🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පෙම්වතිය ප්‍රේතියක් වී පෙම්වතා ඉල්ලා හඬා වැලපෙයි

පෙම්වතිය ප්‍රේතියක් වී පෙම්වතා ඉල්ලා හඬා වැලපෙයි

“මට සිසිල් ඕනැ... මට සිසිල් ඕනැ... මට සිසිල් ගෙනැත් දියල්ලා”

“උඹට සිසිල් ඕනෑ නම් සිසිල් හොයා ගෙන පලයන්. මේ අහක ඉන්න අපට කරදර නොකර.”

“මට සිසිල් හොයා ගෙන යන්න බැහැ බොලව්. මට එහෙම පුළුවන් නම් උඹලා ළඟට එන්නේ නෑ. මට සිසිල් ඕනෑ. ඉහ්... ඉහි... ඉහි...” යි ප්‍රේතියක් හඬන්නට වූවාය.

කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සෝමා තිස් හය හැවිරිදි ගෘහණියකි. තුන් අවුරුදු වයසැති දරුවකුගේ මවකි. ඇගේ සැමියා රජයේ සේවකයෙකි, දැනට මාස අටක පටන් සෝමා තුළ දරුවා ගැන අවධානයක් නැත. දැඩි ඇඟපත වේදනාවකින් පෙළෙන ඇය කීප වරක්ම සියදිවි හානි කැර ගන්නට ද උත්සාහ කොට තිබුණි. කෑම අරුචිය හා හීනෙන් බිය වී රාත්‍රි නින්දෙන් අවදි වී නිවස පුරා ඇවිදීම ද ඇය කෙරෙහි පැවැති අසාමාන්‍යතාවයෝය. වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් නමුත් සුවයක් නොලැබ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේය. මානසික වෛද්‍ය ප්‍රතිකාරවලිනුත් සුවයක් නොලැබුණු විට යාතු කර්මවලට යොමු විය. ඒ වත්පිළිවෙත් වලින් ද සුවයක් නොලැබ ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇගේ සැමියා ඇය ගෙන ආවේය.ආධ්‍යාත්මික උපදේශකවරයා සමඟ රෝග තත්ත්වය පැහැදිලි කළ පසු පැමිණ සිටි ඇගේ සැමියාගෙන් හා මවගෙන් තොරතුරු තවත් විමසා බැලීය. රෝගී සෝමා ළඟින් නිවසේදී කුණු මාළු ගඳක් වහනය වන බවත්, රාත්‍රියට හිසකෙස්වලින් මුහුණ වැසුණු බෙල්ල පහතට කඩා වැටුණු කෙනෙකුගේ ඡායාවක් ඉඳහිට පෙනෙන බවත් ඇගේ නැන්දම්මා කීවාය. මේ ලේලියත් නැන්දම්මාත් ඉතා ම ආදරයෙන් පසු වූ නමුත් මේ රෝගී තත්ත්වයෙන් පසු ලේලියට නැන්දම්මා නොරුස්සන තත්ත්වයක් උදා වූ බව ද එහෙත් “සිළුමිණ” පත්‍රය කියවා “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ සඳහන් මේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇය ගෙන එන්නට උනන්දු කළේත් නැන්දම්මා බව ද කීවාය.

පළමු දින ගවේෂණයේ දී සෝමා ප්‍රලය වී හඬන්නට වූවාය. එක දිගට හැඬුවා මිස වෙනත් විශේෂයක් මතු නොවූ බැවින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් ලැබුණි. බෝධි පූජාවලින් පසු ඇගේ දුර්වර්ණව තිබූ මුහුණ තරමක් එළිය වැටී තිබිණ. එදින ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට ඇය ප්‍රලය වූවාය. හිටි හැටියේ ඇය කොණ්ඩය ලිහා දමා මුහුණ වසා ගෙන දඟලන්නට වූවාය. හිස පහතට කඩා වැටිණ. හූ කියන්නටත් දඟලන්නටත් වූවාය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය. මේ වන විට ඇගේ මානසික අවුල් බව වැඩි වී නැන්දම්මා සමඟ කලහකාරී බව උග්‍ර විය. ගෙදර අය සමඟ රණ්ඩු වී හිස බිත්තියේ ගසා ගෙන නළල තුවාල කැර ගෙන තිබුණි. බෝධි පූජාවේදී දඟලා හූ කියන්නටත් කළහ කරන්නටත් වූවාය. පන්සලේ ස්වාමීන් වහන්සේ ඇය සමඟ පැමිණි අයගෙන් දුරකථන අංකය ලබා ගෙන ගවේෂකවරයා අමතා රෝගී කාන්තාව දරුණු වී ඇති බව පැවසූහ. පිරිත් ටිකක් සජ්ඣායනා කැර පිරිත් පැන් ටිකක් මුහුණට ඉසින්නැයි ගවේෂකවරයා ස්වාමීන් වහන්සේ දැනුම්වත් කළේය. එයින් ඇය තරමක් පාලනය වූවාය. තුන් වැනි දිනයේ ප්‍රතිකාර පිණිස පැමිණි විට නැවත ප්‍රලය වූ අතර නැන්දම්මාගේ බෙල්ලෙන් අල්ලාගෙන කෑ ගසන්නට වූවාය.

“තොපි තමයි මාව නැති කළේ. මම තොපෙන් පළිගන්නවා” යි නැන්දම්මාගේ බෙල්ල මිරිකන විට ගවේෂකවරයා වේවැල් පහර දෙකක් ගසා ප්‍රේතාත්මය පාලනය කොට ප්‍රශ්න කළේය.

“කවුද මේ දඟලන්නෙ?”

“මේකිගෙ නංගී, මේකිලා තමයි මාව නැති කළේ” යි නැන්දම්මා පෙන්වීය. ගවේෂකවරයා ප්‍රශ්න ඇසීම නැන්දම්මාට භාර කළේය. ඇය ප්‍රශ්න කරන්නට වූවාය.

“කවුද මේ?”

“උඹට දැන් මාව මතක නෑ නේද? අනේ! අනේ! මම උඹේ නංගී කාන්ති.”

“අපි උඹට මොන වරදක් කළාට ද මේ කරදර කරන්නෙ?”

“වැරැද්ද? වැරැද්ද? උඹට මතක නෑ නේද? මගෙයි සිසිල්ගෙයි සම්බන්ධෙට උඹත් විරුද්ධ වුණ හැටි දැන් මතක නෑ නේද?”

“තමුන් මොනවා වෙලා ද මැරුණෙ?” යි ගවේෂකවරයා ඇසීය.

“මුන්ගෙ හතුරුකම් නිසා මම එල්ලිලා මැරුණා.”

“කොයි කාලෙ ද?”

“1968”

“කොහේදි ද එල්ලිලා මැරුණෙ?”

“කුස්සියේ බාල්කයේ”

මේ පවුලේ සිදු වී ඇති දේවල්, ඊට පසු පවුලට සම්බන්ධ වූ රෝගී සෝමා දන්නේ ද නැත. ගවේෂකවරයා නැවත ප්‍රශ්න කළේය.

“තමුන්ට මොනව ද ඕනැ?”

“මට සිසිල් ඕනෑ.”

“සිසිල් ගෙන්නා දෙන්න බැරියැ. ඇයි මේ අහක ඉන්න සෝමාට කරදර කරන්නෙ?”

“මෙයා විතරයි මට අල්ලාගන්න පුළුවන් වුණේ”

“ඇයි මෙයාට වද දෙන්නෙ?”

“මම මෙයා මරලා අරගෙන යනවා”

“ඒ මොකට ද?”

“මගේ තනියට”

“මෙයා දරුවකුගෙ අම්මා කෙනෙක්. දුෂ්ට වෙන්න එපා.”

“දරුවෙක්? ඔව් මුන් දරුවොත් වදනවා. හදනවා. මට විතරයි විරුද්ධ වුණේ. මුන්ව දැක්කම මට ඉරිසියායි.”

“මෙයාව අතහැරලා කරුණාකර ඉවත්වෙලා යන්න”

“බෑ... බෑ... මට සිසිල්ව ඕනැ.”

සිසිල් ඔවුන්ගේ අසල්වැසියෙකි. ඒ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයට වැඩිහිටියන් විරුද්ධ වීම නිසා කාන්ති සියදිවි හානි කැරගෙන තිබුණි. සිසිල් බැංකු නිලධාරියකු ලෙස රැකියාව කොට මේ වන විට විශ්‍රාම ගෙන සිටී. ගවේෂකවරයා සිසිල්ගේ දුරකථන අංකය ලබාගෙන ඔහු ඇමැතීය. ගවේෂකවරයා තමන් ආධ්‍යාත්මීය උපදේශකවරයෙක් බවත් කාන්ති නමැත්තියක් ප්‍රේතාත්මයක සිට සිසිල් ගැන විමසන බවත්, ඇය ප්‍රේතාත්මයෙන් මුදා යහපත් තැනකට යැවීමට සිසිල්ගේ උදව්ව අවශ්‍ය බවත් සිසිල්ට දැනුම් දුන්නේය. හැකියාවක් ඇත්නම් තමන්ගේ නිවැසියන්ට නොකියා තනියම පැමිණ මේ ප්‍රේතාත්මය දුකින් මුදවන්නට සහාය දෙන ලෙසත්, තමන්ට කිසිම කරදරයක් නොවන්නට වග කියන බවත් පැවැසීය. ඊට කැමැත්ත පළ කළ සිසිල් ඊළඟ ප්‍රතිකාර දිනයේ පැමිණියේය. එදින සෝමාට ප්‍රලය වූ කාන්තිගේ භූතාත්මය තම පෙම්වතා වූ සිසිල් බදාගෙන හඬන්නට වූවාය.

