This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
දානයේ අනුහස්
දානය ශීලය භාවනාව පන්සලේදී අපට නිතර, නිතර ඇසෙන වචන තුනකි. මෙයින් "දන්දීම" හෙවත් "දානය" පිළිබඳ බොහෝ දේ කීමට ඇත. දන්දීමේ අනුහස් පොත් ගණන් ලියා ඇත. අප සමාජයේ දන්දීමේ විවිධ ක්‍රම සහ අවස්ථා ඕනෑ තරම් ඇත. බෞද්ධයන් පමණක් නොව අන්‍යාගමිකයන්ද දන්දීමේ යෙදේ. සෑම ආගමකින්ම දානය උතුම් පුණ්‍ය ක්‍රියාවක් බව පෙන්වා දී ඇත. පරලොව ගැන සිතා හෝ මෙලොව සැප සම්පත් වැඩි කරගැනීම හෝ ග්‍රහදෝෂ අඩු කරගැනීම උදෙසා දන් දෙනු ලැබේ. දානය ගැන උගතුන් අතර ප්‍රධාන අදහස් දෙකක් පමණි. දානය යනු දීමය. ඒ නිසා දන් දීමෙන් පසු යළිත් කිසි දෙයක් ප්‍රාර්ථනා නොකළ යුතුය. යන්න පළමු අදහසය. දෙවන අදහස ඊට වෙනස්ය. දන් දෙනුයේ මේ ලෝකයේදී හෝ මතු ආත්මයකදී හෝ යම්කිසි දෙයක් ලබාගැනීමට භික්ෂුන් වහන්සේ දානයට පසු පුණ්‍යානුමෝදනා කරනුයේ මේ නිසාය. ඒ නිසා පළමුවන අදහස "තර්කයක්්" පමණි. ප්‍රායෝගික වශයෙන් දෙවැන්න වැදගත්ය බෝධිසත්වයන් වහන්සේද ඇස්, මස්, ජීවිත අඹුදරුවන් පවා පරිත්‍යාග කළේ යම් දිනෙක බුදු වන අරමුණ පෙරදැරිවය. එසේනම් අප දානයකට පසුව කිසිවක් ප්‍රාර්ථනා නොකළ යුතුද? කෙනකු මියගිය පසු දෙන සත්දින තුන්මාසයේ අවුරුද්දේ දානයේ පරමාර්ථයත් මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමයි. දන්දීම යනුවෙන් පැවැසීමේදී අපට එකවරම සිහියට නැඟෙනුයේ භික්‍ෂුන් වහන්සේට දෙනු ලබන "අටපිරිකර සහිත සාංඝික දානයයි" නමුත් දන්දීම යනු දීම නම් එය භික්ෂුන් වහන්සේට දෙනු ලබන දානයම පමණක් නොවේ. තවත් බොහෝ දේ දන්දීමට හැකියාව පවතී. මාගේ දැනුම ඔබ වෙනුවෙන් දන්දීම මේ මොහොතේ මා අතින් සිදුවේ 'සබ්බදානං ධම්ම දානං ජිනාති' දන්දීමෙන් උතුම් දානය ධර්මය - දැනුම අනුන් වෙනුවෙන් ලබාදීමය. 'දානය' සහ දන්දීම පිළිබඳ බොහෝ විස්තර ඇතත් අප පළමුවෙන්ම විවිධ දන්දීමේ ක්‍රම සොයා බලමු. 