This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
බුදු සිරිතේ උතුම් ගුණ
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී, කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලගෙදර රතන වංස හිමි, බුද්ධ චරිතයේ උතුම් ගුණ ධර්ම අපේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ඒවා ප්‍රායෝගික ජීවිතය තුළ ගොඩනැංවීම සිදු කළ යුතුව ඇත. තෘෂ්ණාවේ වහලෙකු බවට පත් වී ඇති සත්ත්වයාට එතුළින් කවදාවත් සැනසීමක් ලබාගැනීමට නොහැකිය. එයින් තව තවත් අතෘප්තිය, අසහනය, ඉච්ඡාභංගත්වය වැඩි වනු ඇත. එසේ නම්, ජීවිතයක සැනසීම, මෙලොව පරලොව සැනසීම ලබාගත හැක්කේ බුදු හිමි වර්ධනය කළ ගුණ ධර්ම වර්ධනය කිරීම තුළිනුත්, බුදුහිමි දේශනා කළ උතුම් ධර්මය අනුගමනය කිරීම තුළිනුත් පමණි. තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ බුදු වීම උදෙසා වීර්ය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළහ. මෙසේ භවයෙන් භවය පැමිණ සිද්ධාර්ථ කුමාරෝත්පත්ති අවස්ථාවේදී ද එම වීර්යම බුද්ධත්වය උදෙසා මහෝපකාරී වූ ආකාරය මනාව පිළිබිඹු වේ. ගිහි ජීවිතය අතැර මහාභිනිෂ්ක්‍රමණය කළ තැන් පටන් ගෙවන ලද කටුක කර්කශ ජීවිතය තවකෙනෙකුට සම කළ නොහැකි තරම්ය. සය වසරක දුෂ්කරක්‍රියාවෙන් පසු ශරීරය වැහැරී ගියද වීර්යය තුළින් බුද්ධත්වය කරා ළඟාවීම සිදු කළහ. දස පාරමිතාව අතර කැපී පෙනෙන පාරමිතාවක් ලෙස එය හැඳින්විය හැකිය. අන්ත දෙකම අතැර මැදුම් පිළිවෙතට පිවිස බෝ මැඩ කරා සොත්ථිය බමුණා පිළිගැන්වූ කුසතණ අටමිට අතුරා විදුරසුනෙහි අපරාජිතව පර්යංකයෙන් වැඩහිඳ චතුරංග සමන්තාගත වීර්යය වැඩූ ආකාරය ඉතා විශිෂ්ටය. එම අධිෂ්ඨානය ලොව කිසිදු කෙනෙකුට සමකළ නොහැකි තරම් ඇති වූ අධිෂ්ඨානයකි. එනම්, 1. සිරුරෙහි සම ගැලවී විසර ගියත් බුදු වි මිස නොනැගිටිමි. 2. සිරුරේ නහර ගැලවී විසර ගියත් බුදු වී මිස නොනැගිටිමි. 3. සිරුරෙහි ඇටකටු ගැලවී විසිර ගියත් බුදු වි මිස නොනැගිටිමි. 4. සිරුරෙහි මස් ලේ ගැලවී විසර ගියත් බුදු වී මිස නොනැගිටිමි. මෙම වීර්යය සතර ඉතා ඉහළ මට්ටමේ දැඩි අධිෂ්ඨානයකින් ගත් තීරණයක් සේ සැලකිය හැකි ය. ලොව බොහෝ දෙනෙක් භාවනා කිරීමට අද තැනක වාඩි වූවොත් කඩියෙක්, කූඹියෙක්, මදුරුවෙක් කෑවත්, ශබ්දයක් ඇසුනත් ගැස්සි නැවත ජීවිතය ගැන ආශාවෙන් ඉන් මිදෙනු ඇත. එවැනි සමාජයක බුදුරදුන්ගේ අධිෂ්ඨානය ඉතා විශිෂ්ටය. උන්වහන්සේ ශරීරය පිළිබඳ කිසිදු ඇල්මක් නොමැතිව බුදු බව උදෙසා ශරීරය වුවද පූජා කළ උත්තමයෙකි. ජාතක අටුවා නිදානයෙහි හා බුද්ධ වංස අටුවාවන්හිද, භාරත කැටයම්වල ද, සඳහන් මාර යුද්ධය බුදු හිමිගේ වීර්යය ශක්තිය අවබෝධ කර ගැනීමට ඇති හොඳම සාධක වනු ඇත. බුද්ධත්වය අවබෝධ කර ගැනීමට යන ගමනේ දී උන්වහන්සේට මාරයාගෙන් තර්ජන ගර්ජන පැමිණියේ ය. මාරයා මාර සේනාවත් සමඟ පැමිණ උන්වහන්සේගේ වීර්යය නැති කිරීමට විවිධ දේ සිදු කළහ. භයානක රූප, ශබ්ද පවා, මවන්නට විය. දෙව් බඹුන් පවා එයින් බියට පත්විය. මාරයා ගිරිමේඛලා ඇතු පිටට නැග බෝසතුන් ඉදිරිපිටට වැඳ මහා සුළඟක්, මහා වැස්සක්, ගිනිගෙන දිළිසෙන පර්වත වර්ෂාවක්, ආයුධ වර්ෂාවක්, වැලි වර්ෂාවක්, උණු අළු වර්ෂාවක්, අන්ධකාර පටලයක් ආදී