හරියන්නේ නෑ. මේ ළමයා මේ මධ්‍යස්ථානයට ඇවිත් ඉන්නේ තමුන් නිසා මේ ළමයාට ශාරීරිකවත් මානසිකවත් තියෙන කරදරයෙන් අසනීපවලින් නිදහස් වෙන්න. රෝගියා සුවපත් කරන එක මගේ වගකීම.”

“අනේ! මහත්තයා...”

“තමුන් ඇත්ත කිව්වොත් ඔය දුගතිගාමී ප්‍රේත ආත්ම භවයෙන් තරමක් හෝ මිදෙන්න අපට උදව් කරන්න පුළුවන්.”

“මම මොනවා ද කරන්න ඕනෑ.”

“තමුන්ගෙ ඇත්ත විස්තරය අපට කියන්න ඕනෑ.”

“මහත්තයා මගේ නෝනටයි ළමයින්ටයි මගේ ගැන ආරංචි වෙන්න දෙන්න එපා. මට ලැජ්ජයි.”

“හරි හරි දැන් තමුන්ගේ විස්තරේ කියන්න.”

“මම ගජසිංහ”

“තමුන් කොහේද හිටියේ?”

“මේ කෙල්ලගෙ ගෙදරට අල්ලපු ඉඩමේ තට්ටු දෙකේ ගෙදර.”

“ගජසිංහ මොනව ද කළේ?”

“මං හොඳ බිස්නස් කාරයෙක්”

“කවදද මැරුණේ?”

“මීට අවුරුදු හතරකට විතර කලින්”

“මොනවා වෙලා ද මැරුණේ?”

“පපුවෙ අමාරුවක් හැදිලා”

“ගෙදර වෙන කවුරු ද හිටියෙ?”

“මම තනියම ගෙදර හිටියෙ?”

“කලින් කිව්වා නේද නෝනයි ළමයින් ගැන?”

“නෝනා මා එක්ක තරහ වෙලා ළමයින්වත් අරගෙන යන්න ගියා.”

“ඇයි නෝනා තරහ වුණේ?”

“හිඃ... හිඃ... දන්නෙ නැද්ද ඉතින්? මගේ වැඩ ගැන නෝනා කැමති නෑ.”

“මොනව ද නෝනා අකමැති වැඩ.”

“මහත්තයා මට හොඳට සල්ලි තියෙන කොට ඔය තරුණ ගෑනු මාව ආස්සරේ කරනවනෙ. ඒකට මගේ ගෑනි තරහයි.”

“ඉතින් තමුන් තනියම ජීවත්වුණා?”

“ඔව් මහත්තයා සල්ලි තියෙනවා නම් මොනව ද නැත්තෙ?”

“ඉතින් ගජසිංහ මේ අල්ලපු ගෙදර උදවියත් එක්ක සමඟියෙන් හිටිය ද?”

“මේ ගොල්ලොත් මා එක්ක තරහ වුණානෙ.” මේ ප්‍රේත ජීවියා කියන දේවල් ඇත්තදැයි ගවේෂකවරයා නිමත්තිගේ මවගෙන් ඇසීය.

“මහත්තයා ඔය ගජසිංහට වයස අවුරුදු හැටක් විතර වෙනවා. අපේ ගෙදර අය නාන අපේ ළිඳ තියෙන්නේ ගජසිංහ ගෙට කිට්ටු වෙන්න. ඔය මිනිහා උඩ තට්ටුවේ ඉඳගෙන මේ දුව නාන දිහා බලාගෙන ඉන්නවා. ඉතින් දවසක් අපි ඔය මිනිහට බැන්නා. එදා ඉඳලා අපි ඔය මිනිහත් එක්ක තරහයි” කීවාය.

“හඃ.... හඃ.... හා... උඹල මට බැන්නට මම ඊට පස්සෙත් ජනේලයෙන් බලා හිටියා. කෙල්ල ලස්සනයි. මම වීඩියෝත් කළා.” නිමන්තිට ආවිෂ්ටව සිටි ප්‍රේතයා කීවේය.

“මොනව ද තමුසෙට තිබුණු දේපළ?” යි ගවේෂකවරයා ප්‍රේතයාගෙන් ඇසීය.

“මට මතක නැහැ මහත්තයා. ඒ මොකවත් මට මතක නෑ. මම මැරිලා මාස හයකට විතර පස්සෙ තමයි මට කල්පනාව ආවේ. ඒත් මට මතක මේ කෙල්ලව විතරයි. මේකිගෙ ඇඟට ආසයි.”

“මේ... ප්‍රේතයින්ට මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ. මේ ශරීරයෙන් දැන් ඉවත් වෙලා යන්න ඕනෑ.”

