This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ලතින් ඇමෙරිකානු තරුණයෙක් එක්ක මගේ ප්‍රේම සම්බන්ධයක් තිබුණා - සුමිත්‍රා පීරිස්
* මං බස් එකේ යෑම නෑදෑයන් සැලකුවේ මදිකමක් විදියට * පිලිප් බාප්පා යූඑන්පියට ගිය එකට මං කැමැති නෑ

ඔබේ සම්පූර්ණ නම?

සුමිත්‍රා රූපසිංහ ගුණවර්ධන

උපන්නේ?

1935 මාර්තු 24. මං හිතන්නේ ලංකා සමසමාජ පක්ෂය පටන්ගත්තෙත් ඒ අවුරුද්දේ.

ගම?

පයාගල. අපේ අම්මා පයාගල. තාත්තා තමයි බොරලුගොඩ. ඒ කාලේ සම්ප්‍රදායක් තිබ්බනේ, ළමයෙක් හම්බුවෙන කොට තමන්ගේ අම්මලාගේ ගෙදර යන එක. උප්පැන්න සහතිකයේ මගේ ගම විදියට සඳහන් ‍වන්නේ පයාගල.

තාත්තා කවුද?

හෙන්රි (හැරී) ගුණවර්ධන. බොරලුගොඩ රාලහාමිගේ ලොකු පුතා. පිලිප්, රොබට් තාත්තාගේ මල්ලිලා. තාත්තා වෘත්තියෙන් නීතිඥයෙක්. අවිස්සාවේල්ල උසාවියේ තමයි වැඩ කළේ.

අම්මා?

කොනීලියා හැරියට් වික්‍රමසිංහ. තාත්තා හැරී, අම්මා හැරියට්.

ඔබේ පවුලේ කී දෙනයි ද?

හතර දෙනයි. අයියා ගාමිණී (කුරු) ගුණවර්ධන. අක්කා (චන්ද්‍රලතා පට්ටිආරච්චි) මල්ලි (රන්ජිත් ගුණවර්ධන) මම පවුලේ තුන් වැනියා. අයියා හැරුණු කොට අනෙක් දෙන්නා තම ජීවතුන් අතර ඉන්නවා.

ඔබ ඉගෙන ගත් පාසල?

මුලින් ම ගියේ අවිස්සාවේල්ල ශාන්ත මේරි. පස්සේ කොළඹ විශාඛාවට ඇතුළු වුණා.

කරලැයින් ගුණවර්ධන ඔබේ කවුද?

තාත්තාගේ නංගී කෙනෙක්. බොහෝ ම රැඩිකල් චරිතයක්. එයා කසාද බැඳලා හිටියේ යාපනයේ ධනවත් දෙමළ පවුලක කෙනෙක්. ඇන්තනී පිල්ලේ කියලා.

එතකොට විවියන්?

ඒ තාත්තගේ සහෝදරියකගේ දුවෙක්. එයාගේ චරිතය සිනමාවට නඟන්න එක්තරා කාලෙකදී මගෙ අදහසක් තිබුණා. මොකද ඒක දේශපාලන අර්ථයෙන් වැදගත් වෙනවා. නමුත් පවුලේ අයත් එක්ක වැඩ කරන්න ගියා ම ප්‍රශ්න ඇතිවෙයි ද කියලා බයක් මට ඇති වුණු නිසා ඒ අවස්ථාව මඟ හැරී ගියා.

ඔබේ පියත් දේශපාලන කරපු කෙනෙක් නේද?

ඔව්. දෙසැරයක් ම ඡන්දේ ඉල්ලලත් තියෙනවා. ඒත් තාත්තා දේශපාලනය කරන එකට අම්මා වැඩිය කැමැති වුණේ නැහැ.

කුඩා කාලයේ මොනවද ඔබේ දේශපාලන අත්දැකීම්?

ඉස්සර අපේ ගෙදර වාමාංශික දේශපාලනයේ වැදගත් කේන්ද්‍රස්ථාන‍යක්. මට මතකයි, ඇන්.ඇම් ලා, කොල්වින්ලා යනවා එනවා. පිලිප් බාප්පයි අනෙක් අයයි හිරේ ඉද්දි එයාලව බලන්න පවා අපි බෝගම්බරට ගිහින් තියෙනවා. ඒ කාලේ ට්‍රොස්කිවාදයේ භේද ඇති වුණා. ඊට බලපෑවේ න්‍යායික ප්‍රශ්න මිසක් පෞද්ගලික හේතු නෙමෙයි.

