This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
ඩයනා කුමරිය කියන නාමය කවදාවත් නැතිවෙන්නෙ නැහැ මං අනාගත රජවරු දෙන්නකුගෙ මවක්



අලුත් රාජකීය බිලිඳිය නිසා මේ දවස්වල බි්‍රතාන්‍ය රජ පවුල ගැන වැඩිපුර කතා වෙනවා. අනෙක් අය ගැන කොහොම වුණත් අලුත් බිලිඳියගෙ ආච්චි අම්මා ඩයනා කුමරිය ගැන නම් කතා කරනවා අඩුයි. මේ කතා කරන්න යන්නෙ ඇය ගැන. 1995 වසරේ ඒ කියන්නෙ ඩයනා කුමරිය මිය යන්න අවුරුදු දෙකකට කලින් චාල්ස් කුමරුගෙන් වෙන්වෙලා ඉන්න කාලෙ බීබීසී සේවයේ මාටින් බෂීර් කියන මාධ්‍යවේදියා ඇගේ ජීවිතය හා සම්බන්ධ කරුණු ගැන ඇය එක්ක කරපු මාධ්‍ය සාකච්ඡාවෙන් උපුටා ගත් කරුණු කීපයක් තමයි මේ.

විවාහයත් එක්ක රාජකීය පවුලකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණු එක ඔබට දැනෙන්නෙ කොහොමද?
විවාහ වෙද්දි මට වයස අවුරුදු 19යි. ඒ කාලෙ රාජකීය පවුලකට සම්බන්ධ වෙනවා කියන එක ලොකුවට දැනුණේ නැහැ. නමුත් විවාහය කියන සිදුවීම ගැන පුංචි තිගැස්මක් තිබුණා. විවාහයෙන් පස්සෙ සැමියාගේ වැඩකටයුතුවලට උදවු දෙමින් නිදහසේ ජීවත් වෙන්න ඕන කියන හැඟීම විතරයි මට තිබුණෙ.
විවාහයෙන් ඔබ අපේක්ෂා කළේ මොනවද?
හැම තරුණියක්ම වගේම මට ඕන වුණෙත් සාර්ථක පවුල් ජීවිතයක්. මම දන්න කාලෙ ඉඳලා මගේ මවුපියෝ දික්කසාද වෙලා හිටියෙ. ඒ සිදුවීම් නිසා මට ඇති වුණු හැඟීම මගේ දරුවන්ට ඇති නොකිරීම තමයි අපේක්ෂා කළේ. ඒ වගේම මගේ හැම දෙයක්ම සැමියා සහ දරුවන් සමඟ බෙදා ගන්නත් ඒ අයගෙ හැම දෙයක්ම අපි හැමෝම අතරම බෙදා ගන්නත් මට ඕන වුණා.


මේ විවාහය නිසා ඔබ අතිශය ජනප්‍රියත්වයට පත් වුණා
ඔව්. මට ආදරේ කරන විශාල පිරිසක් ඉන්නවා කියලා මට දැනුණෙ විවාහය නිසා. ඒ වුණත් මුදු මාරු කරගැනීමේ ඉඳලා අද වෙනකම් මාධ්‍ය මගෙ පස්සෙන් එළවන්නෙ බොහෝම නරක විදියට. සමහර මාධ්‍ය මාව අනවශ්‍ය විදියට ඔසවා තැබුවා. ඉන් මගේ පෞද්ගලිකත්වයට සිදු වුණු හානිය ගැන කිසිවකුට හැඟීමක් නැහැ. වතුරට වැටුණොත් පීනන්නම වෙනවා. නැත්නම් ගිලෙනවා. දැන් මමත් කරන්නෙ පීනන්න උත්සාහ කරන එක.


ලොව වැඩිම කතාබහට ලක්වූ සහ වැඩිම ඡායාරූපවලට මුහුණ දුන් කාන්තාව ඔබ නේද?
ඒකට හේතුව මගේ සැමියා. රාජකීයත්වය නිසා විවාහයේ ඉඳලම මම කතාබහට ලක් වූ චරිතයක් වුණා. අපේ විවාහ උත්සවය වෙනුවෙන් සහ අපේ විවාහ ජීවිතය වෙනුවෙන් ඔහු බොහෝ දේ කළා. ඒ නිසා තමයි මම ගොඩක් ප්‍රසිද්ධියට පත් වුණේ. ඒත් ඒ තත්ත්වය සියයට සියයක් හොඳයි කියලා නම් කියන්න එපා.
මේ වෙනකොට ඔබත් ඔබේ සැමියත් අතර ඇතිවෙලා තියෙන ප්‍රශ්නය ගැන මුළු බි්‍රතාන්‍යයම දන්න බව ඔබ දන්නවාද?
ජනමාධ්‍ය නිසා නොදැන ඉන්න විදියක් නැහැ. අපි මේ ප්‍රශ්නය විසඳගන්න උත්සාහ කරමින් ඉන්නෙ. මේ ගැන කතා කරන්න, තීරණ ගන්න අපි සති හයක සංචාරයක නිරත වුණා. සති දෙකක් ඕස්ට්‍රේලියාවෙ. සති දෙකක් නවසීලන්තෙ. නමුත් දෙදෙනාම එකඟ වෙන විදියෙ තීරණයකට එන්න අපිට බැරි වුණා. මට ඇවිදින්න යන්න ඕනෙ වුණාම ඔහුට ඕන වුණේ විවේක ගන්න. ඔහුට ඇවිදින්න යන්න කතා කරන්න ඕනෙ වුණාම මට ඒක දැනුණෙ කරදරකාරී දවසක් විදියට.


