🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

පුද්ගලයා යනු කවරෙක්‌ ද?

 පුද්ගලයා යනු කවරෙක්‌ ද?
බුදුදහමේ මූලික පරමාර්ථය වන්නේ විමුක්‌තිය ලැබීමයි. එසේ ම බුදුදහමේ මූලික අරමුණ වන්නේ පුද්ගලයාට විමුක්‌තිය හෙවත් නිර්වාණය ලබාගැනීමේ මාර්ගය පෙන්වාදීමයි. බුදුදහමේ ස්‌ථාවරය වන්නේ සියලු ක්‌ලේෂයන් ප්‍රහීන කිරීමෙන් සහ ලොව පවත්නා සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නිවන් පසක්‌ කළ හැකි බවයි. විමුක්‌ති මාර්ගයේ ක්‍රියාකාරී සාමාජිකයා වන්නේ පුද්ගලයායි. පුද්ගලයාට බුදුදහමේ ඉගැන්වෙන තෘෂ්ණාදී ක්‌ලේෂ ධර්ම ප්‍රහීන කරලීමෙන් නිර්වාණය අවබෝධ කරගැනීමට පූර්ණ ඉඩ ප්‍රස්‌ථාව ලැබේ. විමුක්‌ති මාර්ගයේ ක්‍රියාකාරී සාමාජිකයා පුද්ගලයා බැවින් බුදුදහම පුද්ගල සංවර්ධනය අපේක්‌ෂා කරයි. පුද්ගල සංවර්ධනය බුදුදහමින් ගොඩනගන්නේ සදාචාරාත්මක පසුබිමක්‌ තුළ පුද්ගලයා ගොඩනැගීමෙන්ය. පුද්ගලයාගේ මානසික සංවර්ධනය මගින් මෙන්ම බාහිර සමාජ සංවර්ධනය මගින්ද පුද්ගල සදාචාරාත්මක පෞරුෂය ගොඩනැගීමේ කාර්යය සිදුකළ හැකිය. මෙම ලිපියේ මූලික බලාපොරොත්තුව වන්නේ පුද්ගලයා යනු කවුදැයි වටහා ගැනීමයි. බුද්ධ පරිනිර්වාණයෙන් සියවස්‌ දෙකක්‌ ඉක්‌ම යැමෙන් පුද්ගලවාදය නමින් ආචාර වාදයක්‌ බිහිවිය. මොවුන්ගේ මූලික අභිප්‍රාය වූයේ පුද්ගලයාගේ නිත්‍ය පැවැත්මක්‌ ඇතැයි සමර්ථනය කිරීමය. පුද්ගලවාදය නමින් වෙනම ආචාරවාදයක්‌ බිහිවීමට පසුබිම්වී ඇත්තේ ථෙරවාදීන් සහ අභිධර්මය තේමාකොටගත් කණ්‌ඩායම් ආදී බුදුදහමේ ඉගැන්වෙන අනාත්ම සංකල්පය තාර්කික හා දාර්ශනික මතවාදයක්‌ බවට පත්කළ බැවිනි. අත්ත හෙවත් ආත්ම යනුවෙන් කිසියම් පදාර්ථයක්‌ ඇත යන්න පෙරදිග දර්ශනයේ මෙන්ම අපරදිග දර්ශනයේත් පිළිගත්තකි. ආත්ම සංකල්පය ප්‍රතිශෝධනය කොට අනාත්ම හෙවත් නෛරාත්ම සංකල්පය සනාථ කිරීම මුල් බුදුදහමේ දක්‌නට ලැබෙන ලක්‌ෂණයකි. ආත්ම සංකල්පය විචාරයට ලක්‌කිරීමේදී බුදුරජාණන් වහන්සේ මූලික වශයෙන් සිදුකළේ ඒ පිළිබඳව භාරතිය ආගමික