🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මං ඉස්සර මුහන්දිරම් කෙනෙක් මගේ පුතා මගේ නම්බුව නැතිකළා

මං ඉස්සර මුහන්දිරම් කෙනෙක් මගේ පුතා මගේ නම්බුව නැතිකළා

“මම මුහන්දිරම් කෙනෙක්. බොහෝම වැදගත් විදිහට ගාම්භීරව ජීවත් වුණේ. ඒ වැදගත්කම නිසා ම හැම කෙනෙක් ම මට සැලකුවා. මේ මගේ වලව්ව. මම අවිවාහකව හිටපු නිසා මගේ දේපළ මල්ලිට අයිති වුණා. මේ විල්සන් මගේ මල්ලිගේ පුතා. දැන් වලව්වේ අයිතිකාරයා විල්සන්. වෙදෙක්. ඒ වගේ ම සල්ලාලයා. නිතර ම ගෑනි එක්ක රණ්ඩු කරනවා. සාරද මුගේ දරුවා. සාරද කොලුවා හොඳයි. මම ඌට ආදරෙයි. මේ ගෙදර රණ්ඩු සරුවල් නිසා සාරද ඉන්නේ දුකෙන් කණගාටුවෙන්. මමත් මළාට පස්සෙත් මේ වලව්වෙමයි හිටියෙ. සාරද පුතාට ආදරෙන් හිටියා. සාරද දුකෙන් කණගාටුවෙන් ඉන්න වෙලාවක මාව සාරදගෙ ඇඟට ඇදිලා ගියා” යි මොරටුව ප්‍රදේශයේ සාරද නමැති විසි හතර හැවිරිදි තරුණයෙකුගේ ශරීරයට ආවිෂ්ට ව සිටි භූතාත්මයක් කීවේය. සාරදගේ පියා වෛද්‍යවරයෙකි. මව ගුරුවරියකි. දැනට වසර දොළහක සිට සාරදගේ ගති පැවතුම් වෙනස් වන්නට විය. බලාගත් අත බලා ගෙන සිටී. තනිවම සිනාසෙයි. හීනෙන් බියට පත්ව කෑ ගසයි. හිටි හැටියේ සිහිසුන්ව ඇද වැටෙයි. අධ්‍යාපනය කඩා කප්පල් වී ඇත. ඔහුට මානසික ආබාධයකැයි මවුපියෝ මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්හ. දැනට අවුරුදු දොළහ පුරාම මානසික ප්‍රතිකාර බෙහෙත් පෙති වදෙන් පොරෙන් ගිල්ලුවත් කිසිම සුවයක් නැත. මෙය පියවි ඇසට නොපෙනෙන බලවේගයක බලපෑමක් යැයි සාරදගේ මවට දැන් සිතේ. එහෙත් එය පිළිගන්නට පියා කැමති නැත. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, බෝධි පූජා පිළිබඳ ඔහු විශ්වාස නොකරයි. එහෙත් තමන් ගේ එක ම පුතා අසාර්ථක පුද්ගලයෙකු වෙනවා දකින්නට මව කොහෙත් ම සතුටු නැත. පියාගේ අධිකාරී පාලනය යටතේ මෙතෙක් නිහඬව ඉවසා දරාගෙන සිටියා ඇතැයි ඇයට සිතේ. මේ ගැන කතා කරන්නට ගොස් මත ගැටුම් ඇති වී සිත දූෂ්‍ය කැරගත් අවස්ථා ද අනන්තය. දිනක් මව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා සාරද සමඟ ගියා ය.

අධ්‍යාත්මික උපදේශකවරයා සමඟ රෝග ඉතිහාසය පැහැදිලි කළාය. එදින රෝගී පුතා පැත්තක සිටියදී අම්මා පැ‍ද්දෙන්නට වූවාය. මේ වෙනස පිළිබඳ සැලකිලිමත්වූ ගවේෂකවරයා දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත එන්නැයි නියම කළේය. මවත් පුතාත් ලැබුණු උපදෙස් අනුව බෝධි පූජා පවත්වා ගෙන යන විට විල්සන් රාත්‍රි නින්දෙන් බිය වී කෑ ගසන්නට පටන් ගත් බව මව ගවේෂකවරයාට දුරකතනයෙන් කීවාය. බෝධි පූජා ආදී ආධ්‍යාත්මික කටයුතු කෙරෙහි විශ්වාසයක් නොතබන පුද්ගලයෙකුගේ ආබාධවලට තමන්ට ප්‍රතිකාර කළ නොහැකි යැයි ගවේෂකවරයා කීය. මේ වන විට සාරද තුළ සෑහෙන ප්‍රගතියක් දක්නට ඇතැයි කී විට දැනට පාවිච්චි කරන මානසික ප්‍රතිකාර ඖෂධ මාත්‍රාව සියයට පණහකින් අඩු කරන්නට ද උපදෙස් දුන්නේය. ආධ්‍යාත්මීය කටයුතු ගැන විශ්වාසයක් නොතැබූ පියා රාත්‍රි දකින සිහිනවලට බිය වී ඊළඟ දිනයේ ඔහු ද බිරිඳ සහ පුතා සමඟ ගවේෂණ මධ්‍යස්ථානයට ආවේය. රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන සිටින වෛද්‍යවරයා දැන් පෞද්ගලික සේවයට පවා නොයන බවත් ඊට හේතු වූයේ මේ බිය බවත් ඔහුගේ බිරිය සිත යට පවතින ජයග්‍රාහී බව තුළින් ගවේෂකවරයාට කීවාය. මේ තත්ත්වය මත පවුලේ තුන් දෙනා ම එක් වී දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි තවත් දිනයක් දුන්නේය. එදින පුතා සාරද ආවිෂ්ට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කවුද මේ ශරීරයට ආවිෂ්ට වෙලා ඉන්නේ?”

