This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
නිවැරදි පිළිවෙලට සාංඝික දානයක් දෙන්නේ මෙහෙමයි
බෞද්ධයන් ලෙස අපි අපගේ පවු‍ලේ ඥාතියකු මිය ගිය විට පින් අනුමෝදන් කිරීම සඳහා සාංඝික දාන පිරිනමමු. මේ හැරුණු විට විවාහ මංගල්‍යයකට පෙර, උපන් දිනයක් අරමුණු කර ගනිමින් සෙත් ප්‍රාර්ථනා කිරීම සඳහා ද සාංඝික දාන පිරිනැමීම අද දවසේ සිදුවේ. වැඩි දෙනෙකු කරන්නන් වා‍ලේ කරන නමුදු දානයක් පිරිනැමීමේ නියම අරුත සහ කුසල් සිදු වන අයුරින් දානය පිරි නමන්නේ කෙසේද? යන්න ගැන වර්තමානයේ බොහෝ දෙනෙකු දන්නේ නැත. ඒ පිළිබඳව විස්තර කිරීමට පෙර දානය සම්බන්ධයෙන් දළ විස්තරයක් දැන ගෙන හිඳීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව දක්වා ඇත්තේ විශිෂ්ටතම මනුෂ්‍ය ධර්මයක් ලෙසය. මේ ලෝකය තුළ මනුෂ්‍යයන් අතර තිබෙන බැඳීම් හැමවිටම ඔවුන් හට ඇති කරවන්නේ දුක සහ කඳුළය. මජ්ජිම නිකායේ, පියජාතික සූත්‍රයෙහි පැහැදිලිවම දක්වන අන්දමට මනුෂ්‍යයන් එකිනෙකා අතර හට ගන්නා ආදරය, බැඳීම, ලෙන්ගතුකම වඩාත් වැඩි වූ තරමට ශෝකය සහ කඳුළ ද වැඩි වෙයි. මේ බැඳීම් දුකයි බව දන්නේ නම්, එයින් මිදීමට අවශ්‍ය බව හැඟේ නම්, ඒ සඳහා බුදු සමය තුළ දක්වා ඇත්තේ අත් හැරීම පුරුදු කිරීමයි. බුදු සමයේ පදනම වන්නේද එයයි. දුක දුරු කර ගත හැක්කේ අත් හැරීම මගිනි. බෝධි සත්වවරුන් බුදු වීම සඳහා පාරමී දම් පිරීමේ දී පළමුව සම්පූර්ණ කරන්නේ දාන පාරමිතාවයි. එසේ පියවරෙන් පියවරෙන් අත් හැරීම තුළින් සියල්ලම අත් හැරීම දක්වා ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන්නට හැකිවේ. පාරමී දම් ගැන කතා කරන විට පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී යනුවෙන් වර්ග තුනකි. නමුත් අප ඒ සියල්ල මෙහිදී සාකච්ඡා කරන්නේ නැත. දානය සම්බන්ධයෙන් බැලීමේ දී තමන්ට දිය හැකි බාහිර කවර දෙයක් වුවද දානය ලෙස දෙමින් ඒ පිළිබඳ අදහස, ඇල්ම නැති කර ගැනීම දාන පාරමිතාව වෙයි. මෙයට ආහාර , ඇඳුම් පැළඳුම් ‍පොත් පත් ගෙවල් දොරවල් මෙකී නොකී ඕනෑම දෙයක් අයත්ය. මෙවැනි දන්දීම් බුදු දහමේ දක්වන්නේ ආමිස දානය ලෙසිනි. මේ හැරුණු විට ධර්ම දානය සහ අභය දානය ලෙසින්ද දානයෙහි තවත් කොටස් දෙකක් වේ. සරලව විස්තර කළොත් ධර්ම දානය යනු ධර්මය කියා දීම, ධර්ම ‍පොත පත ලිවීම ඒවා පිරිනැමීම නරකට යොමුවන කෙනකුට අවවාද දී යහමගට ගැනීම වැනි දෑ දැක්විය හැකිය. අභය දානය යනු භය දුරු කිරීමයි. මරණයට කැප වූ සතුන් , නිදහස් කිරීම වැනි පින්කම් මගින් එම සතා තුළ ඇති වූ මරණ භයෙන් නිදහස් කිරීම අභය දානය පින්කමකි. ඒ සාමාන්‍යයෙන් අප ‍පොදුවේ කතා කරනු ලබන දානයයි. දැන් අපි සාංඝික දානය පිළිබඳව සවිස්තරව විමසා බලමු. බුදු දහමේ දැක්වෙන අට මහා කුසලයෙන් දෙවන කුසලය වන්නේ සාංඝික දානයයි. සාංඝික යනු සංඝයා උදෙසා දෙනු ලබන දානය වේ. සංඝයා යනු අතීතයේ වැඩසිටි, වර්තමානයේ වැඩ වෙසෙන සහ අනාගතයේ වැඩ හිඳින තුන් කාලයටම අයත් සංඝයාය. සාංඝික දානය මෙම ෙතේ‍රකාලික සංඝයා වෙනුවෙන්ම පිරිනමන්නකි. සාංඝික දානයක් පිරිනැමීම කරන්නන් වා‍ලේ කිරීම පලක් නොවේ. ඒ සඳහා කාරණා තුනක් සම්පූර්ණ විය යුතුය. එනම් ශ්‍රද්ධා සම්පත්තිය, චිත්ත සම්පත්තිය සහ දෙස්‍ය ධර්ම සම්පත්තියයි.