පිලිප් බාප්පා 1965 දී. යූ.එන්.පී. ආණ්ඩුවට එක්වීම (ධනේශ්වර පන්තියට මුක්කු ගැසීම) ඔබ දැක්කේ කොහොමද?

ඒක හරි අමාරු ප්‍රශ්නයක් උත්තර දෙන්න. මාත් කැමැතියි ඔහු එහෙම එක් නොවුණා නම්.

‍පෞද්ගලිකව ගත්තම ඔබ ට්‍රොස්කිවාදිනියක් ද?

මං වඩාත් කැමැති මාක්ස්වාදි‍නියක් විදියට හඳුන්වා ගන්න.‍ ඒත් මගේ සිනමාව තුළදී මම දේශපාලන පණිවුඩ දෙන්නෙක් වුණේ නැහැ කවදාවත්ම.

වැඩි දුර ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්න ඔබේ අදහසක් තිබුණේ නැද්ද?

මට අවුරුදු 13 දී අම්මා නැතිවෙනවා. එයින් පස්සේ කිසියම් පසුබෑමක් ඇති වුණා. මං විශාඛාවෙන් අයින් වෙලා ඇක්වයිනාස් එකට බැඳුණා. මං ගියේ බස් එකේ. ඒකට මට ආත්ම ශක්තියක් තිබුණා. නමුත් අපේ නෑදෑයෝ මං බස් එකේ යන එක සැලකුවේ මදිකමක් විදියට. මට ඕනෑ කළේ ලන්ඩන් එග්සෑම් කරලා පිටරට යන්න.

කොහොම හරි ඔබ පිටරට යනවා?

අයියා ඒ දවස්වල යු‍‍රෝපයට ගිහින් රුවල් නැවකයි ජීවත්වුණේ. එයට ඕනෑ වුණේ ලේඛකයෙක් වෙන්න. ඒකට අත්දැකීම් ලබන්න තමයි ඔහොම ජීවිතයක් ගත කළේ. පවුලේ වැඩිමලා විදියට දේපළ තිබුණේ එයාට. එයා ඒ සේරම වෙස්සන්තර වගේ අපිට ලියල දීලා හිඟන්නෙක් විදියටයි යුරෝපයට ගියේ. මං පිටරට යනකොට මට අවුරුදු 21 සම්පූර්ණ වෙලාත් නැහැ. ඇත්තටම මගේ 21 වැනි උපන් දිනය සැමරුවේ බෝට්ටුවෙදි. මම මාස 6 ක් විතර අයියත් එක්ක රුවල් නැවේ ජීවත් වුණා. දැන් හිතලා බලනකොට හරි පුදුමයි.

ඔබට ලෙස්ටර් මහත්තයා මුණගැහුණේ කොහොමද?

මට වුවමනා කළා ප්‍රංශ ඉගෙන ගන්න. අයියා මාව ස්විස්ටර්ලන්තයට ඇරලුවා. මං කෝච්චියෙන් ප්‍රංශයට ගියා‍. ප්‍රංශයේදී මං එම්බසි එකට යනවා, ලංකාවෙන් ලියුම් ලැබුණ ද කියලා බලන්න. එතකොට වර්නන් මෙන්ඩිස් තමයි තානාපති. අපි අතර නෑකමකුත් තිබුණා. ඔය දවස්වල ලෙස්ටයි, ටයිටසුයි ‘රේඛාව’ ත් අරන් ප්‍රංශයට ඇවිත් හිටියා, ‘කාන්’ ෆෙස්ටිවල් එකට. අයියා ලෙස්ටර්ව ටිකක් දන්නවා. එයා ලංකාවේදී ‘රේඛාව’ දැකලාත් තිබුණා. අයියා ලෙස්ටර්ට මං ගැන කියලා තිබුණා. ‘මගේ පොඩි නංගී ඉන්නවා. එයා මොනවා කරගනී ද දන්නේ නැහැ’ කියලා. ලෙස්ටර් තමයි මට කිව්වෙ එංගලන්තයට ගිහින් සිනමාව ඉගෙන ගන්න කියලා. අයියා නම් එංගලන්තයට කැමැත්තක් තිබ්බේ නැහැ. මොකද එයා අධිරාජ්‍ය විරෝධියෙක්. කොහොම වුණත් ලෙස්ටර්ගෙ කීම අහලා මං එංගලන්තයට ගියා.