ශාස්‌තෘන් ඉදිරියේ කළ මතවාද තෝරා බේරා ගැනීමයි. අත්ත යන වචනයෙන් වෙනස්‌වන විශ්වයෙහි නොවෙනස්‌වන සුළු සනාතන කිසිවක්‌ පවත්නා බව උගන්වයි. සදාකාලික වූ සනාතන වූ අවිපරිණාම වූ ධ්‍රව වූ විද්‍යාමාන වූත් අවිද්‍යාමාන වූත් අන්‍ය කිසියම් ධර්මයකගේ පිහිටාධාරයක්‌ නොමැතිව ප්‍රවර්තනය වන තත්ත්වයක්‌ ආත්ම යන්නෙන් අර්ථවත් කරයි. දේවවාදී ආගම්වලට අනුව දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ නියමයට අනුව ක්‍රියාකරන ආත්මයක්‌ ඇත. මරණින් පසු පුද්ගලයා දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ස්‌වර්ගයට හෝ අපායට හෝ ගමන් කරයි. භවයෙන් භවයට ගමන් කරන ආත්මයක්‌ ගැනද සමහර ආගම්වලින් ඉගැන්වේ. ආත්මවාදී ආගම්වලට අනුව මිනිසා විසින් කරනු ලබන ක්‍රියාවන් සිදුකරන්නේද ආත්මය විසිනි. මේ අනුව ආත්මය යන්නෙන් ස්‌වයං ප්‍රවෘත්ත වූ ස්‌ව සංවේද්‍ය වූ සදාකාලික වූ සනාතන වූ ගුණයන්ගෙන් හෙබි අවිපරිණාත්මක නිත්‍යත්වය අර්ථවත් වෙයි. ඉහත සඳහන් ස්‌වභාවයක්‌ නොමැත යන්නෙන් අර්ථවත් වන්නේ අනාත්ම සංකල්පයයි. ආත්මවාදී සංකල්පය ප්‍රාග් බෞද්ධ භාරතය පුරා ප්‍රචලිත වූ මතවාදයකි. සෘග්වේද යුගයේ සිටම අවිපරිණාමි ආත්මයක්‌ ඇති බව විශ්වාස කර තිබේ. භෞතික ශරීරය සහ සිත එකිනෙකට වෙන්ව පවතින බව ඔවුන්ගේ මතයයි. එබැවින් ප්‍රාණය ආත්මය ලෙස ඔවුහු සලකනු ලබති. කය sයම් කලෙක විනාශ වුවත් ආත්මය නොනැසී පවතින බව ඔවුනගේ නිගමනය වේ. මරණින් පසුව ආත්මය පීතෘ ලෝකයට ගමන් කරන බවත් අමරණීය තත්ත්වයට පත්වන බවත් සදාකල්හිම සැප විඳින බවත් සෘග්වේදයේ සඳහන් වේ. එසේම සෘග්වේදය විගදාත්ම හා ප්‍රත්‍යාගාත්ම වශයෙන් ආත්මය කොටස්‌ දෙකක්‌ ලෙස දක්‌වනු ලබයි. මොවුන්ගේ පරිශ්‍රමය බවට පත්ව ඇත්තේ ආත්මය නමින් නොනැසී අවිපරිණාමි නිත්‍ය පුද්ගලයෙක්‌ ඇතැයි යන්න සමර්ථනය කර දැක්‌වීමයි. ආත්ම සංකල්පය සමර්ථනය කළ ඊළඟ භාරතීය දර්ශනය වන්නේ උපනිෂද් දර්ශනයයි. ඔවුන්ගේ මතය වන්නේද අවිපරිණාමි වූ නොවෙනස්‌ වූ ආත්මයක්‌ ඇතැයි යන්නය.
