🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

බුදුරදුන් අගය කළ හුදකලාවේ කලාව

බුදුරදුන් අගයකළ හුදකලාවේ කලාව
දස මසක්‌ මව් කුස හුදකලාවම සිටින මිනිසා මව් කුසින් බිහිවූදා සිට මියයන තෙක්‌ම සමාජගතව සිට නැවත හුදකලාවම මියයයි. ඒ අතර කාලය තුළ ඔහු හුදකලා වන්නේ කළාතුරකින. බොහෝ විට ඔහු හුදකලාව අප්‍රිය කරයි. නැතිනම් හුදකලා වෙන්න වත් වේලාවක්‌ නොමැති බව කියයි. හුදකලාව ඉන්නේ නම් සමාජයද ඔහු දෙස විපරම් ඇසින් බලයි. තිරිසන් සත්වයන් හා සන්සන්දනය කර බලනවිට මිනිසා සමාජ ආශ්‍රය ප්‍රියකරන එයින් සතුටුවන සත්ව කොට්‌ඨාසයක්‌ ලෙස සැලකෙන බැවින් හුදකලාව අපට අවශ්‍යද නැද්ද එහි ඇති පල ප්‍රයෝජන කුමක්‌ද යන්න බුදුදහම හා මනෝ වෛද්‍ය විද්‍යානුකූලව විමසා බැලීම වටී. බුදුදහම අනුව බලන කල ගෞතම බුදුරජාණන් වහන්සේ හුදකලාව මහත්සේම ප්‍රියකළ උත්තමයෙක්‌ බව උන්වහන්සේගේ චරිතය විමසා බැලීමෙන් පෙනේ.
බුදුරජාණන් වහන්සේ නව වැනි වස්‌සාන කාලයෙන් පසු කාලයක්‌ ඝෝෂිතාරාමයේ වැඩ වාසය කළ සේක. මෙකල ඝෝෂිතාරාමයේ වැඩ විසූ විනයධර හා ධම්මධර භිකෂුන් දෙනමක්‌ අතර විනය නිතියක්‌ පිළිබඳව විවාදයක්‌ ඇතිවිය. මෙයට මේ භික්‌ෂුන් දෙනමගේ ශිෂ්‍යානු ශිෂ්‍යයෝද දෙපසට බෙදී වාදයට එක්‌වූහ. පසුව ගම් වැසියෝද දෙපෙසට බෙදී මහා කලබලයක්‌ බවට පත්විය. බුදුරජාණන් වහන්සේ මැදිහත් වුවද උන්වන්සේටද කන් නොදෙන තරමට දෙපාර්ශ්වයම දරුණු වූහ. මෙම ප්‍රශ්නය විසඳීමට ඇති හොඳම ක්‍රමය තමන් ප්‍රශ්නයෙන් තාවකාලිකව ඈත්වී සිටීම බව උන්වහන්සේට පෙනී ගියේය. බුදුරජාණන් වහන්සේටද කයට විවේකයක්‌ ලබා ගැනීමට මෙය හොඳම අවස්‌ථාව යයි සැලකූ උන්වහන්සේ වස්‌සාන කාලයද එළඹෙමින් තිබුණ බැවින් දසවැනි වස්‌සාන කාලය ගතකිරීම සඳහා පාරිලෙය්‍ය නම් වනයට හුදකලාවම වැඩිසේක. මිනිස්‌ වාසයෙන් තොරවු එම වනයේ බුදුරජාණන් වහන්සේට තවත් හුදකලාවම වනයේ සිටි ඇතෙක්‌ හමුවිය උන්වහන්සේගේ කරුණාභරිත හා පුණ්‍යවන්තභාවයට පැහැදුන ඇතා වස්‌ තුන් මාසයම උන් වහන්සේට ඇප උපස්‌ථාන කළේය. උදෑසනම කොළ අත්තක්‌ කඩාගෙන එය හොඬවැළෙන් අල්ලා බුදුකුටිය අමදින ඇතා පසුව පන්සලේ කළය හොඬින් ගෙන අසල ඇති පොකුණට ගොස්‌ වතුර ගෙන එයි. උනු දිය අවශ්‍ය වු විට දඬු දෙකක්‌ එකට අතුල්ලා ගිනි මොළවා කෝටු කැබලි ගෙනවිත් ගිනි මොළවා ගිනි ගොඩට ගල් පෙරළා ගල් රත්වූ පසු එම ගත් දිය වළකට පෙරළා උණු දිය සකසා දෙයි. වනයේ සෑම තැනම ඇවිද පළතුරු කඩා ගෙනවිත් බුදුන්ට පූජා කරයි. මේ ආකාරයෙන් වස්‌ තුන් මස පුරාම ඇතා බුදුරජාණන් වහන්සේට ඇප උපස්‌ථාන