This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
විස්තර ලුහුඩු දැන්වීම්
ඇත්තම ඇත්තයි පුදුම හිතෙන සත්‍ය කතාවක්‌
වික්‍රමරත්න වෙනුවෙන් කළ යුතුව තිබූ සේවාව නිම වෙමින් තිබූ අතර ඔහු මගෙන් සමුගන්නට සූදානම් විය. මා හමුවීමේ බලාපොරොත්තුවෙන් තවත් ටික දෙනෙක්‌ කාර්යාලයේ මගේ කාමරයෙන් පිටත රැඳී සිටී. එහෙත් මේ අත්දැකීම් බහුලවූද, පැරණි උගතෙකු වූද, මිතුරා තව ටිකක්‌ නතර කර ගැනීමේ ආසාවක්‌ මා සිත තුළ තිබුණි. ඉතිං දැං මොකද කරන්නේ? මම එසේ ප්‍රශ්න කළේ තව ටිකක්‌ වික්‍රමරත්න සමඟ කතා කිරීමේ උවමනාවෙනි. "ආ... මං දැං එම්.එස්‌.සී එකත් කරනවා පේරාදෙණියෙ. ඒ මොකද මම ඉගෙනීම මැරෙනකම්ම කරනවා. ලබන ආත්මෙට යන්නෙත් මේ පුරුදුනේ." වික්‍රමරත්නගේ කතාව සිත් ගන්නා සුළුය. මුදල් ද යහමින් ඇති ගේ දොර ඉඩකඩම් යනවාහන වලින් සම්පූර්ණ වූ හෙතෙම දයාබර සැමියෙක්‌ මෙන්ම තිදරු පියෙකි. පිළිතුරක්‌ දෙන විට ඉතිරි නොකරම අංගසම්පූර්ණව දීම වික්‍රමගේ සිරිතයි. "දැං බලන්ඩ බලංගොඩ හාමුදුරුවො පරිගණක ගැන ඉගෙන ගන්න උනන්දු වෙලා තියෙන්නෙ අපවත් වෙන්න ආසන්න කාලෙ. උන්වහන්සේ කියල තියනවා. ඒ ඉගෙන ගන්නෙ ලබන ආත්මෙට ගෙනියන දක්‌ෂතාවලට බව" හේ පිළිතුර තවදුරටත් අංගසම්පූර්ණ කළේය. වික්‍රමරත්නගේ මව හා පියා විදුහල්පතිවරු විය. ඔහු ද පශ්චාත් උපාධිධරයෙකි. සමාජවාදියෙකුවූ හෙතෙම අනෙකුත් බොහෝ සමාජවාදීන් මෙන් ජ්‍යෝතිෂය වැනි සංකල්ප මිථ්‍යාවක්‌ හැටියට බැහැර කළේ නැත. ඊට හේතුවූයේ විවිධ කාරණා ගැන ඔහු ලබා තිබූ අත්දැකීම් වේ. අර අංජනම් බලන මාම කෙනෙක්‌ හිටිය නේද? මම ඇහුවේ එවැනි මතකයක්‌ මා තුළ තිබූ බැවිනි. "ආ ඔව්. ඔව්. කුලසේකර මාම. මහත්තයට මතකයි නේද?" "ඔව්... අපි දවසක්‌ හම්බ උනා නේ." කුලසේකර යනු විදුහල්පති තනතුරක්‌ සඳහා කීර්තිනාමයක්‌ ඇතිව පමණක්‌ නොව නීතිඥ විභාගයද සමත්ව සිටි ප්‍රසිද්ධ කෙනෙකි. එහෙත් එතුමා දෙවියන් සමඟ සම්බන්ධතා පවත්වන බව ද දැනසිටියේ මා ඇතුළු අතළොස්‌සකි. "දැං එයා මොකද කරන්නෙ. ළඟදි හම්බ උනේ නැද්ද?" "හම්බ උනා.. හම්බ උනා නේන්නං