This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
සොහොන්කාලිගේ දඬුවමින් අප්‍රිකාවෙදි රෝද පුටුවට වැටුණු සැමියෙක්
තනතුර ආභරණයක් කරගෙන මිල මුදල් වැඩි වැඩියෙන් අතමිට ගැවසෙන විට අඹුදරුවන් පවා අමතක කර දමන මිනිසුන් සිටින සමාජයක කාලාන්තරයක් තිස්සේ එවැනි මිනිසුන් නිසා දුක් විඳින අඹු දරුවන් රහසිගත ලෝකයක තනිවී කඳුළු සලන වාර අනන්තය. ආදර ලෝකයේදී දැක්වූ සෙනෙහස දරු සම්පත් ලැබීමෙන් පසු යටිකුරු වන අවස්ථා එමට දක්නට ඇතැයි හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි. ඉහළ තනතුරක් ලබා විදේශගත වීමට යද්දී තම සහෝදරිය සමඟ හවුලේ ලබාගත් දේපොළවලින් කොටසක් අඹුදරුවන්ගේ පෝෂණයට පැවැත්මට යොදා යන සැමියන්ද එමටය. එවැනි අන්දමට විදේශ රටකට ගිය ආත්මාර්ථකාමී සැමියකු විදෙස් රැකියාවෙන් හරිහම්බකරන දේ අඹු දරුවන්ට නොඑවා ඔවුන් අමතක කොට එහිදී කම්සැප සොයා ගොස් සොහොන් කාලිගේ උදහසට ලක්වී රෝද පුටුවෙන් මෙරටට පැමිණ අවසන් ගමන් ගිය සිද්ධියක අතීත කතා කියන්නට මෙවරද කටහඬ අවදිකර සිටියේ හලාවත මහා භද්‍රකාලී අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමිය. "මම මේ කියන පවුලේ අය පදිංචිව සිටියෙ කොළඹට නුදුරු ප්‍රදේශයක. මේ පවුලේ පිරිමි පුද්ගලයාට අප්‍රිකාවේ ඝානා රටේ ඉහළ පෙළේ රැකියාවක් ලැබුණා. දරු තිදෙනකුගේ පියෙක්. ඒ ළමයින් මේ වන විටත් පාසල් යන වියේ පසුවුණා. එහෙම සිටිද්දී තමයි එයාට අප්‍රිකානු රටක උසස් රැකියාවක් ලැබුණේ. ඒ වෙනකොට මේ අයගෙ අවිවාහක එක් සහෝදරියක් මේ පවුලේ අය සමඟ එකට ජීවත් වෙමිනුයි හිටියෙ. මේ පුද්ගලයටයි, එයාගෙ සහෝදරියටයි තමයි පවුලේ දේපොළ ලියා තිබුණෙ. මේ සහෝදරිය සිටි ගෙවල් දෙකින් සහ අක්කර පහක ඉඩමෙන් ලැබෙන දේපොළවලින් මේ අයගෙ දරු පවුල රැකබලා ගන්න කියල සහෝදරියට භාර කරල පුද්ගලයා රටින් පිටවී අප්‍රිකාව බලා ගියා. මේ පවුල් දෙකම ජීවත් වුණෙත් එකම ළඟ ගෙවල් දෙකක. ගෙවල් දෙකටම ජල සැපයුම ලබාගෙන තිබුණත් එකටමයි. සැමියා වෙන්ව යෑමෙන් පස්සෙ දරුවන් තුන්දෙනා සමඟ තනිවුණු ඒ බිරියට නිතරම සැමියගෙ සහෝදරියගෙ සරණ පතන්න සිදුවුණා. මේ දෙගොල්ල වසර දෙකක් විතර යනකම් ඉතා සුහදව ඒ අයගෙ ඕනෑ එපාකම් බලාගෙන දරුවන් පාසල් යවමින් කල්ගත කළා. අප්‍රිකාවට ගිය සැමියා එයා ගියදා ඉඳන් එයාගෙ දරුවන්ට වැටුපෙන් කිසිදාක මුදල් එව්වේ නැහැ. ඒ ගැන මෙහි සිටින බිරිය එයාගෙන් විමසූ අවස්ථාවල කියා තිබුණෙ ඒ අයගෙ වියදම් සහෝදරිය බලාගනියි, එයාට කරදර කරන්න එපා කියල. වසර ගණනක් ගියාට පස්සෙ තමයි මේ කාන්තාවට ආරංචි වුණේ එයාගෙ රට ගිය සැමියා කලින් විවාහ වී දික්කසාද වූ අයෙක් කියලා. එයා එයාගෙ දික්කසාද බිරියට දාව උපන් ළමයින් දෙදෙනාට සල්ලි එවන බව ආරංචි වෙලා මේ විවාහක බිරිය කම්පාවට පත්වුණා. මේ පුද්ගලයගෙ බිරියත්, දරුවනුත් සමඟ සිටි අර සහෝදරියත් මේ අයට වෙනස්කම් කරන්න වුණා. ටික කලකදී මේ සහෝදරිය මේ පුද්ගලයන්ගේ බිරිය සමඟ අමනාප වෙලා එයාට දෙන වියදම් පවා නවතා දැමුවා. ඒ විතරක් නෙවෙයි එයාගෙ ගෙදරට දෙන ජල සැපයුමත් අත්හිටෙව්වා. පස්සෙ මේ දරු පවුලට වත්තෙ තියෙන ළිඳෙන් වතුර ඇදගන්න සිදුවුණා. දරුවන්ගෙ ඉගෙනීමේ කටයුතුවලටත් බාධා ඇතිවුණා. ඒ ගැන මේ කාන්තාව අප්‍රිකාවේ ඉන්න සැමියට කොතෙකුත් කීවත් ඒ ගැන ඔහුගෙන් පිළිසරණක් ලැබුණේ නැහැ. අවසානයේ මේ කාන්තාව දරු දෙන්නත් එක්ක එයාගෙ මවගෙ ගෙදරට ගිහින් එයාට හිමිවෙලා තිබුණු කුඩා ඉඩම් ප්‍රමාණය විකුණල ඒ සල්ලි බැංකුවෙ දාල ළමයින්ට උත්සාහයෙන් උගන්වන්න උත්සාහ ගත්තා. අප්‍රිකාවෙ ඉන්න සැමියා එයාට ලැබුණු වැටුපෙන් වැඩි කොටසක් වියදම් කළේ සමාජ ශාලාවලට ගිහින් කාන්තා ඇසුරින් සැප විඳින්න. එයා ඒ රටේදී දිනපතාම පාහේ බීමට ඇබ්බැහි වෙලයි හිටියෙ. මේ සිද්ධීන් මෙහෙ සිටින බිරියටත් ආරංචි වෙලයි තිබුණෙ. මේ සිද්ධීන් ගැන එයාගෙ බිරියට ඉවසන්නම බැරි තැන එයා එයාගෙ පාසල් මිතුරියන් කීපදෙනකු සමඟ අපේ කාලි කෝවිලට ඇවිත් එයාටත්, එයාගෙ දරුවන්ටත් සිදුවෙලා තියෙන දුක්ඛිත තත්ත්වය ගැන කාලි මෑණියන් ඉදිරියේ කීවෙ සැමියගෙ සහෝදරියගෙන් සිදුවුණු අසාධාරණ ගැනත් කියමින් කඳුළු සලමිනුයි. ඒ අවනඩුව කාලි මෑණියන් අතරෙන් ඇය භාර කළේ සොහොන් කාලිට. ඒ බිරිය ඒ දුක්ගැනවිලි කියල පළි ගහල ගිහින් දින 21ක් ගත වුණේ නැහැ. එයාගෙ සැමියට එහෙදි සිරෝසීස් හැදිල වකුගඩු නරක් වෙලා දැඩි ලෙස රෝගාතුර වුණා. පස්සෙ ඒ අයට එහෙ රෝහල්වල ඉන්න බැරි තත්ත්වයට පත්වෙලා එහෙ සිටි ලංකාවෙ මිතුරෙක් සමඟ රෝදපුටුවෙන් ලංකාවට එන්න සිදුවුණා. ඒ එනකොට එයාගෙ බිරිය එයාගෙ මවගෙ ගෙදරයි හිටියේ. පස්සෙ මෙයා ගුවන්තොටුපොළේ ඉඳන් එයාගෙ බිරියට දුරකතන ඇමතුමක් දීල සමාව අයැද සිටියත් එයා ඒ ඉල්ලීම් සියල්ල ප්‍රතික්‍ෂේප කර සිටියා. පස්සෙ එයාගෙ නංගි ඇවිත් එයාගෙ ගෙදරට මේ පුද්ගලයා රැගෙන ගියත් එයා මෙහෙ රෝහලකටවත් ඇතුළු කරන්න කලින් මියගියා. ඒ අය අප්‍රිකානු රටකදී හරිහම්බ කළ දෙයින් ඉතිරිවුණු මුදල් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් හිමිවුණේ මෙහෙ ඉන්න නීත්‍යනුකූල බිරියට. ඒ මුදලුත් අර මෙහෙ ඉන්න සහෝදරිය ලබාගන්න උත්සාහ කළත් ඒක හරිගියේ නැහැ. ඒ සහෝදරියත් මිනිසුන්ට සල්ලි පොලියට දෙමින් ඉඳල ඒවා ආපසු ගන්න බැරිව ප්‍රශ්න ඇතිකර ගත්තා. අවසානයේ විශාල මුදලක් ඇයට අහිමිවීම නිසාම සිත් තැවුලට පත්වෙලා මානසික රෝගියෙක් වුණා. ඒ කාන්තාව එයාගෙ සහෝදර සහෝදරියන්ටවත් උදවු කළ අයෙක් නෙවෙයි. ඒ නිසාම ඔවුන් මේ කාන්තාව සමඟ තිබුණු ඥාති සබඳතා අත්හැර දැම්මා. පසුකාලෙක ඒ කාන්තාවත් අංශභාගෙ හැදිල දුක්විඳල අඩු වයසින්ම මියගියා. දරු පවුලකට දුක් දී විදේශගත වෙලා සල්ලාලකම්වලට ඇබ්බැහි වුණු සැමියාගේ වියෝවෙන් පස්සෙ එයාගෙන් ඉතිරිව තිබුණු විදේශ මුදල් අරගෙන ඒ බිරිය දරුවන් සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කළා. නමුත් ඒ බිරිය කිසිදිනෙක දෙවැනි විවාහයක් කරගත්තෙ නැහැ. දරුවන්ට හොඳින් උගන්වල වැඩිමහල් පිරිමි දරුවා වැඩිදුර අධ්‍යාපනයට එංගලන්තයට යැව්වා. වසර ගණනක් සැමියා නිසා දුක්විඳිමින් සිටි ඒ කාන්තාව අවසාන කාලයේ දරුවන් ළඟ සැප වින්දා. අඹුදරුවන් අමතක කර ඒ අය දුක්ගිනි කන්දකට මැදිකරන සැමියන්ට කාලි මෑණියන්ගේ දඬුවම අනිවාර්ය බව මේ සිද්ධියෙන් ඔප්පු වෙනවා. ප්‍රේමලාල් විජේරත්න උපුටා ගැනීම මව්බිම