කළේය. බුදුරජාණන් වහන්සේ එම වස්‌ තුන් මාසයම මිනිස්‌ වාසයෙන් ඈත්ව කාය, මානසික විවේකයෙන් හුදකලාවම වනයේම කාලය ගත කළ සේක. මෙසේ වාසය කරන බුදුරජාණන් වහන්සේට දිනක්‌ උන්වහන්සේ මෙන්ම හුදකලාවම වනයේ වාසය කරන තවත් භික්‌ෂුන් වහන්සේ නමක්‌ හමුවිය. හේ නමින් ශෘග නම් විය. බුදුරජාණන් වහන්සේ එම භික්‌ෂුන් වහන්සේගෙන් මෙසේ හුදකලාවම වනයේ විසීමට හේතූ කිමදැයි විමසීය. හුදකලාව විසීම සිත ඒකාග්‍රතාවයට පත්කරගෙන ප්‍රබුද්ධ මනසකින් යුතුව බණ භාවනාකිරීමට විශේෂ පහසුවක්‌ බව උන්වහන්සේ පැවසීය. එය අනුමතකළ බුදුරජාණන් වහන්සේ එම භික්‌ෂුන්a වහන්සේට හුදකලාව සිටීමේ ආදීනව අළලා ධර්මය දේශනා කළ සේක. සිද්ධාර්ථ කුමාරයා මහා අභිනිෂ්ක්‍රමණය කර අනෝමා ගං තීරය අසළ අඹ උයනට පැවිදිවීමට ගියේද හුදකලාවමය. සය අවුරුද්දක්‌ ලොව්තුරා බුද්ධත්වය පතා දුෂ්කර ක්‍රියා කළේද හුදකලාවමය.
එම වකවානුව ගැන උන්වහන්සේගේ මුවින්ම කරන විස්‌තරයක්‌ මඡ්ජිම නිකායේ දැක්‌වේ. 'මම හුදකලාවම වනගතවී බණ භාවනා කෙළෙමි. මා ගොපල්ලකු දුටුවිට තණ කපන්නෙකු දුටුවිට දර එකතු කරන්නෙකු දුටුවිට ඔවුන්ට පෙනේයෑයි ඈත්වී සිටියෙමි' උන්වහන්සේ හුදකලාව ඇලුම් කළ අයුරු විස්‌තර කරන්නේ එසේය. මම සති දෙකක්‌ හුදකලාවේ සිටියෙමි. මට සිව් පසයෙන් උපස්‌ථාන කරන්නෙකු හැර කිසිවකු මා හමු නොවූයෙමි යෑයි සංයුක්‌ත නිකායේ දැක්‌වේ. ආකිමිඩිස්‌ නම් විද්‍යාඥයා විස්‌ථාපනය වන ජල පරිමාව ගිලෙන වස්‌තුවේ පරිමාවට සමාන වන බව සෙයා දැනගත් අවස්‌ථාවේ ඒ සතුටෙන් මුසපත්ව යුරේකා යුරේකා කියමින් නිරුවතින්ම මහා මාර්ගයේ දිව ගියේය. එහෙත් අප බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වයට පත්වූ අවස්‌ථාවේ නිහඬව පුරා සති හතක්‌ම හුදකලාවම සිටියේය. ප්‍රීති ඝෝෂා නගමින් එම ප්‍රීතිය කිය කියා ඇවිදිනවාට වඩා උන්වහන්සේ සිය ප්‍රීතිය භුක්‌ති වින්ඳේ හුදකලාව කාය මානසික සුවයෙන් විසීමෙන්ය. එපමණක්‌ නොව උන්වහන්සේ සෑම දිනකම දානය වැළඳීමෙන් පසු ටික වේලාවක්‌ හුදකලාව සිටිනා බව උන්වහන්සේගේ දින චරියාවේ පසු බත් කිස කාල පරිච්ඡේදය හදාරන විට පැහැදිලි වේ. එසේම බුදුරජාණන් වහන්සේගේ පසුයම් කිස කාල පරිච්ඡේදයේද දෙවන කොටස සිය ගඳ කුටියට වී සිංහ සෙයියාවෙන් සැතපී හුදකලාව සිටි බව හෙළිකෙරේ. ඒ අනුව අප මහා බුදුරජාණන් වහන්සේ හුදකලාව ඉතාමත්ම අගය කළ බව පැහැදිලි වේ. බුදුරජාණන් වහන්සේ හුදකලාව අගය කළ බවට තවත් හොඳ සාධකයක්‌ හෙළිවන්නේ ආරාම සෑදීමේදීs මූලිකම සුදුසුකම හුදකලා පරිසරයක්‌ බව අවධාරනය කිරීමය. මහාවග්ග පාලියෙහි මේ බව දැක්‌වේ.