ආත්ම සංකල්පය ඇතැයි යන්නට උපනිෂද් දර්ශනය ඉදිරිපත් කරන්නේ පංෙච්න්ද්‍රියට පිටුපසින් නො එසේ නම් ඉන්ද්‍රියන් අතර ඉන්ද්‍රියන්ගේ ක්‍රියාකාරීත්වය ඇතිකරවන අන්තර්ගාමීය තත්ත්වයේ ආත්මයක්‌ ඇති බවයි. උපනිෂද් දර්ශනයට අනුව ආත්මය යනු පුද්ගලයාගේ භෞතික ශරීරයයි. ආත්මය අවස්‌ථා සතරකින් යුක්‌ත බව ඔවුන් උගන්වයි. එනම්, ජාගර, ස්‌වප්න, සුෂුප්ත සහ තුරිය යනුයි. කෙසේ වෙතත් උපනිෂද් දර්ශනය මගින් උගන්වන්නේ පුද්ගලයාගේ භෞතික ශරීරය ආත්මය වන බවත්, එය නොනැසී සදාකාලික ස්‌වරූපයෙන් ඉදිරියට ගමන් කරන බවත්ය. ආත්මයේ අවසානය හෙවත් මෝක්‌ෂය ඔවුහු බ්‍රහ්ම සහව්‍යතාව ලෙස දක්‌වති. භාරතයේ ඊළඟ ආත්මවාදය පිළිගත්තේ ජෛන සහ සාංඛ්‍ය දාර්ශනිකයෝය. මොවුන් නිත්‍ය අවිපරිණාමී ආත්මයක්‌ ඇතැයි පිළිගනියි. පුද්ගලයාගේ සදාකාලික පැවැත්ම මෙමගින් තහවුරු කිරීමට මොවුහු මහත් පරිශ්‍රමයක්‌ දරා ඇත. කෙසේ වෙතත් ඔවුන්ද උත්සාහ දරා ඇත්තේ ආත්මයේ නිත්‍යත්වය තහවුරු කිරීමටය. භාරතීය භෞතිකවාදීන්ද ආත්ම සංකල්පය පිළිගත් තවත් පිරිසකි. භාරතීය භෞතිකවාදීන් කොටස්‌ තුනකින් යුක්‌ත වේ. පළමු කොටස වන්නේ ඉන්ද්‍රිය ඥානය පමණක්‌ පිළිගත් පිරිසයි. මොවුහු අනුමාන ප්‍රමාණය හා අනුශ්‍රැති ආදී ප්‍රමාණයද ප්‍රතික්‌ෂේප කළහ. දෙවැනි කොටස වන්නේ අනුමය ඥනය පිළිගත් පිරිසයි. තෙවැනි කොටසට අයත් වන්නේ නාස්‌තිකවාදීහුය. තෙවැනි කොටස පරමාර්ථ සත්‍ය 'තත්ව' හැටියට දක්‌වා අනෙක්‌ සියලු තත්ත්වයන් විනාශ කිරීමත් පංච මහා භූතයන් සංවෘති සත්‍ය ලෙසත් පිළිගනියි. සෘග් වෛදික, උපනිෂද්, ජෛන, සාංඛ්‍ය සහ භෞතික යන සියලු දාර්ශනිකයන් ගත් අවිපරිණාමී ධ්‍රව, ජඩ, කූටස්‌ය. (සියලු පරිපූර්ණතාව) පදාර්ථයක්‌ ඇති ආත්ම සංකල්ප බුදුදහම ප්‍රතික්‌ෂේප කරයි. බුදුරජාණන් වහන්සේගේ මූලික අභිප්‍රායවූයේ ඉහත සඳහන් නිර්වචනය තුළින් ප්‍රතිජානනය කරන ආත්මවාදී ලක්‌ෂණවලින් යුත් කවර හෝ පදාර්ථයක්‌ පුද්ගලයා තුළ හෝ ඔහුට සාපේක්‌ෂව විද්‍යමාන වෙත්දැයි පරීක්‌ෂා කිරීමය. මේ සඳහා බුදුරජාණන් වහන්සේ සංශ්ලේෂණ විශ්ලේෂණ යන න්‍යායන් දෙකම උපයෝගී කරගනියි. සංශ්ලේෂණ ක්‍රමය පටිච්ච සමුප්පාදයෙන් ඉගැන්වෙන අතර විශ්ලේෂණ ක්‍රමය ස්‌කන්ධ ධර්ම විභාගයෙන් ඉගැන්වේ.
