🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මං ඉස්සර මළමිනීත් ඇවිද්දෙව්වා මගේ මන්තරවලට යක්කුත් බයයි

මං ඉස්සර මළමිනීත් ඇවිද්දෙව්වා මගේ මන්තරවලට යක්කුත් බයයි

අද මනුස්සයෝ ඉතා ම දුර්වලය, කායිකවත්, මානසික වත්, ආධ්‍යාත්මිකවත් දුර්වල ය. ඒ අවස්ථාව සපුරාලමින් අමනුස්සයෝ බලවත්ව සිටිති, සෑම දුර්වල තැනකට ම අමනුස්සයෝ බලපෑම් කරති, අවිද්‍යාවෙන් හා මිථ්‍යාවෙන් පිරුණු මනස් ඇත්තෝ භූතයෝ නැතැයි නවීන විද්‍යාවට අනුව අවඥාවෙන් කතා කරන විට ඔවුන්ට අලගු තබන්නටවත් නොහැකි, ඒ නවීන විද්‍යාවෙන්ම දියුණු රටවල මහා විද්‍යාඥයෝ අමනුස්සයෝ ක්ෂුද්‍ර ජීවීන් වශයෙන් මිනිස් ශරීර තුළ කෝටි ගණන් සිටින බව සොයා ගෙන ඇතැයි වාර්තා වෙයි. “මේ මන්ත්‍ර ශාස්ත්‍රයෙන් මම නොකළ දෙයක් නෑ. මළ මිනී පවා ඇවිද්දුවා. ඒ නිසා මා එක්ක හැපෙන්න නම් හිතන්නවත් එපා පුතෝ, මම බොහෝ ම දක්ෂ කට්ටඩි මහත්තයෙක්. මම ජීවත්ව ඉන්දැද්දි මට ඉහළින් කපුටෙක්වත් ඉගුළුණේ නෑ” යි මළගිය ඇදුරෙකුගේ භූතාත්මයක් කාන්තාවකට ආවේශ වී ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දී පුරසාරම්, වහසි බස් දොඩන්නට විය. “අනේ! මේ උඹේ කෙහෙල්මල් හපන්කම් උඹම තියා ගනින්. හොඳට කල්පනා කර බලපං, උඹ ජීවත්ව ඉන්නකම් අනුන්ට හදි හූනියම් වින බන්ධන කරලා දැන් මළාට පස්සේ පෙරේත තඩියෙක් වෙලා ඉන්න බව, උඹට අවුරුදු ලක්ෂ ගණනක් ඔය දුගතියේ දුක් විඳින්න වේවි” යි ආධ්‍යාත්මීය උපදේශකවරයා ප්‍රේත ජීවියා අමතා කීවේය. මේ ප්‍රේත ජීවියා අදහස් ප්‍රකාශ කළේ පසුගිය දා ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයේ දීය.

දම්මි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි හතළිස් හැවිරිදි ගෘහණියකි. ඇය විවාහකය, එක් දරු මවකි. ඇයට සහෝදරයින් තුන් දෙනෙක් සිටිති, ඒ තුන් දෙනාම මානසික රෝගවලට ගොදුරුව ඇත, අක්කා ද අසනීපයෙනි, අම්මා ඔත්පලව ඇඳටම වෙන්ව සිටී, දම්මි ද හිටිහැටියේ නිතර සිහිසුන්ව වැටෙන්නට විය. ඔවුන්ට හොඳ දේපළක් හිමිය. එහෙත් මේ ලෙඩ දුක් ප්‍රශ්න නිසා වලස්මුල්ලේ මහගෙදර විකුණා දමා අම්බලන්තොට පදිංචියට පැමිණ ඇත. තාත්තා මියගොස් ඇත. ඔහු ප්‍රසිද්ධ ඇදුරෙකි.

“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නෙ?”

“හෙඃ... හෙඃ... හේ... මම ජස්ටින් කට්ටාඩි මහත්තයා, ඇයි මොකද? එහෙනම් මුන් මෙතැනටත් ආවා මාව එළවන්න. හොඳයි බලමු පුළුවන් ද කියලා” යි භූතාත්මය ඉතා නපුරු ස්වභාවයකින් රවන්නටත් ගොරවන්නටත් විය. භූතාත්මයේ රළු ස්වභාවය වැඩි බැවින් දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට නියම කළේය. බෝධි පූජා අවසන් කොට ඔවුන් නැවත පැමිණි දිනයේ ද දම්මි ප්‍රලය වූවාය.