1. භික්‍ෂුන් වහන්සේ හෝ ආගමික පූජකයන් වෙත දෙන දානය 2. ධර්ම දානය 3. ජීවිත දානය - (අභය දානය) 4. දුගී මගී - යාචකයන්ට දෙන දානය 5. ග්‍රහ අපල සඳහා දෙන දානය 6. බලු කපුටු දානය - (සතුන්ට දෙන දානය) 7. ඉඩකඩම්, වාහන, මුදල් දන්දීම 8. ඇස්, ලේ සිරුරේ කොටස් දන්දීම (සිරුරම දන්දීමද මීට අයත්ය) 9. ශ්‍රමදාන (ශ්‍රමය දන්දීම) 10. වස්ත්‍ර දානය 11. මල් - පුෂ්ප දානය 12. සහනාධාර (ගංවතුර, නියං ආදියේදී දෙන විවිධ ආධාර) 13. කිරි ආහාර දානය 14. දේව දානය 15. ඔෟෂධ වර්ග දන්දීම 16. පොත් පත්, පෑන්, පැන්සල්, සම්මන්ත්‍රණ ආදිය මඟින්ද දෙනු ලබන බුද්ධි දානය 17. විහාර, දේවාල, පන්සල් සාදා දන්දීම ළිං පොකුණු තැනවීම 18. බස් නැවතුම් කුඩ, හිස්වැසුම් ආදී සෙවණ සඳහා දෙන දානය මෙපණක් නොව වෙනත් අයකුට ප්‍රයෝජනවත් විය හැකි ඕනෑම භාණ්ඩයක්, සේවයක් දන්දීම සිදුකළ හැකිය. ඒ සියල්ල ලිවීම අපහසුය. දන්දීමේදී සෑම විටම 'තුන්සිත' පහදා ගතු යුතු යැයි කියැවේ. තුන්සිත යනු දන්දීමට පෙර දන්දෙන අවස්ථාව සහ දන්දීමෙන් පසු කාලයයි. ලෝභ, මෝහ ආදියෙන් තොරව පිරිසුදු චේතනාවෙන්ම දන්දීමට පෙර සූදානම් වීම වැදගත්ය. දන් දෙන අවස්ථාවේදී ද වෙනත් දේ ගැන නොව දෙන දානය ගැනම පමණක් සිතා දන්දිය යුතුය. එසේම දානය දීමෙන් පසු නැවැතත් දුන් දේ ගැන ලෝභයක්, ආශාවක් ඇති නොකරගත යුතුය. බොහෝ 'දාන'මය පුණ්‍යකර්ම ඇතත් ඒවා වෙන වෙනම විස්තර කිරීමට ගියහොත් එක ලිපියක් නොව ලිපි මාලාවක් ලිවිය යුතු වේ. ඒ නිසා තෝරගත් මාතෘකා කිහිපයක් ගැන පමණක් සලකමු. ඒ අනුව ජීවිත දානය හෙවත් අභය දානය ගැන විමසමු. අතීතයේ "අභය දානය" දුන්නේ රටේ පාලකයාය. ඒ මිනිසුන් උදෙසා රාජ උදහසට හෝ වෙනත් වරදකට ලක් වූවකුට මරණීය දණ්ඩනය නියම කරනුයේ රාජ්‍ය පාලකයාය. ඒ මරණ දණ්ඩනය ලිහිල් කර ජීවිත දානය (අභය දානය) දිය හැක්කේද ඒ පාලකයාටමය. ඇතැම් විට එය රටින් පිටුවහල් කිරීමක් හෝ සිර දඬුවමක් විය හැකිය. එහෙත් එය පසුකාලීනව වෙනත් අර්ථයකට පෙරළුෑණි. මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ජීවිත දානය දීම ආරම්භ කරන ලදී. බුදුන් වහන්සේගේ සමයේද සතුන් වෙනුවෙන් අභය දානය දුන් අවස්ථා බුද්ධ චරිතයේ සඳහන් වේ. නමුත් වර්තමානයේ මේ සතුන් වෙනුවෙන් අභය දානය දීමේ ක්‍රමවේදය වෙනස්ව ඇත. ලංකාවේ මේ අභය දානය දීම සිදුවනුයේ "ගවයන්" සඳහා "පරෙවියන්" වෙනුවෙනි. මරණයට කැප වූ ගවයකු මුදල් ගෙවා නිදහස් කරගැනීම සිදුවේ. මෙහිදී එක් අයකුට ගවයකු වෙනුවෙන් විශාල මුදලක් වැය කළ නොහැකි නිසා