“මම මේකිගෙ ඇඟට ආසයි. මම මෙයාට කිසි කරදරයක් නොකර ඉන්නම්.”

“බැහැ... බැහැ... ඉවත්වෙලා යන්නම ඕනෑ.”

“ඒක නම් කරන්න බැහැ.”

“හරි එහෙනම් අපි තමුසෙගෙ නෝනවයි දූලවයි ගෙන්නන්නම්.”

“අනේ... අනේ... ඒක නම් කරන්න එපා. එහෙනම් මම ඉවත් වෙලා යන්නම්.”

“කවද ද?”

“මේ දැන්! මේ... මේ දැන් යනවා” යි ප්‍රේත ජීවියා නිමිත්තිගේ ශරීරයෙන් ඉවත්ව ගියේය. නිමන්ති ඇගේ මෑණියෝත් ගවේෂකවරයාට ස්තුතිකොට හිත සැනසිල්ලෙන් පිටත්ව ගියේය. එහෙත් පසුව දා පාන්දර නිමන්තිගේ මව දුරකථනයෙන් ගවේෂකවරයා අමතා කීවේ එදින රාත්‍රි වෙනදාටත් වඩා දුවට ප්‍රේතයාගෙන් හිරිහැර සිදු වූ බවය. ඊට පසු දින ම නැවතත් මේ මෑණියන් හා දියණියන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ගෙන්වා ගත්තේය. තවත් දින දහ හතරක් බෝධි පූජා පවත්වන ලෙස ඔවුන්ට උපදෙස් දුන් අතර, නොවරදවාම ඔවුන් සමඟ ඒ බෝධි පූජා අවස්ථාවට යන්නැයි ප්‍රේතයාට ද තරයේ නියම කළේය. මේ අතර නැවත ප්‍රේතයා ගෙන් හිරිහැර කරදර කළොත් බිරිය හා දරුවන් ගෙන්වන බව ද ප්‍රේතයාට කීවේය. ගජසිංහගේ එක් දියණියක් සමඟ නිමන්තිගේ සාමාන්‍ය දැන ඇඳුනුම්කමක් තිබුණි. ඊළඟට ප්‍රතිකාර සඳහා පැමිණෙන දිනයේ ගජසිංහගේ දියණිය ද කැඳවා ගෙන එන්නට නිමන්ති දක්ෂ වූවාය. එදින ද නිමන්තිගේ ශරීරයට ගජසිංහගේ ප්‍රාණකාරයා ප්‍රලය වූ අතර ගවේෂකවරයා සමඟ කතා කරන්නට විය.

“මගේ ගැන ප්‍රසිද්ධ කරන්න එපැයි කිව්වත් බලන්න මහත්තයා මගේ දුවව ගෙන්නලා නේදැ?” යි ප්‍රේතයා ඇසීය.

“තමුසෙට බොහෝ ම ලැජ්ජයි නේද? නම්බුකාරයා මොකට ද බාල වැඩ කළේ. අනිත් එක මේ ළමයාට හිරිහැර නොකර යනවැයි කියලා කී වතාවක් පොරොන්දු කඩ කළා ද? මේ දුවව ගෙන්නුවෙත් මම නොවෙයි. නිමන්ති යාළුකමට එක්ක ගෙන ඇවිත්. මෝඩයා වෙන්නෙ නැතුව දැන්වත් ඔය දුක්ඛිත ප්‍රේතාත්මයෙන් ටිකක්වත් ඉහළට යන්න හිතනවා. ගජසිංහගේ දුව සමඟ ද ප්‍රේත ජීවියා කතා කළේය. “අනේ දුවේ මම අසරණයි. මට උදව් කරන්නැ”යි අඬන්නට ගත්තේය.

“බලනවා මේ ළමයාත් තමුසෙගෙ දුවගෙ වයසෙම ළමයෙක්. දැන්වත් ඉවත්ව යන්න කල්පනා කරනවා” යි ගවේෂකවරයා කීවේය.

“ඔව් තාත්තෙ! තාත්තා හම්බ කරපු සල්ලි ඕනෑ තරම් තියෙනවා. අපි ඒවායෙන් දාන මාන දී පින් අනුමෝදන් කරන්නම්. ඒ පින් අනුමෝදන් වෙලා හොඳ තැනකට යන්න. ජීවත්ව ඉන්දැද්දිත් පිනක් දහමක් නොකරපු එකේ මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නැයි දියණිය කීවාය.

“අනේ! දුවේ! එහෙනම් මාව කතරගමට යවන්නැයි ප්‍රේතයා කීවේ ය.

ඒ අනුව පූජා වට්ටියකට සම්බන්ධ කොට ගජසිංහගේ ප්‍රාණකාරයා කතරගම කිරිවෙහෙර වහන්සේ අසලට යැවීය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ පුවත්පත