ඔබ ප්‍රංශයේ ඉද්දි ලතින් ඇමෙරිකානු තරුණයෙක් එක්ක ප්‍රේම ‍සම්බන්ධයක් ඇති කර ගත්තා කියලා අපි අහලා තියෙනවා.

ඔව්. ඒක තරමක් දිගට ගිය සම්බන්ධයක්. එයා ලංකාවටත් ආවා. පස්සෙ කාලෙක කැන්සර් එකක් හැදිලා මිය ගියා‍.

ඒ සම්බන්ධය තරමක් විස්තර කරන්න පුළුවන් ද?

එයා තරුණ කවියෙක්. මට මතකයි ටයිටස් කිව්වා “පිටදේශක්කාරයෙක් එක්ක නම් යාළුවෙන්න එපා” කියලා. “යාළු වුණාට කමක් නැහැ. අදහස් අවංක ද කියලා හොයලා බලන්න” කියලා, ලෙස්ටර් කිව්වා. මං එංගලන්තයට යද්දී මගේ පෙම්වතා මගෙ අත අල්ලගෙන කියපු දේ මට අද වගේ මතකයි.

“සුමිත්‍රා මේක අපේ අන්තිම හමුවීම නෙමෙයි නේද?”

සියල්ල දෛවයට භාරකරමින් මං ඔහුගෙන් එදා වෙන්වුණා. මගේ ප්‍රථම ආදරයේ අවසන් හමුවීම සිදුවුණේ ඒ විදියටයි.

ලංකාවේ ඉද්දි ඔබට ඒවගේ ප්‍රේම සම්බන්ධකම් තිබ්බෙ නැද්ද?

කවුදෝ මන්දා දවසක් කිව්වා ඔයාගේ ලේන්සුවක් මගේ ළඟ තියෙනවයි කියලා. මං හිතන්නෙ ඒක බොරුවක්. ප්‍රේම කරනවට වඩා වෙන අරමුණු තමයි ඒ කාලේ අපි ළඟ තිබුණේ.

කොහොමද ‘සංදේශය’ ට සම්බන්ධ වෙන්නේ?

අයියා කිව්වා ලෙස්ටර් ‘සංදේශය’ කරනවා. ගිහින් ඒකට සම්බන්ධ වෙන්න කියලා. අපේ කණ්ඩායමේ පිරිමි 24 ක් හිටියා. මම විතරයි එකම ගැහැනිය. ඒ කාලේ මම කොණ්ඩය කොටට කපලා. මාව පෙනුණෙත් පිරිමියෙක් වගෙ තමයි. අප්පුහාමි කියලා ගමේ කෙනෙක්ගේ පොල් අතු පැලකයි මං නැවතිලා හිටියේ. මගේ හිතේ මාස 6 ක් එක දිගට අපි හිටියා.

ඒ කණ්ඩායමේ ඔබත් එක්ක ගාමිණි ‍ෆොන්සේකාත් හිටියනේ. එදා ඔබ හිතුව ද ගාමිණි පස්සේ කාලෙක මෙච්චර දුරක් එයි කියලා?

නැහැ කොහොමටත් හිතුවෙ නැහැ. ගාමිණි මට වඩා අවුරුද්දක් බාලයි. උපන් දිනේ තිබුණෙත් ළඟ ළඟ. මා මාර්තු 24, එයා මාර්තු 23 ද කොහෙද. ගාමිණි එකල තරුණයි; ඒ වගේම නිර්භීතයි. ආනන්ද ජයරත්න නම් ගාමිණිත් එක්ක බලද්දි හරිම ඔතෑනියි. යමකට ඉදිරිපත් වෙන්න වුණත් බයයි. ඒ නිසා ගාමිණිට පුළුවන් වුණා කැපී පෙනෙන්න. තිර නාටකයේ ‘තම්මිට’ ගේ චරිතය ඒ තරම් ලොකුවට ලියවිලා නැහැ. නමුත් ගාමිණි ඇක්ෂන්වලින් ඒ චරිතය වර්ධනය කර ගත්තා.

ඇයි ඔබ සිනමාව තුළ ‘සංස්කරණය’ වගේ විෂයයක් තෝරගත්තෙ?