  • ශ්‍රද්ධා සම්පත්තිය යනු තෙරුවන් කෙරෙහි අතිශය පැහැදීමෙන් දානය පිරිනැමීමය.
  • චිත්ත සම්පත්තිය යනු සිත පහදා ගෙන දන් දීමයි. එනම් ලෝභ ද්වේෂ මෝහ, යන කරුණු දුරු කරගෙන දන් පිරිනැමීම වේ
  • දෙස්‍ය ධර්ම සම්පත්තිය යනු තමන් විසින් අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන හෝ පැහැර ගැනීමකින් තොරව දැහැමින් දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයකින් දන් දීමය වෙනත් අය කරන පරිත්‍යාග ප්‍රතික්ෂේප කළ යුතු බවක් මෙමගින් අදහස් නොකෙරේ.
මේ හැරුණු විට ප්‍රතිග්‍රාහක සම්පත්තිය එනම් දානය පිළිගන්නා සංඝරත්නය පිළිබඳව සැලකීමේ දී එහි ප්‍රමාණයක් නැත. බොහෝ දෙනකු සිතන්නේ සාංඝික දානයක් පිරිනැමීම සඳහා අඩුම තරමින් උපසම්පදා ලත් සංඝයා වහන්සේලා සිව් නමක් වත් වැඩ සිටිය යුතු බවය. නමුත් එවැනි පිරිසක් අවශ්‍ය වන්නේ භික්ෂූන් වහන්සේලා ගේ විනය කර්මයකට මිස සාංඝික දානයකට නොවේ. සාංඝික දානය යනු භික්ෂූන් හා දායකයා අතර සිදුවන පුණ්‍ය කර්මයකි. ඒ අනුව ඔබට දානය පිළිගැන්විය හැක්කේ එක් සංඝයා වහන්සේ නමකට නම් එයද සාංඝික දානයකි. සියක් නමකට පිරිනැමිය හැකි නම් එයත් සාංඝික දානයම වේ. භික්ෂූන් වහන්සේලා අඩු වූ විට පින අඩුවන්නේ වත්, වැඩි වූ ප්‍රමාණයට සාපේක්ෂව පින වැඩිවන්නේ වත් නැත. එනිසා ඔබගේ නිවසේ පහසුවෙන් අසුන් පිළියෙළ කළ හැක්කේ සංඝයා වහන්සේලා කී නමකටද යන්න මුලින් සිතන්න. ඒ අනුව සංඝයා වහන්සේ ලා වැඩම කරවා පිරිසිදු සිතින් දානය පිරි නැමීම කළ යුතුය. සාංඝික දානයක් පිරි නැමීමේ දී ඔබ සිත පිරිසිදු කර ගත යුතු අවස්ථා තුනක් තිබේ.
  • දානයක් පිරි නැමීම කළ යුතු බවට නිවසේ සාමාජිකයන් සමග එක්ව තීරණය කළ අවස්ථාවේ සිට දානය පිරිනමන අවස්ථාව දක්වා දානය සම්බන්ධ ඔබේ සියලු චේතනා පිරිසිදු විය යුතුය. මෙය හඳුන්වන්නේ පූර්ව චේතනා පිරිසිදු වීම ලෙසිනි
  • දානය පිරිනමන අවස්ථාවේ කිසිදු කලබලයකින් තොරව, සංසුන්ව , සංඝයා වහන්සේලාගේ ගෞරවය රැගෙන ආකාරයට, පිරිසිදු සිතින් සිදු කිරීම දෙවන අවස්ථාවය. මෙය දක්වන්නේ මුඤ්චන චේතනා පිරිසිදු වීම ලෙසිනි.