ජීවිතේට අමතක නොවන සිද්ධියකුත් උනා" වික්‍රමරත්න කීවේය. ජීවිතේට අමතක නොවෙන සිද්ධියක්‌.?A ඒ මොකක්‌ද දෙයියො දැක්‌කවත්ද? මම ඇසුවේ කුතුහලයෙනි. "මෙහෙමයි උනේ. අලුත් අවුරුද්දට අපි එහෙ ගියා. එයාට ඉස්‌කෝලෙම නිල නිවාස තිබුණනේ. මමත් එක්‌ක අම්මයි තාත්තයි, නෝනයි එහෙමත් ගියා." "ආ ඉතිං ඉතිං" "ඔන්න රෑට කෑම කාලා එහෙම අංජනම බලමු කියල පොඩි යෝජනාවක්‌ ආවා. ඒ මොකද අපි එකතුවෙලා කරපු බිස්‌නස්‌ එකක්‌ ගැන දැන ගන්න ඕන උනා." ආ ඉතිං "මහත්තයට කතා කරකර ඉන්න පුළුවන්ද කට්‌ටිය ඉන්නව නේද හම්බ වෙන්න?" වික්‍රම ඇසුවේ වීදුරු දොර දෙස බලමින් වුවද මේ කියන්නට යන්නේ ඇසිය යුතුම කතාවක්‌ බව මට තේරුම් ගිය බැවින් "කමක්‌ නෑ... කියන්න" යෑයි මම කීවෙමි. "ඉතිං අංජනම තිබුණට ඒක මාමට බලන්ඩ බෑ. ඒක බලන්න පුළුවන් ඉස්‌කෝල මහත්තයෙකුත් නිල නිවාසෙම නතර වෙලා සිටියා. අංජනම බලන්න එයාට කතා කළා. අපි කට්‌ටිය ගෙයි දොර වහල සාලෙ මැද පැදුරු දාල වටේට වාඩි උනා." "ආ... ඉතිං "ඊට පස්‌සෙ මාම කීව අංජනම බලන්න ඉස්‌සර පූජා තියන්න ඕන කියලා. විළඳවලට මී පැණි දාල පූජාවක්‌ හදල තිබ්බ. මල් පහන් පත්තු කළා. මේ පූජාව තියල විනාඩි පහළොවක්‌ ඉන්න ඕන කීව. ඊට පස්‌සෙ අංජනම බලන්න පුළුවන් වෙනව කීවා." වික්‍රමරත්නගේ කතාවට වරින් වර බාධා වූයේ ඔහුගේ ජංගම දුරකථනයට එන ඇමැතුම් සමගිනි. චතුර ලෙස ඉංග්‍රීසියෙන් පිළිතුරු දුන් හෙතෙම දුරකතනය විසන්ධි කළේය. ඉතිං මොකද උනේ? අංජනමෙන් මොනවද බැලුවේ? හරි වැඩේනෙ උනේ. අර ඉස්‌කෝල මහත්තයා පූජාසනේ ළඟ පුංචි පුටුවක වාඩිවුණා. වෙලාව බැලුවෙ මම. විනාඩි පහළොවක්‌ යන්න ඕන කීවනේ. එතකොට ගිහිං තිබුණෙ විනාඩි දොළහයි. "තාම ගතඋනේ විනාඩි දොළහයි" කියල මම කීවා ඒ මොකද "වෙලාව බලන්න කීවෙ මටනේ." කට්‌ටියටම ඕන වෙලා තිබුණෙ අංජනම බලන්නනේ. ඉතිං මා දිහා බැලුවෙ හරියට ඒකට බාධා කරන කෙනෙක්‌ දිහා බලනව වගේ. "තව විනාඩි තුනක්‌ තියනවා" කියල මම කියනකොට අපේ තාත්තත් මා දිහා බැලුවෙ නුරුස්‌නා විදිහට." එතකොට කුලසේකර මාම අර මහත්තයට සංඥ කළා අංජනම බලන්න