This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
මියගිය ආච්චි ප්‍රේතියක් වී ඇවිත් ඇඳ යට සිටින බළල් පැටවු ගැන කියයි
“කවුද මේ ශරීරයට රිංගාගෙන අඬන්නේ?” “මහත්තයා මම නාග ලෝකෙ ඉඳලා ආවේ.” “හරි... හරි... කොහේ ඉඳලා ආවත් කමක් නෑ. මේ කවුද කියලා ඉන්නකෝ.” “මම බේබි නෝනා” “කවුද බේබි නෝනා කියන්නෙ?” “මේ දුවගෙ ආච්චි” “දැන් කියන්න කොහේ ඉඳල ද ආවේ කියලා.” “මම ආවේ නාග ලෝකෙ ඉඳලා.” “ඇයි ඉතින් නාග ලෝකෙ ඉන්නෙ නැතුව මොකටද මෙහේට ආවේ?” “මගේ පුතාලා තුන් දෙනා අරගෙන යන්නයි ආවේ. උන්වත් අරගෙන දිව්‍ය ලෝකෙ යන්න මට ඕනෑ.” “කොහෙද ඔය පුතාලා තුන් දෙනා ඉන්නෙ?” “මේ දුවගෙ ගෙදර” “මේ ගෙදර පුතාලා තුන් දෙනෙක් නැහැනෙ.” “නැත්තෙ මොකද? මගෙ ලොකු කොලුවයි, මද්දුම කොලුවයි, බාල කොලුවයි තුන් දෙනාම මුන්ගෙ ගෙදර කාමරේ ඇඳ යට ඉන්නවා.” “ඇඳ යට මොනවා කරනවා ද?” “උන් තවම පුංචි එවුන්. ඇඳ යට රෙදි කෑලි දාපු පෙට්ටියක ඉන්නේ. උන් දැන් බළල් පැටව්.” “ඉතින් මොකද අරගෙන යන්න බැරි වුණේ?” “අනේ පුතේ මම නාගයෙක් නෙ, මම කීප දවසක් ම ආවා. මගේ දරුවො තුන් දෙනා අරගෙන යන්න. ගෙට රිංගා ගන්න බැරි වුණා. ඔය අතරේ මේ කොල්ලෝ දෙන්නා ගල් ඉන්නකින් මගේ බඩට ගහලා මැරුවා. ඊට පස්සේ පෙරහැරක් පස්සෙන් ඈතකට අරගෙන ගිහින් මාව පිච්චුවා.” සුමනා මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි. දැනට හැට හැවිරිදි වියේ පසුවන ඇය දෙදරු මවකි. ඒ අය වයස අවුරුදු තිහේ සහ තිස් පහේ පසුවන පුතුන් දෙදෙනෙකි. සුමනාගේ සැමියා විශ්‍රාමිකයෙකි. සුමනා දැඩි ඇඟපත වේදනාවකින් පෙළෙන්නට වූයේ කිසිඳු වෛද්‍ය ප්‍රතිකාරයකින් සුවයක් නොලැබුවාය. ඊට අමතරව නිවස පුරා පැතිරෙන ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හමන්නට ද විය. මේ වෙනුවෙන් ශාන්ති කර්ම කීපයක් සිදු කළ ද ඒවායින් ද ප්‍රතිඵලයක් නොවීය. අවසානයේ “සිළුමිණ” පත්‍රයේ “සිත්මල්යායා” අතිරේකයේ සඳහන් ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියැවූ සුමනාගේ සැමියා ඇය සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියේය. ආධ්‍යාත්මීය ගවේෂකවරයා හමු වී ප්‍රතිකාර පැතීය. එදින ගවේෂණයේදී සුමනා ප්‍රලය වී දෑත් දෙපා දෙපසට විහිදුවමින් හිනාවෙන්නට වූවාය. ඉන් එහා දෙයක් සිදු නොවූයෙන් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන ලෙස ද මේ කාලය තුළ මස් මාළු කරවල බිත්තර උම්බලකඩ ආදිය