  • දානය පිරිනැමීමෙන් පසුවද එම පින්කම සම්බන්ධයෙන් කුමන හේතුවකට වත් සිත නරක් කර ගැනීම පසුතැවීම වැනි දෑ නොකළ යුතුය. අපර චේතනා පිරිසිදු වීම ලෙස මෙය දැක්වේ.
\"තුන් සිත පහදා දුන්නොත් දානය - උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය\" යනුවෙන් පැරැන්නන් කීවේ මේ පිළිබඳවය. සාංඝික දානය ඉතාමත් ආනිශංස සම්පන්න පුණ්‍ය කර්මයකි. මේ පිළිබඳව තවත් මෙලෙස පැහැදිලි කිරීමට පුළුවන. ප්‍රජාපතී ගෝතමිය වරක් සිවුරු පිළියෙළ කර ගැනීමට සුදුසු වස්ත්‍රයක් වියාගෙන එය පූජා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියාය. එහිදී ප්‍රජාපතී ගෝතමිය කියා සිටියේ මෙය බුදුරජාණන් වහන්සේ වෙතම පූජා කළ යුතු බවය. නමුත් බුදුරජාණන් වහන්සේ එය පිළිගත්තේ නැත. \"මෙය සංඝයාට පිරි නමන්න. එය බුදුන්ටත් අයිතියි\" යනුවෙන් එහිදී උන්වහන්සේ වදාළහ. ඒ අනුව බුදුරජාණන් වහන්සේට පෞද්ගලිකව යමක් පූජා කරනවාට වඩා එය ‍පොදුවේ සංඝයා වහන්සේ වෙනුවෙන් දෙන විට ආනිශංස වැඩි බව ඔබට පැහැදිලි වනු ඇත. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රජාපතී ගෝතමිය හට දේශනා කරන ලද දක්ඛිණ විභංග සූත්‍රයෙහි දානයක් දිය යුතු ආකාරය සහ එහි ආනිශංස ආදිය පිළිබඳව මැනවින් විස්තර දක්වා ඇත. සාංඝික දාන පිරිනැමීම අපි විවිධ අරමුණු මුල් කරගෙන සිදු කරමු. මළගිය ඥාතීන්ට පින්දීම වැඩි වශයෙන්ම අප සාංඝික දාන පිරිනැමීමේ අරමුණ වේ. මීට අමතරව ඉහත ද සඳහන් කළාක් මෙන් ජීවිතයේ විශේෂ අවස්ථා සඳහා සෙත් පතාද සාංඝික දාන පිරිනමමු. පිරිසිදු චේතනා ඇතිව සංඝයා වහන්සේලා උදෙසා යමක් පූජා කරන විට සංසාරය පුරාම හිමි වන ආනිශංස හතරක් වේ. ඒ ආයුෂ, වර්ණ, සැපය සහ බලයයි. ආයුෂය යනු අකල් මරණයක් හිමි නොවේ. දිගු කලක් ජීවත් වීමට හැකි වීමය. වර්ණ යනු ප්‍රසාදනීය ලෙස ජීවත් වීමට හැකි වීම වේ. සැපය යන්නෙහි අදහස් කරන්නේ නිරෝගී සැපයයි. බලය නම් ඥාන හෙවත් ප්‍රඥා බලයයි. අප පිරිසිදු සිතින් දන් දෙන විට මේවා ඉබේම ලැබෙයි. ඒ මිස මේවා ප්‍රාර්ථනා කරමින් දානය දීම තුළින් දානය දීම යන්නෙහි අර්ථය පටුවෙයි. තවදුරටත් පැහැදිලි කළහොත් දානය යනු අප යම් දෙයකට ඇති ආශාව අතහැර එය පිරිසිදු සිතින් පරිත්‍යාග කිරීමය. එනිසා දානයෙහි පරම කුසලය නිර්වාණය වේ. අප ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන කරා යොමු වීමටය. එනිසා දන් දී ආයුෂ, වර්ණ, සැප, බලය ප්‍රාර්ථනා කරන්නට යාමෙන් දන්දීමේ පරමාර්ථය උසස් වන්නේ නැත. අනෙක් අතට ඔබ දන් දෙන්නේ ඉහත කී පරිදි තුන් සිත පහදවා ගෙන නම් ඔබ අමුතුවෙන් ප්‍රාර්ථනා කළත් නැතත් එකී ආනිශංස ඔබට ඉබේම වනු ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ අංශාධිපති පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණෝ කියති. සාකච්ඡා කළේ - ඉන්දු පෙරේරා උපුටා ගැනීම ලක්බිම පුවත්පත