විවාහයෙන් අවුරුදු 14කට පස්සෙ ඔබට හිතෙනවද පවුල් ජීවිතය අසාර්ථකයි කියලා.
කොහෙත්ම නෑ. නමුත් අපි දෙදෙනාම තෘප්තිමත් නැහැ. ගොඩක් විවාහකයන් වගේ අපි විවාහ වූ අලුත තෘප්තිමත් ජීවිත ගත කළා. නමුත් මේ වෙනකොට අපි අෑත් වෙලා. නමුත් පවුල අසාර්ථක වෙලා නැහැ. දරුවො ගැන තීරණ ගන්නකොට අපි හොඳ සහයෝගයෙන් කතා බහ කරලා තීරණ ගන්නවා.
ඔබේ පළමු දරුවා පුතෙක් කියලා දැන ගත්ත වෙලාවෙ මොකද හිතුණෙ?
ගාම්භීර හැඟීමක් ඇති වුණා. යම් දවසක ඔහුත් මම වගේ අසරණ අයට පිහිට වෙයි කියලා හිතුවා.
ඔබ දැන් මාලිගාව තුළදී පවා අධික ලෙස මත්පැන් පානය කරන බවත් ඉන්පසු කෑ ගසමින් වමනය දමන බවත් මාධ්‍ය වාර්තා කරනවා.


මගේ සැමියාට එය ප්‍රශ්නයක් වෙලා නැත්නම් මටත් එහෙම නම් වෙන මොනවද?
ඉන් කියැවෙන්නෙ ඔබ දෙදෙනාගෙ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ගැන නෙවෙයිද?
අපේ ප්‍රශ්න බිත්ති හතරෙන් පිටට යන්නෙ නැහැ. ගිහිල්ලත් නැහැ. පිටට යන්නෙ වෙනස්ම විදියෙ දේවල්. ඒ ගැන මට වගකියන්න බැහැ.
පසුගිය දවසක ජොනතන් ඩිම්බල්බයි ලියූ වේල්ස් කුමරුගේ ජීවිත කතාව කියන ග්‍රන්ථයේ හැටියට නම් ඔබත් ඔබේ සැමියාත් සම්පූර්ණයෙන්ම වෙනස් ගති ඇති දෙදෙනෙක්.
ලියන අය කොහොම ලිව්වත් අපි ගොඩක් දේවලදී එක හා සමානයි. අපි දෙන්නම හැම දරුවකුටම කැමැතියි. ලන්ඩනයේ ජීවත් වෙන්න කැමැතියි. මිනිස්සු අතර ඉන්න කැමතියි. ගිලන් අයට සේවය කරන්න කැමතියි. රාජකීය සම්ප්‍රදාය ඔළුව උඩ තියාගන්නෙ නැතිව ඉන්න කැමැතියි. ඒ මදිද?
චාල්ස් කුමරු කැමැති අකැමැති දේවල් ගැන ඔබ දන්නවාද?
වයස අවුරුදු තිස් දෙකේදි අවුරුදු 19ක පොඩි කෙල්ලෙක් කසාද බඳින්න ඔහු කැමැති වුණා. ඒ ගැන හොඳටම දන්නවා.
ඔබේ විවාහය අතරතුරත් ඔහු සහ කැමිලා පාකර් අතර පෙර තිබූ ආදර සම්බන්ධය නැවත ආරම්භ වී ඇති බව දැනගත් විට ඔබ මොකද කළේ?
නැවැත පටන් ගන්න ඒක නතර වෙලා තිබුණෙ නැහැ. ගැහැනියක් කවදාවත් තමන්ට ඕනෙ දෙයක් අතාරින්න හෝ වෙන කෙනකුට දෙන්න සූදානම් නැති බව මම දන්නවා. ඒක දැනගෙන හිටියෙ මම විවාහ වෙන්න කලින් ඉඳලමයි.
කැමිලා පාකර් නිසාද ඔබගේ විවාහයට ප්‍රශ්න ඇති වුණේ?
තුන් දෙනකුට එකතුවෙලා එක විවාහයක් ගෙනියන්න බැහැ කියලා ඇයට නොතේරුණාට මට තේරුණා. ඉතින් මම ඇයි බාධකයක් වෙන්නෙ.
දැන් ඔබ දෙදෙනා වෙන්වෙලා ඉන්නෙ. මේ වෙනස ඔබට දැනෙන්නෙ කොහොමද?
දරුවන් හැරුණාම මට වෙන හිතන්න දෙයක් නැහැ. නමුත් මේ වෙනසට මම කැමැතියි.