“අනේ සිසිල් බලන්න අපි දෙන්නට වෙච්ච දේ. මට ඔයා නැතුව බැහැ සිසිල්. මාත් එක්ක යන්න එන්න කෝ...” යි දිගින් දිගට හඬන්නට වූවාය. අනිකුත් අයගේ ද නෙත්වලට කඳුළු උනන තරමට ම හැඬුවාය. ප්‍රේතියගේ වියෝ දුක යම් තරමකින් හෝ තුනී වන තරමට අඬන්නට ඉඩ දුන් ගවේෂකවරයා ප්‍රේතිය ඇමතුවේය.

“හා... හා... දැන් ඇඬුවා ඇති. මම මේ කියන දේට හොඳට ඇහුම්කන් දෙන්න. ප්‍රේතයන්ටත් මිනිස්සුන්ටත් එකට ජීවත් වෙන්න බැහැ. ඔබේ ප්‍රේමය හොඳයි. ඒත් සියදිවි නසා ගන්නේ මෝඩකම නිසා. කෝ එහෙනම් සිසිලුත් ජීවිතය නැති කැර ගන්න එපා යැ. සිසිල් දැන් විවාහකයෙක්. දරුවෝ විතරක් නොවෙයි මුනුපුරොත් ඉන්නවා. සිසිල්ව ඕනෑම නම් මම හොඳ යෝජනාවක් කරන්නම්.”

“හොඳයි හොඳයි ඕනෑම දේකට එහෙම නම් මම කැමැතියි. කියන්න කියන්නැ” යි ප්‍රේතිය යුහුසුලුව කීවාය.

“දැන් සිසිල්ට වයස අවුරුදු හැට ගණනක් වෙනවා. කාන්ති සිසිල්ට ආදරේ නම් තව ටිකක් ජීවත්වෙන්න ඉඩ දෙන්න. තව අවුරුදු විස්සක් විතර යන කොට සිසිලුත් මැරෙනවා. සිසිල් යහපත් කෙනෙක්. හොඳ ජීවිතයක් ගෙවන කෙනෙක්. මෙයා මැරිලා දිව්‍ය ලෝකයකට යාවි, කාන්ති දැන් ඔය ඉන්න ප්‍රේතාත්මයෙන් මිදිලා කාන්තිත් දිව්‍ය ලෝකයට යන්න කටයුතු කරන්න. එතකොට එහේදි සිසිල්ව අයිති කැර ගන්න පුළුවන්.”

“අන්න හොඳයි ඒකට මම මොනව ද කරන්න ඕනැ?” යි ප්‍රේතිය ඇසුවාය.

“මම දැන් මේ අයට තවත් බෝධි පූජා දහ හතරක් නියම කරනවා. ඊට පස්සෙ පන්සලේ දී හාමුදුරුවරු දහ නමකට සාංඝික දානයක් දෙන්න නියම කරනවා. මේ අයත් එක්ක දවස් දහ හතරක්ම නොකඩවා බෝධි පූජාවට ගිහින් හිත සද්ධා ශීල සිතුවිලිවලින් පරණ පින් මතු කර ගන්න. දානය දී පින් අනුමෝදන් කරන කොට සාදු කියා අනුමෝදන් වුණොත් ඔය දැන් ඉන්න තත්ත්වයට වඩා ඉහළ තැනකට යන්න පුළුවන් වේවි.”

“හොඳයි හොඳයි මම කැමතියි” ප්‍රේතිය කීවාය.

“බොහෝම හොඳයි මහත්මයා. ආදරය නිසා දුකට විපතට පත් කාන්තිව ගොඩ ගන්න මමත් උදව් කරන්නම්. මමත් බෝධි පූජාවට යන්නම්. දානය දවසට ඒ හාමුදුරුවරු දහ නමට පිරිකරත් අටපිරිකරත් මම අරගෙන දෙන්නම්” යැයි සිසිල් සතුටින් කැමැත්තෙන් ම පොරොන්දු වූයේය. ඒ වැඩ පිළිවෙළ අවසන් වූ පසු සෝමා සුවපත් වූවාය.

උපුටා ගැනීම සිළුමිණ