“මම මෙයාගේ ලොකු තාත්තා” යි සාරදගේ පියාට අත දිගු කොට කීවේය.

“කොයි කාලෙද මැරුණේ?”

“දැන් අවුරඅදු තිහක් විතර වෙනවා.”

“මේ වෙන‍කොට කොහේද ඉන්නේ?”

“මම කොහේ යන්න ද? මේ ම‍ගේ වලව්ව. මැරුණු දවසෙ ඉඳල මම හිටියේ මගේ වලව්වේ. මම ඔය අනුන්ගේ අගුපිල්වල ඉන්න කෙනෙක් නෙමෙයි. මුහන්දිරම් වරයෙක්. මම බොහෝම වැදගත් විදිහට ගාම්භීරව ජීවත් වුණේ. හාඃ.... හඃ.....හා....” යි සිනාසෙන්නට වූයේය.

“ඉතින් ඇයි මේ සාරදගෙ ඇඟට රිංගුවේ?”

“මම එක එකාගෙ ඇඟට රිංගන කෙනෙක් නොවෙයි මහත්තයා. ඒත් මේ දරුවගේ ඇඟට ඇතුල්ව‍ුණේ මම නොදැනුවත්වමයි. උවමානවෙන් නොවෙයි ඉබේම වගේ.”

“ඒ කොහොමද?”

“මේ මහ එකාගෙ වැඩ නිසා. ඌ මහ වලත්තයා. මුගේ වැඩ නිසා කොලුවා දුකෙන් හිටියේ. මට බලා ඉන්න බැරුව කොලුවට ළං වුණා දුක හිතිලා. ඒකයි සිද්ධ වුණේ.”

“ඇයි ඔබට දුක හිතුණෙ?”

“මහත්තයා දැන් මේවා නොකියත් බෑ. අපි බොහෝම උසස් වැදගත් පරම්පරාවක අය. නම්බුකාරව ජීවත්වුණ අය. මූ මුගේ ළඟට ප්‍රතිකාර ගන්න එන තරුණ ගැහැනුන් දැළේ දාගන්නවා. මූ ඒකට හපනා. මේ ගෑනි බොහෝම වැදගත් විදිහට ජීවත් වෙන ගුරුවරියක්. මුගේ නොසන්ඩාල වැඩ දැන ගත්තා ම මේකි රණ්ඩු කරනවා. මේ අඬ දබර දරුවාට කරදරයක් වුණා. ඉස්කෝලෙ ගමනත් අසාර්ථක වුණා. මහා මානසික පීඩාවකට පත්වෙලා නිතර දුකෙන් කල්පනාවට වැටුණා. දරුවගේ ශක්තිය දුර්වල වෙන කොට මාව ඇඟ ඇතුළට ඇදිලා ගියා. මේ ඔක්කොට ම මුල්වුණේ මහ එකාගෙ වල් වැඩ.”

“ඉතින් ඒ වැරදි කරන එක්කෙනාගෙ ඇඟට යන්න තිබුණනෙ?”

“එහෙම බෑ මහත්තයා. අපට හැමෝගෙම ඇඟට රිංගන්න බෑ. එහෙම දේකුත් තියෙනවා” යි මුහන්දිරම්ගේ භූතාත්මය කීවේය.

“මේ කියන දේවල් ඇත්තදැයි ගවේෂකවරයා විල්සන් ගේ බිරියගෙන් ඇසීය.”

“ඒ ගැන නම් කියලා වැඩක් නෑ” යි ඇය පිළිතුරු දුන්නාය. වෛද්‍යවරයා බිම බලාගෙන මුනිවත රැක්කේය.

“හෙඃ....හෙඃ..... හේ... බොරු ද මම කීවෙ. බොරුද මම කීවෙ. වයස අවුරුදු දොළහයි කියන්නේ අධ්‍යාපනයේ වටිනාකම තේරුම් අරගෙන උනන්දුවෙන් ඉගෙන ගන්නා කාලය. ඒ කාලයට ‍ගෙදර කුණු කන්දල් ඔළුවට වැටුණාම කොහොමද ළමයෙක් ඉගෙන ගන්නේ? අම්මයි තාත්තයි ගහ බැණ ගන්නවා. දරුවා තනිවෙලා අසරණ වෙලා. දරුවා ගැන අනුකම්පාවෙන් මම ළඟට ආවා. දරුවගෙ චිත්ත සන්තානය දුර්වල වෙලා කායිකවත් අප්‍රාණික වුණ වෙලාවක මාව දරුවගෙ ඇඟට ඇදිලා ගියා.” යි මුහන්දිරම්ගේ ප්‍රාණකාරයා කීවේය.