වශයෙන් නව විවිධ වර්ෂාවන් වැස්ස වූ නමුත් බෝධිසත්වයන් වහන්සේගේ වීර්යය පාරමිතාවට කිසිදු අනතුරක් කිරීමට නොහැකි විය. පසුව මාරයා ඔබට ඔය වජ්‍රාසනය හිමි නැතැයි හඬනඟා කීය. එම්බල මාරය පිරූ සමත්‍රිංසත් පාරමි දම් බලැති ඥානාර්ථ චරියා, ලෝකාර්ථ චරියා, බුද්ධි චරියා, සපුරා ඇති මට මිස තට මෙය උරුම නැතැයි බෝසත්හු ප්‍රකාශ කළහ. එයට සාක්ෂි මහා පොළොව දරණු ඇතැයි දකුණත මහපොළොවට දිගු කිරීමත් සමඟ මහ පොළොව මහ හඬින් ගුගුරන්නට විය. මාරයා ඇතුළු මාර සේනාව ඉන් බිය වී හිස ලූ ලූ අත දිව ගියහ. මෙම මාර යුද්ධය මහා භයංකර වූවක් වුව ද, දැඩි අධිෂ්ඨානයකින් හෙබි බෝසතාණන් වහන්සේලාට එය එතරම් යුද්ධයක් නොවනු ඇත. දසමාර සේනාව පැරද වූ බුදුහිමි ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන සමවැදී ඉන් අනතුරුව බුදු හිමි “අනේක ජාති සංසාර” ආදී උදාන වාක්‍ය ප්‍රකාශ කර තමනට බුදුවීමට උදව් උපකාර වූ සෙවණ ලබා දුන් බෝධීන් වහන්සේ දෙස සතියක් අනිමිසලෝචන පූජාව ඇතුළු සති සතකින් යුත් සත් සති පූජාව ද සිදු කළහ. බුදු බව ලබා පළමුව සිදු කළේ අචේතනික වස්තුවක් වුවද භාවිතයට ගෙන ලෝක සත්වයාට කියා දුන්නේ කෙනෙක් කළ උදව් උපකාර අමතක නොකරන ලෙසින් කෘතවේදී භාවය දැක්වීමේ ශ්‍රේෂ්ඨ මානුෂිකත්වයකින් යුක්ත වූ පාඩමයි. එයින් පසු බුදු හිමි තමනට බුදු බව ලැබීමට උත්සාවත් වන කාලය තුළ ශිල්ප ශාස්ත්‍රය ලබාදුන් හා උදව් උපකාර කළ පිරිස් දෙස අවධානය යොමු කළහ. එහිදී දැනට පස්වග තවුසන් ඉසිපතනේ මිගදායෙ සිටින බව දිවැසින් දැක ඔවුන් සොයා ගොස් ඔවුනට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළහ. එහිදී පළමුව කොණ්ඩඤ්ඤ තවුසා රහත් වූ අතර, පසුව ඔහු “අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤො” ආදී වශයෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් විය. මේ ආදී වශයෙන් බුදුරදුන්ගේ වීර්යය හා කෘතගුණ යන ගුණාංග දෙකම ඉස්මතු වූ අවස්ථා ලෙස එම අවස්ථා දැක්වීමට පුළුවන. එම ගුණාංග 45 ස් වසරක බුද්ධත්වය ගෙවූ කාලය තුළ ද මුළු ජීවිතය පුරාම දැකගන්නට ලැබේ. එසේනම්, අද සමාජයට වුවද වැදගත් වන්නේ එම ගුණ ධර්ම ප්‍රගුණ කරගැනීම නොවේද? අද සමාජය තුළ බුද්ධ චරිතය හැදෑරුවද එම ගුණ ධර්ම ප්‍රගුණ කරන බවක්, දක්නට නොලැබේ. එබැවින් අලස බව, කම්මැලිකම, පසුබැසීම තුළින් ජීවිතය ප්‍රපාතයට වැටී ඇත. එලෙසම දෙමව්පියො, වැඩිහිටියො, කල්‍යාණ මිත්‍රයො අමතක කරමින් තනියම යන ගමනක හේතුවෙන් සත්වයා ප්‍රශ්න ජාලාවක පැටලී ඇත. ඉච්ඡා භංගත්වය, අතෘප්තිය, අසහනය වැනි මානසික පීඩනයන් බොහොමයකට පුද්ගලයා හසු වී සිටී. මේවායෙන් ගැළවීමට නම් බුද්ධ චරිතයේ උතුම් ගුණ ධර්ම අපේ ජීවිතවලට ද සම්බන්ධ කොට ගෙන ඒවා ප්‍රායෝගික ජීවිතය තුළ ගොඩනැංවීම සිදු කළ යුතුවඇත. තෘෂ්ණාවේ වහලෙකු බවට පත් වී ඇති සත්ත්වයාට එතුළින් කවදාවත් සැනසීමක් ලබාගැනීමට නොහැකිය. එයින් තව තවත් අතෘප්තිය, අසහනය, ඉච්ඡාභංගත්වය වැඩි වනු ඇත. එසේ නම්, ජීවිතයක සැනසීම, මෙලොව පරලොව සැනසීම ලබාගත හැක්කේ බුදු හිමි වර්ධනය කළ ගුණ ධර්ම වර්ධනය කිරීම තුළිනුත්, බුදුහිමි දේශනා කළ උතුම් ධර්මය අනුගමනය කිරීම තුළිනුත් පමණි. උපුටා ගැනීම බුදුසරණ