This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
''කේ සෙරා"" මළවුන් සමඟ ජීවිතය දැකීමක්...
(තිස්ස ප්‍රේමසිරි) කුමන වර්ගයක කලා කෘතියක් හෝ වේවා එහි මූලික ගුණාංගය විය යුත්තේ රසික සහෘදයා ග්‍රහණය කර ගැනීම සඳහා දක්වනු ලබන හැකියාවය. කෘතියක නැවුම් බව ප්‍රධාන සාධකය කර ගනිමින් ඉස්මතු කෙරෙන මෙම ගුණාංගය සිනමා කෘතියක් අරභයා වඩාත් කැපී පෙනෙන්නේ එය ඉදිරිපත් කරන ආකාරය අනුවය. පරාක්‍රම ජයසිංහ නැමැති සිනමාකරුවාගේ කේ සෙරා චිත්‍රපටය දැන් තිරගත වෙන්නේ සිංහල චිත්‍රපට ප්‍රේක්ෂකයා අරභයා මතු කියමන යම් පමණකින් සනාථ කරවමිනි. සරලව කියන්නේ නම් කේ සෙරා චිත්‍රපටය අපට ඉදිරිපත් කෙරෙන්නේ අප හැම විටම සිංහල රිදී තිරයේ දකින සුලභ සිංහල චිත්‍රපට ධාරාවේ නිර්මාණයකට වඩා වෙනස් ආකාරයකිනි. එම වෙනසට මූලික හේතුව වී තිබෙන්නේ මෙය සාම්ප්‍රදායික සටන්, ගැටුම් සහ විහිළු තහළුවලින් සපිරි කොල්ලා කෙල්ල කතා පුවත සහිත චිත්‍රපට ධාරාවෙන් ඉඳුරාම වෙනස් වූවක් වන හෙයිනි. ඉන් කියවෙන්නේ මෙරට ගරා වැටුණු වලව් පැළැන්තියකට අයත් යැයි පෙනෙන ඉහළ මධ්‍යම පන්තියේ සුරූපී තරුණියක් තම පවුලට අයත් ඇද වැටුණු ව්‍යාපාරය නැවත නගා සිටුවීමට ගන්නා උත්සාහයයි. දෙවනුව මෙහි පෙනෙන්නට ඇති කැපී පෙනෙන විශේෂත්වය වන්නේ ඒ සිදුවීම් සමූහය ඉදිරිපත් කරනු පිණිස අධ්‍යක්ෂවරයා විසින් භාවිතා කරනු ලබන රීතියයි. ඔහු ඒ සඳහා මහා පරිමාණයේ ආකෘතිමය වෙනසක් භාවිතා නොකළද ස්වකීය සිනමා පටය ඉදිරිපත් කරන්නේ ස්වභාවිකත්වයෙන් ඔබ්බට යමිනි. එය යම් විටක එක්තරා දුරකට විකාර රූපී ෙශෙලියක් ඇති කරමින්ද, බොහෝ තන්හි මිනිස් දිවි පවෛතේ හරසුන් ස්වභාවය අරභයා හාස්‍යයක් ජනිත කරවමින්ද අප ඉදිරියේ ප්‍රක්ෂේපණය වෙයි. චිත්‍රපටයට නැවුම් ස්වභාවයක් ඇති කිරීමට එයද හේතුවක් වෙයි. මෙහි දක්නට ලැබෙන ධනපති පවු‍ලේ යුරෝපීය පන්නයට හැදී වැඩුණු සුරූපී තරුණිය සිය ජීවිතය ගොඩ නගන්නේ මළවුන් පිහිට කොට ගනිමිනි. ඇයගේ ව්‍යාපාරය වන්නේ සිය මුතුන් මිත්තන් විසින් පවත්වාගෙන එන අවමංගල්‍ය කටයුතු අධ්‍යක්ෂණ සේවා ව්‍යාපාරයකි. කේ සෙරා චිත්‍රපටය ඉදිරියට ඇදී යන්නේ මෙම තරුණිය ස්වකීය ව්‍යාපාරය ඉදිරියට රැගෙන යාමට ගන්නා උත්සාහයත් ඒ අතර තුර ඇය විසින් මුහුණ දෙනු ලබන අපූර්ව