‘සංදේශයේ’ ගාමිණි, මම සහාය අධ්‍යක්ෂවරු. ඒත් මගේ මතය තමයි සහාය අධ්‍යක්ෂවරයා කියන්නේ නිර්මාණශිලි පුද්ගලයෙක් නෙමෙයි කියන එක. සංස්කරණය වගෙ විෂයයක් ගැහැනියකට පහසුයි. එයින් නිර්මාණාත්මක යමක් කරන්න පුළුවන් ය කියන විශ්වාසය මට තිබුණා. ඇත්තටම ‘සංදේශය’ දීත් මම සංස්කරණයෙන් ටයිටස්ට උදව් වෙලා තියෙනවා. අද තියෙන තාක්ෂණික දියුණුවත් එක්ක බලනකොට එදා අපි වැඩ කරපු හැටි ගැන පුදුම හිතෙනවා.

ඔබ තනිව සංස්කරණය කරන මුල්ම චිත්‍රපටය ‘ගම්පෙරළිය'?

‘ගම්පෙරළිය’ අපිම නිෂ්පාදනය කරපු නිසා හැම අංශයකටම වගේ අපි සම්බන්ධ වුණා. නිළියන්ට ගැළපෙන හැට්ට රෙදි පවා මම පිටකොටුවට ගිහිල්ලා ගෙනාවේ. ඔවුන් පලදින රත්තරන් අපේ අම්මා ළඟ තිබුණු නියම රත්තරන් බඩු.

ඔබත් ලෙස්ටර්ත් අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩනැඟුණේ කොහොම ද?

මුලින්ම අප අතරේ තිබුණේ ලොකු මිත්‍රත්වයක්. ලෙස්ටර් මගේ ජීවිතයට ලොකු ශක්තියක් වුණා. අපේ තාත්තා වගකීමෙන් වැඩ කරපු කෙනෙක් නෙමේ. මං පිටරට යනවා කිව්වම අඩුම ගාණේ කොයි රටට ද යන්නෙ කියලවත් අහපු කෙනෙක් නෙමෙයි. ඉතිං මං ලෙස්ටර්ගෙන් බලාපොරොත්තු වුණු දේ ඔබට තේරුම් ගන්න පුළුවන්නේ.

ලෙස්ටර් කලින් සුද්දීයක්ව කසාද බැඳලා හිටපු කෙනෙක්. ඒක ඔබට ප්‍රශ්නයක් වුණේ නැද්ද?

එයා ඇගෙන් නිත්‍යානුකූලව වෙන්වෙලයි හිටියේ. ඒ සේරම ලෙස්ටර් මට කියලා තිබුණා. මට ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. තාත්තට අයියට වුණත් මං හිතන්නෙ නැහැ ප්‍රශ්නයක් වුණා කියලා. මොකද ඒ අය බොහෝම විවෘතයි.

ඔබේ විවාහයට ආගම් භේද කුල භේද ප්‍රශ්නයක් වුණේ නැද්ද?

සාම්ප්‍රදායිකව බලනකොට නම් යම් පරතරයක් තිබුණා තමයි. එහෙත් අපිට ඒවා ප්‍රශ්න වුණේ නැහැ.

විවාහ වුණේ?

1964 ජුනි 19.

ඔබ දෙදෙනාගේ සාර්ථක විවාහ ජීවිතයේ රහස මොකද්ද?

අපි අතරෙ තියෙන බැඳීම. එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවය. මේවා තමයි හේතු. ලෙස්ටර් ඉතිං හරිම සුවිශේෂ පුද්ගලයෙක්නේ. ඔහු බොහෝම නම්‍යශීලියි. එකම දුර්වලකම ප්‍රායෝගික නැහැ. සල්ලි ටිකක් හොයාගෙන ගෙයක් දොරක් හදාගන්න කවදාක්වත් උත්සාහ කරපු කෙනෙක් නෙමෙයි.

ඔබලා මේ ඩික්මන් පාරේ ගෙදර ඉන්නේ කුලියට?

ඔව්. 1969 ඉඳන් කුලියට ඉන්නේ. අපේ සර්වන්ට්ලා කියනවා “මැඩම්ලා ඔච්චර කළා අඩුම ගාණේ ගෙයක් දොරක්වත් හදාගත්තෙ නැහැනේ” කියලා. අපි මැරෙනකල් මෙතැන ඉන්න දෙයි. ඊට පස්සෙ ඉතිං මං දන්නේ නැහැ.