“මහත්තයා හොඳට කල්පනා කරන්න. කෙනෙක් මැරුණට චිත්ත සන්තානය මැරෙන්නේ නෑ. කර්මය මැරෙන්නෙ නෑ. විපාකය මැරෙන්නේ නෑ. උපාදානය මැරෙන්නේ නෑ. හිටපු මිනිස් භවයෙන් චුත වෙන කොට, මැරෙන කොට ඊළඟ භවයේ සැනින් හට ගන්නා චිත්ත පරම්පරාව තුළ පැරණි ගති ලක්ෂණ පවතිනවා. මුහන්දිරම්ලා කියන්නේ බොහෝ ම අහංකාර, නම්බුකාරව ජීවත්වුණ අය. ඒ අය කැමති නෑ තමන්ගෙ අය, පවුලේ අය අපහාසයට ලක්‍ වෙන වැරදි විදිහට ජීවත් වෙනවාට. මහත්තයාගෙ ඇඟට රිංගුවේ නැති වුණාට කොයි වෙලාවෙ දඬුවම් කරාවිද දන්නේ නෑ. අංශබාගෙ හැදුවොත් ඔය කෙරුවාවල් ඔක්කොම ඉවරයි. මළ මුත්‍ර අදින්න ඔය පිට ගෑනු එන්නෙ නෑ. සාත්තු කරන්න ඉන්නෙ ගෙදර නෝනා විතරයි. සාත්තු කරන ගමන් පස්ස බිම ඇනුණාම කවුරුවත් නෑ. මළ ජරාව අදින්න ඕනැ මම, කරුමෙ, කරුමෙ, කියල කියනවා ඇහුණොත් මහත්තයාට ඊට වඩා දුකක් නෑ. කතා කරගන්න බෑ. අතක් පයක් උස්සන්න බෑ. උත්තර දෙන්න බෑ. පෙර කරපු පව්වල දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක ගෙවන්න වේවි. හොඳට කල්පනා කරන්න. සමහරවිට ලොකු තාත්තා ඇඟට රිංගුවෙ නැති වුණත් පාරෙ යන වෙලාවක වාහනයකට තල්ලු කරලා මරා දාන්නත් බැරි නැහැ. ඒ වගේ ම මේ අම්මා පුතාගෙ ජීවි‍තය ගැන හිතලා කොයි තරම් මහන්සි වෙනවද? මහත්තාය ඒ ගැන නොහිතීම කොයි තරම් අසාධාරණද? ආත්මාර්ථකාමීද? මහත්තයාටත් ඒ වගකීම සියයට පනහක් තියෙනවා. ඒ වගකී‍මෙන් මිදෙන්න බෑ” යි ගවේෂකවරයා විල්සන්ට දීර්ඝ දේශනයක් දුන්නේය.

“මට තේරෙනවා මහත්තයා, මගෙන් වැරදි වුණා ඇත්ත තමයි. මම දැන් මොනවද කරන්න ඕනෑ” යි වෛද්‍යවරයා ඇසීය.

“මහත්තයා පස් පවෙන් ඈත් වෙන්න. පන්සිල් පද පහ රකින්න අධිෂ්ඨාන කර ගෙන දැන් තමන්ගෙ ලොකු තාත්තගෙ ඒ ගාම්භීර භූතාත්මයට වැඳලා සමාව ගන්න. වලව්වෙ සාංඝික දානයක් දීලා ලොකු තාත්තට පින් අනුමෝදන් කරන බවට පොරොන්දු වෙන්නැ” යි කියනවාත් සමඟ ම සාරදට අවිෂ්ට වී සිටි භූතාත්මයට වැඳ වැටී විල්සන් සමාව ගත්තේය. ගවේෂකවරයා කියන්නටත් පෙර බිරියට ද වැඳ සමාව ගත්තේ ය.

“ඔයා හොඳ කෙනෙක් වෙනවා නම් මම තරහ නෑ” යි ඇය ද ඔහු ළඟ වැඳ වැටුණාය.

“මුහන්දිරම් රාලහාමි දැන් කොහොමද? කොහේටද යන්න කැමති?”

“මහත්තයා බොහෝම ස්තූතියි. අනේ! මමම යන්නම්. මට යන්න බැරුවයි හිටියේ. මම කළුතර බෝධිය ළඟට යනවායි” භූතාත්මය නික්ම ගියේය. නිවසේ ඉක්මනින් දානය දී ලොකු තාත්තා ඇතුළු ඥාතීන්ට පින් අනුමෝදන් කොට පුතා සමඟ දින තුනක වන්දනා හා විනෝද චාරිකාවක් යන්නැයි මවු පියන්ට උපදෙස් දුන්නේය.

උපුටා ගැනීම සිළුමිණ