This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ඔහු නොමළ - නොමියෙන සොඳුරු මිනිසෙකි.....
කවියකු, ගීත රචකයකු නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, සිනමාවේදියෙකු, චිත්‍ර ශිල්පියෙකු පමණක් නොව නාට්‍යවේදියෙකු ලෙස නිර්මාණ කුසලතාවෙන් පිරිපුන් මහගමසේකර කලාකරුවාගේ 39 වැනි ගුණානුස්මරණය පසුගිය 14 වැනිදාට යෙදිණි. ඒ නිමිත්තෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සමග මෙකී අපූර්වතම නිර්මාණකරුවාගේ නිර්මාණකරණය පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණේ ඔහු දිගු කාලයක් සේකරව ඉතා සමීපව ඇසුරු කළ අයකු වූ නිසාය. නොමියෙමි යන කාව්‍ය සංග්‍රහය රචනා කළ මහගමසේකර 1976 ජනවාරි 14 වැනි දින මියගියේය. එහෙත් මහගමසේකර මියගොස් නැති බව අපට හැඟෙනු ඇත. ඔහු තවමත් ජීවත් වන බව අපට දැනෙනු ඇත. ඒ සේකර සිය කලා නිර්මාණ තුළින් මරණය පලවා හැර තවමත් ජීවත් වන නිසාය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සේකර පිළිබඳව අදහස් දැක්වීම මෙසේ ඇරඹීය. “මහගමසේකර යන කලාකරුවා බහු විවිධත්වයෙන් යුක්ත කලාකරුවෙක්. ඇත්ත වශයෙන්ම සේකරට හොඳ රැස් වළල්ලක් තිබුණා. ආනන්ද කුමාරස්වාමි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මුණිදාස කුමාරතුංග මාර්ටින් වික්‍රමසිංහ වගේ අයට මේ රැස් වළල්ල තිබුණා. මහගමසේකර වටා රැස් වළල්ලක් ඇති වීමට බලපෑ කාරණා කීපයක් තිබුණා. එකක් තමයි ඔහු මානව හිතවාදියෙකු වීම. අනික ගීත රචකයකු, කවියකු, සිත්තරකු, නාට්‍යකරුවකු, නවකතා, කෙටිකතාකරුවකු, පරිවර්තකයකු හා පර්යේෂකයකු, වශයෙන් දැක්වූ බහුවිධ කුසලතාව” ඊට හේතු වශයෙන් ඔහු පැහැදිලි කළේ සේකර ශාස්ත්‍රීය වශයෙන් ලැබූ ‍පෝෂණයයි. ප්‍රාචීණවාදී සාහිත්‍යයේ කෙළවරටම ගිය මහගමසේකර පාලි, සංස්කෘත, සිංහල හා ඉංග්‍රීසි භාෂා දැනුමෙන් ලැබූ ඥානය සිය නිර්මාණ සඳහා සියුම් ලෙස යොදා ගෙන තිබේ. මහගමසේකර පබැඳූ “ඔබේ දෑසයි ඔබේ දෑසයි මීන චංචල කිඳුරු දෑසයි” යන වැකියෙන් සම්භාව්‍ය සාහිත්‍යයේ හමුවන සුභා තෙරණිය ඇසුරෙන් බිහි වූ ථෙරි ගාථාවලින් ‍පෝෂණය වූ බවට ගම්‍ය වේ. එමෙන්ම සේකර රචනා කළ ඔබේ නමින් සෑය බඳිමි ගීතයේ අපට හමුවන “ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන්” යන්න ගුරුළුගෝමීන් සුළු කළිඟු දාවත රචනා කිරීමේදී යෙදූ යෙදුමකි. මහගමසේකර ආභාෂය ලැබුවේ සම්භාව්‍ය සාහිත්‍යයෙන් පමණක් නොවේ. ඔහු ජනකවි, කටවහර පවා සිය නිර්මාණ සඳහා උපයෝගි කරගත්තේය. “පි‍ලේ පැදුර හේනට අරගෙන එනවා.....”, “ඉරට මුවාවෙන් හිඳගෙන.....”, “කන්ද උඩින් එන.....” වැනි යෙදුම් සේකරගේ ගීත තුළින් හමුවීමෙන් එය මනාව තහවුරු වේ. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සඳහන් කරන්නේ සිංහල මෙන්ම පාලි හා සංස්කෘත භාෂා දැනුමෙන් සන්නද්ධ වී සිටි මහගමසේකර චතුර ලෙස සංස්කෘත ශ්ලෝක ගායනා කළ බවයි. මහගමසේකර මියයෑමට ටික කලකට පෙර රඝු වංශයට ටීකාවක් ලියන්නට සිතා සිටින බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සමග පවසා ඇත. මහගමසේකර කලාකරුවා ඉංග්‍රීසි භාෂාවෙන්ද පරිපූර්ණ වී සිටීම ඔහුගේ නිර්මාණකරණයට පිටිවහලක් විය. ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිලිගේ ඹඩඪබඥ ජධථනචදර කෘතිය ධවල සේනාංකය ලෙස පරිවර්තනය කළේ ඔහු සතු ඉංග්‍රීසි භාෂා දැනුම නිසාය. “මහගමසේකර ඕමාර් ඛයියාම්ගේ රූබයියාට් කාව්‍ය පරිවර්තනය කළේ ජී.බි.සේනානායක, මඩවල එස්.රත්නායක යන දෙදෙනා රුබයියාට් පරිවර්තනය කරන්න ඉස්සෙල්ලා. ජාතක කතා, ධම්මපද කතා, භගවත් ගීත, රාවණා කතා එක්කම රුබයියාට් එකවර ලිවීමට ඔහු බසක් සෙවූ බව එක දවසක් මහගමසේකර මා එක්කලා කිව්වා. ඒ බස පැරණි බසක් නොවෙයි. අතිශයින්ම නවීන බසක් නොවෙයි. රුබයියාට් කවි ඔහු රසවාහිනි සඟරාවට පරිවර්තනය කරන්න පටන් ගත්තා. මේ වෙනකොට ජී.බි.සේනානායකයි, මඩවලයි, රුබයියාට් පරිවර්තනය නොකළත් පසුව දෙදෙනා මේ ‍පොත් දෙක පළ කළා. ඒ නිසා රුබයියාට් තුන්වැනි ‍පොතක් එන එක හොඳ මදි, එහෙම වුණොත් ඒ දෙන්නාට පාඩුවක් වෙන්න පුළුවන් කියල සේකර මා සමග කිව්වා. ඒ නිසයි රසවාහිනියෙ පළවූ රුබයියාට් පරිවර්තන කවි සේකරගේ ‍පොතක් හැටියට ප්‍රකාශයට පත් නොවුණේ” යනුවෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විස්තර කළේ අතීතාවර්ජනයක යෙදෙමිනි. ඔහු තවදුරටත් පවසන්නේ රුබයියාට් පරිවර්තන කෘති දෙක සහ සේකර පරිවර්තනය කළ කවි සංසන්දනය කිරීමේදී සේකර යොදා ගත් භාෂාව මුල් කෘතියට ඉතා සමීප බව ඔහුට අවබෝධ වූ බවය. “ගලා බහින ජල ධාරාවක් සේ මතු වී මෙහි එනවා කාන්තාරයෙන් එන පවනක් සේ පිටවී මින් යනවා” යනුවෙනි. මුල් කවියේ අර්ථය මෙන්ම රිද්මය, ගලා යෑම සමග නාට්‍යයමය