This site has features that require javascript. Follow these simple instructions to enable JavaScript in your web browser.
Sithmal Yaya
රොබින්සන් අන්දරයේ ක්‍රිස්ටිනා දැන් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්



සයුරේ ජීවිත නැව පෙරැළී...
මුතු සොයනා අය කොහෙදෝ...
පණ නල පාගා...
වෙරළේ... පියමන් පැවැසූ...
රළ කඳුරේ සුවඳයි මේ...
සෙනෙහේ අසරණ වූ දා පමණයි දෝ...
නොවෙනස් වෙයි කුරුලු ගී...
පණ නල සැබෑ වුණේ...

මේ සින්දුව අපිට ඇහුණෙ මීට අවුරුදු දාහතකට විතර කලින්. ඒ තමයි අපි ආසාවෙන් බලපු රොබින්සන් අන්දරය කියන කතාවේ තේමා ගීතය. අපි මේ කතාවට රොබින්සන් අන්දරය කියලා කිව්වට ඒකෙ ඇත්තම නම "දි ඇඩ්වෙන්චර් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්". මේ කතාවට පාදක වෙලා තියෙන්නේ "දි ඇඩ්වෙන්චර් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්" කියන නවකතාව. මේ නවකතාව නිර්මාණය වෙලා තියෙන්නේ 1812 අවුරුද්දේ. ඒ නිසා මේ කතාවෙ හැම චරිතයක්ම 1800 ගණන්වල පසුතලවල තමයි රූගත කරලා තියෙන්නේ. මේ කතාවේ ඉන්න පුංචි දඟකාර ක්‍රිස්ටිනා ඔයගොල්ලන්ට මතක ඇති. ඒ කාලෙ එයා ලස්සන පුංචි දරුවෙක් වුණාට දැන් එයා හැඩකාර ප්‍රියමනාප තරුණියක්.


රොබින්සන් අන්දරයේදී එයාගේ නම ක්‍රිස්ටිනා රොබින්සන්, ඒ වුණාට එයාගේ ඇත්ත නම මියා කොනිංග්. පුංචි මියා, රොබින්සන් අන්දර කතා මාලාවට එකතු වෙලා තියෙන්නේ වයස අවුරුදු අටේදී. මියා එයාගේ පාසලේ ටිකක් ප්‍රසිද්ධියට පත් වෙලා හිටපු කෙනෙක්. හැබැයි එයා ප්‍රසිද්ධ වුණේ ඉගෙනීමේ වැඩවලින් නම් නෙවෙයි. මියාගේ දඟකාර වැඩ නිසා අඩුම ගාණෙ මාසෙකට දෙපාරක්වත් එයාගේ අම්මට ප්‍රින්සිපල් මුණගැහෙන්න ඉස්කෝලෙට එන්න සිද්ධ වුණාලු. ඔය අතරේ ඉස්කෝලෙට ආපු "දි ඇඩ්වෙන්චර් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්" කතාවේ නිෂ්පාදන කණ්ඩායම පුංචි ගැහැනු ළමයින් සියයක් විතර ඉන්ටවීව් කරලා මියා ඇතුළු තවත් තුන් දෙනෙක්ව තෝරගෙන තියෙනවා. ඊට පස්සේ ඒ හතර දෙනාවම කැමරාව ඉස්සරහා තිර පරීක්ෂණවලට ඉදිරිපත් කරලා තමයි අවසානයේ මියාව ක්‍රිස්ටිනාගේ චරිතයට තෝරගෙන තියෙන්නේ.


1990 වසරේ ඉපදුණු ක්‍රිස්ටිනා "දි ඇඩ්වෙන්චර් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන්" කතාවෙන් පස්සේ තවත් සිනමා පට දෙකක රඟපෑවා. ඒ 2009 වසරේ ප්‍රදර්ශනය වුණු 'පවර් රේන්ජර්ස්" කියන චිත්‍රපටයේ සහ 2013 වසරේ නිකුත් වුණු "ත්‍රී මයිල්ස් ලිමිට්" කියන චිත්‍රපටයේ. ඉඳලා හිටලා චිත්‍රපටයක රඟපාන මියා දැන් චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්. ඇමෙරිකානු සිනමා අධ්‍යයන ආයතනයක අවුරුදු තුනක සිනමා අධ්‍යක්ෂණ උපාධිය අවසන් කරපු ඇය මේ දවස්වල ඇගේ පළමු සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණ කටයුතු සිදු කරනවා. ඉතිං තව ටික දවසකින් අපිට පුංචි ක්‍රිස්ටිනාගේ අධ්‍යක්ෂණයෙන් නිකුත් වන සිනමා නිර්මාණය දැක ගන්න පුළුවන් වෙයි.


දුලංජලී මුතුවාඩිගේ
මවුබිම