ඒ වෙනසට කැමැති වෙන්න, ඒ වෙනස පිටුපස කවුරුහරි ඉන්නවද?
එහෙම හිතන්න හෝ නොහිතන්න ඕනම කෙනකුට අයිතිය තියෙනවා.
ඔබ සහ ඩේම්ස් ගිල්බි අතර සිදුවූ දුරකතන සංවාදය පටිගත වෙලා තියෙනවා. ඒ ගැන සහ එය පටිගත කිරීම ගැන ඔබේ අදහස මොකක්ද?
ඒක විතරක් නෙවෙයි මගේ පෞද්ගලික ඇමතුම් සියල්ලක්ම පටිගත වී තිබුණා. ජේම්ස් මට හොඳ මිතුරෙක්. මමත් ඔහුට හොඳ මිතුරෙක්. කෙනකුගේ අඩුපාඩුවක් වසා ගන්න තවත් කෙනකුට වරද පටවන එක ටිකක් අමුතුයි නේද?
රාජකීය කිරුළ නැති වුණු එක ගැන හෝ දැන් එය වෙනත් කෙනකුට ලැබෙන්න යන එක ගැන ඔබ ඉන්නෙ දුකෙන්ද?
රාජකීය කිරුළ කියන්නෙ ගරු කළ යුතු දෙයක්. එය ඕනෑම කෙනකුට ලබා ගන්න පුළුවන්. නමුත් මිනිස්සුන්ගේ හිත් සම්පූර්ණයෙන්ම ලබා ගන්න රාජකීය කිරුළකින් බැහැ. අපි දික්කසාද වුණත් මිනිස්සු මට ඩයනා කුමරිය කියලා අමතන එක නැති වෙන එකක් නෑ. මොකද මගේ කුසින් උපදිලා ඉන්නවා රාජකීය කිරුළට හිමිකම් කියන දරුවො දෙන්නෙක්. මම ඔවුන්ගෙ අම්මා කියන එක කවුරු නිසාවත් නැති වෙන්නෙ නෑ. ඉතින් අනාගත රජවරු දෙදෙනකුගේ මවකට මොන දුකක්ද?
තව එක වරක් සැමියා සමඟ සමඟියෙන් ඉන්න ඔබට අවස්ථාවක් ලැබුණොත්?
එහෙම වෙන්න නම් ඔහුත් මමත් දරු දෙන්නත් බි්‍රතාන්‍යයෙන් පිට වෙන්න ඕන. වෙන වෙන අයගෙ ඇඟිලි ගැසීම් එක්ක අපිට තවදුරටත් සමාදානයෙන් ඉන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නෑ. ඔහුත් එහෙම හිතන බව මම දන්නවා.


ඔබ දෙදෙනා වෙන් වෙන්න ඕනෙ කියල තීරණය ගත්තෙ ඔබද?
සිරුරින් විතරක් පේන්න ඉන්න කෙනෙක් එක්ක ජීවත් වෙන එක පහසු නෑ. ඊට වඩා වෙන් වෙන්න තීරණය කිරීම පහසුයි. නමුත් ඒ තීරණය මගේ නෙවෙයි.
දික්කසාද වුණාට පස්සෙ මොනව කරන්නද කැමැති?
මම කැමැතියි බි්‍රතාන්‍ය තානාපති කෙනකු විදියට වෙනත් රටක සේවය කරන්න. ඒකෙන් මට පුළුවන් වෙයි මේ රටේ වැදගත්කම ගැන අනෙක් රටවල් දැනුවත් කරන්න.
ඒ වෙනුවෙන් ඔබට තියෙන සුදුසුකම්?
රාජකීය පවුලේ සාමාජිකාවක් වෙලා අවුරුදු පහළොවක අත්දැකීම් එක්ක මම කතා කරන්නෙ. මේ රටින් වෙනත් රටවලට යවන්න ඕනෙ කරන්නෙ මොන විදියෙ තානාපතිවරුද කියන එක ගැන මම අවස්ථා කීපයකදීම සාකච්ඡා කරල තියෙනවා. ඒකම සුදුසුකමක් නෙවෙයිද?
අවසාන වශයෙන් දැන් ඔබ සියල්ල අත්හැරීමට සූදානම්ද?
වෙන මොනවද මට අත්හරින්න තියෙන්නෙ?

දුලාංජලී මුතුවාඩිගේ
මව්බිම