බසක් උපයෝගි කර ගත් සේකරගේ මෙම කවි පරිශීලනය කරන විට මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රට හැඟුණේ පරිවර්තන සාහිත්‍ය යන්න මෙය නොවේද යනුවෙනි. මහැදුරු සුනන්ද මහේන්ද්‍ර සඳහන් කරන්නේ මහගම සේකරට එවැනි ප්‍රතිභාවක් ලැබිමට හේතුව සේකර සතු ප්‍රාචීන මෙන්ම ප්‍රතිචීන භාෂා දැනුම බවය. රවීන්ද්‍රනාත් තාගෝර්, ඕමාර් ඛයියාම්, සරෝජිනි නායිදු, ඛලීල් ජිබ්රාන් වැනි විශිෂ්ට ‍ලේඛකයන්ගේ නිර්මාණ ඇසුරු කළ මහගම සේකර සිය කාව්‍ය අඛ්‍යාන සඳහා නිදහස් පද්‍ය රචනා තෝරා ගත්තේ ඇමෙරිකානු ආභාසය ලැබිමෙන් අනතුරුවයි. ඇත්ත වශයෙන්ම නිදහස් පද්‍ය රචනා ආභාෂය ඇමෙරිකානු සම්ප්‍රදායට අයත් වූවක් නොවන බවත් එය බුද්ධ භාෂිතයේ සහ ථෙර ථෙරී ගාථාවල දක්නට ලැබෙන බවත් මහගම සේකර මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සමග පැවැසුවේ සේකර විවිධ ආකෘතීන් පිළිබඳව පර්යේෂණ සිදු කළ නිසාය. දීර්ඝ කාව්‍ය අඛ්‍යානවලින් කවි රචනා කළ මහගමසේකර පැළලි කවි රචනා කරන බව පවසමින් එදා විචාරකයින් ඔහුව උපහාසයට ලක් කළද කිසිම දිනක මහගමසේකර ඉන් අධෛර්යයට පත් වූයේ නැත. ඇත්ත වශයෙන්ම මහගමසේකර කලාකරුවා අනාගතය නමැති කාලයට උචිත ප්‍රතිභානයක් විදහා දැක්වූ කලාකරුවෙකුදැයි අපට සිතෙන්නේ ඔහුගේ නිර්මාණ තුළ ඇති ඔහුගේ අනාගතය හෙවත් අදට ගැළපෙන ගුණාංග ගැබ්වී තිබෙන නිසාය. නොමියෙමි කාව්‍ය සංග්‍රහයේ අපට හමුවන චන්දන පස්ගම්මන උපන් හැටි, ඔහු අධ්‍යාපනය ලබන හැටි, පිටරට යන හැටි, විවාහයෙන්, ලැබෙන දෑවැද්ද, තනතුරු, ඡන්දය ඉල්ලීම, මන්ත්‍රී කෙනෙකු වීම ආදී කාරණා ගැළපෙන්නේ මීට 40 වසරකට පෙර තිබූ සමාජයට වඩා වර්තමාන සමාජයටය. එමෙන්ම ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය තුළින් හමුවන ප්‍රබුද්ධ ආර්ථික වාසි අරබයා දිනෙන් දින පියගැට පෙළ ඉහළට නගින විට ඔහුගේ ආධ්‍යාත්මය කඩා වැටෙන ආකාරයද වත්මන් සමාජයට වඩාත් හොඳින් ගැළපෙයි. මෙයින් වසර 40කට පෙර ඔහු වර්තමාන සමාජය දැක ඊට සුදුසු කවි නිර්මාණය කළාදැයි අපට සිතෙන්නේ එබැවිනි. එමෙන්ම මහගමසේකර සිය නිර්මාණ සඳහා සෙන් ධර්මය, බුද්ධ දේශනා, ක්‍රිස්තු චරිතය, උපනිෂද්, ජාතක කතා, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය වැනි විෂයන් ඇසුරෙන් උකහා ගත් දැනුම පවා උපයෝගි කරගෙන තිබේ. “ක්ලාන්තයි ආනන්ද