🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

රඟපාලා සල්ලි ඉල්ලද්දි නැති ප්‍රශ්න…

රඟපාලා සල්ලි ඉල්ලද්දි නැති ප්‍රශ්න…

වේදිකාවේ, පුංචි තිරයේ, සිනමාවේ චරිත සඳහා ජන ජීවිතයේ අප නෙත ගැටෙන සැබෑම චරිත ජීවමාන කරන්නට සුවිශේෂ හැකියාවක් ඇති ඔහු තුසිත ලක්නාත්. ඔහුගේ රංගනයන් අපට මේ දිනවල ‘සකර්ම’ ටෙලිනාට්‍ය ඔස්සේ දැකගන්නට ලැබෙනවා. මෙවැනි චරිතවලට පණ පොවන්නට කැපවෙන ශිල්පීන්ට අපේ රටේ අද සිදුවෙලා තියෙන්නේ උඩුගං බලා පිහිනනවා වැනි තත්ත්වයකට මුහුණ දෙන්නටයි. තුසිත සමග අපි කළ කතාබහේදී ඒ ගැනත් කතා කරන්නට අමතක කළේ නෑ.

තුසිත, කොහොමද ඉතින්?

ගැටලුවක් නෑ. හෙමිහිට වැඩ කරගෙන යනවා.

කොරෝනා අවදානම හැම තැනම තියෙනවා. ඒ අතරතුරත් ඔබ රූගතකිරීම්වලට සම්බන්ධ වෙනවද?

මේ දවස්වල මම අලුත් නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධ වුණේ නැහැ. මොකද අපේ ආරක්ෂාව ගැනත් අපි හිතන්න ඕනෙ. අපට මොනව හරි වුණොත් කවුරුවත් වගකියන්නෙ නැහැ. අනෙක මගේ උපාධියේ අධ්‍යයන කටයුතු වගේම රැකියාවත් කරගෙන යනවා. ඒ සඳහා මම මූලිකත්වය දීලා තියෙන්නෙ මේ දවස්වල.

‘කිරි පුතා’ ගැන ඔබට මොකද හිතෙන්නේ?

‘සකර්ම’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන ‘කිරපුතා’ චරිතය මට ලොකු වෙනසක් දැනුණා. දේශීය, විදේශීය ප්‍රේක්ෂක පිරිසගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා හිතුවටත් වැඩිය.

‘සකර්ම’ ටෙලිනාට්‍ය නිර්මාණය වෙන්නේ ‘පරඬැල්’ නවකතාව ඇසුරෙන්. ඉතින් ඔබ ඒ නවකතාවට සාධාරණයක් කළා කියලා හිතනවද?

ඇත්තටම මට ප්‍රසන්න අයියා කිව්වා නවකතාව කියවන්න එපා කියලා. ඉතින් මට තවම ‘පරඬැල්’ නවකතාව රසවිඳින්න බැරි වුණා. ටෙලිනාට්‍ය අවසන් වුණාම මම නවකතාව කියවන්න තමයි හිතාගෙන ඉන්නේ. මම උත්සාහ කළේ තිර පිටපතේ මට දැනුණු කිරි පුතාට සාධාරණයක් කරන්නයි. මම හිතනවා මම ගත්ත උත්සාහය සාර්ථක ඇති කියලා. කිරි පුතා වැනි චරිත අද සමාජයේ ඕනෑ තරම් ඇති කියලත් මම හිතනවා.

ඔබ රංගනයෙන් දායක වුණු බහුතරයක් නිර්මාණ සම්භාව්‍ය නිර්මාණ කියලා හිතනවද?

සමාජයට හොඳ පණිවුඩයක් දෙන හොඳ ගුණාත්මක නිර්මාණවල සුවිශේෂ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා. ඒ මගේ වාසනාවට කියලා මම හිතන්නේ. ඒ අතරතුර මම මෙගා ටෙලිනාට්‍යවලත් රඟපානවා. ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යයට මම අවුරුදු පහක ඉඳලා සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා.

ගුණාත්මක නිර්මාණ සඳහා ඔබ කැපවී වැඩ කළාට ඊට සරිලන ඇගයීමක් ලැබිලා නැහැ නේද?

එතැන තමයි ප්‍රශ්නය. අපේ කැපවීමට අපට සාධාරණයක් නැහැ. නිෂ්පාදන කටයුතුවල ප්‍රශ්න මතු වුණත් ඒ දේවල් පිටවෙන්නේ එහි රඟපාන ශිල්පීන් මතට. ඇයි ඒ ප්‍රශ්න කලින් සැලසුම් කරගෙන කරන්න බැරි? ඒ කිසිම ප්‍රශ්නයක් අපට අදාළ නැහැ. අපි වෘත්තිය විදියට කරන්නේ රඟපෑම. ඉතින් ඒ සඳහා නිසි වටිනාකමක් නොලැබුණාම හිතට දුකයි. අවසානයේ මුදල් ඉල්ලන්න ගියාම නැති ප්‍රශ්න. හැබැයි ඔය ප්‍රශ්න මෙගා ටෙලිනාට්‍යවල නැහැ.‌ මොකද දවසේ පඩියට වැඩ කරන නිසා. අපට කිසි ප්‍රශ්නයක් නැතුව දවසේ මුදල ගෙවනවා. ගුණාත්මක නිර්මාණයක් සඳහා අපිත් හොඳට මහන්සි වෙලා වැඩ කරන්නේ අපටත් ඒ නිර්මාණයේ වටිනාකමක් දැනෙන නිසයි.

ඔබ වඩාත් සැලකිල්ලක් දක්වන්නේ මුදල්ද? එහෙමත් නැත්නම් නිර්මාණයද?

මෙහෙමයි, ලංකාවේ අපට එහෙම තෝරා බේරාගෙන නිර්මාණ කරන්න බැහැ. අපි වෘත්තීය රංගන ශිල්පීන් ලෙස කටයුතු නරන නිසා අපි හිතන්නේ මුදල ගැන. අපි ජීවත්වෙන්නේ මේ මුදලෙන්. අපට වෙන කිසිම ආදායමක් නැහැ. මම හිතන්නේ මුදල ගැනයි. මොකද මට පවුලක් ඉන්නවා. මට දරුවන් ඉන්නවා. ඔවුන් ජීවත් කරන්න තමයි මම මේ මහන්සි වෙන්නේ.

ලංකාවේ නිර්මාණ කලාවට පනතක් තිබුණා නම් මේ කිසි ප්‍රශ්නයක් නැහැ නේද?

එහෙම පනතක් නැති නිසා තමයි අද ශිල්පීන් කම්කරුවන් ගානට වැටිලා දවසේ පඩියට නිර්මාණවල වැඩකරන්න සිදුවෙලා තියෙන්නේ. 1947දි වගේ තමයි ඔය කියන පනත ඉන්දියාවට වගේම ලංකාවටත් ගෙනාවේ. නමුත් අද ඉන්දියාව කලාවෙන් පෝෂණය වුණු රටක් බවට පත්වෙලා. ලංකාවෙත් ඔය කියන පනත තිබුණා නම් ලංකාවේ නිර්මාණ කලාවටත් සුබවාදී කාලයක් මේ වන විට උදාවෙන්න තිබුණා.

වසන්ත විතාරණගේ
උපුටා ගැනීම මව් රට