This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
පුංචි ඔෂින් දැන් ලොකු ගැහැනියක්



දැන් කාලෙ පොඩි අය ආසාවෙන් බලන කතා ඔක්කොම කාටූන්. දැන් අපි කතා කරනවා වගේ දැන් ළමයින්ට ලොකු වුණාම කතා කරන්න වෙන්නේ කාටූන් වීරයෝ ගැන විතරයි. ඒ අතින් 80-90 දශකවල පොඩි ළමයි වෙලා හිටපු අපි ගොඩාක් වාසනාවන්තයි. 90 දශකයේ විකාශනය වූ 'ඔෂින්' නම් ජපන් නාට්‍යය ඒ දවස්වල නොබලන ළමයෙක් හොයාගන්න නැති තරම්. අපි හැමෝම ආදරේ කළේ ඒකේ හිටපු පුංචි ඔෂින්ට. ඒ කියන්නේ ඔෂින් චරිතයේ ළමා කාලයට.

ඔෂින්ගෙ ළමා කාලය ඒ කියන්නේ අවුරුදු හයේ ඉඳලා ‍ෙදාළහ විතර වෙනකල් කාල පරාසය රඟපෑවේ අයාකෝ කොබයාෂි කියන පුංචි නිළිය. එයා ඒ දවස්වල පුංචි ගැහැනු ළමයෙක් වුණාට ලංකාවෙ ඔෂින් පෙන්වන කාලෙ එයා අවුරුදු විස්සක විතර තරුණියක්. මොකද එයා ඉපදිලා තියෙන්නේ 1972 අවුරුද්දෙ අගෝස්තු එකොළොස් වැනිදා ජපානයේ ටෝකියෝ නගරයෙ. ඒ කියන්නෙ දැන් එයාගේ වයස අවුරුදු 43ක් විතර වෙනවා. ඔෂින් ටෙලි නාට්‍ය තමයි අයාකොගෙ ජීවිතේ වෙනස්ම මාර්ගයකට හරවපු ටෙලි නාට්‍යය. ඔෂින් රඟපානකොට එයාගේ වයස අවුරුදු නවයයි. එයාට ඔෂින්ගෙ චරිතය ලැබිලා තියෙන්නේ පුංචි ගැහැනු ළමයි හත්සියයක් එක්ක තරග කළාට පස්සෙ. අලුත් ටෙලි නාට්‍යයකට පුංචි ගැහැනු ළමයෙක් ඕනෙ වෙලා තියෙනවා කියලා පත්තරේ දාලා තිබුණු දැන්වීමකට අයාකොගෙ අම්මා උත්තර ලියලා තියෙනවා. ඒකෙ ප්‍රතිඵලයක් විදියට අයාකොට සම්මුඛ පරීක්ෂණයකට යන්න වෙලා. පළමුවැනි සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වුණාට පස්සේ තිර පරීක්ෂණයකටත් යන්න සිද්ධ වෙලා. ඒ ගැනත් ලස්සන කතාවක් තියෙනවා.


තිර පරීක්ෂණය වෙලාවෙ අයාකොට මේකප් කරලා ස්ක්‍රීන් එක ඉස්සරහින් ඉන්දවලා වටේට ලයිට් හතරක් දැම්මලු. ලයිට්වල සැරට එයාගේ ඇස්වලට කඳුළු ඇවිල්ලා. ඒ වෙලාවේ එයා අත් දෙකෙන් ඇස් දෙකේ කඳුළු පිහදා ගත්තලු. එතකොට බලද්දි මූණේ තිබුණු මේකප් ඔක්කොම අත් දෙකේලු. දැන් ඉතින් මාව තෝරගන්න එකක් නෑ කියලා හිතාගෙන අයාකො අම්මත් එක්ක ගෙදර ගිහින්. ඊට දවස් කිහිපයකට පස්සේ අයාකොට අවසාන පරීක්ෂණයට එන්න කියලා ආයෙත් පණිවුඩයක් ඇවිල්ලා. අවසාන පරීක්ෂණයට තෝර ගත්ත ළමයි හය දෙනාගෙන් අයාකොට ඔෂින්ගෙ චරිතය ලැබිලා. අනික් පස් දෙනාට ඔෂින් එකේ වෙනත් චරිත ලැබිලා. ඉතින් මේ විදියට ලැබුණු ඔෂින්ගෙ චරිතය මාස එකොළහක් විතර එක දිගට රූගත කිරීම් කරන්නත් සිදු වෙලා. ඒත් පාසලේ පාඩම් මඟහැරගන්නේ නැතිව අයාකො වැඩ දෙකම අපූරුවට කරගෙන. ඉතින් ඔය කාලෙ ඇයට 'ජො නො මායි' කියන ටෙලි නාට්‍යයේත් ප්‍රධාන ළමා නිළිය විදියට රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා.


අධ්‍යාපන කටයුතු නිසා එයාට රඟපාන්න එච්චර ලොකු වෙලාවක් ඉතිරි වෙලා නැහැ. ඒ නිසා අයාකො රඟපාපු ඔක්කොම ටෙලි නාට්‍ය ගණන විස්සකටත් අඩුයි. මේ වෙනකොට අයාකො ජපානයේ රිට්සුමෙයිකාන් සරසවියේ උපාධිධාරිනියක්. පෞද්ගලික ආයතනයක අලෙවි ප්‍රවර්ධන විධායක තනතුරක් දරන අයාකෝ 2010 අවුරුද්දේ කාර්යක්ෂම නිලධාරිනිය සඳහා වන සම්මානය පවා දිනා ගත්තා. ඉෂිතෝ සන්ෂුකෝ කියන ටෙලි නාට්‍ය නිෂ්පාදකයා එක්ක 2008 දී විවාහ වුණු ඇය මේ වෙද්දි ටෙලි නාට්‍ය නිෂ්පාදනයටත් යොමු වෙලා ඉන්නවා.
ඒ කාලෙ අපි දැකපු පුංචි හුරුබුහුටි උත්සාහවන්ත ඔෂින්, දැන් නම් ගොඩාක් වෙනස්. ඒ වගේම ටිකක් වයසක පෙනුමකුත් ඇවිත්. ඒත් අපිට තාමත් ඔෂින් කිව්වාම මතක් වෙන්නේ අර බෝලෙ වගේ රවුම්, හැම තිස්සෙම රතු පාට වෙන මුහුණක් තියෙන පුංචි අයාකොගෙ මුහුණම විතරයි.


දුලාංජලී මුතුවාඩිගේ
මව්බිම