🛍️   Business Directory
📣   Classifields
🛍️   Business Directory
📣   Classifields

මට තවම සිකුරු ලබලා නැහැ.

මට තවම සිකුරු ලබලා නැහැ

ස්වාධීන රූපවාහිනි සේවය මඟින් සෑම වසරකම දියත් කරනු ලබන අවුරුඳු කුමරිය තේරීම් තරගය තුලින් 2008 වසරේදි පැවති තරගයෙන් අවුරුදු කුමරිය ලෙස ජයග්‍රාහි කිරුළ පැළදීමත් සමඟ ඇයට රංගන කලා ලොවේ දොරගුළු විවර විය. තම අධ්‍යාපන කටයුතුවලින් පසුව ගුවන් සේවිකාවක් වීමට ඈ සිහින මැව්වද අහඹු ලෙස රංගනයට පිවිසීමට හැකි විය. ඒ රූමත්, ගුණවත්, හැඩකාර, කටකාර, ප්‍රතිභාපූර්ණ යොවුන් රංගන ශිල්පිනිය එදා මෙන්ම අදටත් තම හැඩ රුව මෙන්ම ජනපි‍්‍රයත්වයද එක ලෙස රඳවා තබා ගනිමින් එය පවත්වාගෙන යෑමට තරම් සමත්වී ඇත. මේ වන විට සතියේ දිනවල දෙරණ නාළිකාවෙන් විකාශය වන සිඳු ටෙලි නාට්‍යයේ පූර්ණා ලෙස හා ජාතික රූපවාහිනියේ සෙනසුරාදා ඉරිදා රාත්‍රි 8.30 ට යන ගමනේ යා ටෙලි නාට්‍යයෙන්ද ඇය ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙන්නීය. දිලිනි ලක්මාලි තිරිමාන්න නම් ඇය අප හා කතාබහට එක්වූයේ මෙලෙසිනි.

දිලිනි ටිකක් අඩුවෙන් නේද නිර්මාණවල දකින්නට ලැබෙන්නේ?
ගොඩාක් දෙනෙක් ඔය ප්‍රශ්නේ මගෙන් අහනවා අයියේ. මගේ සමකාලීන රංගන ශිල්පීන් හා ශිල්පිනියන් දිහා බලද්දි මං ටිකක් අඩුවෙන් තමයි නිර්මාණවල පෙනී ඉඳලා තියෙන්නේ. මම දන්නේ නෑ ඇයි ඒ කියලා. මං හිතන්නේ මම කොළඹින් ටිකක් දුර බැහැරනේ පදිංචි වෙලා ඉන්නේ. ඒ හින්දා වෙන්නැති. මට නිර්මාණවලට නිතර කතා නොකරන නිසා මාව ප්‍රේක්ෂකයින්ට අඩුවෙන් දක්නට ලැබෙන්නේ.

ඔබේ පෞද්ගලික විස්තර කිව්වොත් ?
මුලින්ම හිටියේ රාජගිරියේ කලපළුවාව ප්‍රදේශයේ. නමුත් දැන් පදිංචි වෙලා ඉන්නේ කොස්ගම. මුලින්ම ගියේ කලපළුවාව ශී‍්‍ර සිද්ධාර්ථ විද්‍යාලයට. පස්සේ කෝට්ටේ ශී‍්‍ර ජයවර්ධනපුර මහා විද්‍යාලයට. පවුලේ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මල්ලි ඩුබායිවල හොටෙල් එකක තායි අංශයේ කෝකියෙක් ලෙස ‍රැකියාවක් කරනවා.තාත්තා පෞද්ගලික ආයතනයක ‍රැකියාවක් කරනවා.

අධ්‍යාපනයෙන් පස්සේ මොනවගේ කෙනෙක් වෙන්නද හිතුවේ?
ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් දැන් රංගන ශිල්පිනියක් වීම පිළිබඳව සතු‍ටු වෙනවා.