ඉස්‌සර මොකක්‌ද ගාථාවක්‌ වගේ දෙයක්‌ කියන වනේ. ඒක කියල ඒ මහත්තය අංජනම ළඟට පුංචි පුටුව ඇදල වාඩිවෙලා සූදානම් උනා විතරයි." ඉතිං මොකද උනේ? "මොකද උනේ කියන්න, හරියටම අලියෙක්‌ පයින් ගැහුව වගේ අර මහත්තය පුටුවත් එක්‌ක පෙරළිලා අඩි ගාණක්‌ ඈතට විසි වුණේ හයියෙන් හූවකුත් තියාගෙන." "ඈ.... ඒ මොකද මොකද්ද උනේ..." "මිනිහට සිහි නෑ. කටිං සෙම පෙරාගෙන වැටිලා. කෑගහන සද්දෙට අහල පහල මිනිස්‌සු එයි කියල මාම අර අංජනමත් එක්‌ක පහන් අරව මේවත් අරගන කාමරේට පැනගත්තා. මේ ඉස්‌කෝලෙ මහත්තයා මැරිල වාගේ." "ඉක්‌මනට ගිහිං පොඩි හාමුදුරුවො එක්‌ක එන්න කියලා මාම මට කීවා. පංසල තියෙන්නෙ අල්ලපු වත්තෙ. මම සාමාන්‍යයෙන් බය නෑ ඒ උනත් ඒ වෙලාව මමත් හිටිය බය වෙලා. ඉක්‌මනට පලයං කියල තාත්තත් කෑගැහුවා. මම ගිහින් හාමුදුරුවො එක්‌ක ආවා." පංසලේ ලොකු හාමුදුරුවො හිටියෙ නෑ. පොඩි හාමුදුරුවො වැඩිය. හාමුදුරුවො ඇහුව මොකද උනේ කියලා. අපි කිවා බාත්රුම් එකේ වැටුණ කියලා. ඉතිං, ඉතිං. පිරිත් කීව. පිරිත් කියනකොට සිහි එනවා. නතර කරනකොට ආයිමත් සිහි නැති වෙනවා. හාමුදුරුවො කීව වැටුණට වඩා දෙයක්‌ වෙලා තියනවා වගේ කියලා. අපි සද්ද නැතුව හිටියා. ඊට පස්‌සෙ ලොකු තොවිලයකුත් කරලයි මිනිහට සනීප උනේ. "හරි එතකොට මොකක්‌ද අංජනම බලද්දි වෙලා තියෙන්නෙ.?" මම තවදුරටත් කුතුහලයෙන් ඇසුවෙමි. "අංජනම ළඟින් ලොකු අතක්‌ එළියට ආවලු. ඒ අතේ සමහර ඇඟිලිවල මස්‌ නැතිලු. ඒ අතින් මිනිහගෙ බෙල්ලෙන් අල්ලල තල්ලු කළාලු." මෙහිදී ටික වෙලාවක්‌ අප අතර නිහැඬියාවක්‌ පැවතිනි. ලෝකයේ මොන තරම් පුදුම දේ. අපනොදන්නා දේ තිබේද? "අන්න ඒක තමයි මහත්තයා වැඩේ. මිනිස්‌සු වගේ නොවේ. විනාඩි පහළොව නම් පහළවයි. දොළහ නොවේ. ඒ කට්‌ටිය එක්‌ක වැඩ කරන්න ඕන බොහොම ප්‍රවේශමෙන්." "මම එහෙනම් යන්නම් නැකත අරන් යන්න සඳුදා එන්නම්. එළියෙ ඉන්න කට්‌ටිය බලාගෙන ඉන්නවා." වික්‍රමරත්න මගෙන් සමුගත්තේය හොඳයි තෙරුවන් සරණයි! ජ්‍යෝතිෂවේදී කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත් උපුටා ගැනීම දිවයින