බිම්බිසාර රජතුමා වේළුවනාරාමය පූජාකිරීමට පෙර ආරාමයට සුදුසු ස්ථානය කෙසේ විය යුතුදැයි බුදුරජාණන් වහන්සේගෙන් විමසීය. උන්වහන්සේ පවසා සිටියේ එම ස්‌ථානය "අප්ප සද්දානි අප්ප නිග්ඝෝෂාන විජන වාතානි මනුස්‌සරාහ සෙය්‍යතානි පටිසළ්ළාන සරුප්පානි" යන ස්‌ථානයක්‌ විය යුතු බවය.
  • අප්ප සද්දානි යනු අඩුම ශබ්ද ඇති ස්‌ථානයක්‌ යන්නය.
  • අප්ප නිග්ඝෝෂානි යනු අඩුම ඝෝෂාව ඇති තැනක්‌ විය යුතු බවය.
  • විජන වාතානි නිතර නිතර මිනිසුන් ගැවසීමෙන් හමාඑන සුළඟ නොමැති තැනක්‌ වියයුතු බවය.
  • මනුස්‌සරාහ සෙයිය්‍තානි යනු මිනිසුන්ගේ රහස්‌ කටයුතු සඳහා (මළ මුත්‍රා කිරීම් අදියට) සුදුසු ස්‌ථානයක්‌ විය යුතුය.
  • පටිසල්ලාන සරුප්පානි යනු වූයේ සමාධි ගතවීම සඳහා සුදුසු ස්‌ථානයක්‌ විය යුතු බවය.
ඒ අනුව බිම්බිසාර රජතුමා සිය උද්‍යානය වූ වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේට පුජා කළේය. ඒ මග යමින් අනේපිඬු සිටුතුමා ජේතවනාරාමයද විශාකාවෝ පූර්වාරාමය ආදී වශයෙන් පූජා කළෝය. එපමණක්‌ නොව ලක්‌දිව. දෙවනපෑතිස්‌ රජතුමා මිහිඳුමහ රහතන් වහන්සේට මහමෙව්නාව පූජා කිරීමද ආරාම සඳහා බුදුරජාණන් වහන්සේගේ නිර්දේශයන්ට අනුකූලවීමක්‌ සේ සැලකිය හැකිය. බුදුදහමේදී හුදකලාව විවේක පච්වාක පතිසල්ලාහ වූපකාස යන නම්වලින් හැඳින්වේ. ඉංග්‍රීසි භාෂාවෙන් මෙය solitude ලෙස හැඳින්වේ. බොහෝ අය මෙය lonliness ලෙස හඳුන්වයි. නමුත් lonliness යනු තනිවීමය. හුදකලාවීම යනු තනිවීම නොවන බව අවධාරණය කරගත යුතුය. බුදුරජාණන් වහන්සේ කිසිදිනක තනිවූයේ නැත. වූයේ හුදකලා වීම පමණි. හුදකලාව තම කැමැත්තෙන්ම ස්‌වේච්ඡාවෙන්ම කායික මානසික විවේකය සඳහා සිදුකරන්නකි. එය බලෙන් කරන්නක්‌ නොවේ. තමා විසින්ම නිගමනය කර කරන්නක්‌ වේ. මානසික රෝගයකට කරන්නක්‌ද නොවේ. දඩුවමකට කරන්නක්‌ද නොවේ. බුදුදහද මෙන්ම අනෙතුත් ආගම්ද හුදකලාව අගයකර ඇත.