ආහාරයට නොගන්නා ලෙස ද උපදෙස් දුන්නේය. ඒ උපදෙස්වලට අනුව බෝධි පූජා පවත්වාගෙන යද්දී සය වැනි දිනයේ සුමනා බෝ මළුවේ දී ප්‍රලය වී නාගයෙකු මෙන් බඩ ගාන්නට වූ බව ඇගේ සැමියා දුරකථනයෙන් ගවේෂකවරයාට දැනුම් දුන්නේය. ඒ ගැන නොතකා දිගට ම බෝධි පූජා පවත්වාගෙන යන ලෙස උපදෙස් දුන් ගවේෂකවරයා පපුවේ අමාරුවක් හැදුණොත් පමණක් රෝහලකට ගෙන යන්නැයි කීවේය. දෙවැනි සතියේ ඇගේ පපුවේ හා බඩේ වේදනාවක් වැලඳී එක් පැත්තක අත සහ කකුල අප්‍රාණික වන්නට විය. එවිට ඇය රෝහල් ගත කොට ප්‍රතිකාර ලබා දුන්නේය. බෝධි පූජා අවසන් කොට සුමනා නැවත පැමිණියාය. ඇය සමඟ ඇගේ ස්වාමි පුරුෂයාත් පුතුන් දෙදෙනාත් පැමිණියහ. ගවේෂකවරයා ඇය දිෂ්ටි ගැන්වීමට පෙර “මේ නාගයාගේ කතාව මොකක්දැ?” යි ඇසීය. දැනට කාලයක සිට දිග අඩි පහක් හයක් තරම් වූ නාගයෙක් පැමිණ නිවස වටා කැරකෙන්නට වූ බවත්, දිනක් දෙමවුපියන් ගෙදර නොසිටි අවස්ථාවක මේ කරදරයේ අවසානයක් නැති බැවින් පුතුන් දෙදෙනා එක්ව ගල් ඉන්නකින් ගසා නයා මරා දැමූ බවත්, දෙමවුපියෝ දන්නවා නම් එසේ කරන්නට ඉඩ නොදෙන බැවින් ඔවුන් ගෙදර නැති අවස්ථාවක් බලා එසේ කළ බවත් පුතුන් දෙදෙනා පැවසූහ. “මේ පෙරහැරක් පිළිබඳ සිද්ධිය කුමක්දැÓයි ගවේෂකවරයා නැවත ඇසීය. “නයා මැරූ බව අම්මලා දැනගන්නා බැවින් ඈතකට ගෙන ගොස් පුච්චා දමන්න අපි කතා කැර ගත්තා. අපි මැරුණු නයාවත් බූමිතෙල් කෑන් එකකුත් මල්ලක දාගෙන බයිසිකලයෙන් පිටත් වුණා. ගෙදරින් පිටත් වෙන කොට පාරේ පෙරහරක් ගියා. ගමේ ගෙදරක දානයකට හාමුදුරුවරු විසිපස් නමක් විතර බෙර දවුල් වාදනය කරමින් වැඩමෙව්වා. අපි බයිසිකලයෙන් බැහැලා පෙරහර පස්සෙන් ගියා. පෙරහර දානෙ ගෙදරට හැරුණාම අපි යන්න ගියා. පාළු ප්‍රදේශයකට ගිහින් බූමිතෙල් දමා නයා පිච්චුවා. මේවා කිසි දෙයක් මේ වෙනකම් අම්මයි තාත්තයි දන්නෙ නෑ.” “මේ ඇඳ යට ඉන්න ළමයි තුන් දෙනාගෙ කතාව මොකක්දැ” යි ගවේෂකවරයා නැවත ඇසීය. “අපේ ගෙදර ඉන්න බැළලි පැටව් ගහලා පූස් පැටව් තුන් දෙනෙක් ඉන්නවා. උන් පුංචි නිසා තවම ඉන්නෙ රෙදි කෑලි පෙට්ටියක” යැයි ඔවුහු විස්තර කළහ. ගවේෂකවරයා සුමනා දිෂ්ටි ගැන්වීය. ඇය හඬමින් බඩ බදාගෙන බිම පෙරළෙන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය. “ඇයි මේ බඩ බදාගෙන හඬන්නෙ?” “මුන් දෙන්නා මගේ බඩට යකඩ ඉන්නෙන් ගහපු තැන රිදෙනවා. ඒ වේදනාවටයි අඬන්නෙ.” ගවේෂකවරයා මෛත්‍රී කිරණ අල්ලා ඇගේ බඩ පපුව සුවපත් කළේය. “දැන් සනීපයි. දැන් සනීපයි