“ගර්... ගර්... උඹලා එහෙම නම් අදත් මාව ගෙන්නුවා මෙතනට. උඹලා මගේ හැටි දන්නේ නෑ” යි භූතයා ගොරවන්නට වූයේය.

“කලබල වෙන්න එපා. තමුන් කට්ටාඩි මහත්තයෙක් බව අපි දන්නවා. අපි කරදරයක් කරන්නේ නෑ. අපි බුදු දහමට අනුව වත් පිළිවෙත්වලින් රෝගීන් සුවපත් කරන තැනක් මේ.”

“ම්... ම්... මම දන්නවා. මම දන්නවා...”

දන්නවා නම් අපි සාමයෙන් සමාදානයෙන් වැඩ කරමුයි ගවේෂකවරයා කීවේය.

“මොනව ද මට කරන්න කියන්නෙ?”

“ඇයි මේ දම්මිටත් පවුලේ අයටත් කරදර කරන්නෙ?”

“මහත්තයා මට එළියට යන්න විදිහක් නෑ. මාව පන්නන්න ආපු ඇදුරෝ ඇපත් නැතුව ගියා. මම උන්ට වඩා මේ මන්තර සාස්තරේ දන්නවා” යි මන්ත්‍රයක් ශබ්ද නඟා කියාගෙන කියාගෙන ගියේය.

“ඔය මහසෝන් දිෂ්ටිය ගෙන්නන මන්තරය, ඇදුරෝ ඇවිත් උන්ගේ මන්තර මතුරන කොට මගේ මන්තර වලින් උන්ගෙ භූතයෝ උන්ටම බන්ධනය කළා. ඒ ඇදුරෝ අපේ ගෙදරින් ගියේ කොරවෙලා. ඉතින් අන්න ඒ ටික මහත්තයාත් දැන ගන්නවා හොඳයි. තමුසෙත් මට වැඩි නෑ. මාත් එක්ක හැප්පෙන්න ඇවිත් වැඩ වරද්දා ගන්න එපා” යි භූතයා යළිත් ගොරවන්නට විය.

“මේ මේ උඹේ පුරසාරම්වලින් මට වැඩක් නෑ. උඹේ මන්තර මගේ පයට පෑගෙන දූවිලි ගණනටවත් මම ගණන් ගන්නේ නෑ. අපේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය අනුවයි මම වැඩ කරන්නේ. මම ගරු කරන්නේ ප්‍රතිපත්තිවලට. උඹට පුළුවන් දෙයක් කරපං” යැයි ගවේෂකවරයා කීය.

“එහෙම ද? එහෙනම් හරි බලමු” යි භූතයා ද කී භූතයා මන්ත්‍රයක් මතුරන්නට විය.

“හරි ඔය ඉතින් කළා දැ?” යි ගවේෂකවරයා අසන විටම දිෂ්ටිය ඇ‍ඟෙන් ඉවත් වී ගියේය. යළිත් ගවේෂකවරයා දම්මි දිෂ්ටි ගැන්වූයේය.

“අනේ! මහත්තයා මට යන්න නම් කියන්න එපා” යි එවර කුළුපග ලීලාවකින් භූතයා කීවේය.

“ඇයි තමුන්ට යන්න බැරි?” භූතයා අඬන්නට විය.

“අනේ මහත්තයා, ඔබතුමා බලවත්. මෙතැනට මන්තර අහන්නේ නෑ.”

“මම අහන්නේ ඇයි තමුන්ට යන්න බැරි?”

“කියන්නත් ලැජ්ජයි මහත්තයා, මම හූනියම් කරලා මැරුණු එවුන් ඇවිත් මගේ ගෙදර කඩුල්ල ළඟ ඉන්නවා මගෙන් පළිගන්න බලාගෙන.”

“ඇයි ඒ අය ගෙදරට එන්නේ නැත්තෙ?”

“මම ජීවත්ව ඉන්දැද්දි බලවත් ආරක්ෂාවක් දාලා තියෙන්නේ ගෙදරට. ඒ නිසා උන්ට හෙම එන්න බැහැ. මට එළියට යන්න බැහැ. වත්තෙන් පිටට ගියොත් උන් මාව ඇදගෙන යනවා.”