පුද්ගලයා යනු කවුද? යන්න විග්‍රහ කිරීමේදී විශ්ලේෂණ න්‍යාය ඉතා වැදගත් වේ. පංචස්‌කන්ධය විග්‍රහය ප්‍රධාන වශයෙන් මේ සඳහා නිර්දේශ වූවකි. ඒ හැරුණු විට ආයතන විග්‍රහය සහ අටලොස්‌ ධාතු විග්‍රහයද එක්‌තරාදුරකට මීටම අදාළ වේ. මෙම ස්‌කන්ධ විග්‍රහය තුළින් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ රූපාදී කිසිවක්‌ තුළ අත්ත,අත්තනීය වශයෙන් ගතහැකි කිසිවක්‌ නැති බවත් නිත්‍ය අවිනිශ්චර පුද්ගලයකු ඇතැයි යන්න ඒ අනුව හුදු මතිභ්‍රමයක්‌ බවට පත් කළ බවත්ය. ස්‌කන්ධ ධර්ම, ආයතන දොළස සහ ධාතු දහ අට නිරන්තරයෙන්ම වෙනස්‌වන බවත් දුකට හේතුවන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ආත්මය ලෙස ගත හැකි කිසිවක්‌ ඛන්ධ, ආයතන සහ ධාතු මගින් නිර්මාණයවූ පුද්ගලයා තුළ නොමැති බවත් උන්වහන්සේ තවදුරටත් දැක්‌වූහ. එසේ ඇතැයි සිතීම පවා මුලාවකි. ඒ බව මඡ්Cධිම නිකායේ අලගද්දූපම සූත්‍රයේදී පෙන්වා වදාළහ. පුද්ගලයා සසර දුකට පත්වන්නේ මෙම ස්‌කන්ධ ධර්ව වරදවා තේරුම් ගැනීමෙනි. යමෙක්‌ට එය යථාර්ථවත් ලෙස අවබෝධ කර ගැනීමට හැකිනම් ඔහුට සසර තරණය කළ හැකි බව සංයුක්‌ත නිකායේ සමිද්ධි සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළහ. ඛන්ධ යන්නෙහි අර්ථය වන්නේ ගොඩ රාශිය යන්නයි. රූප, වේදනා, සංඥ, සංඛාර, විඤ්ඤාණ යනු ඒ ඛන්ධ ධර්ම යයි. මෙම ස්‌කන්ධ ධර්මයන් මොහොතක්‌ පාසා වෙනස්‌වීමට ලක්‌වේ. මෙම ස්‌කන්ධ ධර්ම පස නාම සහ රූප වශයෙන්ද විවිධ වේ. නාම කොටසට වේදනා, සංඥ, සංඛාර සහ විඤ්ඤාණ යන සතර අයත්වන අතර රූපයට අයත්වන්නේ එක්‌ කොටසකි. භෞතික ශරීරය අර්ථවත් වන්නේ රූපයෙනි. නාම සහ රූප යන ද්වයේ එකතුවෙන් පුද්ගලයාගේ නිර්මාණය දැකිය හැකි අතර එයද වහා වෙනස්‌වන බව බුදුදහමේ ඉගැන්වීමයි. එසේම එයින් නිර්මිත පුද්ගලත්වය අත්ත, අත්තනීය වශයෙන් ගැනීමට හැකියාවක්‌ද නොමැත. පුද්ගලයා ඛන්ධ වශයෙන් පමණක්‌ නොව ආයතන වශයෙන්ද විග්‍රහ කර දක්‌වයි. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව ආයතන නමින් හඳුන්වන්නේ පුද්ගලයා බාහිර ලෝකය හා සම්බන්ධ කරන චක්‌ඛු ආදී ආයතන සයත් රූපාදී අරමුණු හයත්ය. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස යනු ආයතන සයයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ශ සහ සිතුවිල්ල යනු අරමුණු සයයි. මේ සියල්ල එකතු වූ තැන ආයතන යනුවෙන් හඳුන්වයි. පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ සිත සහ සිතුවිලිය. මේ අනුව ඉන්ද්‍රිය සහ අරමුණුවලින් ඉටුකරන ප්‍රධාන කාර්යය වූයේ චිත්ත චෛතසික ක්‍රියාකාරීත්වය ඇති කිරීම හා පවත්වා ගැනීමයි. පුද්ගලයා විවරණය කිරීමට යොදාගත් තවත් ක්‍රමයකි අටලොස්‌ ධාතු විග්‍රහය. අටලොස්‌ධාතු විග්‍රහයෙන් කරන්නේ පෙර සඳහන් ආයතන තවත් විශ්ලේෂණීය තත්ත්වයකින් විග්‍රහ කිරීමයි. ධාතු යන්නෙහි අර්ථය වන්නේ පුද්ගලයකු නොවන දෙය යනුයි. ඉහත සඳහන් ආයතන මගින් දක්‌වා ඇත්තේ ඉන්ද්‍රිය සහ අරමුණු පමණි. ධාතු විග්‍රහයේදී එම දොළහට ඉන්ද්‍රිය විඤ්ඤාණයද එකතුකොට අටලොසක්‌ වශයෙන් දක්‌වා ඇත.
මෙම සියලු විග්‍රහයන් තුළින් අනාවරණය කර ඇත්තේ පුද්ගලයා යනුවෙන් සම්මුති වශයෙන් ගත හැකි පදාර්ථ සමුදායක්‌ පමණි. පුද්ගලයා හා ඔහුට සාපේක්‌ෂව ලෝකයේ නිර්මාණය වී ඇති සෑම සංඝටකයක්‌ම අනිත්‍යතා මූලධර්මයට යටත්වන බව අවධාරණය කිරීම බෞද්ධ අනාත්ම සංකල්පයේ සුවිශේෂී ලක්‌ෂණයකි. බුදුදහමේ ඉගැන්වෙන සුවිශේෂී ලක්‌ෂණයක්‌ ලෙස සංඛත ධර්ම හැඳින්විය හැකිය. සංඛත යන්නෙන් අර්ථවත් වන්නේ හේතුඵල දහමින් හටගත් යන්නය. හේතුඵල දහමට යටත්වන සෑම ධර්මයක්‌ම උත්පාද, වය, ඨිති යන ලක්‌ෂණයන්ගෙන් යුක්‌ත වේ. එනිසාම පුද්ගලයා යන්න අත්ත, අත්තනීය ස්‌වරූපයෙන් යුක්‌ත වන බව දැක්‌වීමද අර්ථ ශුන්‍ය වේ. ආත්ම සංකල්පය ප්‍රතික්‌ෂේප කිරීමට තවත් වැදගත් හේතුවක්‌ වන්නේ යමක නිත්‍ය, අවිනිශ්වර යෑයි සැලකුවොත් එහි ක්‍රියාකාරීත්වයක්‌ ගැන සඳහන් කළ නොහැකි වීමයි. යම් දෙයක ක්‍රියාකාරීත්වයක්‌ දක්‌නට ලැබෙන්නේ නම් එය අනිත්‍ය ලක්‌ෂණයෙන් යුක්‌ත වේ. එබැවින් පුද්ගලයාගේ වෙනස්‌වීමක්‌ නොවේ නම් පුද්ගල ප්‍රගතිය මෙන්ම පුද්ගල විමුක්‌තිය පිළිබඳවද