ඔබ කලක් ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති ධුරයත් දැරුවා.

ඔව්. ප්‍රංශය මං කීප වතාවක් ආගිය රටක්. ප්‍රංශයට මගේ විශේෂ ඇල්මක් තියෙනවා. ඒ වගේම ප්‍රංශය ගැන මට දැනුමකුත් තියෙනවා. අනෙක එකල විදේශ ඇමැතිව හිටියේ ලක්ෂ්මන් කදිරගාමර්. එයත් එක්ක වැඩ කරන එක හරිම පහසුයි. ඔහු හරි විවෘත පුද්ගලයෙක්. රටවල් දෙක අතර මිත්‍රත්වය තවත් වැඩි කරන්න මගේ කාලය තුළ පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා.

සිනමාව හැරුණුකොට ඔබේ වෙනත් විනෝදාංශ මොනවා ද?

මම චිත්‍රවලට හුඟක් කැමැතියි. පොඩි කාලේ ඉඳන්ම මට තරමක් චිත්‍ර අඳින්න පුළුවන්. ඒ වගේම පොත්පත් කියවනවා. ගෘහ නිර්මාණ ශිල්පයට මගේ කැමැත්තක් තිබෙනවා. එක්තරා කාලයක මං හිතුවා ඒක සබ්ජෙක්ට් එකක් විදියට හදාරන්න ඕනැ කියලා. ඒත් බැරිව ගියා. මං ගෙවත්තේ පැළයක් හිටවන එකෙන් වුණත් මානසික තෘප්තියක් ලබනවා. මොකද ඒකත් විෂුවල් ආර්ට් එකක්. සොබාදහමත් එක්ක එකට බැඳිලා ජීවත්වෙන්න මං ආසයි.

ඔබ ජ්‍යෝතිෂය වගේ දේවල් විශ්වාස කරනව ද?

තරමක් දුරට විශ්වාස කරනවා. ඒ ගැන සාමාන්‍ය විශ්වාසයක් තියෙනවා. ඒත් හඳහනකට ජීවිතය වෙනස් කරන්න පුළුවන් කියලා මම හිතන්නෙ නැහැ.

ආපහු හැරිලා බලනකොට ඔබ සිනමාකාරිනියක් වීම ගැන සතුටු ද?

සිනමාවෙන් පවතින දෙයක් මට කරන්න ලැබුණ කියලා මම හිතනවා. මම කැමැති ප්‍රේක්ෂකයන් එක්ක භාවමය ගනුදෙනුවකට යන සිනමාවකට. මං දේශපාලන පසුබිමක හැදී වැඩුණට මං දේශපාලන සිනමාකාරිනියක් නෙමේ. දේශපාලන සිනමාවක් පිළිබඳ මගේ විශ්වාසයකුත් නැහැ.

සිනමාවෙන් ඔබට ලැබුණු දේ?

සිනමාවෙන් ලැබුණ දේට වඩා අපි සිනමාවට යමක් ලබා දී තිබෙනවා කියලා වෙලාවකට මට හිතෙනවා. මං ‘ගම්පෙරළිය'ට සල්ලි දැම්මේ අවිස්සාවේල්ල පැත්තේ අක්කර දහයක විතර ඉඩමක් විකුණලා. මං ‘ගැහැනු ළමයි’ කරද්දි ලෙස්ටර් වැලිවේරිය පැත්තේ තිබුණු එයාගේ අක්කර තිහක විතර ඉඩමක් විකුණලා සල්ලි දුන්නා. අපේ නැදෑයෝ දේශපාලනය නිසා ඉඩකඩම් නැතිකර ගත්තා වගේ සිනමාව නිසා අපි අපේ ඉඩකඩම් නැතිකර ගත්තා. ඒත් සිනමාවෙන් යමක් නොලැබුණයි කියන්න බැහැ. පාරට බැස්සම අපිට ලැබෙන කීර්තිය, මිනිස්සුන්ගේ ආදරය, ගෞරවය සිනමාවෙන් අපි ලබාගත් දේවල්. ඒවා නැහැයි කියන්න බැහැ.

ඔබට ඔබ ගැන තියෙන හැඳින්වීම මොකද්ද?

මං හිතන්නේ මමත් කැරෝ නැන්දා වගේ, විවියන් වගෙ රැඩිකල්. උපුටා ගැනීම සිළුමිණ