දිලිනි ලක්මාලි තිරිමාන්න කියන රංඟන ශිල්පිනිය බිහි වෙන්නේ කොහොමද?
2008 සූර්ය මංගල්‍යයේ අවුරුදු කුමරිය ලෙස කිරුළ පැලඳීමත් සමඟ තමයි මට රංගනය සදහා අවස්ථාව ලැබෙන්නේ.

දැන් ඔබේ වෘත්තිය රංගනයද?
ඔව් රංගනය තමයි ඉතින්. ඒත් පසුගියදා සිට මෙරටටත් කොරෝනා බලපෑම ආපු වෙලාවේ ඉඳලා මට හිතුණ ගුවන් සේවිකා ‍රැකියාවත් කරන ගමන් රංගනයට දායක වෙන්න තිබුණා නම් හොඳයි කියලා. මොකද ඒ තත්ත්වය අද කලාවට ගොඩක් ලොකුවට බලපාලනේ තියෙන්නේ.

ඒ කියන්නේ දිලිනි වෘත්තිය රංගන ශිල්පිනියක් වීම ගැන තෘප්තිමත් නැද්ද?
නෑ එහෙම නෑ. ඇත්තටම අද මම ලොකු සතුටක් ලබනවා රංගන ශිල්පිනියක් වීම පිළිබඳව.ඒ තුළින් මා ළඟා කරගත් දේවල් බොහොමයි.

ප්‍රථම රංගනය ගැනත් මතක් කළොත් ?
සුසිල නිෂ්පාදන ආයතනයෙන් සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මිය තමයි ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය වුණාට පස්සේ මට කතා කරලා රංගනයට ප්‍රථමයෙන්ම අවස්ථාවක් ලබා දුන්නේ.තරංග දිසානායක මහතා අධ්‍යක්ෂණය කළ ‘අපි අපි වගේ’ කියන ටෙලි නාට්‍යයේ ඊළගට දෙරණ රූපවාහිනි සේවයෙන් විකාශනය වුණු ‘පිනි බිංදු’ කියන ටෙලි නාට්‍යය. එහි අධක්ෂවරයා වුණේ ජානක සිරිවර්ධන මහතා. ඔහු තමයි අද දෙරණෙ යන ‘සිඳු’ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වෙන්නෙත්.

මේ වෙනකොට නිර්මාණ කීයකට විතර රංගනයෙන් දායකවෙලා තියෙනවද?
හතළිහක් (40) විතර වගේ වෙනවා. ඒ රඟපාපු හැම චරිතයක්ම ප්‍රේක්ෂකයින් අතර ජනපි‍්‍රය වුණා. කප්සුව, පුරකලණි, මද්දහන ආදි ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණා. චිත්‍රපටවලට නම් හරි අඩුවෙන් තමයි දායක වුණේ.

මෙතෙක් දායක වූ නිර්මාණවලදි ඔබේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය බවට පත්වූ නිර්මාණ තියෙනවද?
මද්දහන, රන්මැණිකා විශේෂයෙන් නෙතු අද්දර නාට්‍යයේ අන්ධ ළමයෙක්ගේ චරිතය යනාදියත් මගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත්වූ නිර්මාණ අතර වෙනවා.

මේ දවස්වල ඔබව පේ‍්‍රක්ෂකයින් හමුවෙන්නේ ?
ජාතික රූපවාහිනියෙන් සෙනසුරාදා ඉරිදා රාතී‍්‍ර 8.30 ට යන ගමනේ යා ටෙලි නාට්‍යයේ හා දෙරණ රූපවාහිනියේ සවස 6.25 ට විකාශය වන සිඳු ටෙලි නාට්‍යයේ පූර්ණා ලෙසත්. ඒ වගේම මේ දවස්වල යූටියුබ් එකෙන් මං රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යයක් යනවා රෙඩ් ලයිට් කියලා. ආශා අක්කගේ (රංගන ශිල්පිනි ආශා එදිරිසිංහ) සමනලි ෆොන්සේකා, බුද්ධදාස විතානාච්චි යන ප්‍රවීණ අය මෙන්ම ජනපි‍්‍රය ශිල්පීන් ශිල්පිනියන් ‍රැසක්ම ඊට රංගනයෙන් දායක වෙනවා.