ඡේසුස්‌ වහන්සේ භෞතිස්‌ම ලැබීමෙන් පසුව දින 40 ක්‌ රෑ දහවල් දෙකෙහිම කාන්තරයේ හුදකලාව විසු බව කියනු ලැබේ. එසේම ඉස්‌ලාමීය ආගමේද ඉස්‌ලාමිය නායකතුමා සෑම අවුරුද්දකම මාස කිහිපයක්‌ ගුහාවක හුදකලාවම විසූ බව සඳහන් කරය. ඉන්දියානු යෝගීන් සහ ටිබෙට්‌ භික්‌ෂුණින් අදටත් හුදකලාවීම ඉතාමත් ප්‍රිය කරන දෙයක්‌ වේ. අධ්‍යාත්මික ජීවිතයකට වඩාත් ඉක්‌මනින් ළංවීමට හුදකලාව මහඟු ප්‍රයෝජනයක්‌ වන බව ඔවුන් විශ්වාස කරනු ලබයි. වෛද්‍ය විද්‍යානුකූලව බැලූ විට දිනකට ටික වේලාවක්‌ හුදකලාව ගත කිරීම ඉතා වැදගත්වේ. ඒ අපගේ කයට හා මනසට විවේකයක්‌ ලබා ගැනීම සඳහාය. නිරතුරුවම ක්‍රියාකාරීව පවතින අප ශරීරයට සහ මනසට විවේකය අවශ්‍යය. නැතහොත් අප කායිකව මෙන්ම මානසිකවද රෝගි වෙයි. ටික වේලාවක්‌ මෙම ඝෝෂාකාරී පරිසරයෙන් මිදී චිත්ත විවේකයෙන් සිටීමෙන් අපට අපගේ ජීවිතය තුළට කිඳා බැසීමට අවස්‌ථාවක්‌ ලැබේ. ඉන් අපට අපේ ජීවිතයේ අඩු පාඩු සොයා ගැනීමටත්, ඒවාට පිළියම් සොයා ගැනීමටත් අවස්‌ථාවක්‌ ලැබේ. එසේම අපගේ ක්‍රියාකාරකම් ගැන සංතෘප්තියට පත්වීමටද අවස්‌ථාවක්‌ ලැබේ. හුදකලාවේම ජීවිත ගමන යැමට ඉන්ධන පුරවා ගැනීමක්‌ ලෙස සමහර දාර්ශනිකයින් දක්‌වන්නේ එම නිසාය. හුදකලාවීමෙන් නිර්මාණශීලිත්වය වැඩිවන බව විද්‍යාත්මක මතයයි. හුදකලාවීමේදී මොළයට ලැබෙන සංවේදන ප්‍රමාණය අඩුවන බැවින් මොළයට විවේකයක්‌ ලැබීම මෙයට හේතුවන බව විද්‍යාඥයින්ගේ මතයයි. බොහෝ කවියන් චිත්‍ර ශිල්පීන්, දාර්ශනිකයින්, විද්‍යාඥයින් හුදකලාව අගය කරන්නේ මෙම නිසාය. ඇතැම් ලෙඩ රෝග සුවකර ගැනීම සඳහාද හුදකලාව ප්‍රයෝජන වත් වේ. මිග්‍රේන් නමැති හිසේ කැක්‌කුම ඝෝෂාකාරී පරිසර නිසාද ඇතිවේ. එසේම වැඩවේ. නිහඬ පරිසරයක හුදකලාව ටික වේලාවක්‌ සිටීමෙන් එය අඩුකර ගත හැකිය. සමහර ශ්‍රවණ ආබාධයන් අඩුකර ගැනීමටද නිහඬ පරිසරයක හුදකලාව සිටීම ප්‍රයෝජනවත් වන බව සොයා ගෙන ඇත. එහෙත් බොහෝ කාලයක්‌ හුදකලාව සිටීම එතරම් ගුණදායක නොවන බව මනෝවිද්‍යාත්මක මතයයි.
ඔවුන් මේ සඳහා උදාහරණයට දක්‌වන්නේ සිර කඳවුරක සිරකරුවන්ය. එහෙත් සිරකරුවන් හුදකලාකිරීම හුදකලාකිරීමකට වඩා වෙන්කිරීමකට හෝ තනිකිරීමක්‌ බව පෙනේ. අනික ඔවුන් හුදකලා වන්නේ කැමැත්තෙන් හෝ ස්‌වේච්ඡාවෙන් නොවන බවද කිව යුතුය. හුදකලාවීමට අපට වනගත ප්‍රදේශයක්‌ම අවශ්‍ය නැත. තම වත්ත පිටීයේම නිහඬියාව රජයන තුරු සෙවනක්‌ යට හෝ නිවස තුළ ඒ සඳහා සුදුසු ස්‌ථානයක්‌ සකසා ගත හැක එහි දිනකට පැයක්‌ පැය භාගයක්‌ හුදකලාව සිටීම කායික මානසික සුවයට ඉමහත් ප්‍රයෝජනයක්‌ වේ. මේ සඳහා හිමිදිරි උදෑසන වඩාත් යෝග්‍ය බව මනෝ වෛද්‍ය මතයයි.

වෛද්‍ය ප්‍රියන්ත හේවගේ විශ්‍රාමලත් නියෝජ්‍ය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ
උපුටා ගැනීම දිවයින