🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

සිනහවේ ප්‍රභේද

සිනහවේ ප්‍රභේදසිනහව හදවතේ කැඩපතයි. ඒ නිසා සිනහව තුළින් ගතිගුණ අනාවරණය කර ගත හැක. යමෙකුගේ සිනහවෙන් ආදරය, සෙනෙහස, අවඥව, රැවටීම, කපටිකම, මෝඩකම, අහිංසක කම, උමතු බව හා සමච්චල් බව ආදී මෙකී නොකී බොහෝ කරුණු කාරනා තේරුම් ගත හැක. ඉහත සඳහන් ලෙස සිතුවිලි අනුව පහළවන සිනහව විවිධාකාර වේ. ඒ අනුව දේහ ලක්‍ෂණ විද්‍යාවේ සිනහ වර්ග 6 ක්‌ පෙන්වා දී ඇත. ඒවා මෙසේයි.

1. සිතය සිනහව
2. හසිතය සිනහව
3. විහසිතය සිනහව
4. උපහසිතය සිනහව
5. අපහසිතය සිනහව
6. අති හසිතය සිනහව

මෙම සිනහ වර්ග වෙන වෙනම අධ්‍යයනය කරමු.

1. සිතය සිනහව : මෙම සිනහව පහළ වන විට මුහුණ ඉතාම සෞම්‍ය ස්‌වභාවයක්‌ ගනී. දැස මදක්‌ විවර වේ. සිනහව මුහුණ පුරාම පැතිරී යයි. මෙම සිනහව දකින විට ගෞරවයක්‌, භක්‌තියක්‌ ඇතිවේ. තොල් පෙති සෙලවේ. දත් නොපෙනේ. කිසිදු හඬක්‌ ඇති නොවේ.

2. හසිතය සිනහව : දත් වල අග කොටස පමණක්‌ පෙනේ. කිසිදු හඬක්‌ සිනාසෙන විට නොනැගේ. මෙම සිනහවද මුහුණට ඇති කරණුයේ ශාන්ත ප්‍රසන්න බවකි. මෙම සිනහ වර්ගය හා ඉහත සිතය සිනාහව යන දෙවර්ගය බුදු, පසේබුදු, මහරහත් උතුමන් උදෙසා පිහිටයි.

3. විහසිතය සිනහව : මෙම සිනහව බොහෝ විට කුඩා දරුවන් තුළින් මතුවේ. මිහිරි හඬකින් යුක්‌තය. මෙම සිනහව තුළ රාගය, ද්වේශය, මෝහය නැත. පුද්ගලයෙකු බොහෝ ප්‍රීතියෙන්, සිතේ සැහැල්ලුවෙන් සිටින විට ඇති වේ.

4. උපහසිත සිනහව : හිස හා උරහිස්‌ පමණක්‌ සැලෙන ලෙස පහලවන සිනහවයි. පිරිසිදු සිත් ඇත්තන්ට මෙම සිනහව පහළවේ.

5. අපහසිත සිනහව : සිනහව පාලනය කර ගත නොහැකිව දැස්‌ වලින් කඳුළු ගලන තුරු පවතින සිනහවය. මෙහිදී සිරුරේ ඉනේ උඩ කොටසේ අවයව සෙලවේ. හඬනගා සිනාසෙන අතර ඇතැම් විට අංගචලනයෙන්ද දැකිය හැක.

6. අති හසිතය සිනහව : මෙම සිනහවද පාලනය කර ගත නොහැක. දැස්‌ වලින් කඳුළු පනින තුරුම සිනාසේ. මෙම සිනාවේදී මුළු සිරුරම සෙලවේ. නූගතුන් මෙම සිනහව ප්‍රදර්ශනය කරයි.

උපුටා ගැනීම දිවයින