“වැරැදි වැඩ කළාම ඔහොම තමයි, දඬුවම් විඳින්න වෙනවා. ඒ අයත් අහුවුණ තැන පළිගන්නවා.”

“මම ඉස්සර නම් මළමිනීත් ඇවිද්දෙව්වා. මගේ මන්තර බලයට ඉහළින් කපුටෙක්වත් ඉගිලුණේ නෑ. හෙඃ... හෙඃ... හේ...” යි භූතයා නැවතත් කීය.

“තවමත් කටේ නරිවාදං. පම්පෝරි, ඔය මන්තර බලේ කයිවරු අපට වැඩක් නෑ. ඔය මන්තරවලින් මගේ කෙස් ගහකට වත් හානි කරන්න බෑ. අපට තෙරුවන් සරණ මිසක් වෙන සරණක් නෑ. ඔය මන්තර අපට වලංගු නෑ. ඔය පුහුමානය අයින් කැර ගනිං මෝඩයෝ, උඹ ඔය මිථ්‍යා අදහස් අතහැර බුදුසරණ ගියොත් ඔය ඉන්න තැනින් හොඳ තැනකට යවන්න අපට පුළුවන්. උඹ කැමැති ද?”

භූතයා දොහොත් මුදුන් දී වැඳ වැටුණේ ය. ගවේෂකවරයා භූතාත්මය පංචශීලයේ පිහිටෙව්වේය.

තවත් බෝධි පූජා දහහතරක් පවත්වා නැවත එන ලෙස දම්මිගේ පවුලේ අයට නියම කළ ගවේෂකවරයා ඒ බෝධි පූජාවලට ගොස් වන්දනා කටයුතුවලට සහභාගි වන ලෙස භූතයාට ද නියම කළේය. බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ ද ඇදුරාගේ ප්‍රාණකාරයා ආවිෂ්ට වූයේය.

“දැන් කොහොම ද බෝධි පූජාවට ගියා ද?”

“ඔව්, අපේ ළමයින්ගෙ මල් වට්ටියක් අස්සේ හැංගිලා බයෙන් බයේ ගියා. මාව අල්ල ගන්න හිටපු අය ආවේ නෑ. සමහර විට පන්සිල් සමාදන් වී හිටිය නිසා වෙන්න ඇති” යි භූතයා කීවේය.

“දැන් තමුන් ඉවත්වෙලා යන්න කැමැති ද?”

“ඔව් මහත්තයා, කතරගම දේවාලයට යන්න කැමැතියි”

“බැහැ... බැහැ... දේවාලවලට යවන්න බැහැ, කිරිවෙහෙර වහන්සේ ළඟට යවන්නම්.”

“හොඳයි හොඳයි මම කැමැතියි.”

දම්මිටත් නිවසේ අනිත් අයටත්, නිවසට හා ඉඩමටත් ආරක්ෂා විධි සලස්වා දුන්නේය. ඒ චාරිත්‍ර විධි ඉටු කොට නැවත එන්නැයි නියම කළේය. ඒ ආරක්ෂා විධි පැනවූ පසු පවුලේ සියලු දෙනාට සුවපත් වූහ. ඔවුන් නැවත පැමිණි දිනයේ ද දම්මිට භූතාත්මය දිෂ්ටි ගන්වා භූතයාට අවවාද කළේය.

“දැන් කිරිවෙහෙර වහන්සේ ළඟ සැදැහැවතුන් සිදු කරන වන්දනා මානවලට අතහිත දී පින් රැස්කරගන්න ඕනැ. දැන් ඔය ඉන්නවාටත් වඩා තත්ත්වය උසස් වේවි, හැබැයි ආයෙත් ගෙදර පළාතේ යන්න තහනම්. ගියොත් අරුන් තවම ඉන්නවා. ඒ නිසා ආයෙත් යන්න එපා” යි අවවාද කොට දම්මි ඇතුළු පිරිස සමඟ සුදු නෙළුම් මල් වට්ටියකට සම්බන්ධ කොට භූතයා කතරගමට යැවීය.

මතුගම මහින්ද විජේතිලක
උපුටා ගැනීම සිළුමිණ