මහත්තයා. දැන් ඒ වේදනාව දැනෙන්නෙ නෑ. දැන් තියෙන්නේ හිතේ වේදනාව.” “ඒ මොකද හිතින් වේදනා විඳින්නෙ?” “මහත්තයා මගේ පැටවුන්ට කෑම නැති කළා.” “මේ මම?” “ඔව් මහත්තයා මේ ගෙදරට මස් මාළු කරවල ගෙනෙන්න එපා කියපු නිසා මගේ දරුවො තුන් දෙනාට කන්න නැතුව ගියා.” තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඔවුන්ට උපදෙස් ලැබුණි. ඒ කාලය තුළ නැවතත් නාගයෙක් නිවස වටා කැරකෙන්නට වූ බවත් නයාගේ බඩේ විශාල ලපයක් දකින්නට තිබූ බවත් ඔවුහු නැවත පැමිණි දිනයේ පැවසූහ. එදින සුමනා නැවත දිෂ්ටි ගැන්වීය. “මොකද මේ ගෙදරට ආයෙත් නයෙක් ආවැයි කියන්නෙ?” යි ගවේෂකවරයා ඇසීය. “ඒත් මම ම තමයි. මම නාග වේශයෙන් ආවා.” “මොන එහෙකට ද ආයෙත් ආවේ?” “මගේ පුතාලා දෙන්න බලන්නයි මම ආවේ. උන්ට දුක් විඳින්න දෙන්න බෑ. මට උන් තුන් දෙනාවත් අරගෙන දිව්‍ය ‍ලෝකෙ යන්න ඕනෑ. ඒකයි මම නිතර ඇවිත් ඉඩමේ සැරිසරන්නේ.” “ඔය විකාර නැතුව මේ ඉඩමෙන් පිටවෙලා යන්න.” “ඇයි මහත්තයා මගේ ඉඩමේ මම හිටියා ම කාටවත් මොකද?” “තමුන් දැන් බේබි නෝනා ආච්චි නොවෙයි. දැන් ප්‍රේතියක්. කර්මානුරූපව නයෙක් වෙලා උපන්නා. ඊට පස්සෙ මේ අය ගහලා මරලා පිච්චුවා. දැන් ප්‍රේතියක්. බේබි නෝනා මැරිලා දැනට අවුරුදු අසූවකටත් වැඩියි. මේ සුමනා ඔය ආච්චිව දැකලත් නෑ. ප්‍රේතියන්ට නිකම්ම එක පාරට දිව්‍ය ලෝකෙ යන්නත් බෑ. බළල් පැටව් අරගෙන යන්නත් බෑ. කර්මානුරූපව ඉපැදුණු බළල් පැටව් කවදා හරි ඒ විදියට ම මැරේවි. උන් ඉන්නේ තිරිසන් ආත්මයක. ආච්චි ප්‍රේත ආත්මයක. ඔය දෙගොල්ලට ම නිකම්ම දිව්‍ය ලෝකෙ යන්න බෑ.” “අනේ! එහෙනම් මම දිව්‍ය ලෝකෙ යන්නෙ කොහොම ද?” “පළමුවෙන් මේ දෙන්නා ගහලා මරපු එක ගැන තරහ මරහ හිතෙන් අත හරින්න. ඊළඟට බළල් පැටව් ගැන තියෙන ආදරය අත හරින්න. ඊට පස්සෙ හොඳට පුද පූජා පවත්වන සිද්ධස්ථානයකට ගිහින් එතැන සිදු කරන පින් දහම්වලට අත හිත දීලා සිත පහන් කර ගන්න. බණ කියන කොට, පිරිත් කියන කොට අහගෙන ඉන්න. එතකොට තමන්ට දිව්‍ය ලෝකෙට යන්න මාර්ගය සකස් වේවි.” “සාදු.... සාදු.... එහෙනම් මහත්තයා මම කැලණියට යන්න ආසයි. මට කැලණියට යන්න ඕනෑ.” නිවසේ සාංඝික දානයක් දී අටපිරිකරක් පූජා කොට, ආච්චිගේ නම කියා පින් අනුමෝදන් කරන ලෙස සුමනාගේ පවුලේ අයට උපදෙස් දුන්නේය. ඉන් පසුව නාගයාගේ පැමිණීම නතර විය. බේබි නෝනා ගේ ප්‍රේතාත්මය කැලණියට ගොස් ඇත. මතුගම මහින්ද විජේතිලක උපුටා ගැනීම සිළුමිණ පුවත්පත