සිදුවීම් මාලාවකුත් මුල් කර ගනිමිනි. අපේ සිංහල චිත්‍රපට ධාරාවට බොහෝ විට ගෝචර නොවන්නාවූත්, අන්තර්ගතය පැත්තෙන් ගත් කල ‍පොදු ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණයෙන් බොහෝ දුරස්ථ වූත් මෙවැනි කෘතියක් මුල සිට අග දක්වාම ප්‍රේක්ෂකයාව ග්‍රහණය කර ගත හැකි ආකාරයෙන් ඉදිරිපත් කිරීම පරාක්‍රම ජයසිංහගේ මූලික හපන්කම වී තිබේ. නමුත් ඔහු ඒ හපන්කම කරනු ලබන්නේ මෙම සිනමා කෘතියේ ප්‍රධාන චරිතය ලෙස අප රිදී තිරයේ හෝ රූපවාහිනියේ නිරන්තර දැක හුරුපුරුදු ජනප්‍රිය නළු නිළියන් තෝරා ගැනීමෙන් නොවේ. එසේ වුවද සිනමා කෘතිය ගොඩනැගීම පිණිස අවශ්‍යව ඇත්තේ රංගන ප්‍රතිභාවය විනා ජනප්‍රියත්වය නොවන බව මැනවින් පෙන්වා දෙන්නට ප්‍රධාන චරිත නිරූපණයන්හි යෙදෙන නළු නිළියෝ මැනවින් සමත්ව ඇත්තාහ. ස්වකීය ප්‍රකාශනය උදෙසා අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ ඔවුන්ගේ හැකියාවන්ගෙන් මැනවින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව පෙනේ. ප්‍රධාන චරිත රඟන හාන්ස් බිලිමෝරියා, යොෂිනී අබේසේකර සහ මිෂෙල් හර්ෆට් හැරුණු කළ ඩබ්ලිව්. ජයසිරි, සැන්ඩෝ හැරිස් ආදී සෙසු නළු නිළියන් මෙන්ම ඉතා සුළු චරිත නිරූපණයක යෙදෙන දමිත් ෆොන්සේකාද විශිෂ්ටය. අනෙක් පැත්තෙන් බලන කල මෙවැනි වෙනස් මගක දැකීමක් ඉදිරිපත් කිරීම සඳහා අලුත් මුහුණු ඉදිරිපත් කිරීමේ ඵලදායිතාවයද අධ්‍යක්ෂවරයා විසින් අත්පත් කරගෙන තිබේ. මන්දයත් අලුත් අත්දැකීමක් අළුත් මුහුණු තුළින් වඩාත් තීව්‍ර ලෙස ප්‍රතිනිර්මාණය කළ හැකි වන බැවිනි. මධ්‍යම රාත්‍රියේ කුලී රථවලින් පැමිණෙන සුරූපී තරුණියගේ හොල්මනද ඇය විසින් අවමංගල්‍ය ව්‍යාපාරයට එරෙහිව ගෙන යන අරගලයද, මහ රෑ සුඛෝපභෝගී මෝටර් රථයකින් කනත්තට පැමිණ මළවුන්ගේ ගීතිකාවලට සවන් දෙන තරුණ කාන්තාවද ආදී වශයෙන් අද්භූත චරිත සහ සිදුවීම් චිත්‍රපටය තුළ බහුලය. නමුත් සමස්ත ප්‍රකාශනය දෙස බලන කල පෙනී යන්නේ අධ්‍යක්ෂවරයාට ඇත්තේ ඒ තුළින් අද්භූත රසයක් හෝ වෙනත් ගුප්ත රසයක් ජනිත කරවීමේ උවමනාවක් නොවන බවය. ඔහුගේ මූලික උවමනාව වී ඇත්තේ මළවුන්ගේ ලෝකය පදනම් කර ගනිමින් මිනිසුන් සහ ගැහැනුන්ගේ ජීවිත අපේක්ෂාවන් ගැන යම් විවරණයක යෙදීමය. කුණුවෙන්නට නියමිතව ඇති මළ සිරුරුවලට ඉහළම භෞතික වටිනාකමක් දී