🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රිතික්ට ළංවූ නර්ගීස්

සුපිරි තරුවක් නොවුණ ද, උදේ චොප්රා බොලිවුඩ් සිනමා රසික පිරිවර අතර බෙහෙවින් ජනප්‍රියයි. සිනමා රංගනයේදී ඔහු වෙතින් මතුවන හාස්‍ය රසය මේ ජනප්‍රියත්වයට වඩාත්ම හේතු වී තිබෙනවා. නිතරම මුව'ගට සිනහවක් නංවාගෙන සිටින මේ යොවුන් සිනමා තරුව, බොලිවුඩයේ සුරූපී නිළියක සමඟ පෙම්දමක පැටලී සිටින වග දැන් නම් රහසක් නොවෙයි. උදේ ගේ ප්‍රේමණීය හදවතට සමීප ව සිටින්නේ නර්ගීස් ෆාක්රි. කිසිඳු බාධාවකින් තොරව ගලාගෙන ගිය උදේ - නර්ගීස් පෙම් කතාව හදිසියේම නතර වුණේ මීට මාස කිහිපයකට කලින්. ඒත් එය තාවකාලික විරාමයක් විතරයි. මාස දෙක තුනක් අමනාපව සිටි මේ දෙදෙනා මෑතකදී යළි හමුවුණා. පැරැණි පෙම යළිදු අලුත් වුණා. එලෙස දෙවැනි වතාවට දලුලා වැඩුණු ආදරය ගැන අලුත් ආරංචි පැතිරී ගියේ නැහැ. දෙදෙනා කාලය ගත කළේ බොහොම නිහඬවයි. මෙලෙස දින ගණන් ගතවෙද්දී හදිසියේම මුම්බායි නුවර එලිප්සිස් නම්වූ සුපිරි අවන්හලට එක්තරා සන්ධ්‍යාවකදී නර්ගීස්, සුපිරි නළු රිතික් රෝෂන් සමඟ ගොඩ වුණා. ඉතාම සැහැල්ලුවෙන් සිනාසෙමින් පැමිණි රිතික් සහ නර්ගීස් මේසයක් සමීපයෙහි පුටු දෙකක වාඩි වුණා. අවන්හලේ රැඳී සිටි කවුරුත් ඔවුන් දෙදෙනාගේ කෙළිලොල් හැසිරීම දෙස පුදුමයෙන් බලා සිටියා. මඳ වේලාවකින් තවත් කෙනෙකු එතැනට පැමිණියා. ඔහු තමයි, උදේ චොප්රා. මේ තුන් දෙනාම එකට වාඩිවී රාත්‍රී ආහාරය ගන්නා අයුරු දකින්න ලැබුණා. මෙ දෙස විමසුම් ඇසින් බලා සිටි අයෙකු ඉන්දීය මාධ්‍යයකට පවසා තිබුණේ නර්ගීස්, තම පෙම්වතා වන උදේට වඩා සමීපව සිටියේ රිතික් වෙතට බවයි. රිතික් ද ඉතාම උනන්දුවෙන් නර්ගීස් සමඟ විහිළු තහළු කරමින් රාත්‍රී ආහාරය භුක්ති වින්ද බවයි එම තැනැත්තා පවසා තිබුණේ. ඔහු තවදුරටත් කියා තිබුණේ රිතික් සහ නර්ගීස්ගේ කතා විලාසයෙන් ඒත්තු යන්නේ. මතු දිනයකදී ‘විශේෂ දෙයක්’ සිදුවන්නට පවා ඉඩ ඇති බවයි. සැබැවින්ම එවැන්නක් සිදුවිය හැකි ද? රිතික්ගේ හොඳම මිතුරකු තමයි, උදේ. ඉතින්, රිතික් තම හොඳම මිතුරාගේ හිත රිදෙන තීරණයකට එළඹේවිදැයි කියන්නට අපහසුයි. මේ සිදුවීමෙන් පසු දිනයකදී රිතික්, ඉන්දීය පුවත්පතක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ මේ වන විට තනිකඩව වෙසෙන තමන් සෙනෙහෙබර ඇසුරක් ප්‍රාර්ථනා කරන බවයි. මේ කතාවේ උණුසුම මැකී යන්නත් කලින් ඩුබායි නුවර දී රිතික්ට හොලිවුඩ් පුරයේ සුපිරි නිළියක මුණ ගැසුණා. ඩුබායි නුවර අලුත්ම සාප්පු සංකීර්ණයක් විවෘත කිරීමේ අවස්ථාවකදී ඔහුට මුණගැසුණු ඇය තමයි, පැරිස් හිල්ටන්. ඇය එහි සිටි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට කියා තිබුණේ තමන් රිතික් සමඟ කලින් දින රාත්‍රියේ වීථි සංචාරය කරමින් සිටි බවයි.