කිසිවකුට කිසිවිටෙක කතා කළ නොහැකිය. බුද්ධඝෝෂ හිමියෝ විසුද්ධි මාර්ගයේදී පුද්ගලයෙක්‌ නොමැති ධර්මයන්ගේ ප්‍රවර්තනයක්‌ සිදුවන බව දක්‌වති. "දුක්‌ඛ මේවහි න කෝචි දුක්‌ඛිතෝ කාරකෝ න කිරියා ච විඡ්ජති අත්ථි නිබ්බුති න නිබ්බුතෝ පුමා මග්ග මත්ථි ගමකෝන විඡ්ජති යන්නෙන් පැහැදිලි වන්නේ භවයෙහි දුකක්‌ මිස දුක්‌විඳින පුද්ගලයෙක්‌ නොමැති බවත්, ක්‍රියාවක්‌ මිස කාරකයෙක්‌ නොමැති බවත්, නිවීමක්‌ මිස නිවීමට පත්වන පුද්ගලයකු නොමැති බවත් මාර්ගයක්‌ මිස මාර්ගයෙහි ගමන් කරන පුද්ගලයෙකු නොමැති බවත්ය. මෙමගින්ද අවධාරණය කිරීමට උත්සාහ ගෙන ඇත්තේ අත්ත, අත්තනීය වශයෙන් පුද්ගලයකු නොමැති බවයි. මෙමගින් අපට පැහැදිලි වන යථාර්ථය නම් පුද්ගලයා යනු සම්මුතියක්‌ පමණි යන්නය. ඔහුගේ ක්‍රියාකාරීත්වය ර¹පවතින්නේ අනිත්‍යතා සිද්ධාන්තය ලොව පවත්නා බැවිනි. එවැනි ස්‌වරූපයක්‌ නොවන්නේ නම් පුද්ගලයාගේ ප්‍රගතිය මෙන්ම විමුක්‌තිය අර්ථවත් නොවන බවයි. සංශ්ලේෂණ න්‍යාය මගින් අර්ථවත් වන්නේ පුද්ගල පැවැත්ම හේතුඵල දහමට යටත්වන බවයි. හේතුඵල දහමේ මූලික සිද්ධාන්තය වන්නේ, මෙය ඇති කල්හි එය ඇති වෙයි මෙය ඉපදීමෙන් එය උපදී මෙය නැති කල්හි එය නොවෙයි මෙය නැතිsවීමෙන් එය නැති වෙයි යන්නයි. මෙමගින් අවධාරණය වන්නේද යමක පැවැත්ම හේතුඵල න්‍යාය පදනම් කරගෙන සිදුවන්නක්‌ බවයි. අවිඡ්ජා පච්චයා සංඛාරා යන්නෙන් යමක හට ගැනීම සහ නැවැත්ම අනුලෝම පටිලෝම වශයෙන් සිදුවන බව බුදුදහම උගන්වයි. මෙම සංලේෂණ සහ විශ්ලේෂණ න්‍යායන් පදනම් කරගෙන සිදුකර ඇත්තේ ලොව සියල්ල අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම යන ත්‍රිලක්‌ෂණයට අන්තර්ගත වන බවයි. මෙම සියලු ක්‍රමයන්ගෙන් මා අවධාරණය කිරීමට උත්සාහ කළේ පුද්ගලයා යනු කවුද යන්නයි. මෙමගින් පැහැදිලි වන්නේ පුද්ගලයා යනු සම්මුති වශයෙන් පනවාගත් දෙයක්‌ බවත් එහි අත්ත, අත්තනීය වශයෙන් භවයෙන් භවයට සංක්‍රමණය වන පුද්ගලයෙක්‌ නොමැති බවයි.
පන්නිපිටිය විද්‍යාලංකාර මහ පිරිවෙනේ ආචාර්ය පූජ්‍ය ගැමුණුපුර සෝමවංස හිමි
උපුටා ගැනීම දිවයින