ඔබේ රංගනය ඇගයීමට හා සම්මානයට පාත්‍රවෙලා තියෙනවද?
සිග්නිස් සම්මානය 2010 රයිගම් ටෙලිස් සම්මාන උලෙළේ දී නැඟී එන හොඳම නිළිය, 2015 පුරකළණි ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් රයිගම් ටෙලීස් සම්මාන උලෙළේදී කුසලතා සම්මානයටත් පාත්‍ර වෙන්න මට අවස්ථාව ලැබුණා.

ඔබේ මොනර පිළක් මෙන් දිගු වන් කෙස් කළඹ තවමත් එලෙසම තියෙනවා නේද මොකක්ද ඒක හැමදාම මෙහෙම එක විදිහට තියාගෙන ඉන්න එකේ රහස?
ඇත්තටම අයියේ මගෙන් ගොඩක් අය ඔය ප්‍රශ්නේ අහනවා. මං කිසිම දවසක මගේ කොණ්ඩෙට කිසිදු රසායනික කෘතීම ආලේපන වර්ගයක් භාවිතා කරන්නේ නෑ. ස්වාභාවික ශාකසාරවලින් මං විසින්ම හදාගත් තලපයක් තමයි කොණ්ඩෙට ගාන්නේ. ඒ වගේම මං දිනපතා අලුත් නැවුම් එළවළු පළතුරු වර්ග ආහාරයට ගන්නවා. නිතර වතුර බොනවා. පිරිසිදුව ඉන්නවා. ඒවා තමයි ඉතින් මගේ කොණ්ඩේ මේ විදිහට දිගටම තියාගෙන ඉන්න එකේ රහස.

දිලිනි දැන් ප්‍රේමවන්තියක්ද?
ඉස්සර නම් ප්‍රේම සබඳතාවක් තිබුණා. ඒත් දැන් නම් ඒකත් නෑ.

දැන්නම් කල වයසත් පහුවෙලාද මන්දා. තාම කසාද බඳින්නේ නැත්තේ ඇයි?
තවම සිකුරා ලබලා නෑ ඒකයි. (ඇය හඬ නඟා සිනසෙයි)

ඒ කියන්නේ තවම කෙනෙක් හොයනවද මොනවගේ කෙනෙක්ද හොයන්නේ?
ඔව් හොයමින් ඉන්නේ. මගේ හිතේ මට ඕන විදිහේ කෙනෙක් ඉන්නවා. මෙන්න මේ විදිහයි කියලා ඒත් තවමත් මං හිතන් ඉන්න විදිහේ ඒ වගේ කෙනෙක් මට හමු වුණේ නැහැ.

ඉතින් ගෙදරින් යෝජනා ගෙනාවේ නැද්ද?
එහෙම ගෙදරිනුත් යෝජනා ගෙනාවා. මං ඒවට කැමති වුණේ නෑ මට හරියන කෙනා ඒ අතරෙත් හිටියෙ නැති නිසා.

දිලිනි ඔයා හිතන් ඉන්න විදිහේ කෙනකුට ගෙදරින් ඔබගේ අම්මයි තාත්තයි කැමති වෙයිද?
එයලා දන්නවා මම වැරදි තීරණයක් ගන්නෙ නෑ කියලා. ඒ නිසා මට ඕන විදිහේ කෙනෙක් හොයා ගන්න ගෙදරිනුත් මට නිදහස දීලා තියෙන්නේ. තව ටික කාලයකින් සිකුරා ලබපුවහම මගේ විවාහයත් අනාගතයේදී සිද්ධ වේවි.

හේමන්ත බංඩාර
උපුටා ගැනීම සරසවිය