ආඩම්බරකාරිය නිරහංකාර වෙලා

ආඩම්බරකාරියක් හැටියට ඇයව බොහෝ දෙනා දුටුවෙ. ඒත් දැන්නම් ඇගෙන් ඒ ගති ටිකින් ටික ඈත්වෙලා. ශ්‍රද්ධා කපූර් නම් වූ මේ රුවැත්තිය වෙතින් දැන් දැන් දකින්නට ලැබෙන්නේ උඩඟු ගති නම් නොවේ. නිරහංකාර බවක්, වෘත්තිය නිළියක ලෙස කැපවීමෙන් වැඩ කරන්නට දැන් ඇය පැකිළෙන්නේ නැහැ. පසුගිය දා පැවැත්වූ එක්තරා සම්මාන උලෙළකදී ඇගේ ඒ ගුණාංගය හොඳින් ඉස්මතු වුණා. සම්මාන උලෙළ විචිත්‍රවත් කළ එක්තරා නර්තන රංගනයක් ඉදිරිපත් කරන්න ශ්‍රද්ධාට පැවරි තිබුණා. මේ වෙනුවෙන් හොඳින් පෙර පුහුණුවීම් කළ ඇයට සිදුවුණේ ලොකු අකරතැබ්බයක්. සම්මාන උලෙළ පැවැත්වෙන දිනයේ දී ඇගේ පාදයක් යම් කිසිවකට තුවාල වුණා. මේ නිසා ඇය සිටියේ තුවාලයේ වේදනාව දරාගෙනයි. ඒත් තමන්ට නියමිත නර්තනය කෙසේ හෝ ඉදිරිපත් කරන්නට ශ්‍රද්ධා අදිටන් කරගත්තා. සම්මාන උලෙළට පැමිණි ඇය තමන්ට නියමිත වූ නර්තනය කිසිඳු අපහසුවක් හෝ වේදනාවක් හෝ නොපෙන්වා වේදිකාව මත නිරූපණය කළා. ශ්‍රද්ධාගේ පාදයේ තුවාලය ගැන කවුරු කවුරුත් දැන ගත්තේ සම්මාන උලෙළ නිමාවට පත්වීමෙන් පසුවයි. මේ අතර ශ්‍රද්ධා ගැන අලුත් ආරංචියක් අහන්න ලැබුණා. ඒ, ඇය පසුගිය දා පළමුවරට අලුත්ම මෝටර් රථයක් මිලට ගෙන ඇති බවයි. මීට කලින් ඇය පාවිච්චි කළේ තම පියා - (ජනප්‍රිය නළු ශක්ති කපූර්) විසින් තෑගි කරන ලද මෝටර් රථයයි. දැන් ඇයට, ඇගේම මුදලින් මෝටර් රථයක් මිලදී ගන්නට හැකිවෙලා. පසුගිය සතියේ ඇය මේ මෝටර් රථයේ පියා, මව සහ පවුලේ අය නංවාගෙන චාරිකාවක් ගිය බවයි ආරංචි. ‘ශ්‍රී දේවි'ට ශ්‍රීදේවි නඩු කියයි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ රාම් ගෝපාල් වර්මා ගේ අලුත්ම චිත්‍රපටය, හඳුන්වා දෙන්නේ කුමන නමකින්දැයි දැන් ප්‍රශ්නයක් මතුවෙලා. මේ චිත්‍රපටය රූපගත කරද්දී එය ‘සාවිත්‍රි’ යනුවෙන් නම්කර තිබුණා. ඒත් මේ චිත්‍රපට‍ය ළඟදීම තිරගත කරන්නට ආසන්න වෙද්දී එහි නම වෙනස් කරලා. දැන් එය නම්කර ඇත්තේ ‘ශ්‍රී දේවි’ යනුවෙන්. රාම් ගෝපාල් වර්මා මේ අයුරින් තම