පිපාසයි ආනන්ද වේසාලිය රමණීයයි වේළුවනය රමණීයයි” “නුඹලාගෙන් එක් කෙනෙක් මා පාවා දෙන්නේය” “ඉසිගිලි කන්ද අසල කළුගල රමණීයයි බරබ්බස්ද ක්‍රිස්තුස් කියන යේසුස්ද” යනුවෙන් නොමියෙමි පද්‍ය සංග්‍රහයේ දක්නට ලැබෙන පදවැල් තුළින් ඒ බව තහවුරු කරගත හැකිය. “1965 දී මම ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශයේ නිබන්ධන සම්පාදක තනතුරට පත් වුණා. ඇත්තටම මම ඒ තනතුරට ගියේ මහගමසේකර ඒ තනතුරෙන් ඉවත් වූ පසුවයි. මහගමසේකර ආරම්භ කර තිබූ වැඩසටහන් මම වෙනස් කළේ නැහැ. ඇත්තටම මට ඒ වැඩසටහන් පහසුවක් වුණා. පද්‍යාවලිය, මධුවන්ති ඊට උදාහරණ. මහගමසේකර ගුවන් විදුලියෙන් ඉවත් වුණාට දිගටම එළියේ ඉඳලා ලිව්වා. මම සේකර ලවා ගීත නාටක ලියවා ගත්තා. සේකර කියන්නේ ඉහළම තලයේ ගීත රචකයෙක්. ඩන්ස්ටන් ද සිල්වා කියන්නේ ඉහළම තලයේ සංගීතඥයෙක්. මේ දෙන්නාගේ දක්ෂතා එකතු කරලා තමයි එදා ගීත නාටක නිර්මාණය කළේ” යනුවෙන් පැවැසුවේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රය. නාට්‍යවේදියෙකු වූ මහගමසේකර වේදිකා නාට්‍ය 4ක් නිර්මාණය කළද ඒවා කිසිම දිනෙක ඇගයීමට ලක් නොවූ බව මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර තවදුරටත් සඳහන් කළේය. ලියෝ ටෝල්ස්ටෝයි, ඇන්ටන් චෙකොෆ්, මැක්සිම් ගෝර්කි වැනි ‍ලේඛකයන්ගේ කලා කෘති මෙන්ම යුරිපිරිඩීස්, සොක්‍රටීස් වැනි කලාකරුවන්ගේ නාට්‍ය පිටපත්ද ඇසුරු කළ මහගමසේකර පිකාසෝ, ගොගෑන් වැනි ප්‍රකට චිත්‍ර ශිල්පීන්ගේ චිත්‍ර පවා ඇසුරු කළේ සිය දැනුම පරිපූර්ණ කරගැනීමටය. සිත්තරකු ලෙස නිර්මාණ කුසලතා විදහා දැක්වූ මහගමසේකර කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර තිබේ. එහිදී සේකරගේ විෂය වූයේ චිත්‍රකලා සන්නිවේදනයයි. සෑම සංඥාවකම වේදයක් ඇති බව අන්තර්ගත වූ ඔහුගේ විෂය ධාරාව අද හැඳින්වෙන්නේ ඉඥථධබඪජඵ (සංඥාර්ථ) යනුවෙනි. මෙම විෂයධාරාව සේකර එදා ඉගැන්වුවද එදා එකී විෂය ඉඥථධබඪජඵ ලෙස හැඳින්වූයේ නැත. නිසඟ කලා හැකියාවෙන් යුතු මහගමසේකර අසහාය නිර්මාණකරුවා අනාගතයට අයත් කලාකරුවෙකු ලෙස හැඳින්වීමට සිදු වන්නේ එබැවිනි. එපමණක් නොවේ. නොමියෙමි ලියූ මහගමසේකර නොමියෙන කලාකරුවෙකු ලෙස සඳහන් කරන්නේද එම නිසාය. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර සංවාද සටහන : හර්ෂා සුගතදාස උපුටා ගැනීම ලක්බිම