කිහිපදෙනෙක් එක්ව මුදල් එකතු කොට මේ "අභය දානය" සිදුකෙරේ. එය පුණ්‍ය කටයුත්තක්ම පමණි. එහෙත් අප මෙහිදී නොසලකා හරින දෙයක් ඇත. මුදාගත් ගවයා යම් පුද්ගලයකුට බාරදීම හෝ නිදැල්ලේ යෑමට ඉඩ හැරීම සිදුකෙරේ. එය ප්‍රමාණවත්ද? යන්න සිතිය යුතුය. අප ඒ නිදහස් කරන සත්ත්වයා පෝෂණය කිරීම සහ උගේ ආරක්‍ෂාව ගැන යළි සලකා බලන්නේද එසේම ගවයා රැකබලාගන්න භාරගන්න පුද්ගලයාට දිගටම එය කරගෙන යා හැකිද? එසේම ඒ පුද්ගලයා එම ගවයා නැවත මස් කඩයකට දන් දීමක් කළහොත් වන්නේ කුමක්ද? මේ ගැන ගවයන්ගේ ජීවිත බේරාගන්නා පින්වතුන් දෙවරක් සිතා බැලිය යුතුය. එසේම අප වැඩි දෙනා සිදුකරන අභය දානයක් නම් පරවියන් මුදාහැරීමය. එය පුණ්‍ය චේතනාවෙන් සිදුකළද මේ පරෙවියන් ඇති කරන පුද්ගලයන් එය කරනුයේ "ව්‍යාපාරයක්" සඳහාම පමණි. පරෙවි කූඩුවල ඇතිකරන පරෙවියන් ඉන් මුදාගෙන වෙනත් ප්‍රදේශයකදී නිදහස් කළද උෟ නැවැත සිටි ස්ථානයටම පියාඹා ඒම සිරිතකි. එනම් පරෙවියා අවස්ථා කිහිපයකදී අලෙවි කොට මුදල් ලබාගැනීම ඔවුන්ගේ ක්‍රමවේදයයි. "චේතනං භික්ඛවෙ කම්මං වදාමි" ලෙස චේතනාව කර්මයක් සේ සලකා පුණ්‍ය චේතනාවෙන් සතුන් නිදහස් කිරීමේ පුණ්‍යකර්මය ඒ පුද්ගලයාට ලැබේ. ඒත් ඊට වඩා මරණයට වෙනුවෙන්ම සිටින කුකුළෙකු නිදහස් කළ හැකිනම් වඩාත් වැදගත්ය. මරා අලෙවි කරන්න සූදානම් වූ කුකුළන් ඕනෑ තරම් ඇත. ඒ සතෙකු බේරාගෙන නිවෙසේ සාදාගැනීම හෝ දේවාල, කෝවිල් වැනි ස්ථානයකට පූජා කිරීම වඩා සුදුසුය. උෟ නොවරදවාම මරණයට කැපවූ සතෙක් පරවියෙක් ඇති කරනුයේ මරන්න නොවේ. පරෙවියන් නිදහස් කිරීම පුණ්‍යකර්මයක් වුවත් මරණය වෙනුවෙන්ම වෙන්කර ඇති කුකුළෙකු හෝ එවන් සත්ත්වයකු නිදහස් කිරීම වඩාත් සුදුසුය. එසේම සතෙකු මරණයෙන් නිදහස් කරගන්න ඔබට වත් පොහොසත් කමක් නැතත්, ඔබට "අභය දානය" ලබාදීමට හැකි අවස්ථා ඇත. එනම් ඔබ මස් මාංස අනුභවයෙන් වළකින මේ ලිපිය කියවන පස් දෙනකු කුකුළු මස් කෑමෙන් ඉවත් වුවහොත් එක් කුකුළෙකුගේ ජීවිතය ඉබේම ආරක්‍ෂා වේ. ඔබ අප කිහිපදෙනකු මස්, මාංස කරවල අනුභවයෙන් වැළකී සිටියහොත් ඔබ අප ජීවිත කිහිපයකට ජීවිත දානය දුන්නා වනු ඇත. අපට ඒ ශක්තිය ඇත. ඇතැම් විට බොහෝදෙනා දන් දෙන්නේ ප්‍රසිද්ධිය සලකාගෙනය. ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය ආදායම් - බදුවලින් නිදහස්වීම - මැතිවරණයේදී මනාප එක්රැස් කිරීම අරමුණු කරගෙන විවිධ දාන දීම සුලබය. "අනාගත මනාප එක් රැස් කිරීම" දෙනු ලබන "දන්සල්" වෙසක් සහ පොසොන් කාලවලදී ඕනෑ තරම් දැකිය හැකිය. ඒවා පින් ලබාගන්න කොට "මනාප" ලබාගන්නට දෙන දානයන්ය. ප්‍රසිද්ධිය උදෙසා නොව ඔබට හැකි අයුරින් මලක් - කෑම වේලක් - ඇඳුමක් - පැන් බඳුනක් දන්දීම වැදගත්ය. දන්දීමේදී බුදුන් වහන්සේ දේශනාකොට ඇත්තේ "සබ්බ දානං ධම්ම දානං ජිනාති" ලෙසය. ඒ අනුව සියලුම දානයට වඩා ධර්ම දානය උතුම්ය. මෙහිදී ධර්මය යනු "බණ කීම" පමණක් නොව දැනුම අවබෝධය බුද්ධිය අනුනට "නොමිලයේ" ලබාදීමය. භික්‍ෂුන් වහන්සේ ධර්ම දේශනා කළ පසු කෘතගුණ සැලකීමක් සේ "දහම් පඬුරක්" ලබාදීම බෞද්ධයාගේ සිරිතය. එහෙත් ඇතැම් ස්වාමීන් වහන්සේ "දිනයක්" ලබාදීමට විශාල මුදලක් ලබාගන්න අවස්ථා ගැනද අසන්නට ලැබේ. එසේම "ඇතැම්" විහාරස්ථානවල "බෝධි පූජා" පැවැත්වීමට නාම ලේඛනයක් සකසා එහි නම ඇතුළත් කිරීමටද "එක්තරා මුදලක්" අය කෙරේ. එම අරමුදල විහාරස්ථානයේ දියුණුව උදෙසා යොදාගන්නා බව කියැවේ. එහෙත් මෙහිදී ධර්මදානයක් සිදුවේද යන්න සිතා බැලිය යුතුය. ඊට වඩා පැරැණි ගුරු මහත්ම මහත්මීන් "ජීවත්වීමට වැටුපක්" ලබාගත්තද සන්ධ්‍යා කාලයේ සති අන්තයේ "නොමිලයේ" ඉගැන්වීම අමතර පන්ති පැවැත්වීම සිදුකරන ලදී. ඒත් වර්තමාන "ටියුෂන් සර්ලා" ඊට අයත් නොවේ. දැනුද අයකිරීමකින් තොරව අමතර පන්ති පවත්වන ගුරුවරු සිටිති. එපමණක් නොව ඇතැම් ගුරුවරුන් දරුවන්ට පොත පත පෑන්, පැන්සල්ද ලබාදෙන අවස්ථා පවතී. ඒවා ධර්මදානය සේ සලකමු. තමා උගත් දේ අනුන්ගේ යහපත උදෙසා නොමිලයේ ලබාදීම වැදගත්ය. මේ අනුව ධර්ම ග්‍රන්ථ පමණක් නොව වෙනත් පොතපත දැන්දීමද තෑගි දීමද මීට අයත් වේ. දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම පොත - පත සඟරාවලට තමාගේ දැනුම ලබාදීම දැනුම පරිත්‍යාග කිරීමය. පසේ බුදුවරු යනු තමා දන්නා දේ අනුනට ලබා දෙන්නට නොහැකිව නිවන් දක්නා බුදුවරුය. ඔබ පසේ බුදුවරයකු නොවී ඔබ දන්නා දේ අනුන්ගේ යහපත වෙනුවෙන් "දන් දෙන්න" එය මහත්ඵල මහානිශංස ලබන්නා වූ පුණ්‍ය ක්‍රියාවකි. උපුටා ගැනීම මව්බිම