🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

ප්‍රීති සින්ටා හා හිටපු පෙම්වතා අතර ආරවුලේ ඇත්තම කතාව.....

පසුගිය දිනවල බොලිවුඩය පුරා වේගයෙන් පැතිරගියේ ප්‍රීති සින්ටා තමාට අතවර කිරීමේ චෝදනාව මත හිටපු පෙම්වතා වන නෙස් වාඩියාට විරුද්ධව ‍පොලීසියේ පැමිණිල්ලක් කිරීමේ පුවතයි. මාධ්‍යවලින්ද ලොකු ප්‍රචාරයක් ලැබුණු මේ කතාව පැහැදිලි කරමින් ප්‍රීති කියා තිබුණේ කිසිවෙකුටත් ප්‍රශ්නයක් ඇතිකිරීමේ අරමුණින් නොව තම ආරක්ෂාව පතා මෙසේ පැමිණිලි කළ බවයි. “එයා නඩු දාන්න පුඵවන් ඕනෙම දේකට නඩු දායි. කොහෙහරි යනවා මගදි මුණගැහිලා කොහෙද යන්නෙ කියලා ප්‍රීතිගෙන් ඇහුවොත් කියන්නෙ නඩුවක් දාන්න උසාවි යනවා කියලයි.” වරක් විහිළුවට සිනාසෙමින් සුපිරි නළු හා ප්‍රීතිගේ හිතවතෙකු වන ෂාරුක් ඛාන් පවසා තිබුනා. හමුදා පවුලක උපත ලැබු ප්‍රීතිට කුඩා කාලයේ සිටම අසාධාරණය හා වැරදි වැඩ පෙන්නන්න බැරි බවයි ඇගේ හිතවතුන් කියන්නේ.කලක් ඉතා ජනප්‍රිය නිළියකව සිටි ප්‍රීති සින්ටා දැන් සිනමාවේ පෙනෙන්නට නැහැ. ඇය නිෂ්පාදනය කළ ඉෂ්ක් ඉන් පැරිස් චිත්‍රපටයත් සාර්ථක නොවූ අතර පසුගිය කාලයේ ඇය වසර පහක් පෙම් බැඳි නෙස් වාඩියා සමග එකතුව කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් ක්‍රිකට් කණ්ඩායම මිලයට ගත්තා. පසුගිය අයි.පී.එල්. අවසන් තරගයේදී ඇගේ කණ්ඩායම ෂාරුක්ගේ කොල්කොතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පැරදුනා. සුප්‍රකට බොම්බෙ ඩයින් ව්‍යාපාරයේ හිමිකරු වන නුස්ලි වාඩියාගේ පුත් නෙස් වාඩියා සමග ප්‍රීතිගේ පෙම් සබඳතාවය බිඳී යාමට ප්‍රධාන හේතුව ඔහුගේ මව වන මොරීන් වාඩියා බවයි කියැවෙන්නේ. නිදහස් හා ස්වාධීන ගති ඇති ප්‍රීතිගේ ස්වභාවය තම පවු‍ලේ ‍ලේලිය වීමට ඇයට ඇති නුසුදුසුකමක් බව මොරීන් වාඩියා කල්පනා කළ බව කියැවෙනවා. කොහොම වුණත් ප්‍රීති වගේම නෙස් ද තවම අවිවාහකයි. ප්‍රීති ඔහුට විරුද්ධව පැමිණිලි කළේ පසුගියදා අයි.පී.එල්. තරගාවලිය පැවති වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඔහු තම අතින් ඇද පරුෂ වචනයෙන් බැණවැදීම ගැන කියමින්. මෙහිදී අවශ්‍යනම් තමාව අතුරුදන් කරවීමට හෝ හැකි බවට නෙස් තර්ජනය කළ බවත් ප්‍රීති කියනවා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් නෙස් කියන්නේ තමාට විරුද්ධව ප්‍රීති නගන චෝදනාවල කිසිදු පදනමක් නැති බවයි. නෙස් වාඩියා පාකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නාගේ මී මුණුපුරා බවත් මෙහිදී සිහිපත් කළ යුතුයි. ජින්නාගේ එකම දියණිය ඩිනා විවාහ වුණේ නෙස්ගේ පියාගේ පියා