හැකිතාක් මුදල් ඉපයීමේ යෙදෙන සෙරාත්, තමාගේ ආත්මයට රිදුම් දෙන අධ්‍යාත්මික ගැටලුවක් විසඳා ගැනීම පිණිස ගන්ධබ්බ අවධියේ සැරිසරන තරුණියගේ භූතාත්මයත් කලාකරුවාගේ ප්‍රකාශනයෙහි නියෝජිතයින් අපට සිතේ. දැන් මේ සටහනෙහි අප මුලින් සඳහන් කළ ආකාරයට අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහ ස්වකීය ප්‍රකාශනය උදෙසා නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක නිරතව සිටී. ප්‍රධාන නළු නිළි දෙපළ මෙන්ම සෙසු සියලු නළු නිළියන් රංගනය තුළින්ද කැමරා අධ්‍යක්ෂණය, සංගීතය, සංස්කරණය, අංග රචනය සහ කලා අධ්‍යක්ෂණය ආදී සෙසු අංගෝපාංගයන්ගෙන්ද අඩුපාඩුවක් නොපෙන්වන්නට කේ සෙරා චිත්‍රපටය වග බලාගෙන තිබේ. නමුත් ඇතැම් තන්හි අප දකින්නේ මෙහි තිර රචනය පරාක්‍රමගේ අධ්‍යක්ෂණය තරම් සියුම් ස්වභාවයකට පත්වී නොමැති බවය. කට්ටඩියා වැනි චරිත අභව්‍ය නොවූවද ඔහුගේ තොවිලය මෙම චිත්‍රපටයට අයත් ආඛ්‍යාන ෙශෙලියෙන් පිට පනින්නකි. එය හුදු විකට ජවනිකාවක තත්ත්වයට පත්වීම නිසා චිත්‍රපටයට ඇතිවන කඩතොළු වීම සුළු පටු නොවේ. මෙම තිර රචනයෙහි ඇති අනෙක් දුබලතාවය වන්නේ මෙහි ප්‍රධාන චරිතයක් වන භූතාත්මයේ භූමිකාව නිසි පරිදි ගොඩ නැගී නොමැතිකමය. තමාට නිරාකරණය කර ගත යුතු විශාල ගැටලුවක් ඇතිබව වරින් වර ඇය වෙතින් පැවැසුණද, ගොඩනගන කුතුහලයට සාපේක්ෂව මහා ගැටලුවක් ඇය තුළ ඇති බවක් අපට නොපෙනේ. එමෙන්ම ඇයගේ චරිතය ගීත ගායනයට මෙතරම් ලැදිකමක් දක්වන්නේ ඇයිද යන්නද ප්‍රේක්ෂකයා තුළ ප්‍රශ්නයක් ගොඩ නගන්නට හේතු වෙයි. නමුත් මළවුන්ගේ ලෝකය කේන්ද්‍ර කර ගනිමින් ජීවත්වන්නවුන්ගේ ලෝකයේ භෞතික අරගලයද සරලව මෙහි අධ්‍යාත්මික අරගලයද ගැන කෙරෙන මෙම සෞන්දර්යාත්මක විවරණය සමස්ත ධාවන කාලය පුරා රස විඳින්නට තිර රචනයේ වූ ඒ අවුල බාධාවක් නොවේ. නමුත් අප සිනමා පටය නරඹා ශාලාවෙන් පිටවන්නේ එහි දුටු ජීවන විවරණය ගැන අපැහැදිලි හැඟීමකින් නම් අධ්‍යක්ෂවරයාගේ කටයුත්ත ගැන අපට ගැටලුවක් ඇති වීම නොවැළැක්විය හැකි දෙයකි. අධ්‍යක්ෂ පරාක්‍රම ජයසිංහගේ කේ සෙරාද අප තුළ එවන් හැඟීමක් ජනිත කරවන බව ඇත්තය. නමුත් එය සිනමා හලෙන් පිටතට ආ සැණෙන් අමතක නොකළ හැක්කක් බවට පත් කරන්නට සිනමාකරුවා විසින් ගෙන ඇති උත්සාහය මතකයේ රඳවන සිනමා පටයකි. උපුටා ගැනීම ලක්බිම