චිත්‍රපටයේ නම වෙනස් කිරීම ගැන කෝපයට පත්ව සිටින සුපිරි නිළියක් සිටිනවා. ඇය තමයි ශ්‍රීදේවි. තමන්ගේ කිසිඳු විමසීමකින් හෝ එකඟත්වයකින් තොරව ‘ශ්‍රීදේවි’ යනුවෙන් මේ චිත්‍රපටය නම් කිරීමට එරෙහිව ඇය නඩු මඟට පිවිසිලා. මේ සඳහා ඇගේ සැමියා වන චිත්‍රපට නිෂ්පාදක බොනී කපූර්ගේ සහායත් ලැබී තිබෙනවා. චිත්‍රපටයක් වෙනුවෙන් ‘ශ්‍රීදේවි’ යන නම යොදා ගැනීම එතරම් වරදක් වන්නේ කොහොම ද? ශ්‍රීදේවි ඇයි, රාම් ගෝපාල්ට එරෙහිව නඩු පැවරුවේ? චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රීදේවිගේ තරුණ කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලට සමාන යැයි සමහරු ප්‍රකාශ කරනවා. තරුණ කාන්තාවක පිළිබඳ සිත් ඇතිකර ගන්නා කොලු ගැටයෙකු ගැන කතාවක් මේ චිත්‍රපටයට පාදක වී ඇතැයි පැවසෙනවා. සමහරු පවසන්නේ මේ තරුණ කාන්තාවගෙන් මතු වන්නේ ශ්‍රීදේවි බවයි. කොලු ගැටයා තුළින් නියෝජනය වන්නේ එවක ගැටවර වියෙහි සිටි රාම් ගෝපාල් වර්මා යයි ද ඔවුන් අනුමාන කරනවා. මේ අදහස් ගැන කතා කළ රාම් ගෝපාල් කීවේ තමන් ලද අත්දැකීමක් මේ චිත්‍රපටයට පාදක කරගත් බවයි. මම ඉස්කෝලෙ යන කාලෙදි ඔය දේවල් සිද්ධ වුණේ. ඇගේ නම සරස්වතී. මේ චිත්‍රපටයේ සාවිත්‍රි හැටියට ඉන්නෙ ඇයයි. හැබැයි ඇය ශ්‍රීදේවි නෙවෙයි. සාවිත්‍රි නමින් තවත් චිත්‍රපටයක් නිර්මාණ වෙලා තිබුණ එහි නිෂ්පාදකවරයා මගේ චිත්‍රපටය සාවිත්‍රී නමින් හඳුන්වනවාට විරුද්ධ වුණා. ඒ නිසයි මම ශ්‍රීදේවි කියල නම දැම්මෙ. ප්‍රවීණ නිළි ශ්‍රීදේවිට කවදත් මම ගරු කරනවා. එයා මට විරුද්ධව නඩු දැම්මේ වෙනත් අයගේ ඉගැන්නුම් බස්වලට රැවටිලා. මම එයාට විරුද්ධව මොනවත් කරන්නෙ නෑ. චිත්‍රපටය තිරගත වුණාට පස්සෙ කාටත් ඇත්ත තේරුම් යාවි. රාම් ගෝපාල් එලෙස පවසා සිටියා. මේ අතර මෙම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය වූ පෝස්ටරයක ඡායාරූපය පිළිබඳව ඉන්දියාවේ රාජ්‍ය ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමිසම දැඩි විරෝධයක් එල්ල කර තිබෙනවා. උපුටා ගැනීම සිළුමිණ