වන නෙවිල් වාඩියා සමගයි. මේ සම්බන්ධයෙන් ‍පොලීසිය ප්‍රීතිට දන්වා ඇත්තේ දැනට ලිඛිතව කර ඇති ඇගේ පැමිණිල්ල පටිගත කරගැනීම සදහා ‍පොලීසියට පැමිණෙන ලෙසයි. දැන් වාර්තා වන ආකාරයට නෙස් හා ප්‍රීති අතර ආරවුල සියලුදෙනා ඉදිරිපිට ඇතිවී තිබෙන්නේ වන්කඩේ ක්‍රීඩාංගණයේ ඉදිරිපස අසුන් සදහා ඇතිවූ වාදයක් හේතුවෙන්. මෙහිදී ප්‍රීති හා ක්‍රීකට් ක්‍රීඩක ඩේවිඩ් මිලර්ගේ පවු‍ලේ උදවිය සදහා වෙන්කරගෙන තිබුණු ඉදිරිපස අසුන් පේළිය තම මව හා පවු‍ලේ උදවියට ලබාදෙන ලෙස නෙස් ඉල්ලා තිබෙනවා. එයට ප්‍රීති අකමැතිවීම නිසයි එය ආරවුලක් දක්වා දුරගොස් තිබෙන්නේ.මැයි තිස්වැනිදා උදෑසන තරගය නැරඹීමට නෙස් තම පවු‍ලේ අය සමග පැමිණෙන විට ප්‍රීති තම කණ්ඩායමට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු ක්‍රීඩක මිලර්ගේ පවු‍ලේ උදවිය සමග ඉදිරිපස අසුන්වල සිටි අතර එම අසුන් තම පවු‍ලේ අයට දෙනමෙන් නෙස් ඉල්ලා තිබෙනවා. ප්‍රිති මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නෙස් අධික ලෙස කෝපයට පත්ව ඇති අතර දෙදෙනා දැඩි ලෙස බැණගෙන තිබෙනවා. මේ සිදුවීමෙන් පසු තරගය අවසානයේ දෙදෙනා ක්‍රීඩාංගණයෙන් පිටව ගොස් ඇත්තේත් එකිනෙකාට අපහාස කරමිනුයි. පසුව ප්‍රීති දෑසේ කදුඵ පුරවාගෙන අයි.පී.එල්. ප්‍රධානියා වෙත මේ සම්බන්ධයෙන් නොනිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඇය ‍පොලිස් පැමිණිල්ල දමා ඇත්තේ ඉන් පසුවයි. ‍පොලීසිය මේ අනුව අයි.පී.එල්. බලධාරීන්ගෙන්ද තොරතුරු විමසා තිබෙනවා. මේ පැමිණිල්ල කාන්තාවකට හිංසා කිරීම යටතේ ‍පොලීසිය සටහන් කරගෙන තිබෙනවාලු. මේ අතර අදාළ සිදුවීම වූ තැන තිබූ සී.සී.ටී.වී. කැමරාවලින්ද තොරතුරු සොයාගැනීමට ‍පොලීසිය ක්‍රියාකරගෙන යනවා. කෙසේ වුණත් දැනට ඇමෙරිකාවට ගොස් සිටින ප්‍රීති නැවත පැමිණි වහාම ඇගෙන් වැඩිදුර විස්තර අසාගැනීමට බලා‍පොරොත්තු වන බවත්. සී.සී.ටී.වී. කැමරාවල දැනට පරික්ෂා කළ කොටස්වලට අනුව නෙස් හා ඇය කතාකරමින් සිටිනවාට වැඩි යමක් ඉන් නොපෙන්වන බවත් ‍පොලීසිය කියනවා. මේ වනවිට ප්‍රීති සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි දීමට මුම්බායේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ නම් ලබාදී ඇති බවත් කියැවෙනවා. ඊට අමතරව ක්‍රිඩාංගණයේ සේවකයන්ගෙන්ද කටඋත්තර ලබාගැනීමට ‍පොලීසිය බලා‍පොරොත්තු වන අතර මේ වනවිට ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටි තිස්දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අයි.පී.ල්. බලධාරීන් විසින් ‍පොලීසියට ලබාදී තිබෙනවාලු. උපුටා ගැනීම ලක්බිම